ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය බෙදීම් ඇති රටවල ගැටුම් විසඳීමට කොන්සොසියේෂනල් ක්‍රම‍ය මත පදනම්ව බලය බෙදා ගැනීම හෙවත් power sharing ක්‍රමවේදය ඇති කිරීමේදී මූලික ලක්ෂණ හතරක් සහිත

ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කෙරෙන බව එම ක්‍රමයේ ප්‍රධාන න්‍යායාචාර්‍ය මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් පෙන්වා දෙන්නේයැයි පසුගිය සතියේ දී කෙටියෙන් සඳහන් කෙරුණි. 

ඒ අනුව, 

(1) විවිධ කණ්ඩායම් නියෝජනය කරන ප්‍රභූන්ගෙන් සැදුම්ලත් මහා සභාග ආණ්ඩුවක්,

 (2) ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් වලට ලැබෙන ස්වයං නීර්ණ අයිතිය, 

(3) එක් එක් කණ්ඩායම් වල අනුපාතය අනුව සකස් වුණු ඡන්ද ක්‍රමයක් සහ රජයේ රැකියා යනාදිය සම්බන්ධයෙන් අනුපාතයට අනුව  අවස්ථාව, සහ 

(4) සුලු කණ්ඩායම් වලට ලැබෙන 'නිෂේධ බලය' යන ලක්ෂණ හතර සහිත ආණ්ඩු ක්‍රමයක් බලය බෙදා ගැනීමේ ක්‍රමය මගින් නිර්මාණය කෙරේ.


බ්‍රිතාන්‍යයේ පවතින්නාක් මෙන් වූ සාමාන්‍ය පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක නම්, බහුතරයක් ලබා ගන්නා කණ්ඩායමට ආණ්ඩු බලය හිමිවන අතර, බහුතරයක් ලබා නොගන්නා කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි වී ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරයි. 

එබැවින් එය දේශපාලන 'සතුරු' ආකල්පයකින් යුක්තව, එකිනෙකාට දේශපාලන වශයෙන් තරගකාරී ලෙස එරෙහි වෙමින්, ගැටෙමින් ආණ්ඩුව සහ විපක්ෂය කටයුතු කරන ආණ්ඩු ක්‍රමයකි. 

එහෙත්, ඊට වෙනස්ව යමින් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් උත්සාහ කරන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතරින් ප්‍රධානම කරදරකාර ප්‍රභූන් හදුනා ගෙන ඔවුන්ට ආණ්ඩුවේ කෑල්ලක් ලබා දී බලවත් කර, එකී වාර්ගික දේශපාලන ප්‍රභූන් ආණ්ඩුවේ හවුල්කරුවන් බවට පත් කර ගැනීම හරහා සභාග පාලනයක් ඇති කිරීමයි. 

මෙම ක්‍රමය තුළදී එකී වාර්ගික දේශපාලන ප්‍රභූන් තමන් නියෝජනය කරන වාර්ගික කණ්ඩායමේ දේශපාලන නියෝජිතයන් ලෙස සැලකෙන අතර, ඔවුන්ට ලබාදෙන බලය එකී ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් වලට බලය ලබාදීමක් ලෙස ගණන් ගැනේ. 

එමගින් සතුරු ආකල්ප සහිත ආණ්ඩුවක් සහ විපක්ෂයක් පවතින පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයකට වඩා, ගැටුම් සාමකාමීව පාලනය කර ගැනීමට ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වන බව මහාචාර්ය ලෙයිෆාර්ට් විශ්වාස කරයි.
Arend 2020.10.11ඔහු පෙන්වා දෙන පරිදි කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමයේ පළමු සහ ඉතා වැදගත්ම ලක්ෂණය වන්නේ ද බහුවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් ඇති රටවල සියළු වැදගත් කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන නායකයන්ගෙන් සැදුම්ලත් මහා සභාග ආණ්ඩුවක් පැවතීමයි. 

ඒ සඳහා එකී දේශපාලන ප්‍රභූන් තුළ මධ්‍යස්ථව කටයුතු කිරීමට සහ යම් කැපවීම් කිරීමට කැමැත්තක් තිබීම මූලිකව අවශ්‍ය බවත්, එකී සභාග ආණ්ඩුව විවිධ ස්වරූපයන්ගෙන් නිර්මාණය කළ හැකි බව මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙයි. 

ඒ අනුව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නම් විවිධ වාර්ගික, ආගමික හෝ භාෂාමය දේශපාලන කොටස් නියෝජනය කරන දේශපාලන නායකයන්ගෙන් සැදුම්ලත් මහා සභාග කැබිනට් මණ්ඩලයක් මගින් ආණ්ඩු කළ හැකි වේ. 

නැතිනම්, උපදේශකයන් ලෙස ක්‍රියා කරන ප්‍රභූ නියෝජිතයන් සහිත මහා කවුන්සිලයක් හෝ කමිටුවක් මාර්ගයෙන් මහා සභාග ආණ්ඩුවක් තැනිය හැකිය. 

එසේත් නැතිනම්, ජනාධිපති ක්‍රමයක් සහිත ආණ්ඩුවක නම් විවිධ කොටස් නියෝජනය වන පරිදි ජනාධිපති සහ ඉහළ විධායක නිලතල දරන්නන් සිටින මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකිය.

 ඒ අනුව මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙන්නේ ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයක් වුවත්, ජනාධිපති ක්‍රමයක් වුවත් මහා සභාග ආණ්ඩුවක් අවශ්‍ය පරිදි සකස් කර ගත හැකි බවයි.Book 2020.10.10


මේ ආකාරයට මහා සභාග ආණ්ඩුවක් තැනීම සම්බන්ධයෙන් මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් 1977 දී ලියා පළ කළ 'Democracy in Plural Societies' (බහුවිධ සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය) නමැති කෘතිය
විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරයි. 

ලෙයිෆාර්ට් පෙන්වා දෙන්නේ කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීම කැබිනට් මණ්ඩලය තුළ විවිධ වාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් නියෝජනය වන පරිදි කැබිනට් සංයුතිය සකස් කිරීම සිදු කළ හැකි බවයි. 

ඒ සම්බන්ධයෙන් ඔහු ස්විස්ටර්ලන්තය සහ ඔස්ට්‍රියාව හොඳම උදාහරණය වශයෙන් ගෙනහැර දක්වන අතර, එවකට පැවති තත්ත්වය අනුව ස්විස්ටර්ලන්තයේ සමස්ත පරිපාලනය සඳහා නායකත්වය දෙන 'ෆෙඩරල් කවුන්සිලය' සෑදී ඇත්තේ මේ ආකාරයට සභාග ආණ්ඩු ක්‍රමයක් මත බව පෙන්වා දෙයි. 

WhatsApp Image 2020 10 11 at 12.08.01 PMඔස්ට්‍රියානු චාන්සලරි ගොඩනැගිල්ල - කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වෙන ස්ථානය

ඔහුට අනුව, ස්විස්ටර්ලන්තයේ 'ෆෙඩරල් කවුන්සිලයේ' විවිධ කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා සාමාජිකයන් හත් දෙනෙකු සිටින අතර, එයින් දෙදෙනෙකු රැඩිකල්වරුන්ගෙනුත්, දෙදෙනෙකු සමාජවාදීන්ගෙනුත්, දෙදෙනෙකු කතෝලිකයන්ගෙනුත්, සහ එක් අයෙකු ග්‍රාමීය ගොවීන්ගෙනුත් සමන්විත නියෝජනයක් සහිතව නිර්මාණය වී ඇත. 

ඊට අමතරව ඔවුන් විසින්ම විවිධ භාෂා කතාකරන කණ්ඩායම් සහ විවිධ කලාප සඳහා ද නියෝජිතත්වය ලබා දෙන බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.

 මේ ආකාරයට එක් එක් සමාජ කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්විස්ටර්ලන්තයේ 'ෆෙඩරල් කවුන්සිලය' හරහා රට පාලනය කෙරෙන අතර, එය බහුතර ලබා ගන්නා කණ්ඩායමට ආණ්ඩු බලයත්, බහුතරයක් නොමැති කණ්ඩායම් විපක්ෂයේත් වාඩි වෙන ආකාරයේ 'සතුරු' ආකල්ප සහිත තරගකාරී ආණ්ඩු කිරීමේ ක්‍රමයකට වඩා වෙනස් බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි. 

WhatsApp Image 2020 10 11 at 12.07.15 PM             ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සලයේ රැස්වීමක්

එසේම ඔස්ට්‍රියාවේ 1945 සිට 1966 දක්වා පැවති මහා සභාග කැබිනට් මණ්ඩලය කතෝලිකයන් සහ විවිධ සමාජ කණ්ඩායම් වෙනුවෙන් පරෙස්සමින් සහ සමබර ලෙස තෝරා ගත් නියෝජිතයන්ගෙන්  සමන්විත වන පරිදි සකස් කෙරී ඇති බව ලෙයිෆාර්ට් නිරීක්ෂණය කරයි. 

ඒ අතර බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ විධායකයන් තුළ මහා සභාග ආණ්ඩුවක් පිළිබඳ අදහස නිල වශයෙන් ආයතනගතව නොපැවැතියත්, සියලු කැබිනට් මණ්ඩලයන්ම සංයුතිය අතින් මහා සභාගයක්ව පැවති බවත්, වෙනත් කණ්ඩායම් ආණ්ඩු බලය දරද්දී ප්‍රධාන පක්ෂ වරින් වර මාරුවට විපක්ෂයේ සිටි බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි.

එසේම ලෙයිෆාර්ට් සඳහන් කරන්නේ මහා සභාග ආණ්ඩුවක් තැනීම සඳහා පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමයක්ම පැවතීම අත්‍යවශ්‍ය නොවන බවයි. 

මූලික ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් වන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය මෙන්ම ජනාධිපති ආණ්ඩු ක්‍රමය තුළද, එමෙන්ම සමූහාණ්ඩු ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය තුළද කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීම සඳහා මහා සභාග ආණ්ඩු නිර්මාණය කළ හැකි බව ලෙයිෆාර්ට් පෙන්වා දෙයි. 

එහෙත්, ජනාධිපති ආණ්ඩු ක්‍රමයක එක් පුද්ගලයෙකු ආණ්ඩුවේ මූලිකත්වය ගන්නා බැවින්, ජනාධිපති ආණ්ඩු ක්‍රමයට වඩා පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කොන්සොසියේෂනල් ක්‍රමයට අදාල මහා සභාග ආණ්ඩු පිහිටුවීමට වඩා යෝග්‍ය බව ලෙයිෆාර්ට් ගේ මතයයි. 

එහෙත් ජනාධිපති ක්‍රමය කොන්සොසියේෂනල් ක්‍රමය සමග සම්පූර්ණයෙන් එකඟ නොවන ක්‍රමයක් නොවන බවත්, කොළොම්බියාවේ පවතින ආකාරයට මාරුවෙන් මාරුවට ජනාධිපතිධුරය දැරීමට විවිධ කණ්ඩායම් වලට ඉඩ හැරීම ජනාධිපති ක්‍රමය තුළ සභාගයක් ඇති කිරීමේ එක් ක්‍රමවේදයක් බවත් ලෙයිෆාර්ට් විශ්වාසය කරයි.

 එසේම, තවත් ක්‍රමවේදයක් ලෙස ජනාධිපතිධුරයට අමතරව, අගමැති, උප අගමැති, සහ කතානායක වැනි ඉහළ විධායක සහ ව්‍යවස්ථාදායක තනතුරු ඇති කර, ඒ සියල්ල එක් මහා සභාග ආණ්ඩුවකට එක් කිරීමද කළ හැකි බව ලෙයිෆාර්ට් කියයි. 

Cover            ඇමෙරිකානු ඉතිහාසයේ කළු පැල්ලම – වෝටර්ගේට් අපවාදය

ඊටත් අමතරව ඇමෙරිකාවේ 'වෝටර්ගේට්' සිද්ධිය සමයේදී ඇමෙරිකාව සඳහා විද්වතෙකු යෝජනා කළ ආකාරයේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් සහ බහු පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ඇති කිරීමද ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුළ කොන්සොසියේෂනල් මහා සභාග ආණ්ඩුවක් පිහිටුවීම යොදා ගත හැකි බව ලෙයිෆාර්ට්ගේ මතයයි.

එසේම සමූහාණ්ඩුවක් තුළද, රාජාණ්ඩුවක් තුළද මේ ආකාරයට කොන්සොසියේෂනල් මහා සභාග ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි බව මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් පෙන්වා දෙන අතර, ලබන සතියේ ඒ පිළිබඳව සහ කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ඉතිරි මූලික ලක්ෂණ තුන සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.


ලබන සතියේ - බලය බෙදා ගැනීමේ ආණ්ඩුවක මූලික ලක්ෂණ - 2 කොටස



Dinesh(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක   හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.  ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම'  - (05) - 2020 ඔක්තෝම්බර් 11)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්