The Leader News
BREAKING
කෘත්‍රිම බුද්ධියෙන් පොත් 370ක් ලියූ ලේඛිකාවකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව●බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●
Top Ad
විශේෂාංග

අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

Awara

Awara

October 25, 2026 • 4:39 PM

අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව යටත් කරගෙන සිටිය පෘතුගාලයේ ලිස්බන් නුවර සංචාරය කරන ඕනෑම අයෙක්ට දකින්න ලැබෙන පෘතුගාලයේ රජවරුන්ගේ පිළිමවල අලි ඇතුන් පාගාගෙන විජයග්‍රහණය සමරන රජවරුන්ව දකින්න පුළුවන.
  • පෘතුගාලය ඇතුළු යටත් විජිත අධිරාජ්‍යවාදීන් අලියා දුටුවේ සතුරෙකු ලෙසය.
  • එහෙත් ලංකාව ඇතුළු ආසියානු රටවල් අලියා දුටුවේ රාජකීයත්වයේ, ස්වාධිපත්‍යයේ, බලයේ සංකේතයක් ලෙසය.
  • මහාවංශය කණ්ඩුල ඇතාට පරිච්ඡේද වෙන් කරන්නේ දුටුගැමුණුගේ යුද සංග්‍රාමයේ කණ්ඩුල ඇතා ඉටුකරපු කාර්යභාරය නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාව යටත් කරගෙන සිටිය පෘතුගාලයේ ලිස්බන් නුවර සංචාරය කරන ඕනෑම අයෙක්ට දකින්න ලැබෙන පෘතුගාලයේ රජවරුන්ගේ පිළිමවල අලි ඇතුන් පාගාගෙන විජයග්‍රහණය සමරන රජවරුන්ව දකින්න පුළුවන. පෘතුගාලයේ රජවරුන්ගේ පිළිමවල අලි ඇතුන් පාගාගෙන ඉන්න පිළිම නෙළුවේ අන් කිසිවක් නිසා නොව පෘතුගාලය ලංකාව ඇතුළු ආසියානු රටවල් ආක්‍රමණයේදී එම රටවල රජුන් ඇතුන් පිට නැගී දියත් කළ යුද්ධ පෘතුගාලයේ රජවරු පරාජය කළ ආකාරය දැක්වීමටය. පෘතුගාලය ඇතුළු යටත් විජිත අධිරාජ්‍යවාදීන් අලියා දුටුවේ සතුරෙකු ලෙසය. එහෙත් ලංකාව ඇතුළු ආසියානු රටවල් අලියා දුටුවේ රාජකීයත්වයේ, ස්වාධිපත්‍යයේ, බලයේ සංකේතයක් ලෙසය.

මහාවංශය කණ්ඩුල ඇතාට පරිච්ඡේද වෙන් කරන්නේ දුටුගැමුණුගේ යුද සංග්‍රාමයේ කණ්ඩුල ඇතා ඉටුකරපු කාර්යභාරය නිසාය. සීගිරියේ කාශ්‍යපගේ පරාජයට හේතුවත් ඇතු පිට නැගී කාශ්‍යප මඩ වගුරක් මගහරින්න ඇතාව වෙනත් මාර්ගයකට යොමුකිරීම පරාජය භාරගෙන මගහැර යෑමක් සේ සලකා ඔවුන්ගේ හමුදාව යුද බිමෙන් පලායෑමය. මේ නිසාම රජුගේ ඇතා යුද්ධයකදී සෙබළුන්ට මග පෙන්වන සංකේතයක් මෙන් විය.

රිපබ්ලිකන් පක්ෂය සහ සේනානායකවරුන්ගේ අලි ප්‍රේමය


යටත්විජිත අධිරාජ්‍යවාදීන් අලියාට වෛර කළත් ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය සිය පක්ෂයේ නිල ලාංඡනය ලෙස අලියා තෝරාගත්තේ අලියා ශක්තිය, ගෞරවය සහ බලය පෙන්වන නිසාය. 19 වැනි සියවසේ ඇමෙරිකාවේ ප්‍රකට ප්‍රස්තාව පිරුළක් වූයේ අලියාව දැකීම යුද්ධයක ආරම්භයක් කියාය. 19 වැනි සියවසේ ඇමෙරිකානු සෙබළු අතර මේ ප්‍රස්තාව පිරුළ අතිශයින් ජනප්‍රිය විය. රිපබ්ලිකන් පක්ෂය අලියා ලාංඡනය ලෙස තෝරාගැනීමට එයත් ප්‍රධාන හේතුවක් විය.

ඩී.ඇස්. සේනානායක එක්සත් ජාතික පක්ෂය හදද්දී පක්ෂයේ ලාංඡනය ලෙස අලියා තෝරාගැනීම ගැන විවිධ මත පවතී.

සමහරු කියන්නේ අලියා ලාංඡනය තුළ බුද්ධිය, ඥානය, සෞභාග්‍යය, රාජකීයත්වය, බලය, ශක්තිය, අලංකාරය නිරූපණය වන නිසාත්, අලියා ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ සංකේතයක් නිසාත් අලියා තෝරාගත් බවය.

තවත් සමහරු කියන්නේ කැලෑවල ජනපදකරණය ක්‍රියාත්මක කරද්දී ඩී.ඇස්. ඇතුන් සමග කාලය ගතකරමින් වන අලි හීලෑ අලි බවට පත්කර ගිනිමින් අලියාට දැඩි සේ ආදරය කළ නායකයෙක් බවය. මේ නිසාම ඔහු ජාතියේ සංකේතය ලෙස අලියා පිළිගෙන අලියා යූ.ඇන්.පී.යේ ලාංඡනය බවට පත්කර ගත් බවය.

මීට වෙනස් මතයක් දරන අය කියන්නේ ලංකාවේ දේශීය දෙවියන් ලෙස පිළිගන්නා සුමන සමන් දෙවියන්ව ඩී.ඇස්. දැඩි ලෙස අදහපු බවය. රත්නපුරයේ සුමන සමන් දෙවියන්ගේ වාහනය ඇතාය. මේ නිසා ඩී.ඇස්. යූ.ඇන්.පී. ලාංඡනය ලෙස අලියා තෝරාගත් බවය.

'හීන් බිලිඳු' දණගැසූ ඩඩ්ලිගේ නික්මයාම

ඩඩ්ලි සේනානායක

ඩී.ඇස්. වගේම ඩඩ්ලි සේනානායකත් අලින්ට දැඩි ලෙස ආදරය කළේය. ඩඩ්ලි ජනප්‍රිය වනජීවී ඡායාරූප ශිල්පියෙකි. ඔහු ආරක්ෂකයන් මග දමා තනිවම වනාන්තරවල රිංගා ඡායාරූප ගන්න රුසියෙකි. ඔහු අගමැතිව සිටියදී වරක් එලෙස ඔහු ආරක්ෂකයන් මගහැර ගොස් සිටියදී ආරක්ෂකයන්ට ඔහුව සොයාගත නොහැකි විය. වනාන්තරයම පිරික්සා ඔහුව සොයාගන්නා විට අගමැති කැලෑවේ අතරමං වී ඇති බවට වූ පුවත ලැව් ගින්නක් සේ පැතිර තිබිණි.

1965 මහ මැතිවරණය දිනා ඩඩ්ලි අගමැති ලෙස දිවුරුම් දෙන්න ආවේ ඇතෙකු පිටෙනි. ලංකාවේ නව අගමැති දිවුරුම් දෙන්න ඇතෙකු පිට එන ඡායාරූපය ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රසිද්ධ විය.


1973 ඔහු මරණයට පත්වූ විට ඔහුට ගෞරව දක්වන්න ‘හීන් බිලිඳු’ නම් වූ ඇතා අවමඟුල් පෙරහැරට ගෙන එනු ලැබීය. ඩඩ්ලිගේ දේහය ඉදිරිපිට ‘හීන් බිලිඳු’ නම් වූ ඇතා දණගසා හොඬවැල උස්සා වඳින දර්ශනය මුළු රටම කම්පාවට පත්කරනු ලැබීය.

ජේ.ආර්., ප්‍රේමදාස සහ දියකඩිත්තේ උපමාව

ජේ.ආර්. ජයවර්ධන වනජීවී ලෝලියකු නොවුණාට ඔහු ජනාධිපති ධුරය දරද්දී ඔහු සහ බිරිඳ ඇතුන් සමග ඡායාරූප ගන්න වැඩි කැමැත්තක් දැක්වීය. ජේ.ආර්. සිය බිරිඳ සමග ඇතෙකුගේ හොඬවැල අල්ලාගෙන ඉන්නා ඡායාරූපය ජේ.ආර්.ගේ ජනප්‍රියතම ඡායාරූපය විය.

රණසිංහ ප්‍රේමදාස ඇතුන්ට අසීමිත ලෙස ආදරය කළ අයෙකි. වනජීවී ඡායාරූපකරණය ඔහුගේ ලොකුම විනෝදාංශය විය. ඔහු කැලෑබද ප්‍රදේශවල රැස්වීම්, උත්සවවලට ගියේ කැමරාවක් කරේ එල්ලාගෙනය. ප්‍රේමදාස වරක් අලියා උපමා කරගෙන යූ.ඇන්.පී.ය ගැන කතාවක් කීවේය.

‘යාල කැලේ නියඟ කාලෙට විවිධ සත්තු ඇවිත් දියකඩිතිවලින් පිපාසය නිවා ගන්නවා. උරුලෑවා වගේ සත්තු ඇවිල්ලා දිය කඩඩිත්තේ දඟලලා දියකඩිත්ත මඩ කරනවා. එතකොට අනෙක් සත්තුන්ට වතුර බොන්න විදියක් නැහැ. අලියා තමයි දියකඩිත්ත ශුද්ධ කරලා පිරිසිදු වතුර පාදන්නේ. ඒ වගේ තමයි යූ.ඇන්.පී.ය මේ මවුබිම අනෙකුත් පක්ෂ ඇවිත් විනාශ කරලා ගියාම ඇතා එනවා වගේ යූ.ඇන්.පී.ය ඇවිත් තමයි ගොඩ දමන්නේ…’

මේ, ප්‍රේමදාස කී කතාවය.

යූ.ඇන්.පී. නායකයන් සහ අලින් අතර තිබුණේ අරුම පුදුම අන්තර් සම්බන්ධතාවකි. එයට හේතුව අලියා යූ.ඇන්.පී.යේ ලාංඡනය වීමම නොවේ. ඔවුන් අලින්ට දැඩි සේ ආදරය කළේය. මේ ආදරය නිසාම ලංකාවේ ජනතාව අලියා ජාතික වස්තුවක් ලෙස සලකන්න පුරුදු විය.

කාවන්තිස්සගේ මරණය සහ අලියා නංවන ඇත්ගොව්වා


අලියා අලුතෙන්ම මාතෘකාව බවට පත්ව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ මරණය නිසාය. රටම පුදුමයට පත්කරමින් කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් කැලඹුණේ ‘ජෙන්-සී’ නැත්නම් රටේ නූතන පරපුරය. ඔවුන් කාවන්තිස්සගේ මරණය රටේ ජාතික මාතෘකාවක් බවට පත්කළේ සමාජ මාධ්‍ය හරහාය.

කාවන්තිස්ස මියයෑමට පෙර අලි සම්පත ගැන රටේ කතාබහක් නිර්මාණය කළ දේශපාලන නායකයෙක් වේ නම් ඒ සජිත් ප්‍රේමදාසය. ඔහු අලි බලන්න කැලේ යද්දී හැමෝම ඔහුට හිනා විය. ඒත් ඔහු හුරුව සිටියේ යූ.ඇන්.පී.යේ මහා අලි සම්ප්‍රදායටය.

අලියෙක් වැටුණාම නැගිට්ටවන්න බැරිය. කාවන්තිස්ස අලියාට මෙන්ම අද යූ.ඇන්.පී.යට සිදුවී ඇත්තේත් ඒකමය. අලි නැගිට්ටවන්න පුළුවන් අලි මන්තර දන්නා අයටය. අලින්ට ආදරය කරන අලි එක්ක කතා කරලා පුරුදු අලි හිතකාමීන්ටය.

‘යූ.ඇන්.පී. අලියා නැගිට්ටවන ඇත්ගොව්වා සජිත්ද…?’

උපුටා ගැනීම - mawratanews


උ

උපුල් ජෝශප් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ දේශපාලන මාධ්‍යකරණයේ දීර්ඝ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ දේශපාලන තීරු ලේඛකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ප්‍රකටය. ඔහුගේ දේශපාලන විග්‍රහයන් ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන ප්‍රවණතා සහ බල දේශපාලනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

View all stories by උපුල් ජෝශප් ප්‍රනාන්දු
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...