1912 දී ප්රකාශිත වලිසිංහ හරිස්චන්ද්රතුමා ගේ 'සිතියම් සහිත පුරා විද්යාව' කෘතිය 2001 දී නැවත මුද්රණය කළ අවස්ථාවේ දී (මීට වසර 25කට පෙර) අපි අද මේ රජයේ අනුරාධපුරය සංවර්ධන සැලස්ම හා ඇතිවී ඇති සංවාදය පිරිසිඳ දුටුවෙමු. අපේ පුරාවිද්යාවේ කාර්යභාරය කුමක් විය යුතු දැ යි පැහැදිලි කළෙමු. මේ ඒ අවස්ථාවේ දී උක්ත කෘතියට ලියූ ප්රකාශක සටහන යි:
"බ්රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්ර තුමා ගේ මේ මාහැඟි කෘතිය මා අතට පත් වූයේ අහම්බෙනි. කුමාරතුංග මුනිදාස වියතාණන් පරිහරණය කළ පොත් අතර තිබී මා අතට පත් එය ඒ අවස්ථාවේ දී ම කියවීමට ගත්තේ මූලික වශයෙන් ම හටගත් කුතුහලය නිසා ය. අනුරාධපුර ශුද්ධ නගරය රැක දීමට අප්රතිහත ධෛර්යයෙන් ක්රියා කළ ඒ තුමාණන් මෙ බඳු ග්රන්ථයකුත් රචනා කර ඇත් ද? හැරත් එහි නම 'පුරා විද්යාව' ය. වලිසිංහ හරිශ්චන්ද්ර තුමන් ගේ නාමය පුරාවිද්යාව යන්න හා කිසි විටෙකත් අසා තිබේ ද? මීට අසූ වසරකට පෙර 'පුරා විද්යාව' නමින් පොතක් ලියුවා හෝ නොලියුවා හෝ අනුරාධපුරය රැක දුන් විරුවා ගේ නාමය පුරාවිද්යාව ගැන කතාබස් කරන විට නිතැතින් ම කියැවිය යුතු නො වේ ද? එහෙත් එ වැන්නක් සිදු නොවන්නේ මන්ද?
"පොත කියවීම ඇරැඹි පසු එය නැවත නැවතත් කියවීමට, ඒ පොත ගැන, එහි එන කරුණු ගැන හා වඩා සුවිශේෂ ලෙස ඒ කරුණු ඉදිරිපත් කර ඇති ස්වරූපය ගැන කතා-බස් කිරීමට, නොපමා ව එය යළි පාඨක ලෝකයා අතට පත් කිරීමට ඇති වන පෙලඹීම්වලින් මිදීමක් නො වී ය. මේ කෘතිය මෙ සේ බ්රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්ර තුමා ගේ 125 වන උපත් සමරු දින ම යළි පාඨකයන් අතට පත් කිරීමට හැකි වීම කෙතරම් නම් භාග්යයක් ද?
ජීවමාන සංස්කෘතිය සහ බෙල්ගේ ගැටුම
වලිසිංහ හරිශ්චන්ද්ර
"මේ කෘතිය යළි යළිත් මුද්රණය නොකෙරුණේ මන්ද, පුරාවිද්යාව හා සබැඳි ව අනුරපුර රැක දුන් උතුමා සිහි නොකෙරෙන්නේ මන්ද ආදී ප්රශ්නවලට පිළිතුරක් මේ කෘතිය යළි මුද්රණය කරන බව යම් යම් වැඩිහිටියන් හා කියූ විවිධ අවස්ථාවල දී ඔවුන් පොදුවේ කළ ප්රකාශයක අන්තර්ගත ව ඇතැයි හැඟේ. ඔවුන් කියා සිටියේ මේ පොත යළි මුද්රණය කිරීම වලිසිංහ හරිශ්චන්ද්ර තුමාට කරන ගෞරවයක් වශයෙන් හොඳ දෙයක් බව ය. ඒ තුළ මේ කෘතිය අදට අදාළ ද යන පැනය නිහඬ ව නමුත් ගැබ් වී තිබිණි.
"ජාතියක් වශයෙන් අද අප මුහුණ පා සිටින ප්රශ්න විසඳාගැනීම අප ගේ අධ්යාත්මය පිරිසිඳ දැකගැනීම හා ඒ අනුව අනාගතය ගොඩ නැංවීම මත රඳා පවතින බැවින් මේ කෘතිය අදට අත්යන්තයෙන් ම අදාළ ය. පුරාවිද්යාව සම්බන්ධයෙන් ගත් කල ද හරිශ්චන්ද්ර තුමා මේ කෘතියෙන් අප හමුවේ තබන ප්රස්තුත අදට ද සැබැවින් ම අදාළ ය. ජීවමාන සංස්කෘතියක් හා සබැඳි පුරාවස්තූන්හි හා අතීතයක් පමණක් ඇති පුරාවස්තූන්හි වෙනසක් ඇති බව හා ඒ නිසා මේ දෙ ආකාර පුරාවස්තූන් පිළිබඳ ගවේෂණ මෙන් ම සංරක්ෂණය ද එක ම ආකාරයක් ගත නොහැකි බව මෙයින් ප්රධාන ය. හරිශ්චන්ද්ර තුමා අභයගිරියේ කැණීම් සම්බන්ධ ව ඒ වක 'පුරාණ දේවල් පිළිබඳ කොමසාරිස්' වූ එච්. සී. පී. බෙල් මහතා හා ගැටෙන්නේ මේ නිසා ය. සංස්කෘතික ත්රිකෝණයෙන් ඇරැඹි බොහෝ කටයුතු මේ රට ජන හදවත් පුබුදවනු වෙනුවට ඒ හදවත්වලට පීඩා ගෙන දෙන ව්යාපෘති වූයේ ද අපේ පුරාවිද්යාවේ පදනම විය යුතු මේ ප්රස්තුතය පුරාවිද්යා දෙපාර්තමේන්තුවට සියවසක් පිරෙන අවස්ථාව වන විටත් අප නිසි ලෙස අවබෝධ කරගෙන නොතිබුණු නිසා නො වේ ද?
වැළලී ගිය සත්යය සහ ධර්ම වීරයන්ගේ ඇවැසියාව
"හරිශ්චන්ද්ර තුමා ගේ 'පුරාවිද්යාවෙන්' කියැවෙන දෙ වන ප්රස්තුතය නම් පුරාවිද්යාව අද අපේ ජීවිත හැඩ ගස්වන, ආලෝකවත් කරන විෂයක් විය යුතු බව යි; අද අපේ ජීවිතය හා සර්ව ලෙස බැඳුණු විෂයක් විය යුතු බව යි. මීට අමතර ව ඒ කල වැරැදි ලෙස හඳුනාගෙන තිබුණු පුරාවිද්යාත්මක ස්ථාන රැසක් ම නිවැරදි ලෙස හඳුන්වා දීමට මෙන් ම පැතිර තිබූ වැරැදි මතිමතාන්තර රැසක් ම නිවැරැදි කිරීමට ද හරිශ්චන්ද්ර තුමා මේ 'පුරා විද්යාව' කෘතියේ දී සමත් විය. අතීත අනුරාධපුර පුරවරයෙහි හා සාංඝික කර සංඝයා වහන්සේට පිදූ මහා විහාර භූමියෙහි පිහිටීම් වෙන් වෙන් ව දක්වාලීම, එ කල එළාර සොහොන ලෙස පිළිගත් ස්ථානය දුටුගැමුණු රජු ගේ භස්මාවශේෂ නිදන් කළ දක්ෂිණ ථූපය බව පෙන්වා දීම ඊට නිදසුන් දෙකකි. ඒ බොහෝ කරුණු පසු ව කළ පුරාවිද්යා කැණීම්වල දී තහවුරු වී ඇති නමුත් ඒ එක ද අවස්ථාවක දී වත් හරිශ්චන්ද්ර තුමා ගේ නම සිහිපත් කරනු නො පෙනේ.
"මෙහි දී මගේ සිහියට එනුයේ, '... බටහිර සංස්කෘතිය සාහිත්යය හා කිතු සසුන ද අත්වැල් බැඳගෙන සියක් අවුරුද්දකට වැඩි කලක් පවත්වන ලද අධිපතිකම අප අතර අසහනයක් විය. ඒ අසහනය ව්යවහාරයේ දී ස්වාධීන බුද්ධිය නමැති සාටෝප වේගය ගත්තේ ය' යනුවෙන් මාර්ටින් වික්රමසිංහ සූරීන් ගේ ‘උපන් දා සිට’ කෘතියේ එන කියමන යි. 'අවුරුදු දෙසියයකට වැඩි කලක සිට පැවති සංස්කෘතික හටන විසින් විනාශ කරනු ලැබූ අධ්යාත්මයත් ආත්ම ගෞරවයත් ඇති ජනකායක් පණ ගැන්වීමට ධර්මෝන්මාදයෙන් පෙළෙන ධර්ම වීරයෝ අවශ්ය වෙති' යනු එහි ම එන අදහසකි. ධර්ම වීරයන් අපට ඇවැසි බවට කවර නම් සැකයක් ද? මේ කෘතිය එ වැනි ධර්ම වීරයන් හට කෙරෙන ආරාධනාවක් වේ වා!"




