The Leader News
BREAKING
Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය●සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම●ලූවර් සහ මෙට් පරදා බිහාර් කෞතුකාගාරය ලොව මුල් දහයට●තරාදියේ වැරදි බරට නයින්වෙල්ස් රෝහලට පාරිභෝගික අධිකාරියෙන් දඩයක්●ගෝලීය උෂ්ණ කුණාටු හමුවේ මව්කුස අනතුරේ●ඇමරිකානු නිදහසට පදනම දැමූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කොළඹදී කතාබහට●ඩොලර් ලක්ෂ හතක නැව් රක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට●කිංස්බරි සීසීටීවී අර්බුදය: සරත් වීරසේකරගෙන් රු. මිලියන 100ක එන්තරවාසියක්●යුරෝපයේ රුසියානු විරෝධී හඬ බාල කරන්නැයි පෙන්ටගනයෙන් උපදෙස්●සංගක්කාරගේ පාස්පෝට් අර්බුදය: රයන්එයාර් හෙළි කළ තිත්ත ඇත්ත●
Top Ad
විශේෂාංග

Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය

Nethmini

Nethmini

October 31, 2026 • 3:59 PM

Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතර, ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව මැදපෙරදිග ගැටුම් හමුවේ තෙල් තොග පහත වැටීම නිසා 2026 වසරේදී ගෝලීය වෙළඳ භාණ්ඩ මිල 23% කින් ඉහළ යනු ඇති බවත්, බලශක්ති මිල වසර හතරක ඉහළම අගයකට පත්වනු ඇති බවත් පුරෝකථනය කර ඇත.
  • ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් නිසා GSP+ සහනය අහිමිවීමේ අවදානමක්: රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය (CCC) රජය වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
  • පැහැදිලි නිර්වචන නොමැතිකම සහ අධිකරණ අධීක්ෂණය දුර්වල වීම නිසා යුරෝපා සංගමයේ GSP+ තීරුබදු සහනය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
  • ඇඟලුම්, කොටස් වෙළඳපොළ සහ ව්‍යාපාරික පෙරළි * ඇඟලුම් අපනයනය සැප්තැම්බරයේ යථා තත්ත්වයට – එහෙත් මාස 9 ක ඉලක්කයෙන් ඩොලර් මිලියන 210 ක් පසුපසින්: ඇමෙරිකාවට සහ යුරෝපා සංගමයට කළ අපනයන ඉහළ යාම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සාර්ව ආර්ථිකය, වෙළඳපොළ සහ වෙළඳාම

තෙල් මිල ඉහළ ගියහොත් උද්ධමන පීඩනය යළිත් – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්:

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක බොරතෙල් මිල දීර්ඝ කාලයක් ඉහළ මට්ටමක පැවතුණහොත් මෙරට උද්ධමනය යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ අවධාරණය කළේය.

මේ අතර, ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව මැදපෙරදිග ගැටුම් හමුවේ තෙල් තොග පහත වැටීම නිසා 2026 වසරේදී ගෝලීය වෙළඳ භාණ්ඩ මිල 23% කින් ඉහළ යනු ඇති බවත්, බලශක්ති මිල වසර හතරක ඉහළම අගයකට පත්වනු ඇති බවත් පුරෝකථනය කර ඇත.

ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් නිසා GSP+ සහනය අහිමිවීමේ අවදානමක්:


රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය (CCC) රජය වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.

පැහැදිලි නිර්වචන නොමැතිකම සහ අධිකරණ අධීක්ෂණය දුර්වල වීම නිසා යුරෝපා සංගමයේ GSP+ තීරුබදු සහනය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. නිව්යෝර්ක් නුවර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (HRW) මෙන්ම පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ පිළිබඳව අනතුරු ඇඟවීය.

ඇඟලුම්, කොටස් වෙළඳපොළ සහ ව්‍යාපාරික පෙරළි

* ඇඟලුම් අපනයනය සැප්තැම්බරයේ යථා තත්ත්වයට – එහෙත් මාස 9 ක ඉලක්කයෙන් ඩොලර් මිලියන 210 ක් පසුපසින්:


ඇමෙරිකාවට සහ යුරෝපා සංගමයට කළ අපනයන ඉහළ යාම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස 9 තුළ අපේක්ෂිත ආදායමට වඩා ඩොලර් මිලියන 210 ක් පසුපසින් සිටී.

මේ අතර ජර්මනිය සමඟ පවතින ඩොලර් මිලියන 700 ඉක්මවූ වාර්ෂික වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

* කොටස් වෙළඳපොළ ඒකක 20,250 ඉක්මවයි (+1.49%) – සක්‍රීය ආයෝජකයින් 60,000 දක්වා පහතට:

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ ඒකක 296.93 කින් (+1.49%) ඉහළ ගොස් 20,267.15 ක් ලෙස වාර්තාගත මට්ටමකින් අවසන් විය.

S&P SL20 දර්ශකය ද ඒකක 71.63 කින් (+1.26%) ඉහළ ගියේය. 2027 දී CSE පෞද්ගලීකරණය/ප්‍රතිව්‍යුහගතකරණය (Demutualisation) අවසන් කිරීමට රජය අපේක්ෂා කරන අතර, මහජන බැංකුවේ People’s Pay හරහා ඍජුවම කොටස් ගනුදෙනු කිරීමේ පහසුකම එක්කර ඇත. එහෙත් කොටස් වෙළඳපොළේ සක්‍රීය ආයෝජකයින් සංඛ්‍යාව 150,000 ක ඉලක්කයක් තිබියදී 60,000 දක්වා පහත වැටී ඇති බව අනාවරණය වේ.

* ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සහ හරිත බැඳුම්කර:

DCSL සමාගම සිය බියර් නිෂ්පාදන සහ බෙදාහැරීම් (Heineken, Tiger, Anchor ඇතුළු දේශීය සන්නාම) සෘජුවම සිය මෙහෙයුම් යටතට ඒකාබද්ධ කර ඇත. ලංකා බැංකුව (BOC) රුපියල් බිලියන 30 ක ණයකර නිකුතුව නොවැම්බර් 3 වනදා විවෘත කරන බව නිවේදනය කළේය.

එලායන්ස් ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියනයක සමාජ සංවර්ධන මූලික "Orange Bond" නිකුත් කරන අතර, රීසස් එනර්ජි (Resus Energy) මෙරට ප්‍රථම රුපියල් බිලියනයක හරිත බැඳුම්කරය (Green Bond) ලක්සම්බර්ග් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළේය. එස්නා හොලිඩේස් (Esna Holidays) විසින් ජෝන් කීල්ස් සමූහයෙන් මැකිනන්ස් ට්‍රැවල්ස් (Mackinnons Travels) මිලදී ගෙන ඇත.

* රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි – 2027 අයවැයෙන් හදිසි දේපළ බදු පැනවීමක් නැහැ:

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 332.55/65 ක් ලෙස සුළු වශයෙන් පහත වැටුණි. වක්‍ර බදු ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඒවා සමබර කළ යුතු බවත් පිළිගත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ ඉදිරි අයවැයෙන් හදිසි දේපළ බදු (Property Tax) හෝ කම්පන සහගත බදු පැනවීම් සිදු නොවන බවයි.


මේ අතර බේරේ වැව පිරිසිදු කිරීමට රුපියල් මිලියන 2,500 ක් වෙන් කර ඇති අතර, වියළි මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 1,300 දක්වා ඉහළ ගොස් තිබේ.

අධිකරණය, අල්ලස් මර්දනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම

* හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය: ඉළඇට 3 ක් බිඳී මොළයට ලේ වහනය වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙයි – මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්:


ඔක්තෝබර් 25 වනදා හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මියගිය කිරිවත්තුඩුවේ ඉෂාර හර්ෂ කුමාර (29) ගේ මරණයට හේතුව පහරදීමකින් සිදුවූ මොළයේ රුධිර වහනය, හිසට සිදුවූ බරපතළ හානි සහ ඉළඇට තුනක් බිඳී යාම බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙන් පසු, අධීක්ෂණ දුර්වලතා හා නීතිවිරෝධී රඳවා තබාගැනීම් හේතුවෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේද (HQI) වැඩ තහනම් කර ඇත.

* රකිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී රථ අල්ලස් කොමිසමෙන් අත්හිටුවයි:

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී රථ කිහිපයක් 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පනත යටතේ අල්ලස් කොමිසම (CIABOC) මඟින් තහනම් කර ඊයේ නාවල පිහිටි ඔහුගේ නිවසට නිල නොතීසි භාරදී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ බිරිඳකගෙන් රුපියල් මිලියන 120 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කර තිබේ.

මුදල් විශුද්ධිකරණ නඩු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම්

* නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 15 ක මුදල් විශුද්ධිකරණ නඩුව 2027 පෙබරවාරියට:

එන්.ආර්. කන්සල්ටන්සි (N.R. Consultancy) ආයතනය හරහා රුපියල් මිලියන 15 ක මුදල් විශුද්ධිකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම 2027 පෙබරවාරි 11 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


* විශාල මත්ද්‍රව්‍ය වැටලීම් – කටුනායකදී රු. මිලියන 454 ක මත්ද්‍රව්‍ය; වසර 3 කදී රු. බිලියන 249 ක මත්ද්‍රව්‍ය අල්ලයි:

කටුනායක ගුවන් තොටුපළේදී කොකේන් කිලෝ 5.12 ක් සහ එක්ස්ටසි (Ecstasy) පෙති කිලෝ 13.17 ක් (වටිනාකම රුපියල් මිලියන 454) ළඟ තබාගෙන සිටි 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව රුපියල් මිලියන 677 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් කෙරවලපිටිය බලාගාරයේදී විනාශ කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024–2026 කාලසීමාව තුළ "එකමුතු දැයක්" මෙහෙයුම යටතේ රුපියල් බිලියන 249.18 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර, රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවන් 112 දෙනෙකු රටවල් 13 කදී හඳුනාගෙන ඇති බවයි.

රාජ්‍ය පාලනය, සේවා බිඳවැටීම් සහ දේශපාලනය

ප්ලාස්ටික් කාඩ්පත් හිඟයෙන් හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර මිලියන 7.5 ක් හිරවෙයි:

හිස් ප්ලාස්ටික් කාඩ්පත් (Polycarbonate) සහ මුද්‍රණ යන්ත්‍ර ප්‍රසම්පාදනයේ ඇතිවූ බරපතළ බිඳවැටීමක් හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර මිලියන 6.5 ක් මුද්‍රණය නොකර තාවකාලික කඩදාසි බලපත්‍ර නිකුත් කිරීමට සිදුව ඇති අතර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් (NIC) ලක්ෂ 10 ක (මිලියනයක) ප්‍රමාදයක් නිර්මාණය වී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංකේත වැඩවර්ජනයක් – මැදගම ප්‍රාදේශීය සභා අයවැය පරාජය වෙයි:

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ සංකේත වැඩවර්ජනයක නිරත විය. මේ අතර සියලුම ප්‍රාථමික පාසල් සඳහා සමාන පහසුකම් සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළ අතර, ඉදිරි කම්කරු නීති ප්‍රතිසංස්කරණ මඟින් සේවක අයිතිවාසිකම් ශක්තිමත් කරන බව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කර ඇත.

දේශපාලන කරළියේ විශේෂ සිදුවීමක් ලෙස ආණ්ඩු පක්ෂයේ මැදගම ප්‍රාදේශීය සභා අයවැය ඊයේ පරාජයට පත්විය.

යටිතල පහසුකම්, පරිසරය සහ කාලගුණය

කැලණි ගඟ ගංවතුර පාලන පොම්පාගාරය සඳහා ජපානයෙන් රු. බිලියන 4.56 ක ප්‍රදානයක්:

කැලණි ගඟේ ගංවතුර පාලන ජල පොම්පාගාරය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ජපන් යෙන් බිලියන 2.179 ක (රුපියල් බිලියන 4.56 ක) මූල්‍ය ප්‍රදානයක් සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ජපානය අතර ඊයේ අත්සන් තැබිණි.

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය කලින්ම නිර්මාණය වෙයි – ඇම්බර් අනතුරු ඇඟවීමක්:

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් අපේක්ෂා කළ දිනට වඩා දින දෙකකට පෙර නිර්මාණය වී ඇති බැවින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් (Amber) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ආර්නාබ් (Arnab) සුළි කුණාටුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇත.

මහියංගනයේ අලි අර්බුදය උග්‍ර වෙයි:

මහියංගනය ප්‍රදේශයේ ගම්මාන රැසකට කඩා වැදුණු 100 කට අධික වන අලි රංචුවක් හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව එන්.පී.පී. මන්ත්‍රී සුදත් බලගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනතුරු ඇඟවීය.

 
මේ අතර මැදවච්චිය ප්‍රදේශයේදී රෝගාතුරව සිටි 'තල්-ඇටයා' නමැති 6 හැවිරිදි අලි පැටවා සුවය ලබමින් සිටින බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව වෙත රැගෙන යාමට නියමිත බවත් වාර්තා වේ.


(සටහන | සම්පත් ධීරසේකර)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Diginote#GSP
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...