ආණ්ඩුවේ “ඔන්ලයින් අධ්‍යාපන” තීන්දුවට එරෙහිව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

පෙරටුව පැවැත්වූ විරෝධතාවක කෙටි විඩියෝ පටයක් ෆේස්බුක්හි දෙසැම්බර්13දා දුටිමි. 


වීඩියෝ (ඩේටා නැති, ඔන්ලයින් නැති දරුවෝ ඉගෙන ගන්නේ කොහොමද ? )

පාසල් අධ්‍යාපනය මේ වනවිට බිඳ වැටී ඇති විස්තරය සමග දරුවන්ගේ අනගාතය ගැන බිමල් රත්නායක එහිදී කියූ කතාවෙන් මට මතක් වූයේ 1988-90 කාලයේ ඔවුන් මුදා හැරි ත්‍රස්තවාදය සමග “කොළඹට කිරි - ගමට කැකිරි” උද්ඝෝෂණ විසින් පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමන්නට සිදුවූ හැටි ය. 

මෙය එවැනි අසික්කිත දේශපාලනයක් වෙනුවෙන් ළමුන්ගේ අනාගතය විනාශ කිරීමක් නොවේ. මෙය මුලු ලෝකයම මුහුණ දෙන තවමත් හරියාකාර විසඳුමක් නැති කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙහි අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයකි.

කෝවිඞ්-19 පැතිරීම නිශ්චිත ආකාරයකට පාලනය කරගත නොහැකි වාතාවරණයක අධ්‍යාපනය හැකි උපරිමයෙන් පවත්වා ගැනීමට අලුතින් සැළසුම් කළ යුතු ය. 

ඒ සඳහා ආණ්ඩුවට මාස ගණනාවක කාලයක් තිබිණ. එවැනි සැළසුමක් තවමත් පෙනෙන්නට නැත. 

ඒ වෙනුවට කොළඹ මැද පංතිකයින්ගේ “කෝකටත් තෛලය” වන ඔන්ලයින් ප්‍රවේශය ආණ්ඩුවට පහසු විසඳුමක් විය. ආණ්ඩුව ඒ විසඳුම ගුරුවරුන් හා දෙමාපියන්ගේ වගකීමක් ලෙස ඉතිරිකර ඇත.



පාසල් අධ්‍යාපනය “ටැබ්” කඳේ ගැසීමක් !

''මෙය ඇත්තටම කෝවිඞ්-19 හේතුවෙන් සොයා ගත් උත්තරයක් නොවේ. මෙය යහපාලන ආණ්ඩු කාලයේ සිට කොළඹ මැදපංතිකයින් ඔවුන්ගේ  දරුවන්ගේ අනාගතය ගණන් හදා ඉදිරිපත් කළ පණ්ඩිතමානි යෝජනාවකි. එය කර තියා ගත් අධ්‍යාපන ලොක්කන් මේ කරන්නේ පාසල් අධ්‍යාපනය “ටැබ්” කඳේ ගැසීමකි.''

කෝවිඞ්-19 වසංගතය හමුවේ වසරින් අඩක පමණ කාලයක් පාසල් වසා තැබෙන විට, ප්‍රශ්න කිරීමකින් තොරව ජාතික මට්ටමින් ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබිණ.

හන්දියේ බුලත් කඩ කලමනාකාරිත්වයෙන් නගරයේ යෝධ වෙළඳසල් සඳහා යෝජනා ඉදිරිපත් කරන ආකාරයට ජ.වි.පෙ “ඔන්ලයින් අධ්‍යාපනය” සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් කිසිවක “ඔන්ලයින් අධ්‍යාපන” අවුලට විසඳුම් නැත. 

එහෙත් “ඔන්ලයින් අධ්‍යාපනය” සමාජ අවධානයට යොමු කරන්නට මේ මොහොතේ ඔවුන්ගේ “විරෝධය” යොදා ගත හැකිවීම වැදගත්ය.

ජ.වි.පෙ ප්‍රධානියෙකු වන බිමල් රත්නායකට අනුව ඉගැන්වීම් පාසලේ පංති කාමරයේදී කෙරෙනවාද නැතිනම් වෙනත් ආකාරයකින් කෙරෙනවාද යන්න නිදහස් අධ්‍යාපනයට අදාල නැත. කේවිඞ්-19 හේතුවෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි කළ නොහැක. 

''සියලු පාසල් දරුවන්ට එබැවින් අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දිය යුතුය. දෙවැන්න වඩා පහසු අවකාශයක් වන රූපවාහිනි මගින් සියලු ළමුන්ට පාසලේ කෙරෙන පාඩම් ඉගැන්වීම ආරම්භ කළ යුතුය. ඒ ගැන බිමල් කළ විස්තරය අසා සිටින විට සිතෙන්නේ ඒවා හෙට ආරම්භ කළ හැකිය කියා ය.''

පළමුව රූපවාහිනියෙන් ඉගැන්වීම ගැන කතා කළහොත් විශේෂයෙන් ජාතික රූපවාහිනියේ අධ්‍යාපනික වැඩ සටහන් ආරම්භකර මේ වනවිට වසර 30 ක් හෝ ඊට වැඩිය.

 එහෙත් එදා පළමු වැඩසටහන සහ වර්තමානයේ වැඩසටහන් බැලුවහොත් ඒවායේ තාක්ෂණික හෝ ඉදිරිපත් කිරීමේ පිළිවෙතෙහි කිසිදු දියුණුවක් නැත. 

තවමත් කෙරෙන්නේ පංතියේ කලු ලෑල්ල වෙනුවට මැගී බෝඞ් එකක ගණන් හදමින් විස්තර ලියමින් පංතියේදී වාගේම දේශන පැවැත්වීම, කැමරාගත කර විකාශනය කිරීමය.

රූපවාහිනි යනු දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනියෙහි ඉගැන්වීමට පංතියේ කලු ලෑල්ල අමතක කර ඊට වෙනස්ව විෂයමාලා අලුතින් දෘශ්‍යකරණය කොට සකස් කළ යුතුය. 

එහි ගුරුවරයාගේ පැහැදිලි කිරීම් අවශ්‍යම විට අවම මට්ටමින් තිබිය යුත්තක් පමණි.

එවැනි රූපගත පාඩම් සකස් කිරීම එක් එක් රූපවාහිනි නාලිකා සඳහා ඉඩ නොතැබිය යුතුය. ඒවා ජාතික අධ්‍යාපනයෙහි පාඨමාලා හා විෂයමාලා අනුව සැමට පොදු අධ්‍යාපනික වැඩසටහන් විය යුතුය. 

එනිසා ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයත් රූපවාහිනි මාධ්‍ය භාවිතයෙහි විශේෂඥයෙකු (විශ්ව විද්‍යාලවල සන්නිවේදන පාඨමාලා සඳහා දේශන පවත්වන අය නොවේ) සහ පාසල්වල විෂය භාර ගුරුවර ගුරුවරියන් හවුල් කරගන්නා අධ්‍යාපන වැඩසටන් නිෂ්පාදන කණ්ඩායමක් සිටිය යුතුය. 

අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුත්තේ එම වැඩසටහන් හැකි උපරිම නාලිකා ප්‍රමාණයකින් කාල සටහනකට අනුව විකාශනය කිරීම සඳහා මැදිහත්වීමට ය.

ජ.වි.පෙ කියන අයුරු එවැනි අධ්‍යාපනික වැඩසටහන් දවසකින් දෙකකින් සම්පූර්ණ කළ නොහැක. එහෙත් රූපවාහිනිය ගැන ඔවුන්ගේ මතක් කිරීම වැදගත් ය.

“ඔන්ලයින් ඉගැන්වීම” ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. එය ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කියන පරිදි සියළුම පාසල් ළමුන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. 

ළමුන්ට උගන්වන ගුරුවර ගුරුවරියන් 2,40,000 ටද අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා නොදී ඔන්ලයින් ඉගැන්වීම් කළ නොහැක.

ප්‍රශ්නය පටන් ගන්නේ එතැනින්ම නොවේ. ප්‍රශ්නය පටන් ගන්නේ මේ රටේ තවමත් පිළිගත හැකි මට්ටමේ අන්තර්ජාල සංස්කෘතියක් (IT Culture) නගරයේද නොමැතිවීමෙහිය.

Sdasd

ටැබ් හෝ “සුපිරි දුරකතන” (Smart phones) අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව “සෙල්ෆි” ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆේස්බුක්හි හැමකටම “ලයික්” කරන්නට හා “ෂෙයා” කරන්නටත් පමණි. 

ටැබ් හෝ “සුපිරි දුරකතන” (Smart phones) අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව “සෙල්ෆි” ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆේස්බුක්හි හැමකටම “ලයික්” කරන්නට හා “ෂෙයා” කරන්නටත් පමණි. 

මේ බොහෝ දෙනාට විද්‍යුත් තැපෑලක් යවා, කතාකර නොකීවහොත් එය බැලෙන්නේ නැත. 

ජනමාධ්‍යවේදීන් අතරත් තමන් අත ඇති “සුපිරි දුරකතනයෙන්” ගූගල් කර සොයා ගත හැකි තොරතුරු සඳහා මට ඒ දුරකතනයෙන්ම කතා කරන අයද සිටිති. ඔන්ලයින් අධ්‍යාපනය එවැනි පසුගාමී නාගරික සමාජයන්හි සාර්ථක වන්නක් නොවේ.

දෙවැන්න, ඔන්ලයින් අධ්‍යාපනය යනු කවරක්දැයි ගුරුවරු තබා බොහෝ විශ්ව විද්‍යාල ඇදුරන් දන්නේද නැත. 

'තවමත් සියල්ලන් සිතා සිටින්නේ ඔවුන් පංතියේ හෝ දේශනාගාරයේ කළ කතා පරිඝණයක, ටැබ් එකක කැමරාව ඉදිරියේ එළෙසින් කිරීම “ඔන්ලයින් ඉගැන්වීම්” කියා ය. ''

ඔන්ලයින් ඉගැන්වීම් යනු එක ගොන්නකට පංති කාරමයකදී ඉගැන්වූ පාඩම, දැන් නිවෙස්වල විසිර ඉන්නා ළමුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම ය. 

ඒ සඳහා යොදා ගත හැකි වෙබ් වේදිකා මෙවලම් ගණනාවක්ම ඇත.

එවැන්නක් තමන්ගේ පරිඝණකයට, ටැබ් එකට හෝ සුපිරි දුරකතනයට බහා ගත යුතුය. 

ඉන් භාවිතයට වඩාත් පහසු මෙවලම වන්නේ කුමක්දැයි සහ එය භාවිත කිරීම පිළිබඳව අති බහුතරයක් ගුරුවර ගුරුවරියන්ට, විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන නිලධාරීන්ට දැනුමක් නැත. 

එය ඔවුන්ගේ වරදක් නොවේ. විශ්ව විද්‍යාල, අධ්‍යාපන පීඨ හා පරිපාලන සේවා පුහුණුවීම් වලදී මෙතෙක් එවැනි දැනුවත් කිරීමක් හුරුවක්, පුහුණුවක් කිසිවකුට ලබාදී නැත.

ඔන්ලයින් ඉගැන්වීමද ඉතා සියුම් දෘශ්‍ය මාධ්‍ය යොදා ගෙන කළ යුත්තකි. එබැවින් රූපවාහිනියට වඩා ප්‍රවේසමෙන් නිසල රූප, සජීවී රූප, පෝසටර ආදිය සමීප රූප ලෙස යොදාගෙන පාඩම් සංවිධානය කළ යුතුව ඇත.

 නිවසේ සිටින ළමුන් පාඩම සඳහා හසුරුවා ගැනීමටද ගුරුවරයා හෝ ගුරුවරිය සතු විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. 

xcswdනිවසේ සිටින ළමුන් පාඩම සඳහා හසුරුවා ගැනීමටද ගුරුවරයා හෝ ගුරුවරිය සතු විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. 

පාඩම සංවිධානය කර ගැනීමේදී ළමුන් පාඩමෙහි හවුල්කරුවන් කර ගැනීමද ඔන්ලයින් ඉගැන්වීමේ අවශ්‍යතාවයකි. 

එවගේම ළමුන්ට හා ගරුවරුන්ට ඔන්ලයින් පාඩම් පාසලේදී මෙන් එක දිගට පැය 05 ක් තබා පැයක්වත් කළ නොහැක.

 තාක්ෂණික දැනුම සමග එවැනි සියලු කාරණා පිළිබඳව අවම දෙසතියක අලුත් පුහුණුවක් ගුරුවරුනට ලබා නොදී ඔන්ලයින් අධ්‍යාපනයක් හරියාකාරව ආරම්භ කිරීමටවත් නොහැක.

ජ.වි.පෙ බිමල් රත්නායක ඉල්ලා සිටින නොමිලේ අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ කතාව අදාල වන්නේ එවැනි අනෙක් සියල්ල සම්පූර්ණ වන විටය. 

සියල්ලන්ට “සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති නිදහස් අධ්‍යාපනයක් ගැන කතාව හමුවන්නේ එවිටය. දැනටත් නිදහස් අධ්‍යාපනය යනු “සියල්ලන්ට සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති පාසල් අධ්‍යාපනයක් නොවන හෙයින් සහ ඒ ගැන කිසිවකුගේ අවධානයක්ද නොමැති හෙයින් බිමල් රත්නායකගේ ඉල්ලීම් ගැන කියවෙන්නේ දේශපාලන ඉල්ලීම් ලෙසින් පමණි. 

එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය සමග අලුතින් පාඩම් සැකසීම, ඒවා ඉගැන්වීමට පුරුදු පුහුණු ගුරු සේවාවක් සිටීම, අන්තර්ජාල පහසුකම් හා අනතුරුව ඬේටා ප්‍රමාණ සියල්ලන්ට එක හා සමානව තිබීම වැනි මේ සාධක සියල්ල සම්පූර්ණ නොවන්නේ නම්, නිදහස් අධ්‍යාපනයෙන් අතහැර දැමෙන ළමුන් සංඛ්‍යාව අතිශය විශාල වනු ඇත.

දැනට පාසල් විවෘතකර ඇති පළාත් දෙකක ප්‍රධාන නගර දෙකක ලොකුම පාසල් කිහිපයේ ඔන්ලයින් ඉගැන්වීම් ගැන ඉකුත් සතියේ මා කළ විමසීම් හා විපරම් කිරීම් වලට අනුව, පාසලක දහය වසර සිසු සිසුවියන් 170 ක් 200 ක් අතුරින් පාසල් පැමිණ සිටි ළමුන්ද ඇතුළුව ඔන්ලයින් ඉගැන්වීම් වලට එකතුවී තිබුණේ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවකි. දළ වශයෙන් සියයට 25 ක් පමණය. 
එහි සරළ තේරුම එතරම් ජනප්‍රිය නොවන පාසල්වල සහභාගිත්වය ඊටත් වඩා අඩු බවය. 

ඔන්ලයින් පංතිවලට හවුල්වන මේ ළමුන් අතරින් අඩක් පමණ එසේ හවුල් වන්නේ එම පහසුකම් අඩුවක් නැතිව තිබෙන හෙයින් නොවේ. තම දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ පවත්වාගෙන යා යුතු යැයි කැප කිරීම් කරන දෙමාපියන් ප්‍රතිශතයක්ද ඉන්නා හෙයිනි.


ආණ්ඩුවට බල කර කිව යුතු කරුණු !

එබැවින් ඔන්ලයින් අධ්‍යාපනය සියල්ලන්ට අර්ථයක් ඇති ආකාරයෙන් සංවිධානය කිරීමට ආණ්ඩුවට බල කර කිව යුත්තේ,

  1. රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් අලුතින් සැළසුම්කර නිෂ්පාදනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට  මාසයක උපරිම කාලයක් ලබාදී එය නියාමනය කිරීමටත්
  2. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පරිපාලකයින්ටත් විදුහල්පතිවරුන්ටත් ගුරුවර ගුරුවරියන්ටත් ඔන්ලයින් අධ්‍යාපනය ගැන අවම දෙසතියක කඩිනම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් වැදගත් ලෙස සංවිධානයකර පැවැත්වීමටත්
  3. දැනට අධ්‍යාපන පීඨවල ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව අවම මාසයක විශේෂ පුහුණු වැඩසටහනක් ඇතුළත් කිරීමටත්
  4. පවුලේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩු පවුල්වල පාසල් දරුවන්ට හා සියලු ගුරුවර ගුරුවරියන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණයක් නොමිලේ ලබා දීමටත් 

නොපමාව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමගින් පියවර ගැනීමට ය. 

එවැනි පියවර නොගන්නේ නම්, කෝවිඞ්-19 වසංගතයෙන් ආරක්ෂිතව මේ ළමුන්ගේ අධ්‍යාපනය සැළසුම්කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ලබන ජනවාරියට පෙර ආණ්ඩුව ජනතාවට පැහැදිලිකර කිව යුතුය.

Kusal Perera j(කුසල් පෙරේරා)
සමාජ හා දේශපාලන විශේලේෂක හා ප්‍රවීන මාධ්‍යවේදී

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්