ශරීර ස්වභාවය අපහාසයට ලක් කිරීම (body shaming) යනු කුමක් ද?
 
 
ඔබේ බාහිර පෙනුම වෙනස් කිරීමට කොපමණ වාර ගණනක් උත්සහ කර ඇත්දැයි ඔබ කවදා හෝ නතර වී සිතා බලා තිබේද?
 
ඔබේ දිවි පෙවෙත, ස්වභාවික රූපය, ආර්ථික මට්ටම ගැන කිසිවක් නොදන්නා, මාධ්‍ය ඔස්සේ උපදෙස් දෙන පිරිස, පළ වෙන ලිපි, වීඩියෝවල ඇත්තේ බර අඩු කර ගැනීම, ක්ෂණිකව සිහින් වී ශරීරයේ 'අඩුපාඩු' සඟවා ගැනීම සහ මුහුණේ, සමේ වර්ණය, හැඩය වෙනස් කර ගැනීමේ ඉඟිය.
 
මේ දේවල් අනුගමනය කිරීමට කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැඩි ලෙස වෙහෙසෙන බව නොරහසකි.
 

Fat

 
ස්වභාවික ලස්සන ගැන තමන් සෑහීමකට පත් නොවීමට වඩා බොහෝ දෙනෙකුට මෙහි දී බලපාන්නේ සමාජයෙන් සහ පවුලේ අයගෙන් අසන්නට ලැබෙන විවේචනය.
 
යම් කෙනෙකුගේ ශරීර අංගයක් හෑල්ලුවට, උපහාසයට ලක් කිරීම මෙන්ම සංසන්දනය කිරීම මගින් ඇතිවන මානසික පීඩනය සිය සිරුරේ වෙනස්කම් සිදු කර ගැනීම සඳහා පොළඹවන බව බීබීසී සිංහල සේවය සමග සිය අදහස් බෙදා ගත් බොහෝ දෙනෙක් පැවසූහ.
 
නමුත්, මෙම මාතෘකාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට පුළුල් අවබෝධයක් නොමැති බව ද මෙම සාකච්ඡාවල දී වැටහිණි.
 
 
"මට බයයි"
 
"මම උස අඩි 5.2යි වුණාට ශරීරයේ බර කිලෝ සීයට ළඟයි, හම කළුයි. පොඩි කාලයේ ඉඳන්ම මම මේ වගේමයි. ඒක නිසා මට සමාජය විතරක් නෙමෙයි පවුලේ අයත් අනන්ත අප්‍රමාණ අපහාස කරලා තියෙනවා. ඊරි, බතලි, තඩිච්චි, මස් කඳ කියන වචන මට දැන් සාමාන්‍ය දේවල් වෙලා. ඔයාටත් ඕනේ නම් මට එයින් නමක් කියලා අමතන්න පුළුවන්," සිනාසෙමින් කියූ ඇය සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.
  116506453 gettyimages 936641848 170667a
"මිනිස්සු නිහඬව ජීවිතය විඳවනවා" (ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)
 
"වයස 31ක් වුණත් මම අවිවාහකව ඉන්නේ මේ හේතුව නිසයි. මට බයයි මම මහත, කැත නිසා මාව කෙනෙක් දාලා යයි කියලා. කොහොමත් මගෙන් කිසි කෙනෙක් යාළු වෙන්නවත් අහලා නැහැ. මගේ ෆේස්බුක් එකේ පින්තූර දාන්නේ ෆිල්ටර් එකක් එක්ක. හැබැයි ඇත්තට මාව කෙනෙක් දැක්කොත් බය වෙයි කියලා මට හිතෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.
 
 
ශරීර ස්වභාවය අපහාසයට ලක් කිරීම විවිධ ආකාරවලින් දැක්විය හැකිය:
 
#  අනවශ්‍ය විනිශ්චයකට එළඹීමෙන් හෝ වෙනත් පුද්ගලයෙකු සමඟ සැසඳීමෙන් ඔබේ පෙනුම විවේචනය කිරීම. ("අපෝ අපේ දුවටනම් සාරි ඇන්දහම හරිම හැඩයි. ආසාවේ බෑ. මට දුකයි ඔයාගේ දුව ගැන. කිසි ඇඳුමක් හරියන්නේ නැහැ නේද," අතුරුගිරිය ප්‍රදේශයේ දිවි ගෙවන සනෝජා වික්‍රමසිංහ සිය මව සමග සිටින විට යාබඳ නිවසේ කාන්තාවක පැවසූ දෙයකි)
 
#  අදාළ පුද්ගලයා ඉදිරිපිටම ඇය හෝ ඔහුගේ පෙනුම විවේචනය කිරීම ("මේ බලන්නකෝ මෙයාගේ කොණ්ඩේ හැටි. හීනි වෙලා. ඇඟත් වැහැරිලා ගිහින්. ඇයි මහත්තයා කන්න දෙන්නේ නැද්ද?," මිනෝලි යන නමින් පමණක් තමන් හඳුන්වන මෙන් ඉල්ලා සිටි කාන්තාවක තමන්ට අසන්නට ලැබුණු දෙයක් පැවසුවාය)
 
#  අදාළ කෙනාගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ පෙනුම විවේචනය කිරීම ("බලන්නකෝ අර ගැහැණු කෙනාගේ කැත. බ්‍රෑන්ඩ්වලින් ඇඟ වහගන්න ට්‍රයි කළාට වැඩක් නැහැ. මටනම් අප්පිරියයි," යම් කාන්තාවක් ගැන මගේ මිතුරියක දිනක් පැවසූ දෙයකි)
 
 
කාන්තාවන් විතර ද?
 
මෙවන් අපහාස ප්‍රධාන වශයෙන් කාන්තාවන් ඉලක්ක කර සිදු වුවත්, පුරුෂයින් අතර ද එය දැඩි ලෙස මනසට බලපාන කාරණයක් බවට පත්ව තිබේ.
 
"මගේ සහෝදරයා මට වඩා ලස්සනයි, ඇඟ හරි හැඩයි. හැබැයි මම ඉගෙනීම අතින් ඉහළයි නමුත් උස මහතයි, කළුයි මුහුණේ කුරුලෑ පිරිලා. පොඩි කාලයේ ඉඳන් අම්මයි තාත්තයි මාව සහෝදරයාගේ රූපයට සමාන කරනවා. අපිත් කැමතියි අපේ පුතාලා දෙන්නම එකවගේ ලස්සනයි කියලා මිනිස්සු කියනවනම් කියලා නිතර කියනවා," සිය නම හෙළි කිරීමට අකමැති වූ පුරුෂයෙකු පැවසීය.
 
  116506455 rebeccahendinbbcthree
ඡායාරූප මූලාශ්‍රය, REBECCA HENDIN / BBC THREE
 
"මේ ප්‍රශ්නය නිසා ඇතිවුණ මානසික බලපෑම වැඩියෙන්ම දැනෙන්න ගත්තේ විවාහ වුණාම. මගේ බිරිඳට මාව අප්පිරියා වෙයි කියලා නිතර හිතෙනවා. ලිංගික එක්වීමක දී පවා මේ නිසා මම අපහසුවෙන් ඉන්නේ," ඔහු තවදුරටත් පැවසුවේය.
 
මිනිසුන් සියලුදෙනා එක වගේ විය යුතු ද?
 
බොහෝ වෙබ් අඩවි, සමාජ මාධ්‍යජාලා, සඟරා සහ වෙළඳ දැන්වීම් මෙම හානිකර හැසිරීම් සාමාන්‍යකරණය කිරීම හේතුවෙන් තවදුරටත් විවිධ පුද්ගලයන් මෙවන් මානසික පීඩාවන්ට ගොඳුරු වන බව සමාජ විද්‍යා උපාධිධාරිණියක වන රුවනි අමරසේන පැවසුවාය.
 
"අපේ ශරීරය සම්බන්ධයෙන් තියෙන ලිපියක් නැත්නම් කෙනෙක් දෙන උපදෙසක් හැම වෙලාවෙම පදනම් වෙන්නේ මේ තියෙන ශරීරය වෙනස් කරගන්නේ කොහොම ද කියන එක ගැන. මහත් වීම, කෙට්ටු වීම, හමේ පාට, පැල්ලම්, වෙනස්කම් මේ හැම දේම කැතයි කියන දේ තමයි අපිට නිතර දකින්න ලැබෙන්නේ. සෞඛ්‍ය සම්පන්නව සිටීම ගැන කියනවාට වඩා ලස්සනට ඉන්න නම් මෙහෙමයි ඉන්න ඕනේ කියන එකයි කතා වෙන්නේ."
 

ladyමුහුණ පුරා රැවුල වැවෙන කාන්තාවක වන හර්නාම් කවුර් ශරීර ස්වභාවය අපහාසයට ලක් කිරීමට එරෙහිව හඬ නගන්නියකි.
(ඡායාරූප මූලාශ්‍රය, PAUL MICHAEL HUGHES/GUINNESS WOR)

"මේ දේවල් විශාල පිරිසක් ගන්නේ වැරදියට. මනුස්සයෙක් නම් ඉන්න ඕනේ මේ විදිහටයි කියලා ආකෘතියක් හදා ගන්න ඔවුන් තවත් අයව අපහසුතාවට පත් කරන්න පෙළඹෙනවා. බොඩි ෂේමින් කියන මාතෘකාවවත් ශ්‍රී ලංකාවේ පුළුල්ව කතා වෙනවා මට ඇහිලා නැහැ. ඒ වෙනුවට අපහාස විඳීම සහ විඳවීම සාමාන්‍යකරණය වෙලා."
"නමුත් මිනිස්සු නිහඬව විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය.
 
 
නිශේධනීය සහ ප්‍රකෝපකාරී අදහස්
 
වර්තමාන සමාජයේ වැඩි පීඩනයක් එල්ල වන්නේ සමාජ මාධ්‍ය ජාල හරහාය. එහි සිටින ප්‍රසිද්ධ චරිත මෙන් සිය රූපය වෙනස් කර ගැනීමට බොහෝ දෙනෙක් උත්සහ කරති.
 
එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලවලින් එල්ල වන සෘණාත්මක සහ ප්‍රකෝපකාරී අදහස් නිසා තරුණ තරුණියන් ඔවුන්ගේ ශරීරයේ වෙනස්කම් සිදුකිරීමට සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රියාමාර්ගවලට ද යොමු වෙති.
 
"මම හරිම කෙට්ටුයි. මුහුණ එහෙම ටිකක් යටට බැහැලා තියෙන්නේ. නමුත් මට කිසිම අසනීපයක් නැහැ. හැබැයි ෆේස්බුක් එකේ දාන පින්තූරවලට මට නිතරම අහන්න ලැබෙන්නේ 'ඔච්චර කෙට්ටු ඇයි, සුළි සුළඟට ගහගෙන යයි වගේ' දේවල්'," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසුවාය.
 

 116506569 gt(ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)

"සමහර පිරිමි මගේ ශරීර කොටස් ගැන උපරිම අපහාස කරළා මැසේජ් එවනවා. මේ දේවල් නිසා මම ලොකු දුකක් විඳිනවා. මහත් වෙන්න කියලා බෙහෙත් ගන්නවා, උපරිම කෑම කනවා."
 
"මේ වගේ අපහාසවලින් තවත් ජීවිතයක් විනාශ වෙනවා කියන එක ගැන සමාජය දැනුවත් වෙන්නම ඕනේ. පිටරටවල මේක වැරද්දක් හැටියට පිළිගත්තත් අපේ රටේ මේ දේවල් සාමාන්‍යය විහිළු බවට පත් වෙලා," ඇය තවදුරටත් පැවසීය.
 
 
සොබාදහමට අවනත වෙමු ද?
 
යම් පුද්ගලයෙකුට වැදගත් වන්නේ ස්වභාවයෙන් ලැබුණු පෙනුම වෙනස් කිරීමට නොව, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් ගත කිරීම පමණක් බව වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය.
 
 116506571 gettyimages 498058082 170667a
"සෞඛ්‍ය සම්පන්න ශරීරයකුයි වැදගත් වන්නේ" (GETTY IMAGES)
 
"ස්වභාවික ශරීරය වෙනස් කරන්න යාමේ දී සෑහෙන අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් මේ දේවල් නිසා ඉක්මණින් මියගිය අවස්ථා ඕනෑ තරම් තියෙනවා. හිත ශක්තිමත් කරගෙන තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්න."
 
"සෞඛ්‍ය සම්පන්න ශරීරයකුයි වැදගත් වන්නේ, නැතුව සොබාදහට පිටින් ගිහින් ජීවිතය කෙටි කර ගැනීම නොවේ," වෛද්‍යවරිය පැවසීය.
 
 
අපහාසය පීඩාවක්
 
මනෝ විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, වෙනත් ඕනෑම හිරිහැර කිරීමක දී මෙන්ම මෙහිදී ද ඔබ සාධනීය ලෙසින් ඔබ වෙනුවෙන් පෙනී සිටීම අතිශය වැදගත්ය.
 
 සිය සිරුරට, පෙනුමට ආදරය කිරීමට පුරුදු වීම වැදගත් වන අතර සමීපතයන්ගෙන්, සමාජයෙන් එල්ලවන නිශේධනීය අදහස් හැකිතාක් ඉවත දැමීමට ක්‍රියා කළ යුතුය.
 
මෙය සාමාන්‍ය උපහාසයක් නොව අපහාසයක් වන අතර, එක් වචන පෙළකින් යම් පුද්ගලයෙකුගේ දිවි පෙවෙත සම්පූර්ණයෙන් විනාශ කළ හැකි බව නිරන්තරයෙන් මතක තබා ගැනීම වැදගත්ය.
 
සමාජ මාධ්‍යවල යම් පුද්ගලයෙකු මේ ආකාරයේ අපහාසාත්මක යමක් පළ කළහොත් නුසුදුසු අන්තර්ගතයක් ලෙස එය වාර්තා කළ හැකිය. එවිට අදාළ සමාගමෙන් එය ඉවත් කිරීමට ක්‍රියා කරනු ඇත.
 
මෙවැනි දේ පාලනය කිරීමට නීති රීති නොමැත. අන් අයට ගෞරව කිරීම සහ ස්වයං පාලනයක් ඇති කර ගැනීම වැදගත් වන අතර, එයින් තවත් පුද්ගලයෙකු පීඩාවට පත් වීම වැළකෙනු ඇත.
 
'අනෙකාට එක ඇඟිල්ලක් දිඟු කිරීමේ දී තමන්ගේ දෙසට ඇඟිලි හතරක් යොමු වී ඇතැයි' යන්න නිරන්තරයෙන් සිහියේ තබාගත යුතු වැකියකි.
 
 116506573 bbc
 
'තමන් හිසට තම අතමය සෙවණැල්ල'
 
"මම මහත මිටි කෙනෙක්. මගේ පපුව ටිකක් පහතට වැටිලා තියෙන්නේ. පොඩි කාලයේ ඉඳන් ඇහුණු දේවල් එක්ක මම හිතුවා කවදාහරි ඇඟටම ප්ලාස්ටික් සැත්කමක් කරනවා කියලා," සිය නම හෙළි නොකරන්නැයි ඉල්ලීමක් කරමින් තවත් කාන්තාවක් පැවසුවාය.
 
"ඔන්ලයින් පින්තූරයක් දැම්මහම මට ලැබුණේම මහා දරුණු කොමෙන්ට්ස්. මේවා උපරිමයට ගිහින් මම සෑහෙන මානසිකව කඩා වැටුණට පස්සේ, තනියම හිතන්න ගත්තා. යමක් තේරුම් ගන්න පුළුවන් අයගෙන් උපදෙස් ගත්තා. ටික ටික ශක්තිමත් වුණා. අද මට යමක් කියන්න එන අයට ඒ සිදු කරන්නේ නරක ක්‍රියාවක් කියලා කෙලින්ම කියනවා, නැත්නම් බ්ලොක් කරනවා."
 
"මහත වහගන්න නෙමෙයි, මම කැමති ලස්සන දේවල් අඳින්න ගත්තා. ලස්සන කියන දේ මම කැමති විදිහට තියාගන්න පුරුදු වුණා. කවදාවත් විවාහ වෙන්න බැහැ කියලා හිතපු මම විවාහ වුණා. දැන් පුතෙක්ගේ මවක්," ඇය තවදුරටත් පැවසුවාය.
 
(දැහැමි රණවීර - බීබීසී සිංහල)
 

 


 

මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු  අඟවලා 
 
 
 
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්