1200 x 80 DMirror
 
 

අප මේ ගත කරමින් සිටින්නේ වෙසක් සතියයි. පසුගිය වසරේ වගේම මේ වසරේත් වෙසක් සමරන්නට

මෙරට බෞද්ධයන්ට හැකියාවක් නොලැබුණේ කොවිඩ් 19 රෝගයේ බරපතළකම නිසා බව අප කවුරුත් දන්නා කාරණයකි. 

අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම බොහෝ සංස්කෘතික උත්සව, ජාත්‍යන්තර සම්මේලන සියල්ලම පාහේ අක්‍රිය වී ඇත්තේ මේ වසංගත රෝග තත්ත්වය නිසා බැවින් ඒ පිළිබඳව කාටවත් බරපතළ ප්‍රශ්නයක් නොමැති බව පැහැදිලිය. 
 
මේ සතියේ සංස්කෘතික වැදගත්කම ගැන මුලින්ම සටහනක් දැම්මේ මෙවර කිවිදා දැක්මෙන් වෙසක් උත්සවයට සම්බන්ධ කිසිවක් ලියන්නට ඉඩක් නොලැබෙන හෙයිනි.
 
මේ සතියේ කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ වරාය නගරය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ඇති විය හැකි දේශපාලන, ආර්ථික තත්ත්වය පිළිබඳවයි. 
 
 
ඉන්දීය දේශපාලනයේ අනාගත හැසිරීම !
 
jghfg
 
මේ සටහනින් සාකච්ඡා කරන කරුණු එකින් එක පැත්තකින් අවධානය යොමු කරන්නේ වරාය නගරය හරහා මෙරට ආර්ථිකයේ ඇති විය හැකි යැයි අප බලාපොරොත්තු වෙන සංවර්ධනය හේතුවෙන් කලාපීය දේශපාලන බල ව්‍යාපාතිය තුළින් අපටම එරෙහිව මතු විය හැකි සමහර කාරණා පිළිබඳව වන අතර, එය ඉන්දීය දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබඳ මා උපකල්පනය කරන කරුණු කිහිපයක් යැයි සිතීමේ වැරැද්දක් ද නැත.
 
මෙහිදී පළමුවෙන්ම කිව යුතු කාරණය වන්නේ ආණ්ඩුව වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට ලබාදෙන මූලිකත්වය සහ විශේෂත්වය මගින් පෙන්නුම් කෙරෙන්නේ මීළඟ වසර කිහිපය තුළ මෙරට ආර්ථික සංවර්ධනයේ එක් කේන්ද්‍රීයම කලාපයක් වන්නේ මේ ව්‍යාපෘතිය වන බවය.
  
මගේ මෙවර 'කිවිදා දැක්මේ' සාකච්ඡා කරන මූලිකම කාරණය වන්නේ වරාය නගර ව්‍යාපෘතිය මීළඟ අදියරට යන විට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදු විය හැකි සමහර අභියෝග කිහිපයක් පිළිබඳව සටහනක් කිරීමය. 
 
වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් රටේ මතු වූ සංවාදය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ මේ කලාපයට වෙනම නීති පද්ධතියක් හැදීමෙන් රටේ ඒකීයත්වයට තර්ජනයක් වේවි ද වැනි කාරණා මිස මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාමේදී ඇති විය හැකි කලාපීය දේශපාලන බලපෑම් පිළිබඳව නොවේ. 
 
මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නම් නෛතික ක්ෂේත්‍රයේ සිදු කළ යුතු වෙනස්කම් වගේම කලාපීය භූ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව අපේ ඇති අවධානය වෙනස් කරගැනීමේ අවශ්‍යතාවයි.
 
 jr විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදුන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 
 
 
අපේ රටේ ආර්ථිකය නිදහස් වෙළෙඳපොළ ක්‍රමයකට ගියේ 1977 දේශපාලන තීරණයක් නිසා බව කවුරුත් දන්නා කරුණකි. 
 
එහෙත් ඒ නිදහස් ආර්ථික මොඩලයෙන් රටක් ලෙස අපේ රටට ළඟා කරගත හැකිව තිබූ ජයග්‍රහණ නොලැබී ගිය බව ද මේ වනවිට රටේ ආර්ථිකයෙන් පෙනී යන කාරණයකි. 
 
විවෘත ආර්ථික ක්‍රමයක් දකුණු ආසියාවේ රටවල් අතරින් මුලින්ම අත්හදා බැලුවේ අපේ රටේ වුවත් විවෘත ආර්ථිකයක ජයග්‍රහණ ලැබූ අනෙක් රටවල් අතරින් අප සිටින්නේ ඉතාමත් පහළ තැනකය. අපට රටක් ලෙසින් මෙහෙම වූයේ ඇයි දැයි නැවත වතාවක් විමසිය යුත්තේ වරාය නගරය ව්‍යාපෘතිය හරහා දරන උත්සාහය සාර්ථක කරගැනීමට ඒ පරණ පාඩම් උදව් විය හැකි නිසාය.
  
සමහරුන් සිතන්නේ අපේ ආර්ථිකය පහළට වැටුණේ විවෘත වෙළෙඳපොළ ක්‍රමයකට මාරු වූ නිසා කියාය. ඒ අය තර්ක කරන්නේ විවෘත වෙළෙඳපොළ ක්‍රමය නොතිබුණා නම් අපේ ආර්ථිකයට මීට වඩා ශක්තිමත් විය හැකිව තිබූ බවය. මේ තර්කය ගේන්නේ එක්කෝ වාමාංශිකයෝය. නැත්නම් ජාතිකවාදීහුය.
 
හුදු වාමාංශිකවාදයෙන් හෝ හුදු ජාතිකවාදයෙන් මුසපත් වූ කණ්ඩායම් ගෙනෙන ‘‘විවෘත වෙළෙඳපොළ’’ විරෝධයට පදනමක් තිබෙනවා යැයි මා සිතන්නේ නැත. වෙළෙඳපොළ ක්‍රමය නිදහස් කළ බොහෝ රටවල් ලබාගත් ජයග්‍රහණ අපේ රටට ලබාගැනීමට නොහැකි වූයේ ක්‍රමයේ වැරැද්දක් නිසා නොව අපේ වැරැද්දක් නිසාය.
  
1977න් පසු දේශපාලන ආර්ථිකයේ සිදු වූ ඒ වැරැද්ද වරාය නගරය ව්‍යාපෘතිය වැනි ශක්තිමත් අලුත් ව්‍යාපෘති හඳුන්වා දීමේ යළිත් මතු කරගැනීම ඉතාමත් අවශ්‍ය වන්නේ මෙවර අපේ ආර්ථික හා දේශපාලනික උපක්‍රම ජයග්‍රහණයෙන් කෙළවර කරගත යුතු නිසාය.
 
මගේ තේරුම් ගැනීම වන්නේ 1977 විවෘත ආර්ථික මොඩලය හඳුන්වා දීමෙන් අපි පටන්ගත් ව්‍යාපෘතිය සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාදීමට නොහැකි වූයේ ඒ දේශපාලන හා ආර්ථීක ප්‍රතිසංස්කරණවල අභ්‍යන්තරයේ තිබෙන සාධක කිහිපයම එක සමාන ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට රටක් ලෙසින් අප අසමත් වූ නිසා බවයි. 
 
මෙහිදී වැදගත් වුණු සාධක 4ක් තිබූ බව මගේ මතයයි. 
 
එනම්, 
(1) ආර්ථික ප්‍රතිසංස්කරණ (විවාත ආර්ථික මොඩලය), 
 
(2) ජාත්‍යන්තර සම්බන්ධතාවල නව දෘෂ්ඨි කෝණය (ඉන්දියාව කළමනාකරණය කිරීම), 
 
(3) ජන වාර්ගික ප්‍රතිපත්තියේ ප්‍රතිංසස්කරණය (සිංහල දෙමළ ගැටලුව), 
 
(4) ආණ්ඩුක්‍රමයේ ප්‍රතිසංස්කරණ (1978 නව ව්‍යවස්ථාව) යන සාධක 4යි.
 
සරලව ගතහොත් අපේ රටේ 1977න් පසු වසර 40ක ඉතිහාසය පුරා අඩු වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ මේ සාධක 4 කළමනාකරණය කරගැනීමේ නොහැකියාව පිළිබඳ කතාන්දරය බව මගේ අදහසයි. 
 
  
වර්තමානයේ සහ අනාගතයේ රටක් ලෙසින් අපට මුහුණ දෙන්නට සිදු විය හැකි සමහර අභියෝග ජය ගන්නට නම් 1977 සිට අපේ රටේ ක්‍රියාත්මක වූ මේ විවෘත වෙළෙඳපොළ ක්‍රමයේ ‘අතපසුවීම් සහ නොසලකා හැරීම්’ නිවැරැදිව අවබෝධ කරගත යුතු බව මගේ අදහසයි.
 
dream
ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත්කිරීමේ සිහිනය....
 
 
1977 ජයවර්ධන රජය කල්පනා කළා යැයි දැන් සිතෙන්නේ ආර්ථික සාධකය ඉදිරියට ගෙන අනෙක් සාධක 3 පසෙකට තල්ලු කිරීමෙන් දකුණු ආසියාවේ සිංගප්පූරුවක් බවට පත්වීමේ හැකියාවක් ඇති බවයි. 
 
ඒ නිසා ඒ රජය 1978 අලුත් ව්‍යවස්ථාව ගෙන ඒම හරහා රට තුළ විවෘත ආර්ථිකයට ගැළැපෙන ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කරගැනීම යැයි ඒ අය අදහස් කළ ප්‍රතිසංස්කරණයෙන් එහාට අනෙකුත් සාධක පිළිබඳ නොසලකා හැරි බව ඉතාමත් පැහැදිලිව පෙනී යන බව මගේ මතයයි.
 
දැන් මා මුලින් කියූ කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන සාධකය ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගත්තේ මේ තත්ත්වය තුළ බව පෙනී යන වැදගත්ම කාරණයයි. 
 
  
වෙනත් ලෙසකින් පැවැසුවහොත් ඉන්දියාව කළමනාකරණය කිරීම මඟහැර යාමේ තත්ත්වය විසින් උතුරු-නැගෙනහිර දේශපාලනය රටේ ආර්ථික සංවර්ධනයට එරෙහිව නරක තැනකට තල්ලු කිරීමට කලාපීය දේශපාලන බලවතුන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී පෙනී යන කරුණයි.
  
ඒ නිසා වරාය නගරය ව්‍යෘපාතිය වැනි ශක්තිමත් ආර්ථික වැඩසටහනක් වෙත රජය ගමන් ගන්නා මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණයක් ලෙසින් පෙනී යන්නේ කලාපීය දේශපාලන කළමනාකරණය කිරීමේ සාධකයයි. 
 
වරාය නගරය ව්‍යාපෘතිය පටන් ගන්නා මේ කාලය වනවිට චීනයට එරෙහිව මතුවන ඇමෙරිකාවේ සහ ජපානයේ දේශපාලනයේ සම්බන්ධිකාරකයා ලෙසින් ඉන්දියාව මැදිහත් වී ඇති ආකාරය අවධානයට ගැනීම ඉතාමත් වැදගත් වන්නේ මේ තත්ත්වය නිසාමය.
 
 file 20191120 547 1aojb3x
ජනාධිපති ගෝඨාභයට මේ රටේ ජනතාවගෙන් ශක්තිමත් ජනතා වරමක් 
 
  
2019 ජනාධිපතිවරණයෙන් සහ 2020 මහ මැතිවරණයෙන් මේ රටේ ජනතාව ශක්තිමත් ජනතා වරමක් ලබාදුන් වත්මන් ජනාධිපතිතුමන්ට හා වත්මන් ආණ්ඩුවට ආර්ථිකමය තලයේ ශක්තිමත් ජයග්‍රහණයක් ලබන්නට මේ වරාය නගර ව්‍යාපෘතියෙන් ඉඩ ලැබෙන බව ඉතාමත් පැහැදිලිය. 
 
ආණ්ඩුවට එරෙහි බලවේග වරාය නගර කොමිෂන් සභා පනතට බරපතළ ආකාරයෙන් විරුද්ධ වුණේත් මේ ව්‍යාපෘතිය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් තැනකට ගෙන ඒමට වත්මන් පාලනයට හැකියාව ඇති බව ඒ අයට පෙනෙන නිසාය. 
 
 
"බෝලේ තියෙන්නේ විදේශ අමාත්‍යාංශ පිට්ටනියේ" 
 
එහෙත් ඉදිරි අභියෝගය තිබෙන්නේ රට අභ්‍යන්තරයේ විපක්ෂයේ බලවේග සිදු කරන ‘සමාජ මාධ්‍ය විරෝධයන්’ තුළ නොව කලාපීය භූ දේශපාලන බලවේග සමග සිදු කළ යුතු ගනුදෙනුව තුළය.
  
ඉදිරි කාලයේ අපේ රටේ විදේශ අමාත්‍යාංශයට ලැබෙන්නට නියමිත වැදගත්කම ඉතාමත් විශාල බව මේ නිසාම පෙනී යන කරුණකි. 
 
වරාය නගරය ව්‍යාපෘතිය ඉදිරියට ගොඩනැගෙමින් පවතින මේ දේශපාලන අවකාශයේ විදේශ අමාත්‍යාංශයේ බුද්ධි මණ්ඩල (Think Tanks) බරපතළ ආකාරයෙන් මෙහෙයවිය යුත්තේ ඉන්දියානු කලාපයේ දේශපාලනය හැදෑරීමටය. 
 
රජයේ ආර්ථික ජයග්‍රහණ ශක්තිමත් ආකාරයෙන් ස්ථාපිත කරන්නට අවශ්‍ය කලාපයේ දේශපාලනය උපක්‍රමිකව මෙහෙයවීමට අපේ විදේශ ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලවලට හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. 
 
රජයේ ආර්ථික තලයේ සිදු කරන විශාල මහන්සිය ඉතාමත් ඵලදායක ආකාරයෙන් ආරක්ෂා කරගැනීමට කලාපීය දේශපාලනය කළමනාකරණය වෙන කවරදාකටත් වඩා වැඩි බරකින් හා වැඩි මැදිහත්වීමකින් සිදු කළ යුතු කාලයකට අපි අවතීර්ණ වෙමින් සිටින බව මගේ අදහසයි.
 
වරාය නගරය ව්‍යාපෘතිය මගින් රටේ ආර්ථිකය ශක්තිමත් තැනකට පිහිටුවීමේ තත්ත්වය අභියෝගයක් ලෙසින් භාරගන්නට කිසිදු කලාපීය රටකට ඉඩ නොලැබෙන ආකාරයේ ‘ඩිප්ලොමසි’ එකක් හෙවත් රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ගොඩනගා ගැනීමට අපට හැකි වුවහොත් මේ ව්‍යාපෘතියේ ආර්ථික ජයග්‍රහණ විසින් අපේ රට ආසියාවේ ඉතාමත් තීරණාත්මක ස්ථානයකට ඔසවා තබන බව පුරෝකථනය කළ හැකිය.
එතරම් තීරණාත්මක නොවන සාධක:
 
vhjjvhbn
ජිනිවා වලින් ආණ්ඩුවට එල්ලවෙන බලපෑම....
 
 
මා මෙහි සඳහන් කළ අනෙක් සාධක 2 (එනම්, ජනවාර්ගික ප්‍රතිපත්තිය සහ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන සාධක 2) මේ සන්දර්භයේ තීරණාත්මක භෞතික දේශපාලන සාධක ලෙසින් මතුවිය හැකි යැයි මා සිතන්නේ නැත. 
 
 
එයින් අදහස් කරන්නේ මේ රටේ ජනවාර්ගික ගැටලුකාරී තත්ත්ව නොවිසඳිය යුතු බව හෝ අලුත් ව්‍යවස්ථාවක් සඳහා උත්සාහ නොකළ යුතු බව නොවේ.
  
 මා මෙයින් කියන්නේ ඒ සාධක 2 ඉදිරි වසර 5 තුළ තීරණාත්මක සාධක ලෙසින් රට තුළ ඉදිරියට එන සේවා නොවන බවයි.
 
තවත් ලෙසකින් මා කියන්නේ අපේ රටේ ආර්ථික සංවර්ධනය පැත්තෙන් දුටු සිහිනය යථාර්ථයක් කරන්නට ශක්තියක් ඇති රජයක් සහ එයට ගැළැපෙන ව්‍යාපෘතියක් අපි ඉදිරියේ ඇති තත්ත්වයක් වරාය නගර පනත සම්මත වීමත් සමගින් උදා වී ඇති බවයි. 
 
ඒ නව තත්ත්වය (New Condition) ශක්තිමත් ජයග්‍රහණයකින් කෙළවර කරන්නට 1977 සිට අපෙන් මගහැරී ඇති කලාපීය දේශපාලන සාධකය (ඉන්දියානු සාධකය) සාර්ථක ලෙසින් කළමනාකරණය කිරීමේ අභියෝගය ජය ගැනීමේ දිසාවට යොමු කිරීමේ අවශ්‍යතාවය මතු කිරීම මගේ මේ සතියේ කිවිදා දැක්මය.
 
වත්මන් රජයේ විදේශ අමාත්‍යාංශයට මේ අභියෝගය ජයගත හැකි බව මගේ අදහසයි. එසේ ජය ගැනීමේ අභියෝගයට හැකි සැවොම සහාය දිය යුතු බව මගේ යෝජනාවයි.
 
 
ChariithaH(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.) 
 
 
(කිවිදා දැක්ම - ලංකාදීප)

 

 


 

THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58