The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඩොලර් බිලියන 7 කඩඉම පසු කිරීමට නොහැකි වීමට හේතු - BBC විග්‍රහයක්

T

The Leader Desk

September 25, 2025 • 6:47 AM

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඩොලර් බිලියන 7 කඩඉම පසු කිරීමට නොහැකි වීමට හේතු - BBC විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සටහන | සම්පත් දිසානායක බීබීසී සිංහල X, @SampathDissa ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව ආර්ථිකය මෙහෙය වීමේ වගකීම භාර ගනු ලැබුවේ, 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් වර්ෂ තුනකට පසුව ය.
  • අනුර කුමාර දිසානායක 2024 වසරේ සැප්තැම්බර් මස 21 වන දා ජනාධිපති ධූරයට පත්වූ අතර මහ මැතිවරණයෙන් ද ජය ලබමින් ජාතික ජන බලවේගය ආණ්ඩු බලය පිහිටවූයේ, 2024 නොවැම්බර් 14 වන දා ය.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2024 අග වන විට මෙරට සතුව පැවති දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1ක්විය.
  • වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වූ සංචිත ප්‍රමාණය 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 4.4ක් ලෙස දැක්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සටහන | සම්පත් දිසානායක
බීබීසී සිංහල
X, @SampathDissa

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව ආර්ථිකය මෙහෙය වීමේ වගකීම භාර ගනු ලැබුවේ, 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් වර්ෂ තුනකට පසුව ය.

අනුර කුමාර දිසානායක 2024 වසරේ සැප්තැම්බර් මස 21 වන දා ජනාධිපති ධූරයට පත්වූ අතර මහ මැතිවරණයෙන් ද ජය ලබමින් ජාතික ජන බලවේගය ආණ්ඩු බලය පිහිටවූයේ, 2024 නොවැම්බර් 14 වන දා ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2024 අග වන විට මෙරට සතුව පැවති දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1ක්විය.

2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වූ සංචිත ප්‍රමාණය 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 4.4ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී (සැප්තැම්බර් 24) අනාවරණය කළ දත්තවලට අනුව 2025 වසරේ අගෝස්තු මාසය වන විට මෙරට සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2කි. ඒ අනුව 2024 අග සිට 2025 මේ දක්වා කාලය තුළ මෙරට සතු දළ නිල සංචිත ඉහළ ගොස් ඇත්තේ ඩොලර් බිලියන 0.1කිනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව දළ නිල සංචිත ඩොලර් බිලියන 6කට වැඩි අගයක පවත්වාගෙන යමින් තිබෙන්නේ, ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ ය.

usd c 1
2022 වසරේරට මුහුණ දුන් දරුණු ම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග විස්තීරණ ණය පහසුකමකට එළඹිණි.

විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ආර්ථික වර්ධනය ඍණ මට්ටමක පැවති ශ්‍රී ලංකා ආර්ථිකය 2023 තුන් වන කාර්තුවේ සිට ධන වර්ධනයක් පෙන්නුම් කළේ ය.

2024 වසරේ 4 වන කාර්තුව තුළ ශ්‍රී ලංකාව 5.4%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 2025 වසරේ පළමු කාර්තුව තුළ 4.8%ක් ලෙසත්, දෙවන කාර්තුව තුළ 4.9% ක් ලෙසත් පැවතිණි.

usd c 2
දළ නිල සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යාමට නොහැකි වී ඇත්තේ ඇයි?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ඉලක්ක අනුව මේ වසර අග වන විට දළ නිල සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවා යා හැකි ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීහු විමසූහ.

නිල සංචිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්කයක් ලබා දී නොමැති බවත්, එය ළඟා විය හැකි ඇස්තමේන්තුවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (සැප්තැම්බර් 24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

"දැනට ශූද්ධ විදේශ සංචිත (NIR) ඉලක්කයට පවත්වාගෙන යනවා" ඔහු සඳහන් කළේ ය.

"එකක් ඉලක්කයක් අනෙක ඇස්තමේන්තුවක්, කොච්චර දුරකට යන්න පුළුවන් ද කියන එක"

"පැහැදිලිව ම පෙනෙන්න තියෙනවා ටාර්ගට් එකට යන එක කිසි ම ගැටලුවක් නැහැ. ඒක දැනට ම (NIR) ටාර්ගට් එකට වඩා ඉහළින් පවත්වාගෙන යන්නේ," ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

දළ විදෙස් සංචිත ඇස්තමේන්තුගත ඉලක්ක වෙත ළඟා වීමට කරුණු කිහිපයක් බලපායි.

 



මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවෙන් රජයට ලැබෙන ණය සහ ව්‍යාපෘති හරහා චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවලින් ලැබෙන ණය ඒ සඳහා බලපානු ඇති බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ද මේ වසර අගදී ලැබීමට නියමිතව ඇත.

"ලෝක බැංකුවෙන් බලාපොරොත්තු වෙච්ච ඒ policy support කියන එක… යම්කිසි රජයේ මැතිවරණ සහ අනෙකුත් දේවල් නිසා ප්‍රමාද වෙච්ච නිසා සමහර කොටසක් මේ අවුරුද්ද තුළ නොලැබීමේ හේතුවක් තියෙනවා. එතකොට ඒක නොලැබුණොත් Gross කියන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට බිලියන 7 කියන එකට අපි පුළුවන් තරම් උත්සහ කරනවා පුළුවන් තරම් සංචිත ගොඩනඟා ගන්න."

"7 කියන එකට යන්න වෙන්නේ, අනෙකුත් සියලු ම ඉලක්කගත, අපි බලාපොරොත්තු වෙච්ච inflows විශේෂයෙන් රජයට ණය වශයෙන් ADB, World Bank සහ අනෙකත් ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් ලැබෙන ණය සම්පූර්ණයෙන් ලැබුණොත් තමයි එතනට යන්න පුළුවන් වෙන්නේ. ඒක ඊළඟ මාස කිහිපය තුළ රජය දැඩි…අපි විශේෂයෙන් දන්නවා public investment විශේෂයෙන් projects ප්‍රමාද වුණා පහුගිය කාලය තුළ ක්‍රියාත්මක කිරීමේදී. එතකොට එවා අනුව ලැබෙන මුදලුත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒවා ලබන අවුරුද්දේ තමා බොහෝවිට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒවා ලැබෙයි. නමුත් ඒක දෙසැම්බර් 31කට කලින් ලැබෙන්නේ නැතිව ඊළඟ අවුරුද්දේ ලැබෙන්න පුළුවන් බොහෝ වෙලාවට ප්‍රමාද වුණොත්, නමුත් රජය විශාල උත්සහක් ගන්නවා පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කිරීමට. එහෙම ක්‍රියාත්මක වුණොත් අපිට එතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ක්‍රමත් තියෙනවා සංචිත ගොඩනගා ගැනීමට. ඒ අනුව අපි බලනවා අපිට ඒ මට්ටමට යන්න පුළුවන් ද කියලා. ගියේ නෑ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොක ද හේතුව මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තියෙන්නෙ, net international reserves කියන එක අර නෙගටිව් තිබිච්ච එක පොසිටිව් වෙලා යම්කිසි ටාර්ගට් එකක්… ඒක අපිට ළඟා කර ගන්න පුළුවන්," ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ණය හා පොළී ගෙවීම් ද දළ සංචිත මට්ටම අඩුවීමට හේතු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, මේ වසර තුළදී ADB, World Bank යන ජාත්‍යන්තර ආයතනවලට ණය සේවාකරණ ගෙවීම් කර ඇති බව ය.

 

cbsl c 3

"පැහැලිව ම පෙනෙන්න තියෙනවා ටාර්ගට් එකට යන එක කිසි ම ගැටලුවක් නැහැ. ඒක දැනට ම (NIR) ටාර්ගට් එකට වඩා ඉහළින් පවත්වාගෙන යන්නේ," ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය

 

මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ඉන්දියාවෙන් ලබා ගෙන ඇති කෙටි ණය සඳහා වන ණය සේවා කරන ගෙවීම්ද සිදුකර ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

ඇතැම් මුදල් ලැබීම් ප්‍රමාද වී තිබුණ ද, ණය සේවා කරන ගෙවීම් සිදුකරමින් සංචිත මට්ටම ස්ථාවරව පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළේ ය.

සංචාරක හා විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්

2025 වසෙර් සැප්තැම්බර් 21 වන දා වන විට මේ වසර තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 111,823කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3කි. එය 2024 එම කාලසීමාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් ලෙස දැක්විණි.

2024 වසරේ සංචාරක කේෂත්‍රයෙන් ලද සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2කි.

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 5.1කි. එය පෙර වසරේ එම කාලසීමාව සමග සැසදීමේදී 19%කට වැඩි වර්ධනයකි.

එය 2024 එම කාල සීමාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් ලෙස දැක්විණි.

2024 වසරේ ලද සමස්ත ප්‍රේෂණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6කි.

ජූලි මාසය තුළ මෙරට අපනයන ආදයම ඩොලර් බිලියන 1.3ක් ලෙස දැක්වුණු අතර ආනයන වියදම ඩොලර් බිලියන 1.9ක් ලෙස දැක්විණි. ඒ අනුව වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 0.6ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.අපනයන අදායම් පහළ ගිය ද, සංචාරක ආදායම් සහ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණවල වර්ධනය හේතුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් පවතියි.

උද්ධමනය 5%ක් මට්ටමේ පවත්වා ගැනීමේ ඉලක්කයක්

මාස 11ක් පුරා පැවති අවධමනය අවසන් කරමින් මතුපිට උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේදී ධන අගයකට පත්විය.

2026 වසරේ මැද භාගය වන විට ක්‍රමයෙන් උද්ධමනය 5% ඉලක්කය දක්වා ඉහළ යනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමෙන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව වැනි රටකට උද්ධමනය පවත්වාගෙන යා යුතු මට්ටම සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයකට අනුව උද්ධමනය 5% ඉලක්කයක පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ ය.

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 24 වන දා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල 3.3%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රසාරණය වී ඇති අතර, එය 19.6%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 901ක් දක්වා වර්ධනය වී ඇත.

(උපුටා ගැනීම | බීබීසී සිංහල සේවය)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන ලෝක බැංකුව හෙළි කළ කරුණු

අවදානම් පැවතියද ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක බව IMF කියයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...