1200 x 80 DMirror
 
 

(සුජිත් අක්කරවත්ත එක්ක ලංකාවෙ ශෘංගාරවංශය ගැන කරගෙන ගිය නිදහස් කතාබහේ දෙවෙනි කොටසයි මේ.)
 
Sujith Akkarawatta
සුජිත් අක්කරවත්ත
 
ක්‍රිව දෙවෙනි සියවසේදි වගේ වෝහාරික තිස්සයි ගෝඨාභය රජුයි විසින් සෙක්ස් කියන එක පිටමං කළා. ඕක මිහිඳු හාමුදුරුවො ආපු වෙලාවෙ ඉඳලා තිබුනු ප්‍රශ්නයක්. 
 
බුදු දහම තිබුනෙ දහමක් විදිහට. ඒක රාජ්‍යයට පිලිගන්න ඕන වුනාම රාජ්‍යයට ගැලපෙන විදිහට සංස්කරණය කරන්න වෙනවා. 
 
ඉතින් බුදුදහම රාජ්‍ය ආගම වෙද්දි රාජ්‍යයට ගැලපෙන විදිහට බුදුදහම හැඩගැහුනා. 
 
සාහිත්‍යය, ආගම, රාගය වගේ ඒවා කොහෙත්ම රාජ්‍ය එක්ක බැඳිලා පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. රාජ්‍යයන් මේවා පිලිගන්න ගියාම වෙන්නෙ රාජ්‍යයේ හැඩයට මේවා තලාගන්න එකයි. 
 
බුදුදහම ලංකාවෙ තිබුනෙ මිනිස්සු කැමති දහමක් විදිහට. රාජ්‍ය ආගමක් ලංකාවෙ තිබුනෙ නෑ. අශෝක අධිරාජයාගෙ බලපෑමත් උඩ අපි මේ බුදුදහම රාජ්‍ය ආගම විදිහට පිලිගත්තා. 
 
ඒකත් එක්කම බුදුදහමෙ වෙන වෙන හැඩතල හැදුනා. 
 
මුල්කාලෙ ඕක අවුලක් වුනේ නෑ. මොකද මිහිඳු හාමුදුරුවො මහරහත් කෙනෙක් නිසා. එයාට සෙක්ස් ඇරියස් තිබුනෙ නෑ. ඊට පස්සෙ සංඝ පීතෘන් වෙන්නෙ මහරහතුන් නෙමෙයි. අපි වගේම ඇරියස් තියෙන අය. එතකොට ඒ ගොල්ලොන්ගෙ අතින් ඔය දහම එන්න එන්න පටුවෙනවා.පළවෙනි ගෝඨාභයයි වෝහරික තිස්සයි තමයි ඕක පටන්ගන්නෙ. 
  
වෝහාරික තිස්ස කියන්නෙම ව්‍යවහාරයට ගෙනාවා කියන එක. ව්‍යාවහාරික තිස්ස. ඔය කියන්නෙ ප්‍රැක්ටිකල් බුඩිසම් ගෙනාවෙ එයා කියන එක. 
 
යතාර්ථයට ඔබ්බෙන් වූ යතාර්ථයක් විදිහට ආගමක් තියෙන්න බෑ, ඒක තියෙන්න ඕන මේ යතාර්ථය තුලමයි කියන එක තමයි වෝහාරික කිව්වෙ.
 
 හැබැයි බුදුදහම යතාර්ථයේ හිරකරන්න බෑනෙ. ඒක යතාර්ථයෙන් එපිට පවතින එකක්නෙ. 
 
සම්මුති සත්‍යයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැනනෙ බුදුදහම කතා කරන්නෙ. 
 
මෙතනදි වෝහාරික කරන්නෙ ඒක සම්මුතියට ගේන එක. මොකද රාජ්‍යයට සම්මුතියක් ඕන කරනවා. බුදුදහමත් එක්ක රාජ්‍යයක් ගෙනියන්න බෑ.
 
මේ සිදුවීම වෙන්නෙ මිහිඳු ඇවිත් අවුරුදු 500ට විතර පස්සෙ. වෝහාරිකට තිබුන ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕන. සම්මුතිය පිලිගන්නෙ නැති දහමක් එක්ක කොහොමද රාජ්‍ය ඉස්සරහට ගෙනියන්නෙ කියන එක ඇත්ත ප්‍රශ්නයක්. ඉතින් ඔතනින් පටන්ගත්ත එක දිගටම එන්න ගත්තා. අන්තිමට මිනිස්සුන්ට ලෞකික ජීවිතයක් ඉතුරු නොවෙන ගානටම බුද්ධාගම රාජ්‍ය ඇතුලෙන් ඉස්සරහට ගෙනාවා. 
  Faculty of sex Seegiriya Apsara
 
ඕක දරාගන්න බැරුව තමයි මහසෙන් ඇවිත් ක්‍රි.ව 300දි ගැහුවෙ. මහා විහාරයයි අභයගිරියයි දෙකම කඩලා දාලා ජේතවනාරමය කියන නව චින්තන ගුරුකුලය හදනවා. 
 
ඒත් මේ ගැටුම ඉවර වුනේ නෑ. සීගිරි කාශ්‍යප තමයි තීරණය කළේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලන්න ඕන කියල. 
 
ලෞකිකකරණය කරන්න ඕන කියල. ඒක හින්දයි ඉතිහාසෙන් සීගිරිය පිටමං වෙන්නෙ.
 
දඹදෙනි යුගයෙදි අපි සම්මුති බුදුදහම හොඳටම පිලිගත්තා. ඒ කියන්නෙ රාජ්‍ය විසින් පනවන හැමදේම අපි පිලිගන්නවා කියන එකයි. 
 
හාමදුරුවරු ටික බ්‍රාහ්මණයොත් එක්ක එකතු වෙලා රාජ්‍යයට ඕන විදිහට බුදුදහම හදලා දුන්නා. මත්පැන් තහනම් කලොත් වැඩියෙන් භාන්ඩාගාරයට සල්ලි ලැබෙනවා. තහනම් කරලා තියන්න තියන්න පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවා.
 
  
ඉතින් රාජ්‍යයට ඕන විදිහට බුදුදහම අර්ථකතනය කරලා දෙන එක තමයි භික්ෂුන්ට පැවරිලා තියෙන්නෙ. භික්ෂුන්ට වෙන ජීවිතයක් නැති වුනා. භික්ෂුත්වය රාජ්‍යයේ පිරුවටයක් විදිහට තමයි පවතින්න ගත්තෙ. භික්ෂුන් කල්පනා කළා අපිට සීල සමාධි ප්‍රඥා කිසි එකක් ඕන නෑ, රාජ්‍යයට ඕන විදිහට ආගම සකස් කරලා දීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියල.
  
 ඉතින් මොකද වුනේ රාජ්‍යයි ආගමයි එකතු වෙලා මිනිස්සුන්ට ලෞකිකත්වය අහිමි කළා. රාජ්‍යයි ආගමයි විතරක් ලෞකික සුව විඳින්න පටන්ගත්තා.
 
 trisum
 
දැන් පහන්තුඩාවෙ සිද්ධියට මිනිස්සු පහර දෙන විදිහ බලන්න. භික්ෂුන් සම්බන්ධ වුනු ඔයිට වඩා නරක දේවල් කොයිතරම් අපි ප්‍රවෘත්ති වල දකිනවද? කවුරුවත් ඒවට පහර දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. පාදිලියන්ටත් එහෙමයි.
 
අපේ පැවතුනු සංස්කෘතියම ශෘංගාර එකක්. රන්මසු උයන, නාලන්දා ගෙඩිගේ වගේ තැන් ගැන අහලා ඇතිනෙ. 
 
අපි ව්‍යවහාරය කියල දෙයක් පිලිගත්තෙ නෑ 1824 වෙනකල්. ඉතින් ශාංගාරය කියල වෙනම බෙදීමක් අවශ්‍ය වුනෙත් නෑ. 
 
දැන් උදා විදිහට අපේ සංස්කෘතියෙ සමලිංගිකත්වය ගැන වෙනම සඳහනක් වෙන්න දෙයක් තිබුනෙ නෑ මොකද ඒක තහනම් වෙලා තිබුනෙ නැති හින්ද. බයිසෙක්ෂුවල්, ගෲප් සෙක්ස් වගේ දේවල් ගැන වෙනම සඳහන් කරන්න දෙයක් නෑ. අපේ කැටයම්වලත් ඒවා දකින්න පුළුවන්. ඒවා හරි ලොකු වෙන්නෙ ඒවා තහනම් කරපු රටවල. දැන් ලිංගික නිදහස මේ රටේ තිබුන නම් චින්තන ධර්මදාසගේ පොත් බල්ලෙක්වත් කියවන්නෙ නෑ. ඒවාට තැනක් හම්බුවෙලා තියෙන්නෙම ලිංගික නිදහස නැති හින්ද.
  
නාලන්දා ගෙඩිගේ, බෙල්ගෙ කාලෙ සංරක්ෂණය කරන්න පවා ඉඩ දුන්නෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වික්ටෝරියා රැජිනගෙ බලය. නාලන්දා ගෙඩිගේ ඔය තියෙන තැන නෙමෙයි තිබුනෙ. ඔය ජලාශෙ මැද තිබුනු දූපතේ තිබුනෙ. 
 
උන් නාලන්දා ජලාශය පුළුල් කළා. ඕක කැඩුවා. පස්සෙ පරණවිතාන ලොකු අරගලයක් කරලා තමයි ඕක ඔතන පිහිටෙව්වෙ. නාලන්දා ගෙඩිගේ තිබුනු තැන තමයි නාලන්දා ජලාශය හැදුවෙ. මේක යටකළා ජලාශෙට. පුළුවන් නම් කිමිදිලා බලන්න. තව ගොඩක් ඔය වගේ මූර්ති තියෙනවා වතුර යට. ඔය අපි දකින්නෙ ගොඩට ගෙනල්ලා හයිකරපු ටික විතරයි.
 
නාලන්දා ගෙඩිගේ ඔතන පිහිටන්නෙ ලංකාවෙ මධ්‍ය ලක්ෂය ඔතන පිහිටන හින්ද. ඉතිං ඒකත් එක්ක බැඳුනු විශ්ව ශක්තීන් ගැන විශ්වාස එක්ක පිහිටපු තැනක්. 
 
බුදුදහමයි තන්ත්‍රයාන බලපෑමයි එකට තිබුනෙ. රාගයේ උපරිම තැන නිවනයි කියන අර්ථයෙන් ඒක ආධ්‍යාත්මික වුනා. කජිරාවො වලටත් වඩා ඉස්සරහ ගිය තැනක්.
 
rodi4 389x495
මේ හැමදෙයක්ම සම්පූර්නයෙන් නැතිවෙන්නෙ සුද්දන්ගෙ වික්ටෝරියානු එක හින්ද තමයි. දැන් මීට අවුරුදු තිහ හතලිහකට කලින් වුනත් ලංකාව මීට වඩා සෙක්ෂුවලි නිදහස් තැනක්. 
 
මහින්ද ඇවිත් නැති කරපු ටික තමයි අද මේ අපි දකින්නෙ. 
 
එතකොට සුද්දොන්ගෙන් ඇතිවුනු බලපෑම තේරුම් ගන්න පුළුවන්නෙ.
 
 ඒ ගොල්ලො ඒක-විවාහ නීතිගත කළා, අනිත් ලිංගිකත්වයන් තහනම් කළා. 
 
 
ලංකාව කවදාවත් විවාහ ජීවිතයක් කියන එක පිලිගත්තෙ නෑ. විවාහය පිලිගත්තෙ නෑ කියන්නෙ ලිංගිකත්වය රාජ්‍යයට අදාල නෑ කියන එක. ඒක 1824 වෙනකල් අපේ රටේ තිබුන. දඹදෙනි කාලෙදි යම් යම් නීති පැවතුනා. ත්‍රීසම්වලට නීතියක් පැනවුනා ඒක කුල සිරිත් සම්ප්‍රදායක් වෙන්න ඕන කියල. මුලින් තිබුනෙ කවුරු හරි කැමති නම් ඒ අයගෙ සෙක්ස් ගැන රාජ්‍යයට ප්‍රශ්නයක් නෑ කියන එක. දඹදෙනි යුගයෙන් පස්සෙ අපි කැමති වුනාට බෑ අපේ කුල සම්ප්‍රදායන් ඒකට එකඟ වෙන්න ඕන. ඒක සම්මුතියක්. හැබැයි ලියාපදිංචියක් නෑ.
 
  
ලංකාවෙ කසාදය කියල එකක් තිබුනෙ නෑ. පෘතුගීසින් තමයි පහතරටට කසාදය අඳුන්නලා දුන්නෙ. පෘතුගීසින් කළේ පහත රට කසාදය අඳුන්නලා දීලා උඩරට මිනිස්සුන්ගේ නිදහස් ලිංගිකත්වය පහත් අශිෂ්ට විදිහට හඳුන්වපු එක. 
 
ඒ කාලෙ පහතරට මිනිස්සු උඩරැටියන්ට පහරදුන්නෙ එහෙමයි. ඒ අය වනචරයි කියල. අපිට කසාදය කියන එකට සිංහල වචනයක්වත් නෑනෙ.
 
රාජ්‍යය කසාදය පිලිගන්නෙ නෑ කියන්නෙ ලිංගික දේවල් ඒ ඒ අයගෙ රුචි අරුචිකම් මත සිදුවිය යුතුයි කියන එකනෙ. ඒක කොයිතරම් ලිබරල්ද? මෙච්චර දියුණු සංස්කෘතියක් තිබුනත් අපි විවාහය පිලිගත්ත නැති ජාතියක්. 
 
අපිට තිබුනෙ අඹුව කියන එකනෙ. අඹාගන්නවා කියන එකයි අදහස. අඹුකමට තියාගන්නවා කියලනෙ කියන්නෙ. සහේට ගන්නවා කියලත් කිව්වා. ඒ කියන්නෙ හවුල්කාරයා කියන එකනෙ.
 
අපි පෘතුගීසි කසාදෙට කිව්වෙ හිරයක් ගන්නවා කියල. ඒක හිරේ යනවා වගේ වැඩක් විදිහටයි අපේ මිනිස්සුන්ට දැනුනෙ. කසාද නොබැඳ කවුරු හරි එක‍ට හිටියොත් හිරේ දානවා කියන එකයි නීතිය. මිනිස්සු ඒකම හදාගත්තා එයා හිරයක් ගත්තනෙ කියල. ඒ ඒකට දාපු පොඩි අපහාසාත්මක යෙදුමක්. 
 
වහරෙන් හැදෙන වචනවල තියෙනවා ඒ කාලෙ මිනිස්සුන්ට ඒ ගැන තිබුනු හැඟීම. ආගම කියන වචනෙත් එහෙම එකක්. ආගම කියන්නෙම පිට කියන එක. බුදුදහම අදහන්නෙ නැති අයටනෙ ආගමේ කියන්නෙ. බුදුදහම නෙමෙයි කියන එක. ආගම කියන එක අපේ නෙමෙයි කියලයි කියවෙන්නෙ. බුදුදහම අ‍පිට ආගමක් නෙමෙයි. ඒක අපේ ජීවන විලාසය.
 
  
දැන් කොයිතරම් ලිබරල් වුනත් රනිල් වික්‍රමසිංහටත් බෑනෙ ලිංගිකත්වය විවෘතව බාරගන්න. කොයිතරම් නිර්භීත වුනත් මංගල සමරවීර වුනත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්නය බලය ඇතුලට ගෙනාවෙ නෑ කියල මං හිතනවා. මේක තමයි ලංකාවෙ මේ වෙලාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය.
 
  
මතු සම්බන්ධයි.
 
 
 

 

 

THE LEADER TV 
 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58