(වෛද්‍ය සුදත් බණ්ඩාර සහෝදරයාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.)
 
වෛද්‍ය සුදත් බණ්ඩාර කොවිඩ් නිසා මියගිය පුවත හිතවත් ජෝන් පෙරේරා (කුරුණෑගල) මට පැවසීය. 
 
එක්වරම මට ඇඳී ගියේ, කටපුරා බුලත් කා ඒ මදිවාට සිගරට්ටුවකුත් දල්වා ගත්, දෑස් රතුවෙන්න අඩියක්ද ගසා සිටි සුදත් නමැති බටහිර වෛද්‍යවරයා ය. ඔහුව කුරුණෑගල මහ රෝහලට හෝ ටයිකෝට් ඇඳගත් ඩොක්ටර්ස්ලාට කෙසේ ගැලපෙන්නට ඇතිදැයි මට තවමත් හිතාගන්නටවත් බැරිය. 
 
1987 දිනක සුදත් සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජයශ්‍රී මට මුලින්ම හමුවූයේ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරය වූ බ්ලොම්පොන්ටන් හිදී ය. ඒ දිනවල ඔහු ජවිපේ පූර්ණ කාලීනයෙකු ලෙස අන්තර් ශිෂ්‍ය විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ආවේය. 
 
පසුව ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නම් වූ වෘත්තීය සමිති එකමුතුවක පූර්ණ කාලීනයෙකු විය. ඔහු නිතරම අප ඇතුලත්ව සිටි ජාතික චින්තන ගුරුකුලය හා එහි න්‍යායාචාර්ය වරුන් ලෙස සිටි මහාචාර්ය නලින්ද සිල්වා, වෛද්‍ය ගුණදාස අමරසේකර හා සූර්ය ගුණසේකර මහත්වරුන් උපහාසයට ලක් කළේය.
 
එවකට සුදත්ගේ න්‍යායාචාර්ය වූයේ "මහානාම" නමින් හැඳින්වූ උපැවිදිව සිටි ජවිපේ නායකයෙකි.
 
සුදත් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ අතර මහානාම දක්ෂ කවියෙකු විය. ඔවුනට අනුව අපි "බුද්ධිවාදීන්" විය. ආචාර්ය නලින්ද සිල්වා වැනි අය "මොලේ අර්ශස්" කාරයින් විය. 
 
ඉන්දු-ලංකා ගිවිසුම හා පළාත් සභා හඳුන්වා දීමට එරෙහිව අපි උපවාස, පෙළපාලි සංවිධානය කරන කාලයේ සුදත් බොහෝවිට සිටියේ මොරටුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ය. 
 
 
1987 ජූලි 27 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව පාරට බැස්ස ක්ලිෆඩ් හා නිමල් සොහොයුරන් මහපාරේ මරා දැමුණු පසු ගණනින් නොගිනිය හැකි තරම් පිරිසක් මරා දමනු හෝ අතුරුදහන් කරනු ලැබීය.
 
 
සුදත් හා මා අතර දැඩි සම්බන්ධතාවයක් ඇති වූයේ ඒ දිනවල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වී ජයවර්ධන පාලනයට එරෙහිව පුළුල් සන්ධානයක් "දේශප්‍රේමී එක්සත් පෙරමුණ" නමින් ගොඩනංවමින් සිටියදී ය. එය නියෝජනය කළේ මමත්, සුදත්, ඒ දිනවල අතුරුදහන් කරන ලද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගාමිණි මාලසිංහත් ය. 
 
සිරිමාවෝ මැතිණිය, අනුර බණ්ඩාරනායක මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කුමාර් පොන්නම්බලම් මැතිතුමා, ඒ.එච්.එම්. අශ්රොෆ් මැතිතුමා හා රුක්මන් සේනානායක වැනි නායකයින් හඳුනා ගන්නට, සාකච්ඡා කරන්නට, වාද විවාද ඇති කරගන්නට අපට හැකි විය. 
 
සිදු වූ රසවත් හා අනුවේදනීය සිදුවීම් රැසක් තිබියද එක්දිනක් කුමාර් පොන්නම්බලම් මහතා සිය ග්‍රෙගරි පාරේ නිවසේදී කදිම ඡායාරූපයක් අපට පෙන්වීය. එහි බණ්ඩාරනායක, පිලිප්, ජී.ජී. පොන්නම්බලම් හා ඩඩ්ලි සිටියෝ ය. දශක 4/5කට පසු ඔවුන්ගේ දරුවන් හා ඥාති දරුවන් රට භාර ගැනීමට යන බව පොන්නම්බලම් මහතා සිනාසෙමින් ප්‍රසංශා කළේ අනුර, දිනේෂ්, කුමාර් පොන්නම්බලම් හා රුක්මන් මහත්වරුන් ඉදිරියේ ය. 
 
එදින අඩ අඳුරේ පාරට බැස යනවිට සුදත් ඒ සිදුවීම ගැන කීවේ ජවිපේ බෝල්ෂෙවික් විප්ලවය ඒ ඡායාරූපය නිශේධ කරනු ඇති බවය. 
 
ඒ වකවානුවේ Sunday Times හි ක්විඩ්රි ස්මයිල් රටපුරා ඇවිල ගිය ශිෂ්‍ය අරගලය හා තරුණ නැගී සිටීම ගැන මගෙන් විමසූ විට මා කීවේ 1948 දී රාජකීය විදුහල නිදහස ලබාගත් බවත්, 1956 දී ආනන්ද විදුහල නිදහස ලබාගත් බවත්, දැන් ඇවිල යමින් තිබෙන්නේ දික්වැල්ල විජිතයේ සිට නෙල්ලඩි මාධ්‍ය මහා විද්‍යාලය දක්වා වූ කන්නන්ගර නිදහස් අධ්‍යාපන විප්ලවයේ දරුවන්ගේ නිදහස් අරගලය බවත් ය. 
 
1988 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපේ තීරණය කිරීමත් සමඟ සුදත් හා අපි වෙන් වූවෙමු. මා ඔහුව නැවත හමුවන විට ඒ වියරු භීෂණයෙන් ඔහුගේ ශරීරය පමණක් නොව මනසද නිදහස්ව තිබිණ. 
 
ඔහු ජවිපේ දේශපාලනයද, මාක්ස්වාදයද අත්හැරීයේ ය. ජාතික චින්තනය පිලිබඳ විශ්වාසය ඇතිකර ගත්තේ ය. නමුත් කිසිවිටෙක මියගියවුන් හෝ ජවිපේ විවේචනය නොකළේ ය. 
 
සුදත් සිය දරුවන්ට මොනතරම් යුතුකම් කළාදැයි නොදනිමි. ඔහුගේ එක් පුතෙකුට අකුරු කියවූයේ නම් මා ය. එදින ඔහු විසින් සිංහලයට නගන ලද "ස්පාටකස්" කෘතිය ඔහු මට පරිත්‍යාග කළේය. 
 
සුදත්ට සිය වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ ඉදිරියට යෑමේ හැකියාව තිබුණි. ඔහුගේ සමකාලීනයන් අද ඉහළ ගණයේ විශේෂඥ වෛද්‍යවරුන්ය. එහෙත් 1987-90 යුගයේ සිදු වූ භීෂණය හා ඉන් දැනුණු කම්පනය ඔහුට එයට ඉඩ නොදුන්නේ ය. මධුවිතට ඔහු ඇදී ගියේ ඒ නිසා විය යුතු ය.
 
හිතවත් සොයුර, සුදත්
ඔබ අපගේ හදවත් තුළ සදා සැමරෙනු ඇත.
- පාඨලී චම්පික රණවක
 
 
සුදත් බණ්ඩාර සහ සරත් කොල්ලුරේ 
 
 
(මහාචාර්ය නිර්මාල් රන්ජිත් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් )
 
241497721 4739506886068768 684439765862617723 n
 
* පිංතූරයේ සිටින්නේ සරත් කොල්ලුරේය
 
 
කොවිඩ් රෝගයෙන් මරණයට පත් වූ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ සුදත් බණ්ඩාර මම පුද්ගලිකව හඳුනන්නෙ නැහැ. ඔහු මට මුණ ගැසී නැහැ. සමහර විට මම ඔහු දැක තිබෙන්නට ඉඩ ඇතත් ඔහු කවුද යන්න මා දැන සිටියේ නැහැ. 
 
නමුත් ඔහු විසින් රචිත “බටහිර චින්තනය පිළිබඳ පෙරදිග විග්‍රහයක්“ පොත මා ලඟ දිගු කලක් තිස්සේ තියෙනව. ඒ කෘතිය මුළුමනින්ම කියවීමට උනන්දුවක් ඇති වී නැතත් 1980 ගනන් වල මැද සිටි ජාතික චින්තන ගුරුකුලයේ මූලිකත්වයෙන් ඇති වූ කතිකාවේ බැරෑරුම් ප්‍රකාශකයෙක් ලෙස ඔහු මතුවූ බවට ඒ කෘතිය සාක්ෂියක්. 
 
තරුණයින්ගේ දේශපාලන චර්යාව වෙනස් වූ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන මට සුදත් බණ්ඩාරගේ චරිතය ඉතා වැදගත්.
 
මට සුදත් බණ්ඩාර වැදගත් වන්නේ ඔහු ලංකාවේ පශ්චාත් යටත්විජිත තරුණ දේශපාලන මනසේ වැදගත් සංක්‍රාන්ති ක්‍රියාවලියක ඓන්ද්‍රීය නියෝජනයක් නිසා. 
 
 
1980 දශකයේ මැද “විප්ලවය“ පදනම් කරගත් ජවිපෙ දේශපාලනයට ආකර්ශනය වී, ජවිපෙ කැරැල්ලේ පරාජයත් සමඟ ජාතිකවාදී පරිකල්පනයක් වෙත ආකර්ශනය වූ බුද්ධිමත් තරුණ පෙළක ඉදිරියේම සිටි කෙනෙක් තමයි සුදත් බණ්ඩාර. තරුණ දේශපාලනයේ මේ පරිවර්තනය මා සිතන ආකාරයට අතිශයින් වැදගත්.
 
 
ඔහු 1983 දී විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නෙ වෛද්‍ය ශිල්පය පිළිබඳ උපාධිය ලබන්න. මම දන්නෙ නැහැ ඔහු ජවිපෙට සම්බන්ධ වෙන්නෙ කොයිකාලෙද කියල. කොහොම වුනත් 87-89 සන්නද්ධ නැගිටීම කාලෙ ඔහු ජවිපෙ ඉහළ මට්ටමේ ක්‍රියාධරයෙක් වීම වැදගත්. 
 
වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ හැකියාව සහිත කෙනෙක් ජවිපෙ කැරැල්ලට සම්බන්ධ වීමයි අප වැනි කලා ධාරාවෙන් ඉගෙන ගත් අය ජවිපෙට ඇදී යාමයි අතර මූලික වෙනසක් තියෙනව. 
 
මම සුදත් බණ්ඩාර දන්නෙ නැති වුනාට සරත් කොල්ලුරේ දන්නව. කොල්ලුරේත් ජවිපෙ කැරැල්ලේ ක්‍රියාධරයෙක්ව සිට ඝාතනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යෙයක්. අපි දෙදෙනා කුඩා කාලයේ එක පන්තියේ ඉගෙනගත්ත. අපි එකිනෙකට යාබද ගම්වල. 
 
කොල්ලුරේ අපේ පංතියේ හිටපු දක්ෂම ශිෂ්‍යෙයෙක්. 1975 වර්ෂයේදී අපේ පාසැලෙන් පස්දෙනෙක් ශිෂ්‍යත්වයට පෙනී සිටිය. එයින් කොල්ලුරේ ඇතුළුව තිදෙනෙක් සමත් වුනා. මමයි තව කෙනෙකුයි ෆේල් වුනා. ඔහුට ශිෂ්‍යත්ව සමාර්ථය මත නාලන්ද විද්‍යාලයට යන්න පුළුවන් වුනා. 
 
ඔහු කොළඹ වෛද්‍ය පීඨයට ආවෙ මම කොළඹ ශාස්ත්‍ර පීඨයට ආවට අවුරුද්දක් පස්සේ 1985 දී. 
 
ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් බවට පත් වී ඇති බව දැනගත් විට මම තරමක් පුදුමයට පත් වුනා. අප වැනි කලා උපාධියට ඉගෙන ගන්නා අයට විප්ලවවාදී දේශපාලනය යනු වෙන යාමට මාවතක් නැති නිසා තිබෙන තෝරාගැනීමක් වුවත් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයෙක් වීමට හැකියාව ඇති කෙනෙක් විප්ලවවාදී දේශපාලනයට යොමුවන්නේ කවර හේතුවක් නිසාද? 
 
මේ ප්‍රශ්නය මේ ආකාරයටම ඒ දවස් වල මට මතු වුනේ නැතත් මීට තරමක් සමාන හැඟීමක් තිබුණ කියන්න පුළුවන්. අප වැන්නන් දේශපාලනයට එන්නේ රැල්ලට වුවත් කොල්ලුරේ වැන්නෙකුට එවන් හේතුවත් තිබූ බවක් මට දැනුනෙ නැහැ.
 
ඔහුගේ පවුලේ ආර්ථික තත්වය අපේ පවුලට වඩා තරමක් හොඳ මට්ටමේ තිබුණත් සාමාන්‍ය දුප්පත් පවුලක් කියන්න පුළුවන්. ඔහුගේ පියා රැකියාව ලෙස කලේ කරත්ත බැඳීම. එහෙත් දැන් ඔහු වෛද්‍ය උපාධිය සඳහා ඉගෙනගන්නව. ඒ වගේම ඔහුගේ පවුලෙ අධ්‍යාපන පසුබිමක් සහිත සහෝදර සහෝදරියනුත් සිටිය.
 
ඒ පසුබිම තුළ ඔහු ජවිපෙ දේශපාලනයට යොමු වූයේ කෙසේද? ඒ කියන්නෙ එතන ආර්ථික දුෂ්කරතාවය ජයගැනීමට තිබූ ආශාවට වඩා වැඩි දෙයක් තිබෙනවා. මා වැන්නෙක් දේශපාලනයට ඇදී ආවේ මන්දැයි කියන්න හරියටම බැහැ. ඒ මොකද ආර්ථික වශයෙන් ආකර්ශනීය විකල්පයක් මා ඉදිරියේ නොතිබූ නිසා. 
 
 
නමුත් එසේ තිබියදීත් ඒ ආකර්ශනීය විකල්පය පරදුවට තබා අතිශයින් අනතුරුදායක තෝරාගැනීමක් වූ “විප්ලවය“ පිළිබඳ මාවතට යොමුවෙනව කියන්නෙ බැරෑරුම් තෝරාගැනීමක්. සරත් කොල්ලුරේ, සුදත් බණ්ඩාර මෙන්ම වෙනුර එදිරිසිංහ, පද්මසිරි ත්‍රීමාවිතාන, ඉංජිනේරු සිසුවෙක් වූ නිෂ්මි වැනි බොහෝ දෙනෙක් මේ වර්ගීකරණයට ඇතුළු කරන්න පුළුවන්. 
 
 
මේ අය දේශපාලනයට එන්නේ මා වැනි අය මෙන් සිය පුද්ගලික අනාගතය පිළිබද ඇති අවිනිෂ්චිතභාවය නිසාම යැයි කිව නොහැකියි. ඒ නිසා ඒ අය තුළින් අපිට පුළුවන් වෙනව බුද්ධිමත් තරුණ පිරිස්වල දේශපාලන පරිකල්පනයේ දිශානතිය බලාගන්න.
 
 
මම මීට සති කීපයකට පෙර පළ කළ ෆේස් බුක් සටහනක් මෙසේය:
 
''ධනාත්මකව සිතනවායැයි සිතන, රටේ දියුණුව ගැන ද හැඟීමක් ඇති, තමන්ට රට වෙනුවෙන් යමක් කළ හැකි යැයි ද සිතන තරුණ පිරිස්වලට තම වටපිටාව කෙරෙහි සංවේදී වී තෝරාගත හැකි ආකර්ශනීය ජීවන මාවත් වෙනස් වී ඇති ආකාරය ගැන ප්‍රශ්නකාරී සාමාන්‍යකරණයක්.
 
මේවා වනාහී කිරීමට වෙන දෙයක් නැති නිසා කරන්නං වාලේ කරන දේවල් නොව, තෝරාගතහොත් තමාටත් සමාජයටත්, රටටත්, ලෝකයටත් ප්‍රයෝජනවත් යැයි සිතා තෝරාගත හැක මාවත් ය. 
 
 
1989ට පෙර - විප්ලවය
 
2009ට පෙර - රට බේරා ගැනීම
 
2009ට පසු - “නාසා” විද්‍යාඥයෙක් වීම (“නාසා” යනු සංඥාර්ථයකි)''
 
 
සුදත් බණ්ඩාර ජවිපෙ කැරැල්ලෙන් පසු ජාතික චින්තන අදහස් පද්ධතිය වෙත ආකර්ශනය වීම සැලකිය යුතු තත්වයකි. 
 
1989න් පසු “විප්ලවය“ යන්න සුදත් බණ්ඩාර-සරත් කොල්ලුරේ වර්ගයට අයත් තරුණ පිරිස්වලට එතරම් ආකර්ශනීය බුද්ධිමය විකල්පයක් වූ බව නොපෙනේ. 
 
  
1990 ගණන් වල ප්‍රධාන විශ්වවිද්‍යාලවල විවිධ සංවාද සම්මන්ත්‍රණ වලට සහභාගී වී ඇති මට නිතරම පෙනී ගිය දෙයක් වන්නේ බුද්ධිමය ශඛ්‍යතාවය අතින් ඉහළ මට්ටමක සිටි පිරිස් අතර “විප්ලවය“ කෙරෙහි පැවැති ආකර්ශනය පහවී ගොස් ඇති බවකි. ඒ තැනට ජාතිකවාදය ආදේශ වී තිබුණු බවයි. 
 
 
* දෙවෙනි පිංතූරයේ සිටින්නේ සරත් කොල්ලුරේය.
 
 
(මෙම සටහන අසම්පූර්ණ එකකි. එය පසුව සම්පූර්ණ කිරීමට උත්සාහ කරමි.)
 
 
 

THE LEADER TV 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 
 
 
පල දෙන්න පටන් අරන්
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්