The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

T

The Leader Desk

November 13, 2021 • 8:46 AM

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල සමරවීරයන් සමුගෙන තෙමසක් ගතවී ඇතත් සිතෙහි ඇතිවූ කම්පනය එලෙසම පවතී.
  • ඉතිහාස පොත්පත්හි කියැවූ, වීරයකු ලෙස සිතේ ඇඳී හුන් සොක්‍රටීස් ගැන ආවර්ජනය කිරීමේදී මගේ චිත්ත කම්පනයට හේතුව පැහැදිලි විය.
  • මෙදා, වැඩිහිටි වියේදී එතරම් බොළඳ ලෙස නිගමනයන්ට නොඑළඹුනත්, යමෙකුගේ අදහස් (ideas) සහ අගයයන් (values) වලට ඇතිවන ආකර්ෂණය, පුද්ගලයකුට ඇතිවන ආශක්ත වීමට වඩා අතිශයින්ම ප්‍රබලය යන්න අදටත් මගේ විශ්වාසයයි.
  • වසර දෙදහස් හාරසිය ගණනකට පෙර විසූ, බටහිර දර්ශනයේ පියා ලෙස සැලකෙන සොක්‍රටීස් තම මතවාදයන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටියෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):



සමීපතමයන් දිවියෙන් සමුගැනීමේ කටුක වේදනාව මා අත්විඳ ඇත. නමුත් කම්පනය මුසු මේ හැඟීම එයට වඩා බෙහෙවින් වෙනස් එකකි. එය ඊයම් බරුවක් මෙන් ආත්මයේ පතුලටම කිඳා බැස තිබේ.

කිහිප වතාවක් මුණගැසී තිබුනා හැර සමීප ඇසුරක් තිබුනේද නැත. කාලය සියලු තුවාල සුව කරයි (time heals all wounds) යන කියමන මෙහිදී වලංගු නොවන්නේ මන්දැයි සිත විමසයි.

අප්‍රමානවූ සිතිවිලි ජාලයක පැටලී සිටි මොහොතක, මා බෙහෙවින් ප්‍රිය කල ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් හිටි වනම මතකයට නැඟුණි. ඉතිහාස පොත්පත්හි කියැවූ, වීරයකු ලෙස සිතේ ඇඳී හුන් සොක්‍රටීස් ගැන ආවර්ජනය කිරීමේදී මගේ චිත්ත කම්පනයට හේතුව පැහැදිලි විය. සොක්‍රටීස් හෙම්ලොක් වස බඳුන දෝතින් ගෙන මධුවිතක් මෙන් පානය කලා යැයි බොහෝ කලකට එපිට පාසල් වියේදී මනසින් පරිකල්පනය කොට, මා චිත්ත රූප මවාගත් අයුරු අදටත් මතකය.


fwerwer23ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්


තමා නිවැරදියැයි සිතූ අදහස් වෙනුවෙන් දිවි පිදූ සොක්‍රටීස් එදා මගේ ලෝකයේ වීරයකු විය. මෙදා, වැඩිහිටි වියේදී එතරම් බොළඳ ලෙස නිගමනයන්ට නොඑළඹුනත්, යමෙකුගේ අදහස් (ideas) සහ අගයයන් (values) වලට ඇතිවන ආකර්ෂණය, පුද්ගලයකුට ඇතිවන ආශක්ත වීමට වඩා අතිශයින්ම ප්‍රබලය යන්න අදටත් මගේ විශ්වාසයයි.

වසර දෙදහස් හාරසිය ගණනකට පෙර විසූ, බටහිර දර්ශනයේ පියා ලෙස සැලකෙන සොක්‍රටීස් තම මතවාදයන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටියෙකි. ඔහුගේ මිත්‍ර ප්ලේටෝ රචිත "The Apology of Socrates" හි සඳහන් වන ආකාරයට ඔහුට තිබු ප්‍රධාන චෝදනා වූයේ තාරුණ්‍යයේ මනස දූෂිත කිරීම, ඇතන්ස් නගරයේ බහුතරයක් විශ්වාස කරන දෙවිවරුන් විශ්වාස නොකිරීම, සහ අධර්මිෂ්ඨ තාවය (impiety) පැතිරවීමයි. (මෙහි ප්ලේටෝ Apology යන්නෙන් අදහස් කොට ඇත්තේ "සමාව අයැදීම" නොව "පැහැදිලි කිරීම" යන්නයි. "Apologia" යන ග්‍රීක වචනයේ තේරුම "speaking in defense" වෙයි).


මංගල සමරවීර නමැති පුද්ගලයාට වඩා, මා අගය කොට ඇත්තේ, ආශක්තවී ඇත්තේ ඔහුගේ දැක්ම (vision) සහ අදහස් වලට බව මට මැනවින් පැහැදිලි විය.
විශේෂයෙන්ම ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් පසු, විවිධ අවස්ථාවන්හිදී නිර්භයව පැවසූ මානව හිතකාමී ප්‍රකාශ වලට මා බෙහෙවින් ආකර්ෂණය වී තිබේ.

 අදහස් සහ මතිමතාන්තර අනුව සලකන විට ඔහු ජීවත් වූ විශ්වයේම (universe) මාද ජීවත්ව ඇත. බොහෝ විට මිනිසුන් සිරුරු වලින් එකම විශ්වයේ ජීවත් වුවත්, අදහස් වලින් ජීවත් වන්නේ බහුවිශ්වයන් (multiverse) තුලය. අදහස් සහ දැක්මෙන් සමාන එකම විශ්වයට අයත් වූවන් හමුවූ විට ඇතිවන ආශක්තයට කාලය, දුර, වයස, ජාතිය, ආගම, හෝ ස්ත්‍රී පුරුෂ බව අදාල වන්නේ නැත.

දෙදණින් වැටී වන්දනා කල යුත්තේ කාහටද යන්න පාසැල් ත්‍යාග ප්‍රධානෝත්සවයකදී ඔහු ළමුන්ට කියාදුනි. වැඳිය යුත්තේ සුදු රෙද්දෙන් හෝ කහ රෙද්දෙන් වැසී තිබෙන ශරීර වලට නොව, එම රෙදි දරා සිටින්නන් පිදිය යුතු ගතිගුණ වලින් යුක්ත නම් පමණකියැයි ඔහු නිබයව ප්‍රකාශ කලේය.

ඒ වකවානුව, රටම "සිංහල බුද්ධාගම" තියරියට නතුවී, බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව, රාවණාගේ උරුමය පමණක් නොව, කැළණි ගඟ දෙබෑ කොට නා ලොවින් නා රජකුගේ ආගමනයද සිදුව තිබූ අවිචාර සමයකි.

සිංහල බෞද්ධ දේශයේ ද්‍රෝහියා ලෙස හංවඩු වැදුනත්, සත්‍යය ඇති ලෙසින්ම පැවසීමට ඔහු නිර්භීත විය. ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සිරිත් විරිත් රැක ගන්නා අතරම දියුණු වන ලොව සමග ඉදිරියට යාමට නම්, අප නවීන විය යුතුය යන්න ඔහු තරයේ විශ්වාස කලේය.

ඔහුගේ අදහස වූයේ අප ගෝත්‍රික වාදයෙන් මෙන්ම රාජාණ්ඩු වහල් මානසිකත්වයෙන්ද ඉවත්විය යුතු බවයි. "සිංහල බුද්ධාගම" වෙනුවට ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ දර්ශනයට ගෞරව කලා පමණක් නොව, එය අසීමිතව විශ්වාස කලේය. ඔහුගේ පුරෝකථනය වූයේ අනාගතයේදී බෞද්ධ දර්ශනය සහ විද්‍යාව සමපාත වන බවයි.

බෞද්ධ දර්ශනය හා සසඳන විට විද්‍යාව තවමත් ළපටි වියේ පසුවුවත්, දැනටමත් එය සිදුවෙමින් පවතී.

සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු මෛත්‍රිය වැඩීම යැයි ඔහු විශ්වාස කලේය. සියළු සත්වයෝම නිදුක්, නීරෝගී සහ සුවපත් වීමට කරන ප්‍රාර්ථනාව, තවත් නමකින් හැඳින්වීමේ වරදක් තිබේද?


රටට තම මවට මෙන් නොව තම දරුවාට මෙන් සැළකිය යුතු කාලය එළඹ ඇති බව කීවේ, ඇතැමුන් තම මවුවරුන් මහමඟ අතරමං කොට දමා යන බව සිහිපත් කර දෙමිනි.
 

 

 

 
වත්මනෙහි රට පත්වී ඇති ඉරණමේ වගකීම ඔහු අනුන්ට පමණක් පැටවීමට උත්සාහ නොකලේය. 1994 සිට ඔහුද එයට දායක වී ඇතිබව පිලිගත්තේය. එසේම සියලුම දේශපාලකයින්, මාධ්‍යකරුවන්, චන්ද දායකයින් යන සැවොම අඩු වැඩි වශයෙන් එයට වගකිව යුතුයැයි කීවේය. දැන් කල යුත්තේ පාට, පක්ෂ, ආගම්, ජාති වලට බෙදී කුලල් කා ගන්නවා වෙනුවට සැවොම රට අගාධයෙන් ගොඩ ගැනීමට එක්ව කටයුතු කිරීම බව ඔහුගේ අදහස විය.

විශේෂයෙන්ම තාරුණ්‍යයට අවධානය යොමුකල ඔහු, තාරුණ්‍යය තුල රටේ අනාගත ආයෝජනය සිදුවිය යුතුයැයි අවධාරණය කලේය.

බොහෝ බලය ඇත්තන් තුල දක්නට නොලැබෙන, නිහතමානී සහ නිරහංකාර බව ඔහු තුල නොඅඩුවම දක්නට ලැබුණි.

සොක්‍රටීස්ගේ ප්‍රකට කියමනක් වූ "එකම සැබෑ ප්‍රඥාව ඔබ කිසිවක් නොදන්නා බව දැන සිටීමයි" (The only true wisdom is in knowing you know nothing) යන්න මංගල සමරවීරයන් ආරම්භයේදීම දැන සිට ඇත. ඔහු භාරයට පත් සෑම වගකීමක්ම විශිෂ්ඨ ලෙසින් ඉටු කිරීමට එය බෙහෙවින් ඉවහල් වූවායැයි මට සිතේ.

තමා සියල්ල දන්නේයැයි සිතන උද්ධච්ඡ ප්‍රතිපත්තිය වෙනුවට ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ට ඔහු සැමවිටම සවන් දුන් බව ප්‍රකට කරුණකි.

තම දර්ශනය පාවාදී සමාව අයැදීම ප්‍රතික්‍ෂේප කල සොක්‍රටීස්, එදා වස බඳුන දෑතට ගන්නට ඇත්තේ එයින් අත්වන ප්‍රතිඵලය නොදැන විය නොහැක. එසේම ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව, සිංහල බෞද්ධ බහුතරයකින් සමන්විත බහු ආගමික, බහු වාර්ගික රටක් යැයි මංගල සමරවීරයන් එදා හුදකලාව හඬ නැගුවේ එයින් වියහැකි දේශපාලන සියදිවි නසා ගැනීම නොදැන නොවේ.

එදා මෙදා තුර කිසිම දේශපාලකයෙක් එවැන්නක් කිවූ බව මා නම් අසා නැත. කිසි දිනෙක දේශපාලන විද්‍යාව හදාරා නැතත්, 1957 දී අත්සන් කොට ඉන්පසු ඇතැමුන්ගෙන් ආ පීඩනය දරාගත නොහැකිව, 1958 දී නැවත ඉරා දැමූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැනත්, එයින් ඇතිවූ අනිටු ප්‍රතිඵල ගැනත් මා අසා ඇත.


Mangalaමංගල සරසවි සිසුවකු ව සිටි සමයේ ...

තනිව සිට තම මතය ප්‍රකාශ කිරීමට මංගල සමරවීරයන් තුල තිබූ ඒ ශක්තිය සහ ස්වාභිමානය ගැන සිතන විට, ඔහු කෙරෙහි මා තුල ඇතිවන්නේ අප්‍රමාණ ගෞරවයකි.

කිසිම දිනෙක දේශපාලනය හෝ දේශපාලකයින් ගැන වචනයක් හෝ ලියා නැති මට, හිටි අඩියේම සිදුවූ විපර්යාසය ගැන මගේ ඇතැම් මිතුරු මිතුරියන් විමතියට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුල බොහෝ දේශපාලකයින් අකල් මරණ වලට ගොදුරු වුවත් ඒ කිසිම විටෙක මා මෙසේ කම්පා නොවූ බව මිතුරෙක් පැවසීය. එය සත්‍යයකි.

කෙනෙකු අකල් මරණයකට පත්වූ විට ශෝකයක් ඇතිවීම ස්වභාවිකය. නමුත් මංගල සමරවීර යනු මගේ දෘෂ්ඨියට අනුව, නිකම්ම නිකන් දේශපාලකයකු නොවේ. ඔහු හුදෙක් දේශපාලකයකු පමණක් වූවානම්, ලියන්නට කිසිවක් මට නොතිබෙනු ඇත. ඔහුගේ දැක්ම, අදහස් මගේ විඥානයේ තදින් කිඳා බැස තිබේ.

ඔහු මානව හිතවතෙකි, එමෙන්ම සිත්ගන්නා සුළු රසකාමියෙකි. ජීවිතය යනු විඳවීමට ඇති දෙයක් නොව විඳීමට ඇති දෙයක් ලෙස දුටු අයෙකි. වඩාත්ම වැදගත් වන්නේ ජිවිතය විඳීම ඔහුට පමණක් නොව, සැමටම අයිති දෙයකැයි ඔහු තුල තිබූ පරාර්ථකාමී අදහසයි. එම මානව හිතෛෂී දර්ශනය යථාර්ථයක් බවට පත් කිරීම අනාගත පරපුර වෙනුවෙන් අපගේ වගකීම විය යුතුයැයි මම විශ්වාස කරමි.

(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


Mathaka Mangala Final 01


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...