අර්වින් පාටි දමන්නට රුසියෙකි.

ඒ පාටිවල පොඩි ගතියක් තිබේ.

අර්වින් ගේ ගෙදර පාටිවල වැදගත් තැනක් අප දී ඇත්තේ රංජන අමරදේවට ය.

ඒ ගෙදර යාමට බැරි තරම් වැඩි වී ඔහු අර්වින් ගේ ගෙදර බුදියාගත් නිසාය.

මේ සිද්ධිය මතක් කරන විටත් රංජන මහත් ලජ්ජාවට පත් වන්නේ ‍ය.

අර්වින් පාටි දමන්නේ ටිකල් පාරේ පිහිටි නිවසේ උද්‍යානයේ ය.

උද්‍යානයක් කීවාට අප ඒකට කියන්නේ සිංහරාජේ කියලාය.

ඒ එහි කැළෑවක් මෙන් ගස් වවා තියෙන නිසාය.

මෙහි ඇති වැදගත්ම ගස කිතුල් ගසය.

කිතුල් ගසේ කතාව පසුව කියමි.

PHOTO 2023 06 13 09 57 25
අර්වින් බොන්න දෙන්නේ මේ පුංචි කැලෑ රොදට මුහුණලා ය.

අර්වින් ඒ කාලේ අපට දුන්නේ රෙඩ් ලේබල් ය.

ආර්ථික අවපාතය නිසා දැන් මොනවා දෙනවාදැයි දන්නේ නැත.

අර්වින් බීම තබා ඇති කුඩා මේසයට දකුණු පැත්තේ කුඩා පොකුණකි.

මේ පොකුණ ගැන මතක අපේ ටැමිල් කොපි රයිටර්, සුරේෂ් නිසාය.

එක පාටියකදී සුරේෂ් දෙකක් දාගෙන පොඩ්ඩක් වැඩිවී මාලුන් පීනමින් ඉන්නා මේ පොකුණ මැදින් ඇවිදගෙන ගියේය.

ඇවිදගෙන ගියා පමණක් නොව ඔහු ඉන් පසුව මට අවවාද ද දුන්නේය.

සුරේෂ් මට දුන් අවවාදය ඔහුගේම වචනවලින් මෙසේය.

PHOTO 2023 06 13 09 57 24

" මචං, be careful ...අර පොන්ඩ් එක උඩින් ඇවිදගෙන  යන්න එපා... බොසා ඒකට වතුර පුරවලා.."

ඒ වන විටත් සුරේෂ් ගේ කලිසම් කකුල් දෙකෙන් වතුර බේරෙමින් තිබුණි.

සමහර විට ඔහුගේ සපත්තු දෙක ඇතුළේ ගප්පි පැටවුන් ද ඉන්නට ඇත.

මේ පාටියේ හොඳම ටික ආවේ රෑට කන්න ‍යද්දී ය.

අර්වින් පොඩි කලාවකට පාටි දමන්නෙකි.

අවට ගස්වල ලයිට් එල්ලා ඇත.

ඒවාද ඩිම් ලයිට් ය.

බුෆේ එක තිබුනේ ගාඩ්න් එකේය.

බුෆේ ටේබල් එක ළඟ දෙන්නෙක් බැන ගනී.

වලිය යන්නේ ස්ටුඩියෝ එකේ සජිත් හා නන්දන අතරය.

" උඹ මොකද මං දාගත්තු එකම දාගත්තේ...?"

ඒ සජ්ජාය.

" උඹනේ කිව්වේ ඉඳි ආප්ප කොත්තු කමු කියලා..."

ඒ නන්දන ගේ හඬය.

මෙලෙස බැනගන්නේ පිඟන් දෙක ද අතේ තබාගෙන ය.

හැබැයි ඉඳි ආප්ප කොත්තු නම් ඒ බුෆේ එකේ තිබුනේ නැත.

සිද්ධ වී ඇති කතන්දරේ මේකය.

srtinghoppers thumb
"අනිත් එවුන් ඕන දෙයක් කාපුදෙන් අපි දෙන්නා මෙතන තියෙන ඉඳි ආප්ප කොත්තුව කමු"

කියා සජිත් යෝජනා කර තිබේ.

ඉඳි ආප්ප කොත්තුව ළඟ එච්චර ‍රෂ් එකක් නැති නිසා නන්දන විසින් ඊට අනුමැතිය දී තිබේ.

වෙරි මරගාතේ මදිවාට කළුවරේදී කහ පොල් මැල්ලුම මේ දෙන්නා දැක ඇත්තේ ඉඳි ආප්ප කොත්තුවක් ලෙසිනි.

සජ්ජාත්, නන්දනත් මුළු පොල් මැල්ලුමම බෙදාගෙන ඒක උඩට හොදි හා කරි ද දමාගෙන කන්න ගිය තැනදීය වැඩේ පත්තු වී ඇත්තේ.

ඒ බුෆේ ටේබල් එකේ ඉඳි ආප්ප නම් තිබූ නමුත් ඉඳි ආප්ප කෑ කාටවත් පොල් මැල්ලුම් නම් ලැබුනේ නැත.



(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්