සම්පත් බැංකුව වෙනුවෙන් කාලයකට ඉහතදී වෙළෙඳ දැන්වීමක් ලියැවුණි.

 

ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා වූ සම්පත් සංහිඳ ගිණුම වෙනුවෙනි.

මේ දැන්වීම රූපගත කෙරුණේ නුවරඑළියේ ය.

අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රසන්න ජයකොඩි ය.

මේ රූපගත කිරීම වෙනුවෙන් දින ගණනක් නුවරඑළියේ නතර වි සිටින්නට සිදුවිය.

වරුණි, චතුර, ඉසුරු ඇතුළු පිරිසක් මේ සදහා ග්‍රාන්ට්ස් එක වෙනුවෙන් ගියහ.

AV අංශයේ ප්‍රධානීයා වූ ජූඩ් ඊට සහභාගි නොවූයේ ඩොරති ගේ අවමංගල්‍යයට සහභාගි වීමට සිදුවූ බැවිනි.

PHOTO 2023 06 21 10 56 37 1

ප්‍රසන්න ජයකොඩි


මුලින්ම කමර්ෂල් එක ගැන ප්‍රසන්න සමග සාකච්ඡාවක් පැවැතියේ ස්කයි ප්‍රොඩක්ෂන් හවුස් එකේදී ය.

ඔහු ඒජන්සියෙන් ගෙනෙන ස්ටෝරි බෝඩ් එක අදාළ කරගන්නේ නැත.

ඔහු අධ්‍යක්ෂණය කරන කමර්ෂල් එකේ ස්ටෝරි බෝඩ් එක අඳින්නේ ඔහු විසින්ම ‍ය.

ප්‍රසන්න ස්ටෝරි බෝඩ් අඳින්නේත් වෙනම ක්‍රමයට ය.

ඔහු සම්පත් සංහිඳ කමර්ෂල් එකේ ස්ටෝරි බෝඩ් එක ඇන්ඳේ මෙහෙමය.

කුඩා මේසය මත බෝතලයකි.

තව හාෆ් ෂීට් කොල කිහිපයක් හා බෝල් පොයින්ට් පෑනකි.

ඉදිරිපස අසුනේ අසුන් ගන්නා මෙන් ප්‍රසන්න කීවේය.

ඇත්තටම මට එදා ඔෆිස් එකේ වැඩක් යෙදී තිබුණි.

මම ඔෆිස් එකට ගොස් එන්නම් යැයි කීවෙමි.

එවිට පැයෙන් වැඩේ ඉවර කරන බව ප්‍රසන්න කිවේය.

ඒ අනුව ඔහු ඉදිරියේ මාත් ඈඳී ගත්තෙමි.

storyboard cover 650x300

ප්‍රසන්න ස්ටොරි බෝඩ් එක අඳින්නේ පුංචි මුද්දර සයිස් කොටුවලය.

පැයක් නොව පැය දෙක තුනක් විතර වැඩේට ගියේය.

ඔෆිස් එක පැත්තට යන්න දැන් වෙලාවක් නැත.

අන්තිමට මම ගෙදර යන්න නැගිට්ටෙමි.

එවිට ප්‍රසන්න මෙසේ කීවේය.

 

" උඹ ගියා නං එන්නේ නෑ.... බිව්වා නං යන්නේ නෑ...! "

අපගේ දර්ශන තල පිහිටා තිබුනේ හෝර්ටන් තැන්න ආශ්‍රිතවය.

ප්‍රසන්න ජයකොඩි සමග වැඩ කිරීමේ ශාස්ත්‍රයක් තිබේ.

අපට තත්පර 30 ක රූපවාහිනී දැන්වීමක් අවශ්‍ය නම් ප්‍රසන්නට කිව යුත්තේ ක්ලයන්ට් අනුමත කර ඇත්තේ තත්පර 15 ක දැන්වීමක් බවයි.

එවිට ප්‍රසන්න තත්පර 30 කට වැඩේ නිමා කරදෙයි.

යම් විදියකින් මේ දැන්වීම තත්පර 30 එකක් බවට ඇත්තම කිව්වොත් ප්‍රසන්න එය ඉවර කරන්නේ තත්පර 45 ක දැන්වීමක් වශයෙනි.

මේ ටික ලියුවේ ආධුනිකයින් ගේ දැනුම සදහා ය.



මේ දැන්වීම රූගත කරන විට සුමුදු ගුරුගේත් කොහෙන් හෝ සෙට් විය.

ඒ අපේ නවාතැන් පොළේදී ය.

සුමුදු යනු නදීක ගුරුගේ ගේ සොහොයුරා ය.

සුමුදුගේ කතා ශෛ‌ලිය එතරම්ම අපට දිරෙව්වේ නැත.

ඒ නිසාම නදීක හා සුමුදු ගැන අපූරු කතාවක් අප හදාගත්තේ මෙලෙසින් ය.

පොඩි කාලේ සුමුදු ගිටාරයක් ගෙනැවිත් නදීකට දී තිබේ.

ඊට පසුවදාම සුමුදු විසින් ගිටාරය විකුණා පෝනියකු ගෙනැවිත් තිබේ.

එහි අවසන් විග්‍රහය වූයේ එය සිංහල සංගීතය බේරගන්න සුමුදු විසින් දැරූ අවංක ප්‍රයත්නයක් ලෙසිනි.

කෙසේ හෝ පසුවදාට එළිය වැටෙන විට සුමුදු නවාතැන් පොළේ හිටියේ නැත.

මෙම දැන්වීම රූපගත කරද්දි පොලීසි නොගිහින් බේරුනේ අනූ නවයෙනි.

ප්‍රසන්න ෂොට් එකක් ඉල්ලුවොත් ඒක දෙන්නම ඕනෑය.

එලෙස එක ස්ථානයක් පෙන්වා රූගත කරන ලෙස ප්‍රසන්න කිව්වේය.

මොහොතින් වන රක්ෂණයේ නිලධාරින් පැමිණ රූගත කිරීම නතර කරන ලදි.

පසුව දැනගන්න ලැබුනේ හෝර්ටන් තැන්නේ වෙසෙන දුර්ලභ කටුස්සන් වර්ගයක් බිත්තර දමන්නේ එම ස්ථානයේ බවයි.

කටුස්සන් නොව ගිජුලිහිනියන් බිත්තර දැම්මත් ප්‍රසන්නට අදාළ නැත.

ඔහු කන්දෙන් පහළට ආවේ කෙසේ හෝ ඒ ෂොට් එක කැමරාවේ සටහන් වූ පසුවය.

PHOTO 2023 06 21 10 56 36 1

ඉසුරු

ග්‍රාන්ට්ස් එකෙන් මේ රූපගත කිරීම් සදහා ගිය චතුරවත්, ඉසුරුවත් ලයන් පබ් එකට මීට පෙර ගිහින් තිබුනේ නැත.

චතුරගේ ලොක්කා වූයේ වරුණි ය.

 වරුණිට හොරෙන් අපි ලයන් පබ් එකට ගියෙමු.

 කටට හළා ගත් බියර් පොද උගුරෙන් පහළට වැටෙන්නට කලින් කෝල් එකකි.

ඒ වරුණි ගෙනි.

" මට නොකියා කොහේද ගියේ? දැන්ම කියනවා ඉන්න ‍තැන..!"

චතුරට ඒ ඕඩර් එක ආවේ වරුණි ගෙනි.

විනාඩි ගණනක් ඇතුළත වරුණිත් දැන් පබ් එක ඇතුලේය.

ගැහැණු පුළුටක් නැති පබ් එකේ පිරිමි තිදෙනෙකු සමග එක ගැහැණියකි.

ප්‍රශ්නය පබ් එකේ ඉන්නා අනිත් උන් හිතන දේවල් ය.

අපට වෙලා තියෙන සන්තෑසිය උන් දන්නේ නැත.

බලහත්කාරයෙන් කඩා පාත් වුණු වරුණි නිසා ආතල් කුඩු වී අපි අසරණ වී සිටිනවා මදිවාට පබ් එකේ සිටි එවුන් දාන උපහාසාත්මක බැල්ම අපේ වෙරි හින්දවයි.

මේ ටික වුණේ පළමු දින ෂූටිං අවසානයේ ය.

දැන් දෙවැනි දවසය.

PHOTO 2023 06 21 10 56 37

වරුණි

රූපගත කිරීම් අතරතුර වරුණිට හදිසි අවශ්‍යතාවක් ඇති විය.

ඒ සදහා හෝර්ටන් තැන්න පිවිසුම අසල කාර්යාලයට යා යුතුය.

වරුණිව තනියම යැවිය නොහැකි නිසා අපි චතුරවත් වෑන් එකට පැටෙව්වෙමු.

පැයක් පමණ ගත විය.

චතුරයා ෆුල් ජොගින් මූඩ් එකෙන් අත් දෙක වනමින්, උඩ පනිමින් පයින්ම එයි.

මොකද වුණේ යැයි ඇසූ විට වරුණිව අදාළ ස්ථානයේ බස්වා තමන් පයින්ම ආපසු පැමිණි බව චතුර කිව්වේය.

ඊළඟට හොඳම හරියය.

වැඩේ නිම කර එළියට පැමිණි වරුණි චතුරව සොයා තිබේ.

ඒ කාලේ චතුර ඉරට්ටක් වගේය.

කෙට්ටුය.

PHOTO 2023 06 21 10 56 36

චතුර

චතුරව කොටියෙකු ඇදගෙන ගොස් ඇතැයි සිතූ වරුණි හතර වටේටම ඔහුව සොයන්නට පටන් ගෙන තිබේ.

දැන් කාර්යාලයේ සිටින වන ජීවී නිලධාරින් ද චතුර සෙවීමේ මෙහෙයුමේය.

චතුරගේ මයිල් ගහක්වත් සොයාගැන්මට නොහැකි වූ තැන වරුණි අපට කෝල් කළාය.

චතුර සුවසේ අපත් සමග සිටින බව දැන්වීමු.

මොහොතින් වරුණි රැගත් වෑන් රථය පැමිණියේය.

ඒක ඇතුළට චතුරව ද නංවා ගන්නා ලදි.

චතුරගේ ආරක්ෂාවට ඉසුරුත් මාත් ඒකටම නැග්ගෙමු.

ඉන් පසු චතුරට අහගන්නට ලැබුනේ අම්මා මුත්තා ගෙන් වත් නෑසූ බැනුම් කන්දරාවකි.

වරුණි නිකං කතා කරන කොටත් බනිනවා වගේය.

බනින කොට කොහොම ඇත්දැයි හිතා ගැනීම පාඨකයන්ට බාර ය.

ඉසුරුත්, මාත් කළේ තව තවත් පෝර දමා බැනුම් වැඩි කර දීමය.

අපි එන්න එපා කියද්දී චතුර වරුණි දමා පැමිණි බව කී විට වරුණි නැවතත් චතුරට දෙන්න පටන් ගනී.

එසේම චරුණි වාතයක් නිසා මග දමා පැමිණී බව චතුර කී බවත් පැවසීමු.

වරුණි ඒකටත් චතුරට බැන වදී.

ඇත්තටම කොටියා කෑවා නං හොඳයි කියා එදා නම් චතුරට හිතෙන්න ඇත.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image