විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා තීරු බදු සහන සහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.


මෙලෙස තීරු බදු සහන සහිතව වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා වාර්තා පළ විය.

මේ අතර වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විසින් කමිටුවක්ද පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබුණි.

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් කවුද ?

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත ය.

ඒ අනුව විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ ඒ බව සඳහන්ව තිබේ.

මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වෙයි.

‘ලියුම තවම මගේ අතේ’

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය ගැන බීබීසී සිංහල සේවය කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් (මැයි 07 වැනිදා) විමසීමක් කරන ලදී.

එහිදී කතානායකවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ලිපිය තමන් සතු බව ය.

"තීරුබදු සහන සහිත වාහන බලපත්‍ර ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු ලිපිය තවම මා ලඟ තියෙනවා.”

“ඒක ජනාධිපතිතුමාට භාර දෙන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ තවම. ඉදිරියේදී ඒක කරනවා." කතානායකවරයා පැවසුවේය.

වාහන බලපත්‍ර ඉල්ලා ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ වාහන බලපත්‍ර ඔවුන්ට ලබා ගැනීමට හැකි වේවිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට කතානායකවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"වාහන බලපත්‍ර ඉල්ලා ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කීදෙනෙක්ද කියලා ගණන් කළේ නැහැ. වාහන බලපත්‍ර ලබා දීම ආණ්ඩුව ගන්නා තීරණයක්." ඔහු පැවසීය.

වාහන බලපත්‍ර නිකුත් කරනවාද ?

තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් ද මාධ්‍යවේදීන් විමසීමක් කරන ලදී.

මේ ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරයි.

" මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි රාජ්‍ය සේවකයින් සඳහාත් විවිධ තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර ලබා දීම දීර්ඝ කාලයක පටන් සිදුකරගෙන එන ක්‍රියාවලියක්."

"නමුත් පසුගිය කාල සීමාවේදී රටේ විදේශ විනිමය අර්බුදය තුළ රාජ්‍ය සේවකයන් සඳහා සමහර අංශ සඳහා වාහන බලපත්‍ර නිකුත් කළත් ගෙන්වන්න පුළුවන්කමක් තිබුනේ නැහැ වාහන ආනයනය තහනම් කර තිබු නිසා."

"දැනට විශේෂ අවසරයක් ලබා දුන්නේ, සංචාරක ව්‍යාපාරය සඳහා වාහන දහසක් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය බලපත්‍රය ලබා දුන්නා."

"බොහොම ප්‍රවේශමෙන් විදේශ විනිමය කෙරෙහි ඇතිවන බලපෑම අධ්‍යනය කරමින් තමයි වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීම සිද්ධ කරන්නේ." අමාත්‍යවරයා පැවසීය.

(BBC සිංහල සේවය)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්