රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ මිනිස්සු කියන්නේ “විකුණුම්සිංහ” කියලා.
ඒ ලංකාවේ රාජ්‍ය සම්පත් විකිණීමට රනිල්ට ඇති උපන් හැකියාව නිසයි. විශාල වෑයමක් දරා දැවැන්ත සැලසුමකට අනුව අනාගත පරම්පරා ගණනාවකට ප්‍රයෝජ්‍ය ආකාරයට ඉදි කළ හම්බන්තොට වරාය රනිල් “සුටුස්” ගාලා චීන කොම්පැණියකට විකුණා දැම්මේ කිසිදු වගවීමක් නැතිවයි. රාජ්‍ය සම්පත් නොවිකුණන බවට දිවුරා පොරොන්දු වූ නිසා හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය දී තෝරා ගත් ගෝඨාභය ජනපතිගේ පුටුවේ වැඩි වූ රනිල් දැන් IMF එක පිට දාලා මහා පරිමාණ රාජ්‍ය සම්පත් වෙන්දේසි කරනවා. එම රාජ්‍ය සම්පත් විකුණා තමන්ගේ පරම්පරාවට හම්බ කර ගන්න දරදිය අදින ඇමතිවරුන් ජනතාව විසින් මතක තබා ගත යුතුය. මන්ද අනාගතයේ ඇතිවන තත්ත්වයන්ට ඔවුන් වගකිව යුතු බැවිනි.

මේ කාරණයේදී ඔවුන්ගේ ප්‍රධාන තර්කය වන්නේ පුද්ගලික අංශයට විකිණීමෙන් සියලු රාජ්‍ය සම්පත් මහා විශාල ලාභ ලබන අති සාර්ථක ආයතන බවට පත් කළ හැකිය යන්නයි. මේ තර්කය නිවැරදිද? උදාහරණයක් ලෙස ඔවුන් නිතරම ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. එය දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික අංශයට විකුණා දැමීමෙන් ලාභ ලබන ආයතනයක් කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.
අපි උදාහරණ සහිතව බලමු.
පිටස්තර ලෝකය අත්විඳ නැති ග්‍රාම්‍ය ලාංකිකයන් නිතරම වර්ණනා කරන රටක් තමයි ස්විට්සර්ලන්තය. ඒ රටේ ජාතික ගුවන් සේවයක් තිබුණා SwissAir නමින්. ස්ව්ටිසර්ලන්තයේ වැසියන් තමන්ගේ ජාතික ධජය ලොව පුරා ගෙන යන SwissAir ගැන හිටියේ මාර ආඩම්බරයෙන්. එය හැඳින්වූයේ “ලෝකයේ පියාඹන බැංකුව” කියල යි. ස්ව්ටිසර්ලන්තය කියන්නේ ලෝකයේ ලොකුම ජාවාරම්කාරයන්ගේ කළු සල්ලි හෝදන බැංකුව. එහෙම කරලා තමයි ඔවුන් ඔය ඊනියා දියුණුවක් පෙන්වන්නේ. නමුත් පිට පිට වසර දහයකට වඩා SwissAir අති විශාල පාඩු ලැබුවා. අන්තිමට බංකොලොත් වෙලා වහලා දැම්මා. රස්සාව කරපු අහංකාර ස්විස් වැසියන්ට ගෙදර යන්න වුණා.

දැන් ඔබ හිතනවා ඇති SwissAir එකත් ඒ රටේ ආණ්ඩුවට අයිති වෙලා තිබුණ නිසා එහෙම වුණා කියලා. ඔබ වැරදියි. SwissAir ගුවන් සේවයේ අයිතිය තිබුණේ පුද්ගලික අංශයට. එහි සියලු තීරණ ගත්තේ, ආයෝජන කළේ, කළමනාකරණය කළේ පුද්ගලික අංශය. මාර වැඩේ නේද! ලෝකයේ සාර්ථකම ව්‍යාපාර කරනවාය කියලා අපේ අය හිතා ගෙන ඉන්න ස්විස්ටර්ලන්තයේ පුද්ගලික අංශයට පවා SwissAir ගුවන් සේවය ලාභ ලබන ව්‍යාපාරයක් කර ගන්න බැරි වුණානේ ඉතින්…
SwissAir ගුවන් යානයක ජීවිතේට නොගියට ඇතැම් විට ලංකාවේ යම් පිරිසක් ඉන්දියාවේ Kingfisher ගුවන් යානයක දඹදිව වන්දනාවේ හරි ගිහිල්ලා ඇති. ඒක අයිති වුණේ ඉන්දියාවේ ප්‍රකෝටිපති විජය මල්ලයාගේ ව්‍යාපාර සමූහයට. එච්චර සාර්ථක ව්‍යාපාරිකයෙක් විසින් පාලනය කළ Kingfisher අන්තිමට හතර අතේ ණය වෙලා ඒ ණය කන්දරාව ගෙවාගන්න බැරුව බංකොලොත් වෙලා වහලා දැම්මා. මල්ලයා ලන්ඩන් පැනලා හැංගුනා. හරියට රනිල්ගේ මිත්‍රයා මහේන්ද්‍රන් මහා බැංකුව කඩලා සිංගප්පූරු පැන්නා වගේ. මාර වැඩේ නේද! ඉන්දියාවේ ව්‍යාපාරිකයන් ගැන අපේ අය හිතා ගෙන ඉන්නේ ඕන කුණුගොඩක් රත්තරං කරන්න පුළුවන් කියලනේ. එහෙව් ඉන්දියාවේ පුද්ගලික අංශයට ඒ ගුවන් සේවය ලාභ ලබන ව්‍යාපාරයක් කර ගන්න බැරි වුණානේ ඉතින්...

මේ දෙකක් විතරයි. මේ වගේ ලෝකයේ ඕන තරම් උදාහරණ තිබෙනවා. තව මරු එකක් කියන්නම්. ලංකාව පහත් කරලා කතා කරන අපේ හාදයෝ ගොඩක් යන “ලාංකිකයන්ගේ උතුම් රට” ඕස්ට්‍රේලියාවේ තිබුණා Ansett Airlines කියලා ගුවන් සේවයක්. ඒකත් ඔය පාඩු පිට යන කොට “ලාංකිකයන්ගේ දෙවැනි උතුම් රට”, එනම් නව සීලන්තයේ ජාතික ගුවන් සේවය වන Air New Zealand විසින් ඒක මිල දී ගත්තා. අවුරුදු කිහිපයයි ගියේ අන්තිමට දවසකට ඩොලර් මිලියන ලක්ෂ ගාණක් පාඩු වෙන්න ගත්තා. අන්තිමට නව සීලන්ත්යේ ආණ්ඩුවකට සිද්ධ වුණා ඒ පාඩුවෙන් කොටසක් ගෙවලා තමන්ගේ ගුවන් සේවය බේරා ගන්න. Ansett එකේ වැඩ කළ 16,000 ඕස්ට්‍රේලියන් සේවකයන්ට හුළං. මාර වැඩේ නේද? ඕස්ට්‍රේලියාව වගේ සුපිරි පුද්ගලික අංශයක් තියෙන රටකත් ගුවන් සේවා පාඩු ලබනවා. නව සීලන්තය වගේ සුපිරි ආණ්ඩු තියෙන රටකත් ගුවන් සේවා පාඩු ලබනවා. කාට කියන්නද!
තවත් මේ ආකාරයට බංකොලොත් වුණු ගුවන් සේවා ලැයිස්තුවක් තියෙනවා මේ link එකේ, ගිහින් බලන්න. ආස හිතෙයි.
ගුවන් සේවා කියන්නේ ලෝකයේ කොහොමත් පාඩු ලබන ව්‍යාපාරයක්. කෝවිඩ් කාලයට පෙරත් මුළු ලෝකයේම ගුවන් සේවා සමස්තයක් හැටියට අලාභ ලබපු බව මේ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. තෙල් තියෙන, වෙන වෙන ජාවාරම් තියෙන රටවල් කිහිපයක් ඉතින් ඒ සල්ලි දාලා ඔවුන්ගේ ගුවන් සේවා කිහිපයක් නමට ලාභය කියා පෙන්වනවා. ඒ ඔවුන්ගේ අභිමානය පෙන්වන්න.
එහෙම බැලුවම ශ්‍රී ලංකන් ගුවන් සේවය හොඳයි. වසංගතයෙන් පස්සේ දැන් ටික ටික අලාභ අඩු වෙමින් යනවා. නමුත් මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ඕක විකුණලම දාන්න ඕනා. මොකද එතකොට අනාගතයේ වසංගතයක් ආවම චීනයේ හිරවෙලා ඉන්න ලංකාවේ උගත් බුද්ධිමත් තරුණ තරුණියන් “අනේ අපිව බේරා ගන්න” කියලා වීඩියෝ හදලා එව්වම ඒකට හිත උණු වෙලා “වහාම ගිහින් අපේ දරුවන් බේරාගෙන එන්න” කියලා රටේ ජනපතිගේ නියෝගයෙන් යවන්න පුළුවන් ආණ්ඩුවට අයිති ගුවන් සේවයක් තියෙන්න නරකයි. මොකද එහෙම ජීවිතේ බේරා ගෙන එන එකා ඊට වසරකට පස්සේ කිරි පිටි ඉල්ලලා ඒ ජනපතිවම එළවන්න පාරට බහින “මව්” රටක් මේක.
ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
2024 මැයි 19
ප.ලි. මට හොඳටම විශ්වාසයි ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණුවට පස්සේ ඒක තවත් අලාභ ලබලා අතින් අතට යන සෙල්ලම් බඩුවක් වෙනවා. අන්න එදාට ඕක විකුණුව අය ගැන අපි කතා කරමු! හරියට මැතිණිය හදපු රාජ්‍ය සම්පත් විකුණපු අය ගැන අද අපි කතා කරනවා වගේ.






