ජාතික රෝහල් අධ්‍යක්ෂට අධිකරණයෙන් නොතීසි – පැමිණිල්ලෙන් දැඩි චෝදනා රැසක්
බී වාර්තාවල තියෙන්නේ සාක්ෂි නොවෙයි: සලේ වෙනුවෙන් විත්තියේ නීතිඥයින්ගෙන් දැඩි විරෝධය
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, රැඳවුම් නියෝග මත පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 22 වනදා විවෘත අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කළේය.
මීට අමතරව, ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු වසන් කළ බවට සැකකෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර යන අයට විදේශගත වීම වළක්වාලමින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
අධිකරණය හමුවේ මෙම නියෝග නිකුත් වූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අතර පැවති දීර්ඝ හා උණුසුම් තර්ක විතර්කවලින් අනතුරුවය. නඩු කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටියහ.
දින 100ක රෝහල් වාසය සහ ‘වෛද්‍ය කුමන්ත්‍රණ’ චෝදනාව
නඩු කටයුත්ත ආරම්භයේදීම පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, සැකකාර සුරේෂ් සලේ දින 100කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටීම පිටුපස බරපතළ සැකයක් පවතින බව පෙන්වා දුන්නේය. පසුගිය සැප්තැම්බර් 02 වනදා අධිකරණය නියෝග කර තිබියදීත් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් සැකකරුගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් ඉදිරිපත් නොකිරීම විමර්ශන අඩාල කිරීමේ උත්සාහයක් බව ඔහු අවධාරණය කළේය.
"මේ සැකකරුට සිදුකර ඇත්තේ හෘද ස්පන්දනය විධිමත් කිරීමේ උපකරණයක් (ICD) සවි කිරීම පමණයි. එවැනි තත්ත්වයකදී මෙතරම් දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටීමට අවශ්‍යතාවක් නැහැ. ඔහු රෝහල විවේකාගාරයක් කරගෙන සිටිනවා. මෙය විමර්ශන මඟහැරීමට සහ ඔහුට ඉහළින් සිටින පාර්ශ්ව ආරක්ෂා කිරීමට ගත් උත්සාහයක්," යනුවෙන් ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණය මගින් පත්කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයටද රෝහල් බලධාරීන් අවශ්‍ය වාර්තා ලබාදී නොමැති බව පැවසීය.
විත්තියේ ප්‍රතිචාරය: "බී වාර්තා සාක්ෂි නෙවෙයි"
මෙම චෝදනාවලට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු දැඩි විරෝධය පළ කළේය. සැකකරුගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කළ හැකි බවත්, වෛද්‍යවරුන් හෝ රෝහල් අධ්‍යක්ෂවරයා සමඟ කිසිදු ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
"බී වාර්තාවල ඕනෑම ප්‍රකාශයක් සටහන් කරන්න පුළුවන්. නමුත් ඒවා නීතිය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි නොවෙයි. මගේ සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේ කිසිදු විරෝධයක් නැහැ. නීතිඥවරුන් වන අපට වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් නැහැ. එය තීරණය කළ යුත්තේ සුදුසුකම්ලත් වෛද්‍යවරුන් විසිනුයි," යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කළේය.
යුද හමුදා බුද්ධි අංශ හා බුද්ධි තොරතුරු සැඟවීම පිළිබඳ හෙළිදරව්ව
විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළේය. වවුනියාවේ පිහිටි පළමුවන සන්නද්ධ බුද්ධි බලකාය සහ මඩකලපුව/ගිරිතලේ පිහිටි තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළිව ඇති බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් 'තම්බියන්' නමැති හිටපු කොටි සාමාජිකයෙකු සහ බුද්ධි තොරතුරුකරුවෙකු හරහා සහරාන්ගේ කණ්ඩායම විසින් සකස් කළ බෝම්බ පුපුරුවා හැරීමේ අත්පොතක් පවා 2018 වසරේදී බුද්ධි අංශ වෙත ලැබී තිබූ බවත්, වව්නතිව් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පවා ප්‍රහාරය සහරාන් විසින් සිදුකරන ලද්දක් බවට ලද තොරතුරු යටපත් කර අජන්තන් නමැත්තෙකු දෙසට පරීක්ෂණ යොමු කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කළ බවත් පැමිණිල්ල චෝදනා කළේය. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර දින පවා මේ පිළිබඳ නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් අදාළ අංශ නිහඬව සිටි බව පැමිණිල්ල වැඩිදුරටත් කියා සිටියේය.
දේශපාලනඥයෙකු වන රිෂාඩ් බදියුදීන්, ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරුගේ මාමණ්ඩිය වන මන්නාරමේ ව්‍යාපාරික අලව්දීන්ගේ පවුලේ සාමාජිකයින් රැඳවුම් නියෝග මත සිටියදී මුදාහැරීමේ ක්‍රියාවලිය සහ සහරාන් ඇතුළු පිරිස බෝට්ටු මගින් ඉන්දියාවට සංක්‍රමණය වීම පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව මෙහිදී ප්‍රකාශ විය.
විත්තියේ ස්ථාවරය: "මාධ්‍ය සංදර්ශන මිස නීතිමය සාක්ෂි නෑ"
පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් විත්තිය දැක්වූයේ දැඩි ප්‍රතික්ෂේප කිරීමකි. මෙම චෝදනා සියල්ලක්ම තම සේවාදායකයා අපකීර්තියට පත්කිරීම සහ මාධ්‍ය මගින් එක්තරා මතවාදයක් ගොඩනැගීම අරමුණු කරගත් පදනම් විරහිත උපකල්පන පමණක් බව ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙන්වා දුන්නේය.
සඳහන් කරන ලද කිසිදු නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු සමඟ අදාළ සිදුවීම් සිදුවන අවස්ථාවේදී සුරේෂ් සලේ ගේ සෘජු සම්බන්ධතාවක් තිබූ බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත්, අධිකරණය හමුවේ සාක්ෂි ලෙස ඔප්පු කළ නොහැකි ප්‍රකාශ මගින් කාලය නාස්ති නොකළ යුතු බවත් විත්තිය අවධාරණය කළේය.
විමර්ශන ප්‍රගතිය ලබන 22 වනදාට
දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සහ මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්න කිරීම් සැලකිල්ලට ගත් අධිකරණය, සැකකරු නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතුද නැද්ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.
එදිනට සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව ලබන සැප්තැම්බර් 22 වන දිනට කල් තැබිණි.







