ඇඩ්වර්ටයිසිං ලෝකය ලස්සන වූයේ කාලයෙන් කාලයට එහි ඉස්මතු වූ චරිත නිසාය.
එවැනි එක් චරිතයක් අද අපේ කතානායකයා ය.
ඔහු කපිල කුමාර කාලිංග යි.
කපිල ඇඩ්වර්ටයිසිං ලෝකයට පිවිසෙන්නේ J.W.T. ප්‍රචාරක ඒජන්සිය හරහා ය.
කපිලට කලින් ඇරැයුම ලැබී තිබුනේ දයාසේන ගුණසිංහ මහතාට ය.
ජනතාව වෙනුවෙන් පෑන මෙහෙයවූ තමාට මුදලාලිලා වෙනුවෙන් කොපි ලිවිය නොහැකි බව පවසා ඒ ඇරැයුම ප්‍රතික්ෂේප කළ බව ගුණසිංහ මහතා පෞද්ගලිකවම ඇඩ්ඩාට පවසා තිබේ.
කපිල J.W.T. යන කාලයේ ලූෂන් රාජකරුණානායක වැන්නන් එහි සිටියේය.
කපිලගේ J.W.T. ඇඩ්වර්ටයිසිං යුගය නිමාවට පත් වන්නේ E.A.P. බාර් එකේ රුපියල් 70,000/- බිලක් ගෙවාගත නොහැකිව සිටි පුද්ගලයකුට අත දෙන්නට ගොසිනි.
ඇඩ්වර්ටයිසිං නොව මොන ලෝකයේ වුවත් ඉස්සෙල්ලාම හපා කන්නේ තමන්ට අත දුන් එකාගේ අතය.
කපිලට ඒ ලෝක ධර්මය බලපෑවේය.
ඔහු නැවත ඇඩ්වර්ටයිසිං ලෝකය තුල මතුවන්නේ ෆීනික්ස් ඇඩ්වර්ටයිසිං තුලිනි.
ඇඩ්ඩාට කපිල හමුවන්නේ එහිදී ය.
කපිල තුල නාට්‍යකාරයකු, සාහිත්‍යයකාරයෙකු, ගීත රචකයකු, පත්තරකාරයකු වශයෙන් චරිත ගණනක් ජීවත් වෙයි.
ඒවා ගැන ලියන්නට බොහෝ පිරිස් වෙති.
ඇඩ්ඩා ලියන්නේ කපිල කුමාර කාලිංග නම් මනුස්සයා තුල ජීවත් වන රසවතා ගැන ය.
කපිලත් ඇඩ්ඩාත් කවදාවත් උඹ නොදකින් කියාගෙන නැත.
ඇඩ්වර්ටයිසිං ලෝකයේදී ගැටුම් ඇති කර නොගෙන වැඩ කළ හැකි මිනිස්සුත් හමුවන්නේ ඉතා කලාතුරකිනි.
ඇඩ්ඩාව ' වලට' බැස්සුවේ කපිල විසිනි.
වල කිව්වේ නාරාහේන්පිට 'වල' ය.
බ්‍රැන්ඩි සහ ජින්ජර් ඒල් කපිල ඇනැවුම් කරයි.
කට ගැස්මට හැඬැල්ලන් හා සුදු ළූණු බැඳුමකි.
කපිලගේ ආවතේවකරු මිල්ටන් අයියා ය.
මිල්ටන් අයියා බයිට් ගෙනෙන තුරු කපිල මිල්ටන් අයියා ගැන රස කතා කියයි.
දිනක් විමල් කුමාර් ද කොස්තා වලට සෙට් වූයේය.
මැදියම් රැය පහුවෙන තුරුත් විමල් නැගිටින පාටක් නැත.
පදම ද ඉක්මවා ගොසිනි.
බාර් එක වහන්න විදියකුත් නැත.
අන්තිමට මිල්ටන් අයියා කළේ ත්‍රීවිල් මල්ලි කෙනෙකුට සෙට් කරදී විමල්ව පිටත් කර හැරීමයි.
කතාවේ හොඳම හරිය එන්නේ පහුවදාට ය.
පැය ගානක් රවුම් ගැහුවද විමල්ගේ නිවස සොයාගත නොහැකි වී තිබේ.
විමල් හිටියේද තමාගේ ගේ හොයාගත හැකි තත්ත්වයක නොවේ.
අවසානයේ විමල් බැස ගොස් ගෙයකට තට්ටු කළේය.
ගෙහිමියා දොර ඇරියේය.
" මේ..... අර විමල් කුමාර් ද කොස්තාගේ ගේ කෝකද...?"
විමල් ඇසුවේය.
" ඉතිං ඔයානේ විමල් කුමාර් ද කොස්තා..."
ගෙහිමියා කිව්වේය.
" හරි... හරි... මං අහන්නෙ එයාගේ ගේ කෝකද...?"
බෝතලේ හිස් වන්නේ මෙවැනි රසකතා මැදිනි.
කපිල J.W.T. එකේදී බොහෝ විට කළේ සුද්දන්ට සරම් ඇන්දීමය.
ඉංග්‍රීසි පිටපත් රචකයින් ලියාදෙන පිටපත් සිංහලට පරිවර්තනය කරදීම කපිල හැදින්වූයේ එවැනි උපහාසාත්මක යෙදුමකිනි.
කපිල ළග මෙවැනි අමුතු යෙදුම් ගණනාවක් තිබේ.
වරක් ෆීනික්ස් ගොයියකු පොෂ් වීමට සිතා කැන්ටිමෙන් ' පපායා ජූස්' එකක් ඉල්ලා සිටියේය.
ඔහු දෙස බැලූ කපිල කිවිවේ මෙපමණකි.
" හනේ යකෝ...! ගමේ ගඩා ගෙඩි කකා හිටපු උඹට මොන පපායා ජූස් ද? ඉල්ලපිය ගස්ලබු වීදුරුක්..."
දෙන්න ඕන තැන ඇඟට පතට නොදැනී කපිල දෙන්නේ එහෙමය.
කෙසේ හෝ කපිල වසර ගණනකට පසු ස්ලිම් වේදිකාවට ගොඩවූයේ ෆීනික්ස් එකේදී ය.
ඒ එවරෙඩි බැටරි වෙනුවෙන් කළ රූපවාහිනී දැන්වීම නිසාය.
ඒ සදහා නිර්මාණය වූ ගීතයේ පදමාලාව පුරාම කපිල කුමාර කාලිංග යන බ්‍රෑන්ඩ් එක ගැබ්වී තිබුණි.
පසු කාලෙක කපිලව කැපූ E.AP. 70,000/- කේස් එක ජොබ් එකක් සොයා ෆීනික්ස් පැත්තේ කැරකෙන්නට විය.
ඒ අවස්ථාවේ බොහෝ පිරිස් කපිල වෙනුවෙන් හිට ගත්තෝය.
සටනට නායකත්වය දුන්නේ බෝධි ය.
බෝධි ජීවිත කාලය තුල කළ හොඳම වැඩේ එය විය යුතුය.
එසේ නොවන්නට කපිල ෆීනික්ස් එකෙන් සමුගෙන බොහෝ කල් ය.
කපිල ලියූ බැංකු වීරයා නාට්‍යයේ කතාව බැංකුවක් කඩන තරුණයකු වටා ගෙතුනකි.
මේ තරුණයා අවසානයේ හිරේට නියම වෙයි.
හිරේ යන මේ තරුණයාට සබෙන් නැගෙන්නේ පුදුමාකාර චියර් එකකි.
අවසානයේ මේ චියර් එක නිසාම මේ තරුණයා හිරෙන් නිදහස් වන පරිදි පිටපත වෙනස් කරමු කියා නාට්‍ය කණ්ඩායම තුලින්ම යෝජනා ගලා ආවේය.
එසේ කළහොත් නාට්‍යය තව වටයක් දුවවන්න පුළුවන් බවත් ප්‍රකාශ විය.
කපිල එය ප්‍රතික්ෂේප කළේ ජීවත්වීමට බැංකු කැඩිය යුතු යැයි කියන්නට තමා නාට්‍ය කළ යුතු නැති බව කියමිනි.
ඒ කපිල නම් නාට්‍යකරුවාය.
කපිලත්, ඇඩ්ඩාත් උසස්වීම් ලබන්නේ එකම දවසේ ය.
තනතුරුත් සමානය.
සහකාර නිර්මාණ අධ්‍යක්ෂ හෙවත් ඇසෝසියේට් ක්‍රියේටිව් ඩිරෙක්ටර් ය.
ඉංග්‍රීසියෙන් කියන විට පොඩි ගතියක් ඇත.
එහෙත් අප දෙදෙනාම සිංහල පිටපත් රචකයින් වූ බැවින් අලුත් තනතුරු නාම දෙකක් නිර්මාණය කර ගතිමු.
ඒ ජ්‍යෙෂ්ඨ සහකාර හා කණිෂ්ඨ සහකාර වශයෙනි.
අවසානයේ එය ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ වශයෙන් තවත් සංස්කරණය විය.
තමුන් හදාගත් මේ තනතුරු නාම දෙක අදටත් කපිලත්, ඇඩ්ඩාත් පාවිච්චි කරති.
ඒ සමහරුන් බදාගෙන සිටින තනතුරු නම්බු නාමවල නිස්සාරභාවය උපහාසාත්මකව කියාපෑමටය.
අපේ ප්‍රොමෝෂන් පාටිය තිබුනේ නාරාහේන්පිට වලේ ය.
මිල්ටන් අයියා මේස සකස් කළේ වලේ පසෙකින් ගලන ඇල දිගට වෙන්නය.
ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේත්, ස්ටුඩියෝ එකේත් පොෂ් නැති අපේ සගයින් රැසක් එදා වලට බැස්සෝය.
කපිලත් ඇඩ්ඩාත් එදා බිව්වේ නැත.
කොයි තරම් බලපෑම් ආවත් එදා අපේ ප්‍රතිපත්ති බින්දේ නැත.
පස්සේ දවසක අපි දෙන්නා තනියම ගොස් හොඳට සප්පායම් වූයෙමු.
අදටත් 'ජයෝදා' ලොතරැයිය වෙනුවෙන් පාවිච්චි කරනු ලබන ' ඔබට උරුම ජයක්!" යන පාඨය කපිල අතින් ලියැවුණේ ඇඩ්ඩා ඉදිරියේම ය.
කපිල තුල තමා ලියූ කිසිදු දැන්වීමක් තමන්ට අයිති කර ගැනීමේ හැඟීමක් නොවීය.
ඒ ඇඩ්වර්ටයිසිං ලෝකයට වඩා සුවිසල් ලෝකයක් ඔහු තිබූ බැවිනි.
කපිල තුලින් ඇඩ්ඩා දැක්කේ ඇඩ්වර්ටයිසිං කාරයකුට වඩා ගුරුවරයෙකි.
තමන් ලියූ කොපියක් ඔහු සමග බෙදාහදා ගැනීමේ ප්‍රශ්නයක් කාටවත් නොතිබූ බව ඇඩ්ඩාගේ හැඟීමය.
ඇඩ්ඩාට ඇඩ්වර්ටයිසිං ලෝකය තුල දිලීප අබේසේකර ගෙන් පසු එවැන්නෙක් හමුවී ඇත්නම් ඒ කපිල ය.
කපිල ලියූ ගී අතුරින් ඇඩ්ඩා කැමැතිම ගීතය 'වසන්තයේ අග හමුවෙමු සොදුරිය ' ගීතය යි.
'මාරම්බරී' ප්‍රසංග පුරාම අඛණ්ඩව ගැයුණු ගීතය එය විය.
ඇඩ්ඩා සිතන විදියට කපිලගේත් ප්‍රියතම ගීතය එය විය යුතුය.
.
.
.
කපිල කොළඹ රස්සාව කළාට ගම අත ඇරියේ නැත.
අත්‍යවශ්‍ය වැඩක් නොතිබිණි නම් හැම සිකුරාදාම හවස ඔහු සිටියේ නුවර බලා යන බස් එකේය.
කපිලට "වීක්එන්ඩ් හස්බන්ඩ් " යන පටබැඳුනේ ඒ නිසාමය.
කපිලගේ ගෙදර හැමදාම 'කොටයක්' තිබුණි.
ඔහුගේ ගෙදරට අද ගියද හෙට ගියද ඒ 'කොටය' තිබුනේය.
මේ කතාව ඇඩ්ඩාට කිව්වේ දින දෙකක් ඇතුලත පිට පිටම කොටේ රස බලන්නට ගිය චාමින්ද රත්නසූරිය විසිනි.
හැබැයි ඒ කොටය නිසා චාමින්ද ගේ කාඩ් එක නම් කුඩු වී තිබුණි.
එවක ෆීනික්ස් එකේ සාමාන්‍යාධිකාරී වූ ඇන්ඩෲ සැමුවෙල් ගේ මෑණියන් ගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වූයේ බොරැල්ල කනත්තේ ය.
එම වැඩ කටයුතු අවසන් වී කපිල සමග ඇඩ්ඩා බොරැල්ල කනත්තෙන් එළියට බසින විට හැන්දෑවේ හයට කිට්ටුය.
" මචං, අපි ඇන්ඩෲගේ අම්මා නැති වෙච්ච දුක බෙදාගන්න ඕන .."
එසේ පැවසූ කපිල ඇඩ්ඩා සමග නතර වූයේ නාරාහේන්පිට වලේ ය.
අපි ඇන්ඩෲගේ අම්මා දැක්කේ එදාම වුවත් අපේ 'දුකට' එය බාධාවක් නොවීය.
කපිලත් ඇඩ්ඩාත් මාස 6 ක් පමණ එක දිගට පාවිච්චි නොකළ යුගයක් තිබුණි.
මේ සම්මුතිය කඩන දවස උදා විය.
එදා වැහි දවසකි.
අපි දෙන්නා ෆීනික්ස් එකේ රිසෙප්ෂන් එකට වී සිටියේ වැස්ස අඩුවූ පසු EAP එක පැත්තට යෑමට ය.
හවස 6 පැනලාත් වැස්ස පෑව්වේ නැත.
එවිටම අර්වින් ගෙදර යන්න පැමිණියේ ය.
" කොහාටද යන්නේ..?" කියා අර්වින් කපිල ගෙන් ඇසුවේය.
EAP යනවා යැයි කියන්න බැරි නිසා බොරැල්ලට යන බව කපිල කීවේය.
" කපිල නගින්න " යැයි කියූ අර්වින් කපිලව රැගෙන ගොස් බොරැල්ලෙන් බැස්සුවේය.
" බොන්නත් පින තියෙන්න ඕන බං.. "
කියා පහුවදා අපි හොඳටම සිනාසුනෙමු.
එකල හොරණ පැත්තේ එක්තරා කසිප්පු වර්ගයක් හැඳින්වූයේ ' ඇති හිටියා' යනුවෙනි.
දවසක කපිලටත් ෆීනික්ස් එක ගැන එහෙම හිතුනේය
කපිල ෆීනික්ස් එකෙන් සමුගන්නා දිනය උදාවිය.
ඔහු එදා අපූරු කතාවක් කළේය.
" මං හුඟක් තැන්වලදි අස්වෙනවා...ආපහු එනවා....මේක කිහිප අවස්ථාවකදීම වෙලා තියෙනවා ... මං හිතනවා මේ අවස්ථාවෙන් පස්සේ මං ආපහු එන එකක් නෑ කියලා ..."
කිව්වත් වගේම ඔහු ආපහු ආවේ නැත.
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්
සබැඳි පුවත් :
කපිල කුමාරගේ දශක පහක මධුර මතක සැප්තැම්බර් 09 වැනිදා