මුලින් මුලින් කරේ හැමෝට ම හොරෙන් මේ පිංතුර එකතු කරපු එක විතරයි.
දවසක් මට හිතුණ මාලනී ෆොන්සේකගෙ පිංතුරයක් කෑම පැන්ට්‍රියෙ බිත්තියෙ අලවන්න. වඳුරඹ ඕෆ් වෙලා ගියාට පස්සෙ මම බත් ඇට ටිකක් අරගෙන කඩදාසියෙ එහා පැත්තෙ ගාල කාටවත් එක පාරට ම නොපෙනෙන තැනක ඒ පිංතුරෙ ඇලෙව්ව. අලවල සද්ද නැතුව හිටිය. ඒ වෙනකම්ම කවුරුවත් එහෙම කාගෙවත් පිංතූරයක් කෑම පැන්ට්‍රියෙ බිත්තියෙ අලවලා තිබුණෙ නෑ. වඳුරඹ පැන්ට්‍රියට ආවට පස්සෙවත් මම ඒ ගැන කිව්වෙ නෑ. මම සද්ද නැතුව ගියා. එදා මම ආයෙ පැන්ට්‍රියට ආවෙ රෑ හතට විතර.
‘‘රොහාන්...’’
වඳුරඹ කෑම බෙදන ගමන් ම මට කතා කරේ ටිකක් අමුතු විදියට.
‘‘ඇයි වඳුරඹයියෙ...?’’
මගේ හිතේ කුකුසක් තිබුනත් මම ඒක නොපෙන්වා වඳුරඹගෙන් ඇහුවෙ එයා ඊළඟට මොකද කියන්නෙ කියල බලන්න.
‘‘අර මාලිනීගෙ පොටෝ එක ඇලෙව්වෙ ඔහේය...?’’
වඳුරඹ කෙළින් ම ප්‍රශ්නය අහපු එක ගැන මට සතුටුයි.
‘‘ඔවු වඳුරඹයියෙ... මට ඒකට ආස හිතුණ. ඒකයි මං ඇලෙව්වෙ... ඔහේ කැමති නැහ්නං ගලවන්නං...’’
එහෙම කියන ගමන් ම මං පිංතූරෙ අලවපු තැනට ගියා. ඒ යද්දි ම මගේ අතින් අල්ලගත්තු වඳුරඹ ‘‘නෑ නැ රොහාන්... එහෙම මක්කවත් නෙවෙයි. ඕකට ලෙඩක් දැම්මොත් දාන්නෙ බිල් මහත්තෙය. එයා කොහොමටත් හෙට උදෙත් මේ පැත්තට එනව නෙ... ඒ ආවාහම මේක දකියි නෙ...’’
වඳුරඹ තවත් මොනවද කියන්න හදද්දි ම මම ඉස්සර වෙලා ‘‘ඔහේගෙං ඇහුවොත් කියන්න මායි ඇලෙව්වෙ කියල. එයැයි මක්ක හරි කිව්වොත් මං ඒක ගලවල දාන්නං.’’
* * *
කෑම පැන්ට්‍රි කීපර් හෙවත් වඳුරඹ
මම කිව්ව වගේ ම උදේ බිල් මහත්තය ඇවිත් වට පිට සෝදිසි කරද්දි රොහාන් අලවපු පිංතුරෙ දැක්ක.
‘‘කවුද වඳුරඹ අර මාලිනීගෙ මරු පිංතූරයක් අලවල තියෙන්නෙ...? තමුසෙ නං වෙන්න බෑ...’’
බිල් මහත්තය ඒක අහපු විදියෙන් ම මම දැනගත්ත එයා වැඩේට අකමැත්තක් නෑ කියල. මොකද එයා ඇහුවෙ ‘මාලිනීගෙ මරු පිංතූරයක්’ කියල නෙ... ඒ වචන තුන ඇතුළෙ ම තිබුණෙ අකමැත්තක් නෑ කියන එක. මමත් ඉතිං පරක්කු වෙන්නෙ මොකට ද කියල හිතල ‘‘ආ... ඔය අර රොහානයගෙ වැඩනෙ බිල් මහත්තෙයො... මිනිහ ඉතිං කොහොමත් පිචර් පිස්ස නෙ...’’
බිල් මහත්තෙය පිංතුරෙ දිහා බලන ගමන් ම ‘‘ඒකනෙ මං කිව්වෙ... තමුසෙ වෙන්න බෑ කියල... රොහානය කොහොමටත් මහ අමුතු එකෙක් නේද...?’’ කියල ඇහුවෙ ආයෙත් මගේ දිහාට හැරෙන ගමන්.
‘‘හම්ම්ම්... හැබැයි හොඳ එකා මහත්තෙයො... වැඩක් බාර දුන්නොත් ඉතිං ආයෙ ඤංපචං නෑ කරනව. අනික් එවුංට එහෙම නෙවෙයි නෙ. අමතර වැඩක් ගන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ...’’
මං ඒ වචන ටික කිව්වෙ ඇත්තට ම... මොකද ඒක මම රොහාන්ගෙ දැකපු හොඳ ගතිගුණයක්. වැඩේ දන්නෙ නැත්නම් දන්නෙ නැහැ, කොහොමද කරන්නෙ කියල අහනව මිසක ආයෙ වෙන අනං මනං නෑ.
* * *
බිල් මහත්තය මොනවත් ම නොකියපු එක මට හරියට පනින රිලවුන්ට ඉණිමං තිබ්බ වගේ. එදා ඉඳල සති දෙක තුනක් යද්දි කෑම පැන්ට්‍රියෙ බිත්තියෙ හැම තැනම නළු නිළියන්ගෙ පිංතූර විතරක් නෙවෙයි චිත්‍රකතා පත්තරවල හිටපු වීරයන්ගෙ පිංතුරත් ඇලවුණා. ටෝගා, මේඝ, හර්කියුලීස්, යුනිකෝ, වීර තීසියස් විතරක් නෙවෙයි දේදුනු කැළුම්ගෙ පිංතුරත් බිත්තිවල ඇලවිලා අපේ දිහා බලාගෙන හිටියා.
ඔන්න ඔය අතරෙ තමයි දවසක් හවසක අර ගෑනු හතරදෙනා ඇවිත් බතික් අංකල්ගෙන් මාව අහල තිබුණෙ. ඒ වෙලාවෙ මං ඕෆ්; ඕෆ් එක ඉවර වෙලා ඇවිත් මට වැඩ බාරගන්න තිබුණෙ තේ පැන්ට්‍රියෙ.
‘‘ආ... ඔහේ ආවයි...? අන්න අර ඔහේගෙ යාළුවො ඇවිත් අහල ගියා... එයැයිලට ඔහේ නැතුව හරි පාළුයි වගේ...’’
බතික් අංකල් එහෙම කිව්වෙ ටී එකකුයි ප්ලේන්ටියකුයි පිරිසි තට්ටු දෙකේ තියාගන්න ගමන් ම යි. එයාට පුළුවන් ට්‍රේ එකක් නැතුව ම එක අතකට පීරිසි තට්ටුත් එක්ක ම තේ කෝප්ප තුනක් අරගෙන යන්න. හතරක් ගෙනියනවා නම් වම් අතට තුනක් අරගෙන දකුණු අතට එකක් ගන්නවා. ඒ කෝප්ප තුනම සමබරව තියාගන්න එයාට තිබුණෙ පුදුම දක්ෂකමක්. කාලයක් ගියාට පස්සෙ මමත් ඒ වැඩේ ඒ විදියට ම කළා. එයාගෙ අල්ල පළල්. ඒ නිසා එයා එක අතක තියාගෙන වතුර විදුරු හතරකුයි, අතහෝදන කෝප්පෙයි ගෙනියන්නෙ හරිම සැහැල්ලුවෙන්. පස්සෙ කාලෙක මම කොච්චර උත්සාහ කරත් වතුර වීදුරු හතරකුයි අත හෝදන කෝපපෙයි ගන්න මට බැරි වුණා. හැබැයි කිසිම කරදරයක් නැතුව වතුර වීදුරු තුනයි, අත හෝදන කෝප්පෙයි ගෙනියන්න නම් පුරුදු වුණා. ඒක මම විතරක් නෙවෙයි... වේටර් වැඩ කරන කිප දෙනෙක් ම කළා. හැබැයි වතුරු වීදුරු හතරයි අත හෝදන කෝප්පෙයි ගෙනිච්චෙ බතික් අංකලුයි ඇක්මන් කියන බඩ තඩියයි විතරයි.
මම බතික් අංකල්ගෙන් විස්තරයක් අහන්නත් කලින් එයා ඕඩරෙත් අරගෙන ගියා. මට ඒ ගෑනුත් එක්ක නිදාගන්න කිසිම වුවමනාවක් නැති වුනත් එයාල මං ගැන ඇහුව කිව්වම හිතට මොකක්දෝ අමුත්තක් දැනුණ. මොකද මං ඉස්කෝලෙ යන කාලෙත් මට වැඩිපුර හිටියෙ ගෑනු යාළුවො. ඒ නිසා ම සමහර කොල්ලො... සමහර කොල්ලො නෙවෙයි ඇත්තට ම හුඟක් කොල්ලො මට ඊර්ෂ්‍යා කළා. මට මතකයි එක කාලයක් පන්තියෙ කොල්ලො ඔක්කොම මාස හයක් විතර මාත් එක්ක තරහ වෙලා හිටිය. හැබැයි එක කෙල්ලෙක්වත් තරහ වුණේ නෑ.
* * *
සතියකට විතර පස්සෙ මට ආයෙත් වේටර් වැඩ කරන්න වුණා. එදත් මට වැඩ කරන්න වුණේ සුපුරුදු මේස දෙක. එදත් හරියට ම දහය විතර වෙද්දි අර ගෑනු හතර දෙනා ම ආවා. ඇවිත් මම වැඩකරන මේසෙ ම වාඩිවුණා. වාඩි වෙන්නත් කලින් හතර දෙනා ම මූණ පුරවල මාත් එක්ක හිනා වුණා. මමත් ඒකට පිළිතුරු දුන්නෙ ඒ වගේ ම හිනාවකින්.
‘‘කොහෙද ඉලංදාරිය මෙච්චර කල් ගිහිං හිටියෙ. අපි දවසක් බතික් අංකල්ගෙනුත් ඇහුව. මොකද එහෙම දෙයක් අහන්න පුළුවං ඒ අංකල්ගෙන් විතරයි. අනික් එවුන්ගෙන් අහපු ගමං හිතන්නෙ උඹත් එක්ක නිදාගන්න අපි උඹ හෙව්ව කියල නෙ...’’
වාඩි වෙච්ච ගමන් කට කමිසිරියාවක් නැතුව දොඩන්න පටන් ගත්තෙ වැඩිමල්ම කෙනා; ජෙසිකා.
‘‘කේ ගාන්නෙතුව ඉන්ඩ අක්කා... මල්ලි... ඔයා ඉස්සෙල්ලම යෙපිට කන්න ගේන්නකෝ... පස්සෙ බෙරිය කතා කොරාන්ඩ...’’
කැඩුණු සිංහලෙන් වුනත් ඇදල පැදල කතා කරේ කමලා.
මම ඒ දෙන්නට ම වචනවලින් උත්තර නොදී, හිනාවෙන් උත්තර දීල වුවමනා කරන කෑම ගෙනල්ල දුන්නෙ වැඩ කරන අනික් එවුන් පිරිමි වුනත් උන් ඔක්කොම ගෑනු වගේ මගේ දිහා වගේම අර ගෑනු දිහා බලාගෙන හිටපු නිසා.
විනාඩි පහළොවක් විස්සක් යද්දි එයාල කාල ඉවර වුණා. ආයෙත් මාත් එක්ක කතා කරන්න ගත්තෙ තේ බොන අතර.
‘‘ඈ බං මල්ලියෙ... උඹට මේක අස්සට ම වෙලා ඉන්න කම්මැළි නැද්ද... මොකද මං තවම කවදාවත් මේ ටවුන් එකේදි උඹ දැකල නෑ...’’
ආයෙත් කතාවට මුල පිරුවෙ ජෙසිකා.
‘‘හම්ම්ම්... ඒකනං ඇත්ත... මටත් කවදාවත් මේකව ටවුන් එකේදි හම්බවෙලා නෑ. උඹල කාට හරි හම්බෙලා තියෙනව ද...?
විනීතා ඇහුවෙ කමලගෙයි රමණිගෙයි මූණු දෙක මාරුවෙන් මාරුවට බලන ගමන්. ඒ වෙලාවෙ පැනල උත්තර දුන්නෙ කමලා.
‘‘මං නං දෙක්ක දවසක්... හෙබෙයි ඒ පිරින්ස් හෝල් එකේ දි... නමයයි තිය ෂෝ එක බලන්ඩ එවිත් ඉටිය. හෙබෙයි මල්ලි මාව දෙක්කෙ නේ... මාත් කතා කොරන්ඩ ගියේ නෑ. මොකද මං හිටියෙ...’’
‘‘හරි හරි... උඹ හිටියෙ කවුරු එක්ක ද කියන එක මූට වැඩක් නෑනෙ බං...’’
ආයෙත් කතාවට මැදිහත් වුණේ ජෙසිකා.
‘‘නේ අක්කෙ මං මේ කිව්වෙ...’’
‘‘හරි හරි බං... දැං ඔය ඇති... මං දන්නව දැං උඹ මොකද්ද කියන්න හදන්නෙ කියල... මේහ්... යසේ මල්ලියො... උඹ මේ ඉස්සරහ තියෙන කොටුවට ගිහින් තියෙනවයි...?’’
සමහර අය මට කතා කරන්නෙ ‘යසේ’ කියල. සමහර අය කතා කරන්නෙ ‘රොහාන්’ කියල. මේ ගෑනු හතර දෙනාම කතා කරන්නෙ ‘යසේ’ කියල. උඹ, බං, කියල කතා කරන්නෙත් තියෙන හිතවත්කමට කියල මම දන්නව. දැන් මේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ ජෙසිකා.
‘‘නෑ නැන්දෙ... තවම මහ පාරෙන් එහා පැත්තට ගිහින් තියෙන්නෙ එක ම එක දවසයි.’’
‘‘ඔය ඉතිං... ආයෙත් නැන්දෙක් ඇදල ගන්නව. අක්කෙ කියහං බං... අක්කෙ කියහං...’’ කියල ජෙසික කියද්දි ම... ‘‘ඔවු යෙසේ... ඔහේ යෙපි ඔක්කොට ම අක්කෙ කියන්න... නෙන්දෙ කිව්ව ම නිකං...’’ කියල කමලට කියල ඉවර කරන්න හම්බ වුණේ නෑ එක පාරට ම විනීත මැදට පැන්නා.
‘‘ඒකනෙහ්... අපිට වැඩිය අවුරුදු තිහ හතළිහක් වැඩිමල් නාකියොත් අපිට කකතා කරන්නෙ ‘නංගි’ කියල... ඉතිං උඹ අපිට ‘නැන්දෙ’ කියද්දි ලැජ්ජයි නෙ යසේ... ඒ හිංද අපිට අක්කෙ කියහං... හරිද මලයො...’’
එහෙම කියන ගමන් කරේ එල්ලගෙන හිටපු බෑග් එකට අත දාල ‘‘හරි හරි... පස්සෙ කයිවාරු ගහන්න පුළුවං. ගිහිං බිල අරගෙන වරෙං,’’ කියල කිවවෙ හරියට එයා තනියම සල්ලි ගෙවනව වගේ. ඒත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නෙ: බිල ගෙනාවට පස්සෙ ඒක බලල, එකතුව හතර දෙනත් එක්ක බෙදාගෙන එක එක්කෙනා සල්ලි දාන එක. අදත් ඒක ඒ විදියට ම සිද්ධ වුණා.
‘‘හරි... අපි යනෝ... පිචර් හෝල් ගානෙ විතරක් රස්තියාදු ගහල වැඩක් නෑ. නිවාඩු වෙලාවක ඔය කොටුවට... සමනල ගාඩ්න් එකට... වැල්ල දිහට්ට එහෙම ටිකක් යනව. ඔය කොයි පැත්තට ආවත් ඔහේට අපි කවුරුම හරි හම්බෙයි. පුළුහං නං දවසක හතරට විතර ඕෆ් වෙලා කොටුව පැත්තට වරෙං... මං ඒ දිහා හිටියොත් කොටුව ඇතුළෙ රවුමක් එක්කරං යන්නං... මං නැතත් අපි කවුරු හරි හම්බෙන්න පුළුහං.’’
ඒ මොහොතෙ ඉඳල මගේ හීනය වුණේ කොටුව ඇතුළෙ ඇවිදින්න. දවල්ට ඕෆ් වුණ වෙලාවට උඩ තට්ටුවට ගියාම කොටුව පේන විදිය විතරයි මම දන්නෙ. ඒක හරිම ලස්සන දර්ශනයක්. උඩ තට්ටුවට පේන්නෙ ඔරලෝසු කණුවෙ උඩ කොටසයි, කළු පාට හතරැස් කොටු මැද වැවුණ තණකොළයි, තව නිකම් කවුළු කවුළු වගේ කොටසකුයි විතරයි. රෑට පේන්නෙ ඊට වඩා හුඟක් ම වෙනස් විදියට. එතකොට අර කළු පාට කොටු පේන්නෙත් නෑ. තණකොළ පේන්නෙත් නෑ. හැබැයි ඔරලෝසු කණුවෙ තියෙන ලයිට් එක ඇරුණහ ම හැම තැනම ලයිට් පත්තු වෙනව නම් පේනවා. දවල්ට ඉඳල හිටල ටවුන් එකේ ඇවිද්දත් තවමත් කොටුව පැත්තට යන්න හිතුණෙ නැත්තෙ ඇයි කියල මට හිතුණෙ එදයින් පස්සෙ. ඒත් තනියම ඒ පැත්තට යන්න පොඩි චකිතයකුත් හිතේ නොතිබුණා ම නෙවෙයි. කෝක වුනත් අද රෑට බතික් අංකල්ගෙනුත් අහල ඕෆ් වෙච්ච වෙලාවක කොටුව පැත්තට යන්න ඕන කියල මම තීරණය කරා.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/12/22
අපලෝකන - පසුගිය කොටස්