ඒ මොහොතෙ ඉඳල මගේ හීනය වුණේ කොටුව ඇතුළෙ ඇවිදින්න. දවල්ට ඕෆ් වුණ වෙලාවට උඩ තට්ටුවට ගියාම කොටුව පේන විදිය විතරයි මම දන්නෙ.
ඒක හරිම ලස්සන දර්ශනයක්. උඩ තට්ටුවට පේන්නෙ ඔරලෝසු කණුවෙ උඩ කොටසයි, කළු පාට හතරැස් කොටු මැද වැවුණ තණකොළයි, තව නිකම් කවුළු කවුළු වගේ කොටසකුයි විතරයි. රෑට පේන්නෙ ඊට වඩා හුඟක් ම වෙනස් විදියට. එතකොට අර කළු පාට කොටු පේන්නෙත් නෑ. තණකොළ පේන්නෙත් නෑ. හැබැයි ඔරලෝසු කණුවෙ තියෙන ලයිට් එක ඇරුණහ ම හැම තැනම ලයිට් පත්තු වෙනව නම් පේනවා. දවල්ට ඉඳල හිටල ටවුන් එකේ ඇවිද්දත් තවමත් කොටුව පැත්තට යන්න හිතුණෙ නැත්තෙ ඇයි කියල මට හිතුණෙ එදයින් පස්සෙ. ඒත් තනියම ඒ පැත්තට යන්න පොඩි චකිතයකුත් හිතේ නොතිබුණා ම නෙවෙයි. කෝක වුනත් අද රෑට බතික් අංකල්ගෙනුත් අහල ඕෆ් වෙච්ච වෙලාවක කොටුව පැත්තට යන්න ඕන කියල මම තීරණය කරා.
ඒ තීරණය මාස දෙක තුනක් ගතවෙනතුරු තීරණයක් විදියට ම තිබුණ. මොකද බතික් අංකල්ගෙන් අහපු ගමන් ම එයා කිව්වෙ ‘‘ඔහේට පිස්සුයැ... එවුං කියපු පළියට කොටුවෙ ඇවිදින්න යන්නෙපා. කොටුවෙ හොඳ වගේ ම නරකත් පිරිල. ඔහේට තවම ඒව තේරෙන්නෑ. ඒ හිංද ඩිංගක් ඉවසල ඉන්න. මටයි ඔහේටයි එක වෙලාවෙ ඕෆ් එකක් හම්බුනොත් මං ඔහේව කොටුවට එක්කං යන්නං,’’ කියල.
බතික් අංකල් වැඩිහිටියෙක් නිසා වගේ ම එයත් මගේ හිතට අල්ලපු මනුස්සයෙක් නිසා මං එයාගෙන් අතුරු ප්‍රශ්න අහන්න ගියේ නෑ. ඔන්න ඔය අතරේ තමයි දවසක් මැනේජර් මහත්තය තවත් අලුත් යෝජනාවක් ගෙනාවෙ.
මැනේජර් මහත්මයා
ඇත්තට ම මම එදා යසේට ඒ යෝජනාව කළේ යසේ කැමතිනම් විතරක් ඒ වැඩේට යොමු කරවන්න. යසේ නිකමට හරි ‘බෑ’ කිව්ව නම් මම බල කරන්නෙ නෑ. ඒත් මම නොහිතපු විදියට යසේ ‘හා’ කියල කිව්ව.
කුස්සියෙ වැඩට අනිවාර්යයෙන් තුන්දෙනෙක් ඕනෙම යි. ඒ වෙද්දි තුන්වෙනිය විදියට වැඩ කරේ ගනේෂන්. අපි හැමෝම මිනිහට කතා කරන්නෙ ගනේෂ් කියල. මිනිහගෙ ගම බදුල්ලෙ. මේ කියන දවසට කලින් දවසෙ ගනේෂ්ගෙ අම්ම මැරිල කියල පණිවිඩයක් ආව. ඒ නිසා මිනිහට නිවාඩු දෙන්න ම වෙනව. යන්නෙ අම්මගෙ මළ ගෙදරට නිසා මිනිහ එන්නෙ කවද ද කියල අපිට තීරණය කරන්න බෑ. මිනිහ එනකන් දෙන්නෙකුට කුස්සියෙ වැඩ ටික කරන්නත් බෑ. ඒ නිසා තමයි මම තීරණය කරේ ගනේෂ් එනකන් කුස්සියෙ ගෝල වැඩේට යසසිරිව දාන්න. මොකද මිනිහත් කැමතියි හැම වැඩක් ම පුරුදු වෙන්න. එහෙම අය හම්බ වෙන්නෙ කලාතුරකින්. කෝකටත් මම ඊයෙ රෑම කුස්සියෙ බාස් උන්නැහේගෙනුත් මේ ගැන ඇහුව.
‘‘විජේසිංහ... ගනේෂ් අද රෑම පිටත් වෙනවලු. මේ... මං කල්පනා කරේ අර යසසිරිව කුස්සියට දාන්න කියල. විජේසිංහ මොකද කියන්නෙ...?’’
‘‘ඔය කියන්නෙ... අර මේ පාලිත...’’
විජේසිංහ ඇහුවෙ කට කොනකින් හිනාවෙන ගමන්.
‘‘ඔවු ඔවු... ඒ උනාට ඌ හොඳ එකා. දැනට උනත් ඔය හැම දෙයක් ම කරනව නෙ... මිනිහ කෑම පැන්ට්‍රි දෙකේ ම වැඩ අල්ලගත්ත. තේ පැන්ට්‍රියෙ වැඩ ටිකත් දැන් ටිකක් පුළුවං. මොකද බාස්උන්නැහේ අපිට එහෙම මිනිහෙක් ඕන වෙනව. ඕනම වෙලාවක ඕන ම වැඩකට යොදවන්න පුළුවන්. ඔහේ වැඩ ටික පුරුදු කරල ගන්න. අඩුපාඩුවක් උනොත් කියල හදාගමු.’’
බාස්උන්නැහේගෙ විරුද්ධත්වයක් තිබුණෙ නෑ. මං බාස්උන්නැහේගෙන් මේ ගැන කලින් ම ඇහුවෙ මිනිහත් පිළිවෙළකට වැඩ කරන, සිගරට්, රා, අරක්කු බොන්නෙ නැති, රේස් දාන්නෙ නැති, වේස ගෑනු පස්සෙ යන්නෙ නැති තැන්පත් මිනිහ. ඉතිං මිනිහ කැමති නෑ ඒ වගේ වැඩවලට ඇබ්බැහි උණ අයත් එක්ක වැඩ කරන්න. දෙවෙනිය විදියට වැඩ කරන ගුණසේකරත් හැම වෙලාවෙම බුලත් හපය ගහනව කියල දොස් කිය කියා ඉන්නෙ. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි... හැම තැනම බුලත් කෙළ ගහන නිසා.
* * *
ඔන්න ඔය හේතුව නිසා තමයි මට කුස්සියෙ ගෝලය විදියට වැඩ කරන්න ලැබුණෙ. කුස්සියෙ වැඩ කරද්දි ඉතිං ක්ලීන් ෂූට් ඇඳල ඉන්න බෑ. හැම වෙලාවෙම දැලි කුණු ගාගෙන තමයි ඉන්න වෙන්නෙ. මම ඉතිං සරං අඳින්නෙත් නැහැ නෙ. තියෙන කලිසම් කුස්සියෙ වැඩට ඇන්දොත් ආයෙ වේටර් වැඩ කරන්න වුනොත් ඒ කලිසම් අදින්න බැරිවෙනව. ඒත් පළවෙනි දවසෙම විජේසිංහ බාස්උන්නැහේ කිව්ව එයාගෙ ගෙදර එයාගෙ කොටකලිසම් වගයක් තියෙනව කියල එයා ගෙදර ගියාම දෙක තුනක් ගෙනල්ල දෙන්නම් කියල. ඒ කිව්ව වගේ ම මම කුස්සියෙ වැඩට ගිය පළවෙනි දවසෙම වැඩ ඉවරවෙලා බාස්උන්නැහේ ගෙදර ගියා. එයා එද්දි එයාගෙ කොට කලිසම් හතරක් ම ගෙනවිත් මට දුන්නා. එයාගෙ ගෙවල් තිබුණෙ අක්මීමන. එයා ගෙදර ගිය දවසට පහුවදා උදේ කඩේ අරිද්දිම කඩේට එනව. එහෙම දවසට ගුණසේකර තමයි උදේ කෑම උයන්නෙ. මිනිහ බාස්උන්නැහේටත් වැඩිය ගෙම්බර්. හැබැයි හවස යන වෙලාවෙම මට බාස්උන්නැහේ එයා ගැන කියලයි ගියේ. ඒ නිසා මං ගුණසේකරගෙ ලොකුකම් මායිම් නොකර මගේ වැඩ ටික කරා.
පළවෙනි දවසෙ පළවෙනි වැඩේ විදියට මට හම්බ උනේ මහා වළං හතරක් හෝදන්න. වළං කිව්වට එයාල ඒවට කිව්වෙ කල්දේරං කියල. ඒව හදල තිබුණෙ මැටියෙන් නෙවෙයි; ඇලුමිනියම්වලින්.
කල්දේරං අතුල්ලන්න පොල් කෙඳිවලින් හදපු ලොකු බුරුසුවක් තිබුණ. තව ලොකු සිප්පි කටුවකුත් තිබුණ. ඒකෙන් තමයි අඩිය අල්ලලා තියෙනවනම් හූරන්නෙ. ඒ සිප්පි කටු එකක් ගෙවෙන්න කලිං තව එකක් හරි දෙකක් හරි ගේනව. ඒව ගේන්නෙත් මුරුගයියා.
ලොකු බුරුසුව මොනවද මංදා කුඩු එකක ඔබල තමයි කල්දේරමේ පිට පැත්ත අතුල්ලන්න ඕනෙ. එහෙම අතුල්ලලා පයිප්පෙට හයි කරල තියෙන රබර් බටයෙන් වතුර අල්ලා හෝදන්න ඕනෙ. ඒ බටෙන් එන වතුර පාර හරි සැරයි. හරියට දෙනියායෙ ඉන්න කාලෙ පීල්ලකින් නාන තැනක් තිබුණ. අන්න ඒ පීල්ලෙන් එන වතුර පාර වගේ. වැඩේ ඒ හැටි අමාරුවකුත් නෑ. මොකද කල්දේරං තියන්න ඉණ ගාවට විතර උස කොන්ක්‍රීට් තට්ටුවක් වගේ එකක් හදල තිබුණ. ඒ නිසා කොන්දට අපහසුවකුත් නෑ.
මට ඒ කල්දේරං හතර හෝදන්න පැය බාගයක් විතර ගියා. බාස්උන්නැහේ මොනවත් ම කිව්වෙ නෑ. හැබැයි ගුණසේකර නම් දෙපාරක් විතර ඇවිත් ‘‘මොනවද අයිසෙ කරන්නෙ...? ඉක්මන් කරල ඔය ටික හෝදල ගන්නවකො,’’ කියල ටිකක් සද්දෙන් කිව්ව. මම ඒ වෙලාවෙ සද්ද නැතුව ඉඳල වැඩ ඉවරඋනාට පස්සෙ ගිහින් මැනේජර් මහත්තය හම්බවුණා.
‘‘කොහොමද යසසිරි... වැඩ අමාරු ද...?’’
පළවෙනි දවසෙ නිසා ඒ වැඩ ටිකක් අමාරුයි වගේ දැනුනට මං දන්නව දවසක් දෙකක් යද්දි ඒක හුරු වෙනව කියල. ඒ වුනාට මට ගුණසේකරගෙ කතාව අල්ලන්නෙ නැති නිසා මං ඒ ගැන මැනේජර් මහත්තෙයට කිව්ව. මොකද බාස්උන්නැහේවත් ‘අයිසෙ, තමුසෙ’ කියල කතා කරන්නෙ නෑ. එයා කෙළින් ම කතා කරේ රොහාන් කියල. ඇයි ගුණසේකරට බැරි නම කියල කතා කරන්න. ඒ නිසා මම මැනේජර් මහත්තයට කිව්ව මට එයා අයිසෙ තමුසෙ කිව්වොත් මමත් එයාට කතා කරන්නෙ එහෙම කියල.
‘‘හරි හරි... ඒ මිනිහගෙ හැටි. මිනිහ මහ මෝඩය. මං ගුණසේකරට කියන්නං. ඔහේ වැඩ ටික අල්ලගන්නවකො.’’
මැනේජර් මහත්තය ඒ කියපු වචන ඇතුළෙ හැංගුණ තේරුමක් තියෙනව කියල මට තේරුණා. ඒත් මම ඒ ගැන හඟවන්න ගියේ නෑ. කොහොම වුනත් ගුණසේකර ඊට පහුවදා එක පාරක් දෙපාරක් අයිසෙ, තමුසෙ කිව්වට වැඩිපුර කතා කරේ නම කියල. ඒ නිසා මමත් ඉතිං මිනිහට ‘ගුණසේකර අයියෙ’ කියල කතා කරා. මිනිහ බාස්උන්නැහේට කතා කරේ ‘විජේසිංහ අයියෙ’ කියල. මාත් දෙවෙනි දවසෙ ඉඳල බාස්උන්නැහේට කතා කරේ ‘විජේසිංහ අයියෙ’ කියල.
බාස්උන්නැහේ මගෙන් ඇහුව පොල් ගාන්න පුළුවන් ද කියල. මම පොඩි කාලෙ ඉඳන් ම ගෙදරදි ඇති තරම් පොල් ගාල තියෙනව.
‘‘පුළුවං බාස්උන්නැහේ. මං ගෙදරදිත් පොල් ගාල තියෙනව.’’
මං එහෙම කිව්ව ම මිනිහ පොඩි හිනාවකුත් දාල ‘‘දවසට පොල් ගෙඩි කීයක් විතර ගෑව ද?’’ කියල අහද්දි ම මට තේරුණා වැඩේ ටිකක් බරපතළයි කියල. මං ඉතිං ඒ තරම් ගනනකට නොගෙන ‘‘ගෙදරදි ඉතිං වැඩිම උනොත් ගෙඩියකුයි බෑයකුයි ගානව. බොහොම කලාතුරකින් දවසක තමයි ඉතිං ගෙඩි දෙකක් ගාන්නෙ...’’ කියල ඇත්ත ම කිව්ව.
‘‘හම්ම්ම්... හැබැයි රොහාන් මෙහේ එක වේලකට පොල් ගෙඩි විසි පහක් විතර ගානව. දැන් අද දවල්ට ගන්න පොල් ගෙඩි විසිපහක් ගාන්න ඕනෙ. පුළුවන් ද...?’’
මගේ ඇස් උඩ ගියා. ඒ එක්ක ම මට මතක් වුණේ දවසක් බතික් අංකල් කියපු කතාවක්. මට මතකයි එදා එයා කිව්ව මෙහේ අඩුම ගානෙ දවසකට පොල් ගෙඩි හැත්තැ පහක් විතර ගානව කියල. මම එදා ඒක ඒච්චරට ම විශ්වාස කරේ නෑ. නමුත් ඒ වෙලාවෙ තමයි තේරුණේ ඒ කතාව ඇත්ත කියල.
‘‘පොල් ගෙඩි විසිපහක්...!’’
පුදුමයෙන් වගේ අහපු මම ඒ එක්ක ම ‘‘විසිපහක් නෙවෙයි තිහක් උනත් ගාන්නෙපැයි. කමක් නෑ බාස්උන්නැහේ ගාන්නං...’’ කිව්වෙ ඒ වැඩේ කොහොමත් කරන්න ම ඕනෙ නිසා.
‘‘ගුණසේකර...’’
බාස්උන්නැහේ ගුණසේකරට කතා කරා.
‘‘ගුණසේකර... මේ රොහාන්ට පොල් ටික බිඳල දෙන්න. හිරමනේ තියාගෙන ගාන විදියත් කියල දෙන්න. ආ... රොහාන්... පොල් බිඳින විදිය අද හොඳට බලාගන්න. මීට පස්සෙ පොල් ටික බිඳගන්නත් ඕනෙ ඔහේමයි හරිය...’’
බාස් උන්නැහේ කිව්වෙ ටිකක් දැනෙන විදියට. පොල් ගොඩගහල තිබුණෙ කුස්සියට ම අල්ලපු කාමරේ. කුස්සියට වුවමනා කරන හාල්, පිටි,තුනපහ වර්ග, කරවල වර්ග එහෙමත් තිබුණෙ ඒ කාමරේ. ගුණසේකරයි මායි දෙන්නම පොල් අරගෙන කුස්සියට ගියාට පස්සෙ ගුණසේකර පොල් බිඳින ගමන් ‘‘ඔහොම බලා හිටල හරියන්නෑ... අර වංගෙඩිය මෙහෙට්ට අරගන්නව. අරගෙන හිරමනේ අනිත් පැත්ත හරවල වංගෙඩිය උඩිං තියනව. ඒක්කරල අර කල්දේරං තියෙන තැන ඇති ලොකු බේසමක්... ඒක අරං ඇවිල්ල යටින් තියනව.’’
ගුණසේකර එහෙම කියද්දි ම මමත් එයා කියපු තැනට වංගෙඩිය තල්ලු කරගෙන ඇවිත් අර කිව්ව වගේ ම හිරමනේ කකුල් උඩට හිටින්න වංගෙඩිය උඩින් තියල. ඊට යටින් බේසමත් තිබ්බ.
‘‘හම්ම්ම්... අත තදින් ගාන්නනෑ හරිය... අත බුරුලෙං... හැබැයි අත ඉක්මං කරල ගානව හරිය...’’ කියල කියන අතර ම බිඳපු පොල් ගෙඩි ටික තවත් පොඩි කල්දේරමක දාල ගෙනල්ල දුන්න.
‘‘හම්ම්ම්... දැං ගානව බලන්න...’’
මම කකුල් දෙක දෙපැත්තට දාල හිරමනේ කකුල් දෙක මැදින් ඉඳගෙන පොල් ගාන්න පටන්ගත්ත.
‘‘ආ... ඔය ගාන්නෙ... මතකනෙ... අත බුරුලෙන්... හැබැයි අත ඉක්මන් කරල ගාන්නෝන හරිය... අද ටිකක් වෙලා යයි. හැබැයි පුරුදු උනාට පස්සෙ මේ ගෙඩි විසිපහම ගාන්න ඕන්නං පැය බාගයක් යයි. හරි... ගානවකො... ගානවකො...’’
පැය බාගෙකින් ගාන්න පුළුවන් කිව්වට මට පොල් ගෙඩි විසිපහ ගාන්න පැයක් විතර ගතවුණා. හැබැයි ගුණසේකර ආයෙත් කිසිම දෙයක් කියන්න ආවෙ නෑ. ඒ අතර බාස්උන්නැහේ නම් ඇවිත් ‘‘කලබලයක් නෑ... හෙමිහිට ගාන්න. දවසක් දෙකක් යද්දි ඒක හරියයි,’’ කියල එයාගෙ වැඩ කරා.
ඊළඟට මට පැවරුවෙ එපාම වෙන වැඩක්. ඒ රතු ලූනු සුද්ද කරන්න. වැඩේ පැවරුවෙ සහ කියල දුන්නෙ බාස්උන්නැහේ.
‘‘රොහාන් අපි යමුද උඩට...’’
එහෙම කියපු බාස්උන්නැහේ තේ පැන්ට්‍රිය ඉස්සරහින් තිබුණ පඩිපෙළ දිගේ උඩ තට්ටුවට නගිද්දි මාත් පස්සෙන් ගියා. මං මෙච්චර කාලෙකට ඒ පැත්තෙ උඩ තට්ටුවට ගිහින් තිබුණෙ නෑ. උඩට නැග්ග ගමන් දකුණු පැත්තෙ තිබුණෙ අඩි දහයයි පහළොවේ විතර කාමරයක් වගේ කොටසක්. එතන පඩි පෙළ ආවරණය වෙන බැම්මට ම අල්ලල අඩි විස්සක විතර පැත්තෙ දිගට ම කොන්ක්‍රීට් තට්ටුවක් තිබුණ. ඒ තට්ටුව උඩ එක එක ප්‍රමාණයේ පිහි පහ හයක් ම තිබුණ. මං ඒ දිහා බලාගෙන ම බාස්උන්නැහේ පස්සෙන් යද්දි දකුණු පැත්තට වෙන්න තව ලොකු කාමරයක් තිබුණ. ඒක දැක්ක ගමන් මට හිතුණ ඒ කාමරේ තමයි කුස්සියෙ වැඩ කරන අය නිදාගන්නෙ කියල. මොකද බිත්තියෙ දකුණු පැත්තට වෙන්න අකුළපු බූරු ඇඳක් තිබුණ. ඇදේ එක පැත්තක බිත්තිය මුල්ලට වෙන්න පැදුරු කිපයකුත් තිබුණ.
‘‘මේකෙ තමයි අපි නිදාගන්නෙ. රොහාන් කැමතිනං මේ දවස් ටිකේ මේ කාමරේ නිදාගන්න. අර පැත්තෙ නිදාගන්නවනං රැ වෙනවනෙ.’’
ඉස්සරහට යන ගමන් ම කාමරය පෙන්නල බාස්උන්නැහේ එහෙම කිව්වට මම උත්තරයක් දුන්නෙ නෑ. ඊළගට ගියේ කෙළින්ම පේන්න තිබුණ කොටසට. එතනට ගියපු හැටියෙ මම පුදුම වුණා.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/12/29
අපලෝකන පසුගිය කොටස් මෙතනින්