සමනලයා අහිංසක සතෙකි.

ඌ සිතන්නේ තමන් මෙන්ම අනෙක් සතුන් ද අහිංසක යැයි කියාය.

සමනලයා එසේ සිතන්නේ සමනලයාගේ අහිංසකකමට ය.

නමුත් අප සමාජයේ වෙසෙන සමනල්ලුන් එලෙස නොවේ.

බොහෝවිට ඔවුන් ද අහිංසක ලෙස සිතන බව පෙන්වන්න උත්සාහ කරයි.

එහෙත් ඔවුන් එලෙස සිතන බව පෙන්වන්නේ එසේ සිතනවාට කිසියම් එන්ජීඕ එකකින් ගෙවන බැවිනි.

 මංගල සමරවීර ද එසේ සිතන බවක් පෙනේ.

ඔහු සුදු නෙළුමක් අතින් රැගෙන යන්නේ එබැවිනි.

සුදු නෙළුම, පරවියා ආදිය සාමය උදෙසා විකිණෙන වෙළෙඳ පොළේ පහසුවෙන්ම මිලදී ගත හැකි භාණ්ඩය.

මංගල සුදු නෙළුම රැගෙන යන විට එල්ටීටීඊය ආයුධ බිම තබා සාමයේ මාර්ගයට අවතීර්ණ වී මේ රට සුරපුරයක් වන්නට ඉඩ තිබූ බව මංගල හිතන්නට ඇත.

එහෙත් එල්ටීටීඊ සංවිධානය එසේ නොසිතන බව ඔප්පු කර පෙන්වූයේ මංගල සුදු නෙළුම රැගෙන යන අතරතුර අපේ නැව් තුනක්ද ගිල්වා දමමිනි.

මංගල විසින්  "සුදු නෙළුම පිපුණා " යනුවෙන් ඒ කාලයේ ගීතයක් ද නිර්මාණය කර තිබිණි.

(යහපාලන ආණ්ඩුවේ සාම ගීතයක් නිර්මාණය කිරීමට වියන්ගොඩ ගේ බෑනා ට රුපියල් මිලියන අටක් ගෙව්වා වැනි ගණනක් ඒ සඳහා නොගෙවූ බව නම් සහතිකය)

 එවක පළවූ තීරු ලිපියක මංගලගේ සාම ගීතය පද කනපිට හරවා තිබුනේ මෙලෙසිනි.

"... සුදු නෙළුම පිපුණා
නැව් තුනජ්  ගිලුනා ....."

මංගලට නොයෙක් නම් පටබැඳී ඇත.

මංගියා, මොන්ගලයා ආදිය මින් සමහරකි.

ඊට එහා ගිය අපහාසාත්මක වචනද මංගලව හඳුන්වන්නට යොදා ගෙන තිබුණි.

එහෙත් ඒවායින් ඔහු තරහ ගන්නා බවක් නොපෙනේ.

මංගලට මඩ කර්මාන්තය ගැන පුළුල් අවබෝධයක් තිබේ.

ඒ ඔහු උගත් මෝස්තර කලාවට අමතරවය.

ලංකාවේ දේශපාලනට අත්‍යවශ්‍ය මේ මඩ කලාව ගැන මංගල විසින් වෘත්තිය පුහුණු පාඨමාලාවක් ආරම්භ කළහොත් හොඳ ආදායමක් නිසැකව උපයා ගත හැකි වනු ඇත.

මංගල විපක්ෂයේ සිටියදී හොඳ සටන් කාමියෙකි.

එහෙත් බලයේ සිටියදී කම්මැලි අලියෙකි.

 චන්ද්‍රිකා බලයට පත් කරන්නට මංගල මහත් වෙහෙසක් ගත්තෙකි.

බලයට පත් චන්ද්‍රිකා බලයෙන් මත්වී වැරදි පාර වල යන විට ඒවා නිවැරදි කරන්නට මංගල ඉදිරිපත්වූ බවක් නොපෙනේ.

අඩුම තරමින් චන්ද්‍රිකාව වෙලාවට වැඩ කරවන්නටවත් ඔහු උත්සාහ කළ බවක් නොපෙනේ. 

ඒ වෙනුවට මංගල කළේ කරබාගෙන තමන්ගේ වැඩක් කරගෙන සිටීමට ය.

2015 රනිල් බලයට පත් වූ විට ද මංගල කළේ මේ ටිකමය.

1993 සිට 2015 දක්වා බඩගින්නේ සිටි යූඑන්පී සෙට් එක හොරා කන විටත් මංගලගේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවුණි.

ඒවා කම්මැලිකම්ද, කට්ටකම් ද, ඇඟ බේරා ගැනීම් ද කියා දන්නේ මංගල පමණි.

2005 දී මංගල නැගිටින්නේ චන්ද්‍රිකාටද එරෙහි වෙමිනි.

ඔහු මහින්දගේ ජයග්‍රහණය සඳහා කැප වන්නේ චන්ද්‍රිකාගේ වචනයට පිටුපාමිනි.

කොළඹ 7 , සරණ පාරේ පිහිටි වරාය අධිකාරිය සතු නිවස්නයක් තිප්පොල කරගත් මංගල, ශ්‍රීපති සුරියආරච්චි,  රුවන් ෆර්ඩිනැන්ඩස්, නිමල් ඒකනායක, සේන සුරියප්පෙරුම, නලින් අපොන්සු, අනිල් අරුමපෙරුම, දර්ශ යසන්ත චන්ද්‍රසිරි ආදීහු සමගින් මහින්දගේ ප්‍රචාරණ වැඩපොලේ කොටසක් දියත් කළෝය.

එදා මේ පිරිස අතර සිටි අනෙක් සාමාජිකයන් වූයේ විමල් වීරවංශ හා කරුණාරත්න පරණවිතාන (අද කරූ පරණවිතාන ) , රූපවාහිනීයේ සභාපති සුහයිර් හා අයිටීඑන් එකේ නිව්ටන් ගුණරත්න ය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද වෙනුවෙන් තිබූ එකම ඉංග්‍රීසි පත්තරය එලියට දමන්නේ ද මංගල විසිනි.

කොළඹ අවට හා තානාපති කාර්යාල ඉලක්ක කරගත් The Standard නම් වූ එම පුවත්පතේ කලාප නිකුත් කරන්නේ 3 ක් පමණි.

ඒ සඳහා මුදල් යෙදවූයේ ටිරාන් අලස්ය. මුදල් යෙදවූ අනෙක් කොටස්කරු වූයේ වර්තමානයේ ෂැංග්‍රිලා හෝටලයේ දේශීය හවුල්කරු වන සජාඩ් මව්සූන් ය.


මෙහිදී තවත් ලස්සන වැඩක් සිදුවිය.

ටීඑන්එල් සභාපති ශාන් වික්‍රමසිංහ ගේ දියණිය වූ ඉෂිනි තාත්තත් සමඟ තරහ වී එළියට එන්නේ ය.

ඇය එන්නේ නිකම්ම නොවේ. රනිල්ගේ රූපය අනුව සැකසූ මපට්එකක් ද සමගිනි.

ඉෂිනි එය මංගලට ත්‍යාගයක් වශයෙන් දෙන්නෙ 1998 වසරේදීය.

මෙලෙස මංගල ත්‍යාග ලද රනිල්ගේ මපට් එක යළි එළියට එන්නේ 2005 වසරේ දීය.

ඒ මහින්දගේ දේශපාලන කැම්පේන් එක උදෙසාය.

(මංගලට මපට් එක තෑගි දී ඉෂිණි රූපවාහිනියේ ඉහළ තනතුරක් ලබා ගැනීම වෙනම කතාවකි.)

මහින්ද මංගල දීගය වැඩිදුර ගියේ නැත.

 මංගලව ඇමති ධූරයෙන්  ඉවත්කලේ ක්ෂණික ව ය.

ඒ ක්ෂණික බව මර්වින් සිල්වා අරබයා මහින්ද ක්‍රියාත්මක කළේ නම් 2015 ඉරණම 'හිටන්' වෙනස් වන්නට තිබුණි.

2005 ජයග්‍රහණයෙන් පසු ටිරාන් අලස් විසින් මව්බිම පුවත්පත ආරම්භ කරන ලදී.

එහි කර්තෘ මණ්ඩල උපදේශක ධුරයට පත්වූයේ මංගලගේ හොඳම ගෝලයා වූ රුවන් ෆර්ඩිනැන්ඩස් ය.

රුවන්ගේ මව්බිම පත්තරය මංගලගේ ඇමැති පට්ටම අහිමිවීමේ ඉරණමට එක් ප්‍රධාන හේතු සාධකයක් විය.

මංගලට එදා සිටම කෙළ වී ඇත්තේ සතුරන්ටත්  වඩා ළඟම සිටින මිතුරන් නිසා ය.

කොතරම් කෙළෙව්වත් තම මිතුරන් අත් නොහැරීම මංගලගේ ශ්‍රේෂ්ඨ  ගතියක් විය.

එසේම කෙතරම් කෙළෙව්වත් මංගලව අත් නොහැරීම ද එම මිතුරන්ගේ ශ්‍රේෂ්ඨ ගතියකි.

ගෝඨාභයගේ නගර අලංකරණ වැඩපිළිවෙළට මුලින්ම අත තැබුවේ මංගල ය.

එහෙත් ඒ කටයුත්ත ගෝඨාභයට තරම් මංගලට  පහසු නොවීය.

බේරේ වැව අලංකරණ කටයුතු සඳහා ගිය මංගලගේ නිලධාරීන්ට පහරදී පන්නා දැමුවේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් මෙහෙයවූ ජිනරත්න අභ්‍යාස ආයතනයේ කොල්ලන් විසිනි.

ඊට පසුදා ගංගාරාමය අවට පෝස්ටර් වල දැක් වූයේ මෙවැන්නකි.

"උන් ආවා - අපි ගැහුවා "

පසුව ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් හමුවී සාකච්ඡා කළ පසු මංගලට උපරිම සහයෝගය දුන්නේත් උන්වහන්සේය.

දේශපාලනය තුළ කෙතරම් කැත වැඩ කළත් බේරේ වැව ලස්සන කිරීමට මුල පිරුවේ මංගල ය.

අද එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති ඛේදනීය ඉරණමේ එක් කොටස්කාරයෙකු වන්නේ මංගල ය.

එදා රනිල් ඉවත්කිරීමේ විරෝධතා පා ගමනට එරෙහිව මංගල කුරුඳු පොලු අතට නොගන්නට එක්සත් ජාතික පක්ෂයේ ඉරණම මීට වඩා වෙනස් විය හැකිව තිබිණි.

මංගල මාතර දී කුරුදු පොලු අතට ගැනීමත්, මහින්ද සිරිකොත ඉදිරිපිට කෝට්ටේ පාර කාපට් කිරීමත් දෙකම එක සමානය.

දෙකෙන්ම කළේ රනිල් රැකීමය.

මංගල  2020 මහ මැතිවරණ ව්‍යාපාරය අරඹන්නේ "මංගල සමග ගමනක්" යනුවෙනි.

 මේ යන විදියට ඒ ගමන මංගලගේ දේශපාලන අවසන් ගමන වීමට තිබුණු බව සුළං හමන දිශාව පිළිබඳ හොඳ ඉවක් ඇති මංගල ට වැටහුනි.

ඔහු කල් ඇතුවම තම නාම යෝජනාව ඉල්ලා අස්කර ගන්නේ එබැවිනි.

ඒ අතින් බලන විට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් යැයි හංවඩු ගසන ලද රනිල් සිටින්නේ මංගලට වඩා කිලෝමීටර් මිලියන ගණනක් පිටුපසිනි.

මංගලගේ පියා මහානාම සමරවීර ය.

ඔහු 1964දී පත්තර පනතට එරෙහි වී ඡන්දය දී ඉතිහාසගත වූවෙකි.

මහානාම සමරවීර අනිත් පැත්තට ගන්නට මුල්වූයේ රනිල්ගේ පියා වූ දේශපාලන නූල් සූත්තර කාරයෙක් වන එස්මන්ඩ් වික්‍රමසිංහ ය.

පසු කලෙක රනිල්ගේ දේශපාලන නූල් සූත්තරකාරයා බවට පත් වූයේ මංගලය.

මංගල  දැන් අලූත් සංවිධානයක් අටවාගෙන ඇත.

රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරන 'සැබෑ දේශප්‍රේමියෝ ' යන්න මේ සංවිධානයේ නමයි.

මේ නම දුටුවිට සිනහ පහළ වන්නේ එයට ප්ලග් වී ඇති සෙට් එකේ සමහරුන් දුටු විටය.

 එයින් බහුතරයක් එන්ජීඕ කාක්කන් ය.

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ආන්ඩුවක් පෙරළන්නට බෝම්බ නිෂ්පාදනය වික්ටර් අයිවන් ද මෙහි දේශප්‍රේමී සාමාජිකයෙකි.

මතු අනාගතයේදී සුනන්ද දේශප්‍රිය, නිමල්කා ප්‍රනාන්දු වැනි දේශප්‍රේමීන් ද මේ සඳහා එක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

තම මව්බිමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යෝජනා සම්මත කරන්නට අත ඔසවන දේශප්‍රේමින් තව තවත් මේ සංවිධානයට එක් කරගැනීම මංගල සතු වගකීමකි.

මංගල යනු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් නිර්මාණය හා තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකි.

 ඔහු ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයකු ලෙස ද කටයුතු කර ඇත.

සමහර විට මංගල දිගටම ඒ කටයුත්තේ නියැලී සිටියා නම් මීට වඩා සේවයක් මේ රටට කරන්නට හැකියාව තිබුණු බව නම් සහතිකය.

(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්