1200 x 80 DMirror

 
 

(සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - ප්‍රදීප් වීරසිංහ ට රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක් )


''ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ '' -රොහාන් සමරජීව


අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ.

ශ්‍රී ලංකාවේ නිතර නිතර සංශෝධනයට ලක්වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසිදු කලෙක ඉහළ යුක්තියුක්තභාවයක් නොතිබුණු අතර, වර්තමානයේදී එය බිංදුව ආසන්නයටම බැසගොස් තිබේ.

 

ආණ්ඩුවට පක්ෂපාතී නීතීඥවරුන්ගෙන් සමන්විත රහසිගත කමිටුවක් විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය පිළිබඳ මූලික ප්‍රශ්න මතුවෙමින් තිබෙන්නේ එම පසුබිම තුළය.  

 

ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් උනන්දුව වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනෙන්නේ සමාජයක පොදු කැමැත්ත තහවුරු කරගැනීමේ විද්‍යුත් ක්‍රමවේද භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ තිබෙන පරිකල්පනයන්ය. එය 18වන සියවසේදී ෂෝන්-ෂාක් රූසෝ විසින් ඉදිරිපත් කරන ලද මතවාදවලට අනුකූල බව පිළිගනු ලැබේ.

එහෙත්, ඒ පිළිබඳ ජයදේව උයන්ගොඩ, ප්‍රදීප් එන්. වීරසිංහ, තිලක් දසනායක වැනි අය විසින් ඉදිරිපත් කරන ලද අදහස් අනුව පෙනෙන්නට තිබෙන්නේ එහිදී අරමුණු කරනු ලබන්නේ දේශපාලනික තීරණ සම්බන්ධ බහුතර ඡන්දය ස්වයංකරණය සිදුකිරීම බවයි. මෙහිදී දේශපාලනික තීරණ යනු පරිපාලන හා නීතිමය තීරණ වේ. බහුතරවාදී තීරණගැනීමේ පසුබිමක් තුළ ජීවත් වන සුළුතරයන්ට සිදුවන්නේ කුමක්ද යන දශක ගණනක් පැරණි ප්‍රශ්නයට පිළිතුරක් තවමත් නැත.


ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ පාලනය නොවේ


ප්‍රජාතන්ත්‍රවාදය යනු කුඩා කණ්ඩායමක් තුළ පවා සියලුදෙනාගේ එකඟත්වය ලබාගැනීමයි. පාර්ලිමේන්තුව තුළ පවා ඒකමතිකත්වය ලබාගත නොහැකි තත්වයක් තිබියදී රටක ජනගහනයක මට්ටමේදී ඒකමතිකත්වය ලබාගත හැක්කේ කෙසේද?

ඒකමතිකත්වය අත්‍යවශ්‍ය කොන්දේසියක් කරන්නේ නම්, කුඩා කණ්ඩායමකට හෝ පුද්ගලයකුට පවා අති විශාල බලයක් ප්‍රධානය කිරීමක් එමගින් සිදු වේ. එනිසා  ප්‍රායෝගික හේතුන් මත බොහෝ තීරණ ගනු ලබන්නේ බහුතර ඡන්දයෙනි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි වැදගත් තීරණයක් ගැනීමේදී සාමාන්‍ය බහුතර කැමැත්තට වඩා අනුමැතියක් අවශ්‍යය. මූලික අයිතිවාසිකම් සම්මත කරගැනීම මගින් අපේක්ෂා කරනුයේ බහුතරය විසින් සුළුතරය මුළුමනින්ම පාගාදැමීම වැළැක්වීමයි.

 

සුළුතරයන් මර්දනය හෝ නොතකා හැරීම දිගුකාලීනව ගත් කල ඵලදායීතාවෙන් තොරය. විශේෂයෙන්ම, තම දැක්ම කිසිවිටෙක සැලකිල්ලට නොගනු ලබන ස්ථිර සුළුතරයන් බවට ඔවුන් පත්කිරීම හානිකරය. ඒකමතිකත්වය ලබාගැනීම අරමුණු කරගත් සාකච්ඡාවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පය මතුවන්නේ මෙහිදීය.

මෙහි අරුත වන්නේ, බහුතර ඡන්දයෙන් තීරණය වන විකල්පයන් වහා සම්මත කරගැනීම වෙනුවට සියලු පාර්ශ්වයන් රළු එකඟතාවන් සඳහා මැදුම් සම්මුතියකට එකඟ කරවාගැනීමයි. එහිදී ඒකමතිකත්වයක් අත්‍යවශ්‍ය වන්නේ නැත. මෙම කරුණ ජනාධිපති ඔබාමා විසින් 2016දී පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයකදී මෙසේ පැහැදිලි කරන ලදී:  

What leadership lessons can you learn from former president Barack Obama? (©janeb13 / via pixabay)

ජනාධිපති ඔබාමා

 

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැදුම් සම්මුතිය අවශ්‍යය. ඔබ සියයට සියයක් නිවැරදි අවස්ථාවකදී වුව තත්වය එයයි. මෙය ඇතැම්විටදී පැහැදිලි කිරීම දුෂ්කරය. ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදි විය හැකිය. එහෙත්, ඔබට තවදුරටත් ඔබ සමග එකඟ නොවන පුද්ගලයන් සමග කටයුතු කිරීමට සිදුවේ. මැදුම් සම්මුතියකින් තොරව ඉදිරියට යාම එකම විසඳුම යයි ඔබට සිතෙන්නට පුළුවන. එය ඔබගේ පැත්තෙන් සුවපහසුය. අරමුණ අතින් ඔබ පවිත්‍ර විය හැකිය. එහෙත්, ඔබට අවශ්‍ය දේ දිනාගත නොහැකිය. ඔබට අවශ්‍ය දෙය අවශ්‍ය කාලය තුළදී දිනාගැනීමට නොහැකි වූ විට ඔබට සිතෙන්නේ පද්ධතිය අවුල්සහගතය කියාය. එමගින් නිර්මාණය වන්නේ අසුබවාදී තත්වයකි. අඩු සහභාගීත්වයේ, වැඩි අයුක්තියේ, කෝපයේ හා බලාපොරොත්තු සුන්වීමේ පහළට යොමුවූ සර්පිලයක් එමගින් නිර්මාණය වේ.    



ඔහු ඇමතුවේ බ්ලැක් ලයිව්ස් මැටර් වැනි ව්‍යාපාරවල වර්තමාන හා අනාගත නායකයන්ටයි. එහිදී ඔහු විසින් මතුකර දක්වනු ලැබුවේ කළු ඇමෙරිකානු සුළුතර දැක්මකි. එහෙත්, බහුතරයටද මැදුම් සම්මුතිය අවශ්‍යය. ඔවුන් විසින් සුළුතරයන්ට පාර්ශ්වික ජයග්‍රහණයක් සඳහා අවස්ථාව ලබා නොදෙන්නේ නම් හෝ කිසි විටම ජයග්‍රහණයක් ලබා ගන්නට අවස්ථාවක් නොදෙන්නේ නම්, ප්‍රතිචාර වනු ඇත්තේ රළු ප්‍රතිරෝධයකි. එය වෙන්වීම දක්වා වර්ධනය විය හැකිය.  

 

ඉංග්‍රීසියෙන් compromise නම් වචනයෙහි අරුත මුළුමනින්ම ලබාදෙන සිංහල යෙදුමක් නැත. දෙමලෙන් නම් තිබෙන බව මට වාර්තා වී ඇත. මැදුම් සම්මුතියකට ඉඩක් අපගේ සංස්කෘතිය තුළ නොමැති බවක් එයින් අදහස් විය හැකිය.

 

කෙසේ වෙතත්, ඕනෑම සංවිධානයක කටයුතු කර තිබෙන හෝ අඩු වශයෙන් පවුලක ජීවත් වී තිබෙන අයෙකු පවා අතරමැදි සම්මුතියක ප්‍රායෝගික අවශ්‍යතාව දනිති. යහපත් පවුල් හා සංවිධාන තුළ සරල තීරණ පවා බහුතර තීරණය මත ඒකාධිපති නායකයකු විසින් නිරන්තරයෙන් ගනු ලබන්නේ කලාතුරකිනි.

උදාහරණයක් ලෙස පවුලක රාත්‍රී ආහාරය පිළිබඳ තීරණය හෝ සමාගමක වාර්ෂික චාරිකාව යන තැන ගැන තීරණය සැලකිය හැකිය. සියලුදෙනාගේ විවිධ ආශාවන්ට ඉඩදිය නොහැකි වන මුත්, යහපත් පවුල්වල හා සංවිධානවල තීරණ ගනු ලබන්නේ සියලුදෙනාගේ උපදෙස් විමසීමෙන් හා සාකච්ඡාවෙන් පසුවය.    


ඍජු ප්‍රජාතන්ත්‍රවාදය


කැලිෆෝනියා ප්‍රාන්තය 20වන සියවසේ මුලදී යුක්තියුක්තභාවය පිළිබඳ අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේදී මැතිවරණ හා යෝජනා කැඳවීම ආදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පියවර මාලාවක් අනුමත කර ගන්නා ලදී.

1913 සිට ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් ආපසු කැඳවීමේ ප්‍රයත්නයන් 179ක් තිබිණි. ඒ අතරින් ප්‍රයත්නයන් 12කට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් එකතු කරගැනීමට හැකි විය. අවස්ථා හයක එම නියෝජිතයන් ආපසු කැඳවා වෙනත් අය පත්කරන ලදී.

උදාහරණයක් වන්නේ ආණ්ඩුකාර ග්‍රේ ඩේවිස් ආපසු කැඳවා නළුවෙකු සහ දේශපාලනඥයෙකුවූ ආනෝල්ඩ් ෂ්වාසිනෙගර් පත්කිරීමයි. මෙවැනි ආපසු කැඳවීමකට මුහුණදෙන නියෝජිතයන්ට මුදල් වියදම් කර රැකියාව බේරාගැනීම සඳහා ප්‍රචාරණයේ යෙදීම හැර වෙනත් විකල්පයක් නැත. එය රාජ්‍ය පාලනයෙන් වෙනතකට අවධානය යොමුකරන තත්වයක් වන අතර, එම නියෝජිතයා වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන පුද්ගලයන් සමග බැඳීමක් ද, කල උපකාරයනට හිලව් වන්නට ප්‍රතිඋපකාරය කිරීමේ අවශ්‍යතාවක්  එම නියෝජිතයා තුළ ඇතිකරයි.

 

කැලිෆෝනියාවේ පුරවැසියන්ට ඡන්දයට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් නීති සම්පාදනය ද කළ හැකිය. ඉතා මෑතදී, ලොව පුරාම ඌබර් හා ලිෆ්ට් ටැක්සි සේවාවන්ගේ රියදුරන් සේවකයන් ද නැතිනම් කොන්ත්‍රාත්කරුවන් ද යන ප්‍රශ්නය මතුවිය. මෙම විවාදය අවසානයේදී විසඳුණේ එම සමාගම්වල සහයෝගයෙන් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඉදිරිපත් කරන ලද යෝජනාවක් මගිනි.

 

සාමාන්‍ය නීති සම්පාදනයක් මගින් ප්‍රශ්නය විසඳුණා නම් සාකච්ඡා හා මැදුම් සම්මුතීන් මගින් අතරමැදි විසඳුමක් සඳහා තිබෙන ඉඩ මැකී ගියේය. නීතියෙහි වගන්ති තීරණය කරනු ලැබුවේ බලපෑමට ලක්වූ සමාගම් විසිනි. එම ක්‍රියාමාලාව වෙනුවෙන් සමාගම් විසින් ඩොලර් මිලියන් ගණන් වැයකරන ලදී. එම නීතිය වෙනස් කිරීම සඳහා එම දුෂ්කර ක්‍රියා පටිපාටිය තුලින්ම තවත් එවැනි යෝජනාවක් සම්මත කරගත යුතුය. ව්‍යවස්ථාදායකයට එවැනි නීතියක් සංශෝධනය කළ නොහැකිය.

නැවත කැඳවීමේ මැතිවරණ වැනි ක්‍රියාමාර්ගවල සැබෑ භාවිතය සිදුවන ආකාරය නොදැන (හෝ දැන, තම තර්කයට හානිකර නිසා, නොකියා) ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යෝජනා කරන්නන් එම අදහස් ප්‍රවර්ධනය කිරීම කණගාටුවට කරුණකි.

 

වර්තමානයේදී පවා, රාජ්‍ය පාලනයට වඩා නැවත පත්වීමට ප්‍රමුඛතාව ලබාදෙන දේශපාලනඥයෝ මෙරට සිටිති. ප්‍රචාරණ ක්‍රියාමාලා වෙනුවෙන් අවශ්‍ය අධික ධනස්කන්ධය හේතුවෙන් දැන් පවා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය දූෂිතය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අප මෙම විෂම භාවිතාවන් වැරගැන්විය යුත්තේ ඇයි?

 

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් විවේචකයෝ ඊටත් එහා යති. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ දැනට පවතින ව්‍යවස්ථාදායකය මුළුමනින්ම අහෝසි කිරීමටයි. ඒ සඳහා සැමට ලබාගත හැකි යයි ඔවුන් පරිකල්පනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් භාවිතා කරමින් සමස්ත ජනගහනයේම ඡන්දයෙන් නීති සම්මත කරගැනීමට ඔවුහු යෝජනා කරති.

 මෙම විකල්පයන් යෝජනා කරන ඇතැමෙක් සම්ප්‍රදායික ව්‍යවස්ථාදායකයට අනුපූරකයක් ලෙස පුරවැසි සහභාගීත්වය ආදේශ කිරීමට පවා යොමුවෙති. මෙම යෝජිත දෙවෙනි අතථ්‍ය ව්‍යවස්ථාදායකයට පළමු ව්‍යවස්ථාදායකයේ බලය අතික්‍රමණය කිරීමේ හැකියාව තිබේද?

සමස්ත ජනගහනයටම සහභාගී වීමට අවස්ථාව ලබාදුනහොත් කතාකිරීම පාලනය කරනු ලබන්නේ කුමන නීති මගින්ද? තීරණ ගනු ලන්නේ කෙසේද? එය හුදෙක්ම උපදේශාත්මකද? මෙම ප්‍රශ්නවලට අපි ආචාර්ය වීරසිංහයන්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වන්නෙමු.

 

රොහාන් සමරජීව - ප්‍රදීප් වීරසිංහ

 

ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින දිසානායක දසනායක මහතා යෝජනා කරන්නේ විද්‍යුත් ජනමත විචාරණයි. ප්‍රශ්න සම්භාරයක් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හා ඒ සියල්ලට ඡන්දය දීමට පුරවැසියන්ට කාලයක් හෝ උවමනාවක් තිබේද යන ප්‍රශ්නය නැගූ විට ප්‍රතිචාරය වූයේ පුරවැසියන්ට තමන් කැමති විද්‍යුත් ජනමත විචාරණයනට පමණක් සහභාගී විය හැකි බවයි.

මෙමගින් තමන්ට වැදගත් වන කාරණා සම්බන්ධයෙන් ‘ඡන්ද ගොනුකරගත හැකි’ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවකාශය විවෘත වන බව පෙන්වාදුන් විට එයට ප්‍රතිචාරයක් නොලැබිණි. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් තීරක බලය සතු වන්නේ පුරවැසියන් සහභාගී කරවීමේ හැකියාව ඇති බල පුළුවන්කාර පාර්ශ්වයනටයි.  

ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ ඉහත දක්වන ලද ආකාරයේ ප්‍රධාන ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදයේ හරය හා සම්බන්ධ  ඒවාය. එහෙත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් සැමට ලබාගත හැකිවීම පිළිබඳ පරිකල්පිත තත්වය වෙනම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.

 

වයස අවුරුදු 15ට වැඩි ජනගහනයෙන් 44%ක් අන්තර්ජාලය භාවිතා කරන බව අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙන්වාදෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට පහසුකම් සැපයීමට නම් මෙය 100% දක්වා වර්ධනය කළ යුතුය.

 

දැන් වැඩි වැඩියෙන් ජනතාව වීඩියෝ සම්මන්ත්‍රණවලට හුරුපුරුදුවී තිබේ. අතථ්‍ය අවකාශයන්හි සිදුවන සංවාද කොයි තරම් ඵලදායීදැයි එමගින් ඔවුන්ට අවබෝධයක් ලැබී තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගත් කල, අනන්‍යතාව තහවුරු කිරීම සම්බන්ධ ගැටලු විසඳාගත යුතුය. අධ්‍යාපන පද්ධතිය තුළ විභාග දුරස්ථව පැවැත්වීම පිළිබඳ අවබෝධයක් තිබෙන අයට මෙහිදී මතුවන අභියෝග පිළිබඳ වැටහීමක් තිබෙනු ඇත.  


නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට?

 

දේශපාලන පක්ෂ පදනම් කරගත් වර්තමාන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියේ අකාර්යක්ෂමතාව පිළිබඳ එතරම් විවාදයක් නැත. කිසිදු පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ අපේක්ෂකයන් ඉවතට විසිවෙමින් දෝෂ සහිත අපේක්ෂකයෝ ඉදිරියට එති.

 

නියාමනය නොකරන ප්‍රචාරණ ක්‍රියාමාලා අරමුදල් හේතුවෙන් බලයේ සිටින අපේක්ෂකයන්ට විශාල වාසියක් ලැබේ. එසේම, එය දූෂණයට ද මග සකසයි.

ධනවත් අතළොස්සට නීති සම්පාදන හා විධායක ක්‍රියාවලිවලට වරප්‍රසාදිත ප්‍රවේශයක් හෝ සැපයේ.

පුළුල් අදහස් විමසීම් මත පදනම්ව සම්පාදනය කරන ලද ජාතික ප්‍රතිපත්ති වෙනුවට විනිවිද නොපෙනෙන අන්දමින් සම්පාදනය කරන ලද, නිසි ලෙස සාකච්ඡාවට භාජනය නොවූ අදහස් මත පදනම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශන ආදේශ වී දැවැන්ත හානි සිදුවේ.

පොහොර හා කෘෂි රසායනික තහනම මේ සඳහා හොඳ උදාහරණයක්  ලෙස සැලකිය හැකිය. නීති සම්පාදනය කිරීම සඳහා තෝරාපත් කරගන්නා ලද නියෝජිතයෝ නීතිවලට අවධානය යොමුකිරීම හැර අනෙක් හැම දෙයක්ම කරති.  

එම නිසා, පවත්නා ක්‍රමයේ ගැටලු විසඳීම සඳහා අප කටයුතු කළ යුතුමය. විශේෂයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ ක්‍රියාවලියේ පටන්ගැන්මෙන් ආරම්භ වී ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අවසන් වේය යන විශ්වාසය පරාජය කිරීම ඉතා වැදගත්ය.


 මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය සංවර්ධනය කිරීම:


පුරවැසියන්ට පූර්ණකාලීනව දේශපාලනයේ හා ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදිය නොහැකි බව සත්‍යයකි. ඔවුන් ජීවන අරගලයේ හා පවුල්වල කටයුතුවල යෙදිය යුතුය. එම සීමාවන් කෙරෙහි සැලකිලිමත් වෙමින් ඔවුන්ට රාජ්‍ය පාලනය සමග සම්බන්ධ වීමට හැකිය. ඒ සඳහා එක් විසඳුමක් වන්නේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය තවදුරටත් සංවර්ධනය කිරීමයි.

උදාහරණයක් ලෙස, එම කටයුතුවලට සහභාගී වන්නන් හට සිදුවන ආදායම් අහිමි වීම වෙනුවෙන් වන්දි ගෙවිය යුතුය. අහඹු නියැදි ඔස්සේ පුරවැසියන් මහජන අදහස් විමසීම් සඳහා කැඳවීම සම්බන්ධයෙන් කරන ලද අත්හදාබැලීම් තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ මහා ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව හා සමාන්තරව මෙම සාකච්ඡාව ද දිගට කරගෙන යා යුතුය. ලබාදෙන විසඳුම් විසින් තිබෙන තත්වයටත් වඩා නරක තත්වයක් නිර්මාණය නොකරන බව තහවුරු කිරීම සහතික කිරීම සඳහා සියලු යෝජිත විසඳුම් පූර්ණ ඇගයීමකට ලක්කළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ ගැනීම සඳහා යොමුවන සාකච්ඡාවක්ය යන සංකල්පයට ප්‍රමුඛතාව ලබාදීම එහිදී අවශ්‍යය.



Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



මාතෘකාවට අදාල සබැඳි ලිපි :

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - රොහාන් සමරජීවට ප්‍රදීප් වීරසිංහ ගෙන් ප්‍රතිචාරයක්

 
 
 
 



Leader Whats app




සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip

ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
 
වියත් කතා | The Leader TV
   


බැසිල්ගේ ගෝලයා ජනපතිට ටොකු අනි ! | ගොසිප් එක