The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය

T

The Leader Desk

March 22, 2023 • 8:41 AM

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම හැම කෙනෙකුටම හීනයක් තියන එක හොඳයි.
  • ඇත්තටම එජාපය තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ගේ ඇඟේ බලහත්කාරයෙන් ගැහුවේ.
  • මේ අවුරුදු දෙක පිනට හමිබ උනාට ඒ අවුරුදු පහ පිනට හම්බ වෙන්නේ නෑ.ඒක ජනවරමකින්ම ගන්න ඕනි.රනිල් ඊළඟ පාර රටේ ජනතා කැමැත්තෙන් ජනාධිපති වෙන්න නං රනිල් මේ අවුරුදු දෙක ඇතුලේ පොරොන්දු උන විදිහට ආර්ථිකය ගොඩදාන්න ඕනි.
  • හැබැයි අනුරට හරි සජිත්ට හරි ජනාධිපති වෙන්න රට කාබාසිනියා වෙන්න ඕනි.රට වලපල්ලට යන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම හැම කෙනෙකුටම හීනයක් තියන එක හොඳයි. මොකද ඒ හීනය විසින් එයාව ජීවත් කරවනවා. යහපත් හීන හැමකෙනාටම තියෙනවා නම් ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන වෙයි. එහෙම හීන සැබෑවුන දවසට හීනය අදාළ කෙනා විතරක් නෙවෙයි හැමෝම වගේ සතුටු වේවි. ඒත් කුහකයෝ නම් සතුටු කරන්න බැරිවෙයි. හීනයක් තියෙන කෙනෙකුට හීනය සැබෑ උනාම එහෙම සතුටක් දැනෙනවා නම් හීනයක් නොතිබුණු කෙනෙක් හීනයක් හදාගෙන ඒක සැබෑ කරගත්තොත් කොහොම සතුටක් එයාට දැනෙයිද?

රනිලුත් එහෙම කෙනෙක්. 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැරදිලා ගෙදර යනකොට රනිල්ට ඔය මොන හීනයක්වත් තිබුණේ නෑ. රනිල්ට තිබුණේ එජාපය බින්දුවට වට්ටපු නායකයා විදිහට ඉතිහාසයේ වේදිකාවෙන් බැහැලා යන්න තිබුණ ලැජ්ජාව විතරයි. එජාපයට හමිබ වෙච්චි ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තු යන්න හීනයක් රනිල්ට තිබුණේ නෑ. එහෙම හීනයක් ජොන් අමරතුංගට නං තිබුණා. ඇත්තටම එජාපය තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ගේ ඇඟේ බලහත්කාරයෙන් ගැහුවේ. පාර්ලිමේන්තුවට ආවත් ඒ කාලේ රනිල්ට ජනාධිපති හීනයක් තියෙන්න විදිහක් නෑ. අගමැතිකම නං රනිල්ට මහ ලොකු දෙයකුත් නෙවෙයි. මොකද ලංකාවේ වැඩිපුරම අගමැතිකම් කරලා තියෙන්නෙත් රනිල්. එතකොට එන ප්‍රශ්නය තමයි රනිල් ජනාධිපති උනේ කොහොමද කියන එක? ඒක උනේ වාසනාවට විතරමද? රටේ රාළ නං ඔය වාසනාවේ කතාව පිලිගන්නේ නෑ. එහෙම හිතුවොත් සජිත්ට. අනුරට සහ ෆොන්සේකාට රනිල්ට කලින් වාසනාව පෑදුනා." මැණික් ගලේ පය හැපුනත් කනෙක් ඇහිදලා ගනීද " කියලා කතාවක් තියනවා.

 

sarath anura saith

ඒ කතාවට අනුව නං වාසනාව තමයි අදාල. හැබැයි එදා සජිත්ලා, අනුරලා රට බාරගන්න ඉදිරිපත් උනේ නැත්තේ බයටමයි. ඒ කියන්නේ බයත් එක්ක වාසනාව ආවත් වැඩක් නෑ. එහෙම හිතනවා නම් මෙහෙමත් හිතන්න පුළුවන්. එයාලා වැඩේ බාර ගත්තේ නැත්තේ රටේ වාසනාවට කියලා. රනිල් ඒ අභියෝගය බාරගත්තේ තමන් ගැන තිබුන ආත්ම විශ්වාසයට. රනිල්ගේ දේශපාලනයට රටේ රාළ එකඟ නෑ. ඒත් එදා රනිල්ට තිබුණ ආත්ම විශ්වාසයට රටේ රාළ ගෞරව කරනවා. ඒ ආත්ම විශ්වාසයත් එක්ක හෑදිච්චි හීනයක් දැන් රනිල්ට තියනවා. මේ අවුරුදු දෙකේ අනුප්‍රාප්තික ජනාධිපතිකම කරලා ඊළග පහත් ඇදලා යන එක තමයි රනිල්ගේ හීනය. මේ අවුරුදු දෙක පිනට හමිබ උනාට ඒ අවුරුදු පහ පිනට හම්බ වෙන්නේ නෑ.ඒක ජනවරමකින්ම ගන්න ඕනි.රනිල් ඊළඟ පාර රටේ ජනතා කැමැත්තෙන් ජනාධිපති වෙන්න නං රනිල් මේ අවුරුදු දෙක ඇතුලේ පොරොන්දු උන විදිහට ආර්ථිකය ගොඩදාන්න ඕනි. ඒ කියන්නේ රටේ ආර්ථිකය ගොඩදාන්න එකත් රනිල්ට තියන තවත් හීනයක් වෙන්න ඕනි. මේ දෙක හීන දෙකක් උනාට එකිනෙකට සම්බන්ධයි. ඔතනදී තමයි රටේ ජනතාවගේ හීනය රනිල්ගේ හීනයත් එක්ක සමපාත වෙන්නේ සහ අනුරගෙයි, සජිත්ගෙයි හීන එක්ක ජනතාවගේ හීනය හැපෙන්නේ.

 

මොකද රනිල්ට ජනාධිපති වෙන්න නං රටේ ආර්ථිකය ගොඩදාන්න ඕනි. හැබැයි අනුරට හරි සජිත්ට හරි ජනාධිපති වෙන්න රට කාබාසිනියා වෙන්න ඕනි.රට වලපල්ලට යන්න ඕනි. ඒක නිසා ඒ හීන දෙකම මේ රටේ ජනතාව හීනයත් එක්ක සමපාත වෙන්නේ නෑ. රනිල්ට ආර්ථික ගොඩදාන්න තිබුණේ IMF හීනය. රනිල් මාස 08 ක් ඒ හීනයත් එක්ක පොර බැදුවා. පහුගිය 20 වෙනිදා අපේ රටේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රියේ රනිල්ගේ හීනය සැබෑවුනා. IMF එක අපේ රටට දෙන්න යෝජනා කරලා තිබුණ විස්තීර්ණ ණය පහසුකම සහ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල එකඟතාවයට IMF විධායක කමිටුව අනුමැතිය දුන්නා. ඒ අනුව අපට තව දවස් දෙකකින් ඩොලර් මිලියන 333 ක පළවෙනි ණය වාරිකය හම්බ වෙනවා. ණය ප්‍රති ව්‍යුහගතකරණ සහතිකය හමිබ උනාට පස්සේ ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් බිලියන 4.5 ක ණයක් ලැබෙනවා. ඔන්න එහෙනම් රනිල්ගේ ණය හීනය සැබෑ වෙලා.

 

රනිල් දැන්මම ඒක රනිල්ගේ ජනාධිපති හීනෙත් එක්ක ගැටගහන්න පටන් අරන්. රනිල් ඊයේ කරපු කෙටි විශේෂ ප්‍රකාශය ඇතුලේ ඒ බව රටේ රාළට දැනුනා. රනිල් කිව්වේ තවදුරටත් අපි බංකොලොත් රටක් නෙවෙයි කියලයි. දැන් අපිට සාමාන්‍ය තත්වයෙන් ගනුදෙනු පටන් ගන්න පුළුවන්. ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරනවා කියලයි. ඒ කියන්නේ අපේ රටේ ඩොලර් අර්බුදය ඉවරයි කියන එකයි. රටේ රාළ මුල ඉදන්නම කිව්වේ රනිල් ආර්ථික සටන් පාඨය අන්සතු වෙන්න දෙන්නේ නෑ කියලා. ඒ කෙටි කතාවෙන් ඊයෙත් රනිල් රටේ රාළ කියන කතාව ඔප්පු කළා. මුලදී රනිල් නොසන්සුන් රට සන්සුන් කළා .පෝලිම් අවසන් කළා.දැන් ඔන්න කියනවා බංකොලොත්භාවයත් අවසන් කළා කියලා. ඊළඟ ජනාධිපතිවරණයට රනිල්ට දැනට තියන හොදම සටන් පාඨය බංකොලොත්භාවයෙන් රට ගලවාගත් නායකයා කියන එකයි.හරි ඒවා ඔක්කොම ඇත්ත කියමුකෝ.ඒත් තවම වැඩේ අවසන් නෑ.තවම රනිල් ඉන්නේ වැල් පාලමේ මැද. මෙතනදී රනිල්ට රටේ රාළට කියන්න තියෙන්නේ ලැබූ ජයග්‍රහණය සාමකාමීව සහ වැදගත් විදිහට සමරන්න කියලයි.

 281371701 4060433184081611 6393837358575268943 n

 

එහෙම නැතිව IMF ගත්තා කියලා දුෂිතයෝ කැබිනට් මණ්ඩලය ගේන්න රනිල්ට අයිතියක් නෑ. දැන් IMF ගන්න කපුටොත් උදව් කළා කියනවා. ඕකට කියන්න තියෙන්නේ අර කැලේ හිටපු වඳුරෙක් කියපු අලින්ගෙයි අපෙයි වැඩ කියන කතාව තමයි. අපි රනිල්ට කියන්නේ ආයෙත් කබ්බෝ ෆෝම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඊළඟට IMF ගත්තා කියලා නීතිය බරපතල විදිහට කඩ කරපු චෝදනා තියන කෙනෙක් පොලිස්පති කරන්න ලෑස්ති වෙන්නත් එපා. ඒවා කරන්න ආවොත් රනිල් මේ උපයා ගත්ත කීර්තිනාමය ආයෙත් වාෂ්ප වෙනවා. රටේ රාළ මෙතනදි විපක්ෂයට කියන්නේ රනිල් ණය ගත්තේ රට වෙනුවෙන්. ඒ ණය ගෙවන්න ඕනි අපි. ඒ ණය හරියට ආයෝජනය කරන්න, කළමණාකරණය කරන්න කාගේත් සහය ඕනි. ඒක නිසා මේ වෙලාවේ විපක්ෂය ඒකට රනිල්ට සහය දෙන්න ඕනි. මේ කියන්නේ රනිල්ව ජනාධිපති කරවන්න කියලා නෙවෙයි හැබැයි දැනට ඉන්න දේශපාලනඥයින්ගෙන් රට යථාවත් කරන්න පුළුවන් රනිල්ට කියන එක දැන් කවුරුත් පිලිගන්නවා. මොකද මෙතැනින් එහාට යන්න තියෙන්නේ අති දුෂ්කර ගමනක්.

 

අද රනිල් පාර්ලිමේන්තුව අමතලා කරන කතාවයි ,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන IMF යෝජනාවලියයි බලලා ඉතිරි ටික හෙට කතා කරමු.

 
හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

Priyanjith Vitharanaමීට
රටේ රාළ
Priyanjethjnp@gmail.com

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...