දිය කෙවුල් බිසවගේ පුරාවෘත ජනගත නොවන සේ මිලිනව ගොස්ය. එයට මැදිව ඇගේ පුතු දිඝාභය කුමරුද එසේම යටපත්ව ගියහ.
නිළවංශ කතා මේ පුවත හි මූල තතු තබා තිබියදි මෙසේ වූයේ මන්ද. දුටුගැමුණු රජුගේ චමත්කාරමය මනසට සිදු වූයේ කුමක්ද? බලය විසින් ඔහුට වෙනත් ආරෝපණයක්ද ලැබුණාද. එසේ වුවා යැයිද කිව නොහැක.
තම පුතු සාලියගේ ආල නුරාවට මහරජ දුන් ඉඩද, ස්වර්ණමාලී නමින් මහා සෑය නම් කිරීමද ඔහු තුළ වූ චමත්කාරමය භාවය රජ වූ විටත් තිබූ බවට කදිම සාක්ෂීන්ය. ඒත් දීඝාභයට සිහිවටනයක් ලංකා සමාජය පල නොකලේ මන්දැයි සෙවිය යුතු යැයි සිතුණි. එය කර දීමම ජනප්‍රිය වේදිකාවෙන් පහර කෑමක් ලැබෙන දෙයකැයි දැන දැනම එය ඉටු කරන්නට ගතිමි.
" කෙවුල් වංශය" ලඟ ඇති අවසාන දත්තයන් රැස් කිරීම සඳහා ගමන් කිරීම එයට ඇති මාවත යැයි දැනුණි. ගන්දර වැල්ලේ ඇවිලී ගිය කෙවුල් හටන ගැන තතු ලැබීමෙන් ඉක්බිතිව නව ප්‍රහර්ෂයකින් අවදි වීමි. විටෙක දීඝාභය කුමරු නවාතැන් ගෙන සිටි නාඔටුන්නේ නාග කිඳුරන්ගේ ගම් බිම් මැද දී හමු වු අමුතු කතාවකි. ඒ කතාවට මම සලිත වුනේය.
නූතන ඉතිහාසකරුවන් බොහොමයක් කර ඇති සාපරාධී මතු කිරීම් ගැන අතිශය වේදනාවන් ඒ දහර වියේ උපන්නෙමි. ඒත් ලෝකයේ යථා ස්වභාවය එයය. වේදනාව මැඩගෙන ඔහුට යුක්තිය ඉටු කර තැබිය යුතු යැයි සිතුවෙමි. එබැවින් දීඝාභයගේ වත මැදින් ගොඩ කෙවුලන්ගේ රාග රාත්‍රියට ගොඩ වූයේ ඒකය.
මැලේසියාව, ඉන්දුනීසියාව ජාවා දූපත් සිට මුහුදු රේඛණය ඇදී ඇත්තේ කිරින්දට සහ සමන්තුරයට හා හම්බන්තොටටය. ඒ කීවේ ඒ අතීත සමයේ මුහුදට වැටුනු ඔරු නාවිකයන් දිය වැල ඔස්සේම විත් එම තොටමුණු වලට පාවී එන බවය. මේ ජාවා මැලේ ජාන කලාපය කොහොමත් භූ පැල්ලමට පෙර ලංකාව හා එකට බැඳුණු කලාපයකි. භූ පැල්ලම විසින් ජාන වල බෙදීමක් ඇති කර වීම ගැන තවමත් පර්යේෂණ වල නියැලී නැත. ඉතිහාසය දන්නා අත මානයේ තබා ගනිමින් තවමත් අපි එහි ගැඹුරට බැස නැත. දන්නා දෑ සියල්ල වර්ග ප්‍රේමයෙන්ම බලන විට වෙන මොකුත් නොපෙනී යයි.
ඉතින් නැවතත් ආව ප්‍රශ්නය දිඝාභයය. මෙවන් විසිතුරු අයියා කෙනෙක් ලද දුටුගැමුණු මල්ලී කොතරම් වාසනාවන්තද?. තමන්ට හිමි කිරුළට තරඟ නොකර මල්ලීට කිරුළ දෙන ඉඩ හැදූ අයියා දීඝාභයය. එමෙන්ම මල්ලීගේ භාව ආලයන් ලඟ සංවේදී වූ අයියා දීඝාභයය. අවසානයේ මල්ලීගේ පුතා සාලියට ජීවිතය රැකගෙන සම්බාවක (ජාවාකයන්ගේ යාත්‍රා වර්ගයකි) නංවා රැක ගත්තේද දීඝාභයය. සම්මන්තුරයට "සාලිය" රැගෙන ගොස් දිය කෙවුලන් ගොඩ කෙවුලන් අත රැකවරණ දුන් කතාව මාව අලුත් ලෝකයකට රැගෙන ගියේය. ඉතින් මේ පුවත සබැඳි යමක් මහා වංශය, දීපවංශය හා චූල වංශය පුරා සොයන වදන් සැරිය ඇරඹියේ ඉන්පසුවය.
එසේ ශාස්ත්‍ර ග්‍රන්ථ දිගේ ඇවිද යන විට හමු වූයේ අමුතුම ගොඩ කෙවුලෙක්ය. දීඝාභයට වූ අයුක්තිය තරම්ය. මේ ගොඩ කෙවුලාගේ පුවත කදිමට මහානාම හිමියන් හා මොග්ගල්ලාන හිමියන් ලියා තබයි. ඒත් ගැමුණු යුගය ජනකතාවට, චිත්‍ර කතාවට, නව කතාවට සිනමාවට මෙන්ම විෂය මාලාවට දේශපාලනයට ගෙනා අප කවුරුත් ඔහුව වාරණයට ලක් කළේය. එවිට දීඝාභය සමඟ මෙම ගොඩ කෙවුලාත් වාරණය වූයේ මන්දැයි සිතන්නට සිතුම් උපන්නේය. උපන් සිතුම් මැදින් මම ඔහු සොයා ගන්නට වෙහෙසිණි. පටන් ගන්නා තැනින් සැමවිටම තවත් තැනකට නොසිතූ ලෙස යන්නෙමි. ඒ ඉතිහාසයේ සැටිය. මෙම විෂය ඒක මානයෙන්, එක ජාතියෙන්, එක ආගමකින් එක දෘෂ්ඨියක් යැයි සිතන්නන්ට මෙසේ බහු ගමන් නැත. ඔවුන්ට ඉතිහාසය සරල රේඛීයව පෙනේ. නමුත් ඉතිහාස බහු ගමනකි. බහු රේඛණයක් මිස සරල රේඛාවක් නොවේ. දැන් දීඝාභය සමඟ මගේ ඉතිහාස පිරිසිඳ පථයට ආ අලුත් සඟයා වූයේ කුණ්ඩලය.
කුණ්ඩල, ගැන දන්නා කෙනෙක් නැති තරම්ය. ඔහු වෙනුවෙන් මහාවංශය පද පේලි වෙන් කරයි. ඒත් නූතනයන්ගේ ඉතිහාසය දීඝාභයට කළ හදියම කුණ්ඩලටද කර ඇත්තේය. ඉතින් "කුණ්ඩල ගොඩ කෙවුලා" සොයා ගැනීම පටන් ගන්නේ සමන්තුරේ "සම්බන්" කුලේ කෙවුලන් හමු වන දාය. පුදුමය ඉතිහාසයේ බහු රේඛා හමුවන හැම තැනම එය යටපත්ව ඇති සැටිය. එය කුණ්ඩලද කියා දි ඇත්තේ ය. කුණ්ඩල ගැන කතාව සොයමින් ගමන් ගන්නා ගමන ලක් ඉතිහාස අන්දරය පාට පාට සිත්තමක් කරන ලස්සන කතාවකි. ලය මානිය භාව හැඟීම් වලින් පිරිපුන් මනස්කාන්ත චිත්‍රාවලියක් තරම්ය.
මඩකලපුවේ මට්ටයන් යැයි කියා ගත් අය අතර රැඳුණු කතා පොකුරු කිසිවක් කිසිවෙක් ලේඛණ ගත නොකළ තරම්ය. එය සිංහල අධිපති වාදය විසින් මෙන්ම දෙමළ අධිපති වාදය මෙන් ඉස්ළාම් ආධීපත්‍යය විසින් මෑත කාලයේ වසා දැමූ කතාවකි. මේ රටේ මුල්ම කතාව දන්නා කුඩා ජනවර්ග යනු පසුව හදාගන්නා මහා ජන වර්ග චින්තාවට යටපත්ව යට වූ මානව ජානය. එසේ මානව චර්යාවන් මානව දැනුමන් හා මානව මතකයන් කොටගත් මනුෂ්‍යයන් ඉතිහාසයේ කැඩපතය. "හම්බයන්" නමින් වූ ජනවර්ග අද වන විට සහමුලින්ම ඉස්ලාම් කරණය වී අවසන්ය. ඔවුන්ගේ වංශ කතා ලියා තබන්න දෙමළ සිංහල ඉස්ලාම් කවුරුත් ඉඩ තැබුවේ නැත. මට කුණ්ඩල සොයා දෙන්නේ මේ මිනිසුන්ය. මේ කුණ්ඩල "මහා වංශය" තුල තවමත් නිරුපද්‍රිතව සිටී. ඒත් "මහා වංශය" නමින් තමන්ට වුවමනා දේ පමණක් අප පිට පැටවූ සියල්ලෝම කුණ්ඩල මැකී යන්න ඉඩ තැබුවාය. දීඝාභය ගැන වදන් ලියන්න මැලි වූවා නම් කුණ්ඩල ගැන කවර ලෙස ලියන්නද.
මේ "කුණ්ඩල" ගොඩ කෙවුලෙකි. ගොඩ කෙවුලන් කියන්නේ කරදිය නොව මිරිදිය මිනිස්සුය. ඒ කියන්නේ සයුරේ නොව ගඟ දිය වැව් දිය ඇල දිය අතර සරමින් මාළු සොයා දුන් මුල් ශිෂ්ඨාචාර වංශය ය. ඔවුන් හා දිය කෙවුලන්ගේ කරදිය ආරෝව වෙනම කථා කල යුත්තකි. ඉතිං අපේ සොයා බැලීම මේ ගොඩ කෙවුලා කුණ්ඩල ගැනය. ඔහු නොවන්නට එළාර රජුව පරාද කිරීම සිහිනයකි. මන්ද එළාර රජුගේ "පබ්බත" නම් ඇතු තරම් යුධ කෞෂල්‍යයෙන් පිරිපුන් ඇතෙකු සිංහලයන්ට නොවීය. මංගල සම්මත/මංගල ඇතු ලක් කිරුල දැරීම සඳහා අනිවාර්ය උවමනාවකි. මංගල ඇතෙකු නැතිව රජවීම සිහිනයකි.
ඒ නිසා අවුරුදු 44ක් සිංහලයන්ට බලා හිදින්න වූ හේතුවට මේ මංගල ඇතෙකු නැති කමද බලපෑවේය."පබ්බත" ඇතු අභිබවා යන්න තරම් ශූර ඇතෙකු උපන් බව දුටුවේ දෙමට මල් පැලැස්සේ වැටි දිය වදුලේදී කුණ්ඩලය. කුණ්ඩලගේ ගොඩ කෙවුල් බිලි බෑමට පුරුදු වූ දෑස් දුටුව ඒ අමුතු උපත ලංකාවද ලෝකයද වෙනස් කලේය. මේ ගොඩ කෙවුලා කුණ්ඩල සොයා ගත් ඇත් උපත කණ්ඩුලය. කණ්ඩුල මත නැඟුණු ගැමුණු කුමරු ලක් කිරුළ දිග් විජය කළේය. එය අපි කවුරුත් දනී. ඒත් ගොඩ කෙවුලා කුණ්ඩලව අමතක කර යටපත් කළේ මන්ද. සොයා යා යුතුය. ලියා තැබිය යුතුය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම