ලතින් බසින් Pupa ද, ප්‍රංශ බසින් Pupee ද, ඉංග්‍රීසියෙන් Puppet ලෙසද හඳුන්වන, සිංහලෙන් අප 'රූකඩ' යැයි පවසන මේ අපූර්ව නිර්මාණය හුදෙක් බෝනික්කෙකු නොවේ. එය රූකඩ ශිල්පියා විසින් සිය ආත්මය නූල් පොට ඔස්සේ රූකඩයට 'කවමින්' මවන සජීවී චමත්කාරයකි. රංගනය, සංගීතය, චිත්‍ර, මූර්ති සහ ආලෝකකරණය වැනි බහුවිධ කලා මාධ්‍යයන් එකම වේදිකාවක මුසු කරන ශ්‍රී ලාංකේය රූකඩ කලාව, මේ වන විට දේශීය සීමාවන් අතික්‍රමණය කරමින් ජාත්‍යන්තරයේ අවධානය දිනාගත යුතු සුවිශේෂී සංස්කෘතික උරුමයකි.
රූකඩ කලාවේ ඉතිහාසය රඟපෑමේ ඉතිහාසයටත් වඩා පැරණි බව විද්වත් මතයයි. අතීත මිනිසා ස්වභාවධර්මයේ නොපෙනෙන බලවේග සහ මළගිය ප්‍රාණකාරයන් පිදීම උදෙසා නිශ්චල රූප වෙනුවට චලන රූප භාවිත කිරීමට පෙළඹීම රූකඩ කලාවේ මූලාරම්භයයි. දෙවන පරාක්‍රමබාහු රජ සමයේ බුදුන්ගේ ශ්‍රී දන්ත ධාතු පෙරහැරේ, සමින් කළ රූකඩ රැගෙන ගිය බව චූලවංශයේ සඳහන් වීමෙන්ම මෙහි ඓතිහාසික පෞරාණිකත්වය මනාව පැහැදිලි වේ.
පරිපාලනමය සීමාවන් අනුව මෙහි සැබෑ උපත බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කන්දේගොඩ, වතුගෙදර, පරගහතොට වැනි ග්‍රාමයන්හි සිදු වුවද, සමස්ත ලෝකයම අද මේ කලාව හඳුනන්නේ "අම්බලන්ගොඩ රූකඩ කලාව"ලෙසිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණ පවා තහවුරු කරන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රූකඩ කලාවේ ජීව රුධිරය ගලා යන්නේ අම්බලන්ගොඩ කේන්ද්‍ර කරගෙන බවය.
වේල්ස් කුමරු අමන්දානන්දයට පත් කළ 'ගංවාරි' පරපුරේ අභිමානය

ලංකාවේ නූල් රූකඩ කලාවේ අසමසම පුරෝගාමියා වන්නේ ගංවාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේය. 19 වන සියවසේ මැද භාගයේදී (1850 පමණ) දස දෙනෙකුගෙන් යුත් විධිමත් රූකඩ කණ්ඩායමක් සංවිධානය කරමින්, නාඩගම් සහ කෝලම් ආභාෂය සහිතව රූකඩ කලාව වේදිකාගත කළේ ඔහුය.
මෙම කලාවේ ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් වන්නේ 1870 සහ 1922 වර්ෂයන්හිදීය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි වේල්ස් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ බගතලේ වලව්වේදී සහ වික්ටෝරියා උද්‍යානයේදී පොඩිසිරිනා ගුරුන්නාන්සේ විසින් ‘ඇහැලේපොළ ශෝකාන්තය’ රූකඩ ඇසුරින් රඟ දක්වන ලදී. ඉන් අමන්දානන්දයට පත් කුමරු විසින් එදා රන් පදක්කමක් සහ රුපියල් 500ක ත්‍යාග මුදලක් පිරිනමමින් ලාංකේය රූකඩ කලාව ජාත්‍යන්තර ඇගයීමට ලක් කර තිබේ. අදටත් පොඩිසිරිනා ගුරුතුමා විසින් නටවන ලද කොටස් 47කින් යුත් වටිනා රූකඩ කට්ටලයක් ජර්මනියේ මියුනික් නගරයේ කෞතුකාගාරයේ සුරක්ෂිතව පවතින්නේ මේ දේශීය ශිල්පියාගේ දක්ෂතාවයට ලෝකයම හිස නැමූ බැවිනි.
පොඩිසිරිනා ගුරුන්නාන්සේගෙන් පසු ඔහුගේ පුතුන් ඇතුළු පරම්පරාගත මෙන්ම, පාරම්පරික නොවන ශිල්පීන් රැසක් ද අද, විවිධ ආර්ථික බාධක මධ්‍යයේ මේ කලාව රැකගැනීමට වෙහෙසෙති.
කඳුරු ලීයෙන් උපදින බහුවිධ මාධ්‍ය ආශ්චර්යය
රූකඩයක් නිර්මාණය කිරීම සැබවින්ම සංකීර්ණ වත්පිළිවෙත් සමුදායකි. රුක්අත්තන හෝ වෙල් කඳුරු ලීයෙන් රූප කැපීමට පෙර ගසට මල් පහන් පුදා අවසර ගැනීම සාම්ප්‍රදායික සිරිතකි. ඉන්පසු, රූප සමානුපාතිකව කපා, වේලා, සාදිලිංගම් සහ ලාම්පු දැලි මිශ්‍ර කර සායම් ගල්වා, දොරණ තෙල් ගෑමෙන් රූකඩය සුරක්ෂිත කරනු ලබයි.
නූල් රූකඩයක චලනයන් ස්වභාවික මිනිසෙකුගේ ගමන් මගට සමාන කිරීමට එහි යටිපතුල්වලට ඊයම් තහඩු සවි කරනු ලැබේ. සංකීර්ණ භාව ප්‍රකාශනයන් සඳහා නූල් 8, 12 සිට 24 දක්වා භාවිත කෙරේ. නූල් රූකඩ, රිටි රූකඩ, අත් රූකඩ මෙන්ම සෙවණැලි රූකඩ ආදී විවිධ වර්ගයන්ගෙන් යුත් මෙම මාධ්‍යය, ප්‍රේක්ෂකයා තුළ කුතුහලය මුල් කරගත් සන්නිවේදනයක් ජනිත කරන්නේය.
වර්තමාන ඩිජිටල් තාක්ෂණයෙන් මත් වූ, නොසන්සුන් ලෝකයට මානසික සහනයත්, සංයමයත්, ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයත් ලබා දීමට රූකඩ කලාවට පුළුවන. දකුණු ඉන්දීය ස්වර සහ ඇඳුම් ආභාෂයෙන් මිදී, ජාතක කථා සහ දේශීය ජනකථා වස්තු විෂය කරගත් ලාංකේය රූකඩ කලාව සතුව ඇත්තේ අසිරිමත් අනන්‍යතාවයකි.
නමුත් අද වන විට, මේ පාරම්පරික ශිල්පීන් පසුවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතාවකය. රූකඩ කැපීමට කඳුරු ලීයක් සොයාගැනීමේ සිට ප්‍රදර්ශන අවස්ථා හිඟකම දක්වා ගැටලු රැසකට ඔවුන් මුහුණ දී සිටී.
මෙම ජාතික උරුමය ලෝකයට රැගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.
එහිදී,
* සංචාරක කර්මාන්තය හා බද්ධ කිරීම; දඹුල්ල, සීගිරිය, ගාල්ල වැනි සංචාරක කලාපවල සංචාරකයන් වෙනුවෙන් නිත්‍ය රූකඩ දර්ශන සහ වැඩමුළු සංවිධානය කිරීම,
* ගෝලීය සිහිවටන වෙළඳපොළ; දේශීය වර්ණ සහ කැටයම් කලාව ලොවට විදහාපාන උසස් තත්ත්වයේ කුඩා රූකඩ නිර්මාණ විදේශිකයන්ට අලෙවි කිරීමේ විධිමත් ජාලයක් සැකසීම,
* ඩිජිටල් ප්‍රවර්ධනය; අම්බලන්ගොඩ රූකඩ කලාවේ ඉතිහාසය සහ එහි සජීව දර්ශන ඇතුළත් කරමින් ජාත්‍යන්තර මට්ටමේ වාර්තා චිත්‍රපට සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
සාම්ප්‍රදායික ප්‍රස්තුත මත පමණක් පාදක නොවී, නව පරපුරේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත හැකි තේමා පිළිබඳව පර්යේෂණ කළ යුතු ය.
අම්බලන්ගොඩ රූකඩ කලාව යනු අතීතයේ සැඟවිය යුතු කෞතුක භාණ්ඩයක් නොවේ. එය නූතන ලෝකය සමග මුසු කරමින්, ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි සජීව සන්නිවේදන පාලමකි. අප ජාතික උරුමය ලෝකයට දායාද කිරීමත්, එයින් පාරම්පරික කලාකරුවා සුරක්ෂිත කිරීමත්, ක්ෂුද්‍ර කළා කර්මාන්ත සුරක්ෂා කර තිරසරව පවත්වා ගැනීම පිලිබඳ කාලීන රාජ්‍ය මෙහෙවරකි, වගකීමකි.




(සටහන | සචී ගුණවර්ධන)