The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දින හයක් ග්ලැසියරයක අතරමංව මුත්‍රා පානය කොට දිවි බේරාගත් ඇමෙරිකානු මාධ්‍යවේදියා | Saroj Pathirana

T

The Leader Desk

June 21, 2026 • 4:44 PM

දින හයක් ග්ලැසියරයක අතරමංව මුත්‍රා පානය කොට දිවි බේරාගත් ඇමෙරිකානු මාධ්‍යවේදියා | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇලෙක් ලූන් (Alec Luhn), ඇමෙරිකානු ජාතික පරිසර මාධ්‍යවේදියෙක්.
  • කොටින්ම 38 හැවිරිදි ඇලෙක්, නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම හිම කඳු, ග්ලැසියර සහ ආක්ටික් කළාපය පවා තරණය කරපු පළපුරුදු ගවේෂකයෙක්.
  • ඊට දවස් පහකට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු 04 වෙනිදා ඔහු ආයෙත් බ්‍රිතාන්‍යයට එන්න නියමිතව හිටිය.
  • වෙරෝනිකා වහාම නෝර්වේ බලධාරීන්ට ඒ බව දැනුම් දුන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


බීබීසී, The Atlantic, National Geographic, The New York Times, Scientific American, Time magazine, සහ CBS වගේ විවිධ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල සේවය කරපු ජාත්‍යන්තර නමක් දිනාගත් මාධ්‍යවේදියෙක්.

මිහිතලය රත්වීමේ බලපෑම්වලින් ග්ලැසියර බේරා ගැනීම වගේ මාතෘකා ගැන ඒ ග්ලැසියරවල සංචාරය කරලම ඔහු exclusive වාර්තා සම්පාදනය කළා.

ඒ වගේම ආක්ටික් කලාපය වගේ හිමෙන් වැහුණ පළාත් ගවේෂණය කිරීමත්, හිම කඳු තරණය කිරීමත් ඔහුගේ විනෝදාංශය. කොටින්ම 38 හැවිරිදි ඇලෙක්, නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම හිම කඳු, ග්ලැසියර සහ ආක්ටික් කළාපය පවා තරණය කරපු පළපුරුදු ගවේෂකයෙක්. ඒ නිසා ඔහු ග්ලැසියර තරණය කරන්න යාම ගැන බිරිඳටවත්, මිතුරන්ටවත් බයක් දැනුණේ නැහැ.

xgfdgfd
ඇලෙක් මට මුලින්ම හමුවුණේ ගිය අවුරුද්දේ ජුනි මාසේ. ඒ වෙනකොට පුලිට්සර් සෙන්ටර් එකේ Ocean Reporting Network ආයතනයේ Fellows ල විදියට අපි අවුරුද්දක් විතර එකට වැඩ කරලා තිබුණත් අපි දහ දෙනා හිටියේ රටවල් ගණනාවක. ඒ දවස්වල මම වැඩිය හිටියේ ලංකාවේ. ඒ නිසා මට ඇලෙක් මුලින්ම මුණ ගැහුණේ ප්‍රංශයේ නීස් නගරයේ තිබුණ එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේදී.

ඇලෙක් ඇමෙරිකානු ජාතිකයෙක් වුණත් දැන් ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. ඔහුගේ බිරිඳ වෙරෝනිකා සිල්චෙන්කෝ රුසියානු ජාතික කාන්තාවක්. ඇය සිනමා ශිල්පිනියක්.

ඉතින් නීස් නුවර සාගර සමුළුව අවසන් වුනාට පස්සේ බ්‍රිතාන්‍යයට ආපු ඇලෙක් ඊට මාසෙකට විතර පස්සේ හිම කන්දක් නගින්න නෝර්වේ රටේ Folgefonna ජාතික උද්‍යානයට යනවා. ඒ ජුලි 31 වෙනිදා. ඔහු කඳු නැගීම ආරම්භ කළේ Odda නගරයෙන්.

ඊට දවස් පහකට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු 04 වෙනිදා ඔහු ආයෙත් බ්‍රිතාන්‍යයට එන්න නියමිතව හිටිය. කඳු නගින්න ගියාට පස්සේ ඇලෙක් වෙරෝනිකා ට කතා කළේ නැහැ; ආරංචියක් නැතත් පුරුදු කාරය නිසා කරදරයක් නැතුව ඇලෙක් ආපහු එනවා කියල වෙරෝනිකා දන්නවා.

ඒත් ඔහු බ්‍රිතාන්‍යයට එන්න නියමිතව තිබුණ ගුවන් යානයට ඔහු නැග්ගේ නැහැ කියල ආරංචි වුනාම වෙරෝනිකා තැති ගත්ත. ඒ වගේ වෙලාවක කළ යුත්තේ මොකක්ද කියල ඇය දැන සිටියා.

වෙරෝනිකා වහාම නෝර්වේ බලධාරීන්ට ඒ බව දැනුම් දුන්න.

xfgdrtty
නෝර්වේ බලධාරීන් වහාම බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළත් ඒ දවස්වල Folgefonna ජාතික උද්‍යානය පැත්තේ කාළගුණය හරිම දරුණුයි. තද සුළඟත්, හිම කුණාටු ඇතුළු අයහපත් කාලගුණයත් නිසා ඒ පළාතට හෙලිකොප්ටරයක් පවා යැවීම දුෂ්කර බව බේරා ගැනීමේ සේවකයෝ කිවුව.

ඒ වෙනුවට ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමට ඩ්‍රෝන යානා සහ සුනඛයින් යොදාගත්ත. නමුත් පැය ගණනක් යනතුරු ඔවුන්ට ඇලෙක් ගැන හෝඩුවාවක් ලැබුනේ නැහැ. ඒ විදියට ඔවුන් දවස් දෙකකට වැඩි කාලයක් විවිධ ක්‍රමවලින් ඇලෙක් ඉන්න තැනක් හෙවුවා.

ඒ අතරේ Ocean Reporting Network (ORN) එකේ අපි හැමෝම කලබල වෙලා නෝර්වේ වල අපි දන්න, දන්න අයට කතා කරලා උදව් ඉල්ලුව. මාත් එක්ක හිටපු Fellows ල හැම දෙනාම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්. ඒ හැමෝටම නෝර්වේ වල වගේම ලෝකේ පුරාම හොඳ contacts තිබුණ. නෝර්වේ බළධාරීන් දැවැන්ත මෙහෙයුමක් කරන බව අපි දැනගෙන හිටිය. ඒත් අපි හැමෝටම ඕන වුණේ ඉක්මනින් ඇලෙක් හොයාගන්න. කොයි විදියකින් හරි ඔහුගේ ජීවිතය බේරගන්න. ඒ වෙලාවේ ORN කණ්ඩායමේ signal group එකේ හුවමාරු වුණ පණිවුඩ මට තාම මතකයි. මුළු කණ්ඩායමෙන්ම මතුවුණේ සහෝදරයෙකුට අනතුරක් වුණා වගේ හැඟීමක්. ඒ පණිවුඩවල තිබුණෙ පවුලේ ඥාතියෙකුගේ මරණයක් ගැන වගේ වේදනාවක්. මට හමුවුණේ හරිම සුන්දර මිනිස්සු කියල මම කලින් පෝස්ටුවක කිවුවේ ඒකයි.

කොටින්ම අපේ කණ්ඩායමේ නායිකාව, Jessica Aldred, ඒ ආරංචිය ලැබුණ මොහොතේ ඉඳල දවස් දෙකක් නිදාගත්තේ නැහැ. ඇය දෙදරු මවක්. ඒ වගේම ඒ වෙනකොට අපේ Fellowship එක ඉවර වෙලා ඇය අලුත් කණ්ඩායම බඳවා ගැනීම ආරම්භ කරලා තිබුණෙ. එහෙම පිටින්ම අපේ කණ්ඩායම අමතක කරන්න ඇයට හැකියාව තිබුණ.

ඇලෙක් අතුරුදහන් වෙලා දවස් දෙකකට පස්සේ, අගෝස්තු 06 වෙනිදා, ඔහු හොයාගත්ත කියල ආරංචිය ලැබුණ වෙලාවේ අපි හැමෝටම දැනුන සතුට කියාගන්න බැරි තරම්.

xdgdgfdf
සෙන්ටිග්‍රේඩ් අංශකවලින් බින්දුවට පහල අධික සීතලට ඔහුගේ අත් සහ කකුල් තුවාල වෙලා තිබුණ. ඒකට කියන්නේ frostbites කියල. එහෙම වුණාම ගොඩක් වෙලාවට කකුල්, අතපය කපා දාන්න වෙනව. ග්ලැසියරය තරණය කරද්දී ඔහු අතරමං වෙලා කෑම, බීම ඉවර වෙලා. ගෙනියපු කෑම සියල්ල ඉවර වෙලා, දවස් ගාණක් කාල තිබුනේ ඉතුරු වෙච්ච රට කජු ටිකක් සහ චොක්ලට් බාර් එකක්. පිපාසයට බිවුවේ වැහි වතුර. අන්තිමට පිපාසය පියව ගන්න තමන්ගේම මුත්‍රා බොන්නත් ඔහුට සිද්ද වෙලා තිබුණ. නමුත් ඒ හැරුණු විට - අසාමාන්‍ය විදියට - ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහිලා තිබුණෙ නැහැ. අත, පය ගල් ගැහෙන සීතලේ දවස් හයක් හිරවෙලා ඉඳල බේරා ගන්නා මොහොතේ ඔහු යහපත් සෞඛ්‍යයෙන් සහ පියවි සිහියෙන් හිටිය බව බේරා ගැනීමේ සේවකයෝ කිවුව.

"ඒක ඇත්තටම ආශ්චර්යයක්," ඔහුගේ බිරිඳ වෙරෝනිකා මාධ්‍යවලට කියල තිබුණ. "මගේ ජීවිතේ ලස්සනම දවස මේකයි."  

ඇලෙක් ආක්ටික් කලාපයට, ග්ලැසියරවලට සහ හිමවලට ප්‍රිය කරන බව බිරිඳ වෙරෝනිකා කියනවා. "එයා හැමදාම යන්නේ සීතලම රටවලට."

ඇලෙක් අතුරුදහන්වීම සහ බේරා ගැනීම ලෝකේ පුරාම ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණ.  

සති ගණනාවක් රෝහලේ ගත කළ ඇලෙක්, සැත්කම් කිහිපයකින් පස්සේ සුවය ලබල බ්‍රිතාන්‍යයට ඇවිත් දැන් New Scientist සඟරාවේ සේවය කරනවා. ජුනි මාසේ New Scientist සඟරාවෙත් ඇලෙක් ගේ ලිපියක් තියෙනව.

මුල්ම හමුවීමෙන් අවුරුද්දකට පස්සේ New Scientist කාර්යාලය අබියස පබ් එකකදී (තැබෑරුමකදී) අපි ආයෙත් හමුවුණෙත් ඇලෙක් ගේ උනන්දුව නිසාමයි. අපි හමුවෙන්න හිතාගෙන් හිටියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් විතර. ඒත් ග්ලැසියර අනතුරෙන් පස්සේ ඇලෙක් සුවය ලබන්න මාස ගානක් ගතවුණා.  ඒ නිසා අපි ඒ හමුව කල් දැම්ම. නමුත් ඇලෙක් ඒක අමතක කළේ නැහැ.

නෝර්වේ සෞඛ්‍ය සේවය ගැන ඇලෙක් කතා කළේ පුදුම ප්‍රසාදයකින්. සීතලෙන් හොඳටම ගල් වෙලා තිබුණ එක ඇඟිල්ලක් කපා දාන්න කියල තමන් යෝජනා කළත් නෝර්වේ ජාතික වෛද්‍යවරයා ඒක ප්‍රතික්ෂේප කරලා හරිම උනන්දුවෙන් සාත්තු, සප්පායම් කරපු හැටි ගැන ඔහු ආදරෙන් සිහිපත් කළා. අපි දෙන්නගෙම නායිකාව සහ මිතුරිය ජෙසිකා, මීට කලින් එක වතාවක් ඇලෙක් හමුවුණා. එදා හරිම අමාරුවෙන් ඇවිදගෙන ආපු ඇලෙක් අද සම්පූර්ණයෙන් සුයව ලබල ඉන්න හැටි දැක්කම ජෙසිකාගේ ඇස් සතුටෙන් උතුරනවා මම දැක්ක.

xfgdfdgrt
ග්ලැසියර අත්දැකීම ගැන ඇලෙක් දැන් පොතක් ලියමින් ඉන්නවා.

"ඒ කතාව පොතක් නෙවෙයි, ෆිල්ම් එකක් ඇලෙක්," මම කිවුව.

"අයියෝ නෑ සරෝජ් මට වඩා ගොඩක් අමාරුවෙන්, අනූ නමයෙන් ජීවිතේ බේරගත්ත අය ඕන තරම් ඉන්නවා. එලොව ගිහින් මෙලොව ආපු කඳු නගින්නෝ ඉන්නවා," ඇලෙක් හරිම සැහැල්ලුවෙන් කීව.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුනි 20
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...