The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana

T

The Leader Desk

June 22, 2026 • 7:21 AM

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට දෙවසරකට ඉහතදී රටවැසියන් අතර ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති සර් කියර් ස්ටාමර් අද සඳුදා (ජුනි 22) සිය ඉල්ලා අස්වීම නිවේදනය කරාවි කියල විශ්වාස කෙරෙනවා.
  • අගමැති කාර්යාලය මීට පෙරාතුව එය ප්‍රතික්ෂේප කළත්, ඉන් පසුව බීබීසී සමග අදහස් දැක්වූ ව්‍යාපාරික කටයුතු පිළිබඳ ලේකම් (කැබිනට් අමාත්‍ය) පීටර් කයිල් කියා සිටියේ තමන් මුහුණ දෙන අභියෝග සහ දේශපාලන යතාර්ථය පිළිබඳව අගමැතිවරයා සලකා බලමින් සිටින බව.
  • අගමැති ස්ටාමර් "රටේ යහපත වෙනුවෙන් කළ යුතු හොඳම දේ කරනු ඇති," බව ඔහු කියා සිටියා.
  • කිසියම් ලෙසකින් අගමැති ස්ටාමර් අද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් නොකළහොත් ඇන්ඩි බර්න්හැම් ඔහුගේ නායකත්වය අභියෝගයට ලක්කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අගමැතිවරයා අද සිය ඉල්ලා අස්වීමේ කාලසටහන නිවේදනය කිරීමට නියමිත බව මුලින්ම අනාවරණය කළේ ලේබර් පක්ෂයට හිතවාදී පුවත්පතක් විදියට සැලකෙන The Observer පුවත්පත විසින්.

අගමැති කාර්යාලය මීට පෙරාතුව එය ප්‍රතික්ෂේප කළත්, ඉන් පසුව බීබීසී සමග අදහස් දැක්වූ ව්‍යාපාරික කටයුතු පිළිබඳ ලේකම් (කැබිනට් අමාත්‍ය) පීටර් කයිල් කියා සිටියේ තමන් මුහුණ දෙන අභියෝග සහ දේශපාලන යතාර්ථය පිළිබඳව අගමැතිවරයා සලකා බලමින් සිටින බව.

අගමැති ස්ටාමර් "රටේ යහපත වෙනුවෙන් කළ යුතු හොඳම දේ කරනු ඇති," බව ඔහු කියා සිටියා.  

burnham stamar

අගමැති කියර් ස්ටාමර් ගේ නායකත්වයට අභියෝග කිරීමට නියමිත, මැන්චෙස්ටර් හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් පසුගිය බ්‍රහස්පතින්දා පැවති මේකර්ෆීල්ඩ් මැතිවරණ කොට්ටාශයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමග ඔහු අගමැති පදවියට පත්විය යුතු බවට පක්ෂය තුළින්ම මතුවන ඉල්ලීම් උත්සන්න වෙමින් පවතිනවා.

කෙසේ වුවත්, තීරණයක් ගැනීම සඳහා අගමැතිවරයාට කාලය ලබාදීම පිණිස ඇන්ඩි බර්න්හැම් එක්වරම පක්ෂ නායකත්වයට අභියෝගයක් එල්ල කළේ නැහැ. කිසියම් ලෙසකින් අගමැති ස්ටාමර් අද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් නොකළහොත් ඇන්ඩි බර්න්හැම් ඔහුගේ නායකත්වය අභියෝගයට ලක්කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඓතිහාසික ජයග්‍රහණයක්

බ්‍රිතාන්‍යයේ ස්වාධීන අභිචෝදක කාර්යාලයේ හිටපු ප්‍රධානියෙකු ද වන සර් කියර් ස්ටාමර් 2024 ජුලි මස පැවති මහ මැතිවරණයේදී එතෙක් වසර 14ක් පැවති පීඩාකාරී කන්සර්වේටිව් පක්ෂ පාලනය පෙරලා දමමින් බලයට පත්වූයේ ලේබර් පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින්. ස්ටාමර් ගේ නායකත්වය යටතේ ලේබර් පක්ෂය ආසන 174ක බහුතර බලයක් දිනාගත් අතර, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ලේබර් පක්ෂයට ඊට වඩා වැඩි බහුතර බලයක් දිනා දීමට සමත් වූ එකම නායකයා ටෝනි බ්ලෙයාර් පමණයි.

Keir Starmer

එහෙත් සාමාන්‍යයෙන් පොදු ජනතාවට හිතවාදී පක්ෂයක් ලෙසින් සැලකෙන ලේබර් පක්ෂය යටතේ සුබසාධන කප්පාදුව, වරින්වර මතුවූ දේශපාලන ආන්දෝලන සහ විශේෂයෙන්ම මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ ඉතා ඉක්මනින්ම ඔහුගේ ජනප්‍රියත්වය දරුණු ලෙස පහළ වැටුණා. ඒ අතර නයිජල් ෆරාජ් ගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී රිෆෝම් යූකේ පක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සංක්‍රමණිකයින් පිළිබඳව බොරු බිල්ලෙක් මවාපාමින් මතු කළ ආන්දෝලනයත් එයට තවත් ප්‍රධාන හේතුවක්.

කෙසේ වුවත්, නයිජල් ෆරාජ් මතු කළ ජාතිවාදී ප්‍රවණතාවට බියපත්ව එවක අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රෙක්සිට් ජනමත විචාරණය කැඳවා බ්‍රිතාන්‍ය ආර්ථිකය ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට ඇද දැමුවත් අගමැති කියර් ස්ටාමර් Reform UK පක්ෂයේ අභියෝගයට උපාය සහගතව මුහුණ දෙමින් සිටියා. යළිත් වරක් යුරෝපා සංගමය සමග බොහෝ අංශවලින් සම්බන්ධතා තරකිරීමට ඔහු කටයුතු කරමින් සිටීම එවැනි එක් පියවරක්. එහෙත් ආර්ථික ප්‍රශ්න ඇතුළු දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් බලාපොරෝත්තුව සිටි ඡන්දදායකයා තවදුරටත් අගමැති ස්ටාමර් කෙරෙහි විශ්වාසය තැබීමට සූදානම් නැති බව පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි පණිවුඩයක් දී තිබුණා.

විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ටත් වඩා අන්තවාදී, ජාතිවාදී, විනාශකාරී දේශපාලන නායකයෙකු වන නයිජල් ෆරාජ් මීළඟ අගමැතිවරයා වශයෙන් තෝරා ගැනීමට ඡන්දදායකයා සූදානම් වන හැඩක් පෙනී යාම තුළ මතුවෙමින් පවතින භයානක තත්වය වටහාගත් ලේබර් පක්ෂ දේශපාලකයින් නව නායකයෙකු තෝරා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නට වුණා. දූෂණ, වංචා චෝදනාවලටත් මුහුණ දී සිටින නයිජල් ෆරාජ්, රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ මූල්‍යාධාර මත මෙහෙයවෙන රූකඩයක් බවටත් බොහෝ චෝදනා තියෙනව.  

ජනප්‍රියම නායකයා

ලේබර් පක්ෂයේ මේ වනවිට ජනප්‍රියම නායකයා ලෙසින් සැලකෙන ඇන්ඩි බර්න්හැම්, මේකර්ෆීල්ඩ් ආසනයේ හිටපු මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වන මෙන් ඉල්ලා සිට අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට පත්වන්නේ මේ වාතාවරණය යටතේයි.

වාමවාදී පරිණත දේශපාලන නායකයෙකු ලෙසින් සැලකෙන ඔහු සහ අගමැති ස්ටාමර් ගේ ප්‍රතිපත්ති අතර බරපතල වෙනස්කම් පවතින්නේද යන්න තවමත් අනාවරණය වී නැහැ. එමෙන්ම නයිජල් ෆරාජ් ගේ අභියෝගය හමුවේ දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමණය කළ - සංක්‍රමණික පවුලක දියණියක වන - ශබානා මහමුද් ගේ අන්තවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ඇන්ඩි බර්න්හැම් ගේ අනුමැතිය ලැබේවිද යන්නත් තවමත් පැහැදිලි නැහැ.

නමුත් ඉතාමත් පැහැදිලි එක් ප්‍රධාන කරුණක් තියෙනව.

Nigel Farage

ඒ තමයි, අගමැති කියර් ස්ටාමර් යටතේ ඉදිරි මැතිවරණයකදී ජාතිවාදී නයිජල් ෆරාජ් පරාජය කිරීමට ලේබර් පක්ෂයට හැකියාවක් නැති බව. ඒ අභියෝගය භාරගෙන ෆරාජ් ට දැවැන්ත පරාජයක් අත්කර දෙන්න හැකියාව සහ ශක්තිය තියෙන බව ඇන්ඩි බර්න්හැම් දැනටමත් සනාත කරලා තියෙනව. ඒ නිසා මට පේන විදියට අගමැති ස්ටාමර් සහ ඇන්ඩි බර්න්හැම් අතර ප්‍රතිපත්ති අතින් එතරම් බරපතල වෙනසක් නැතත්, බ්‍රිතාන්‍යය විනාශ කරන්න බලාගෙන ඉන්න ෆරාජ් ගේ අගමැති සිහිනය විනාශ කරන්න මේ මොහොතේ හැකියාව තියන එකම දේශපාලන නායකයා ඔහුයි.


අනුරටත් පාඩමක්

ඒත් එකක්ම මේකත් සටහන් කළ යුතුයි කියල හිතුණා.

AKD 3

අවුරුදු දෙකකට කලින් සර් කියර් ස්ටාමර් බලයට පත්වුණේ අනුර ට වඩා දැවැන්ත ජනතා වරමක් එක්ක. ඒ එකක්ම මහ මැතිවරණය පැවැත්වුණ නිසා අනුරවත් බලාපොරොත්තු නොවුණ විදියට ඊට පස්සේ තුනෙන් දෙකේ බලයක් ලැබුණ බව ඇත්ත. නමුත් දුන්න පොරොන්දු ඉටු නොකිරීම නිසා, ආර්ථික ප්‍රශ්න විසඳන්න බැරි වුණ නිසා, ජනතාව එක්ක නිසි සන්නිවේදනයක් නොකිරීම නිසා, අවුරුදු දෙකක් යන්නත් කලින් බ්‍රිතාන්‍ය ජනතාව කියර් ස්ටාමර් එලවල දානවා. ලංකාවේ මිනිස්සුත් අනුර ගෙන් සහ මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නේ දුන්න පොරොන්දු ඉටු කරන්න කියල. සන්නිවේදනය පැත්තෙන් ජනතාවට මීට වඩා සමීප වෙන්න කියල. රටේ ආර්ථිකය ගොඩ නගන්න කියල.

එහෙම නොකළොත් ලංකාවේ මිනිස්සු හැසිරෙන්නෙත් බ්‍රිතාන්‍ය මිනිස්සු වගේම තමයි කියල ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තියෙනව.  


(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුනි 21

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...