The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලයනල් ප්‍රනාන්දු ආදර්ශය - අශෝක හඳගම

T

The Leader Desk

July 3, 2020 • 10:16 AM

ලයනල් ප්‍රනාන්දු ආදර්ශය - අශෝක හඳගම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං පොඩි කාලේ අපේ ගෙදර පැත්තක නැවතිලා හිටියා දෙමල ජාතික පුංචි පවුලක්. කුලියට. අම්මයි තාත්තයි එක ළදරු දියණියකුයි.
  • දෙන්නම රජයේ සේවකයෝ නිසා වෙන්න ඇති හවසට පුංචි කතා බහක් වෙනවා ඇහෙනවා.
  •   මගේ පලවෙනි වේදිකා නාට්‍යය නිෂ්පාදනය: මං මගේ පලවෙනි වේදිකා නාට්‍යය නිෂ්පාදනය කලේ 1979 අවුරුද්දේ.
  • මේ ආරවුල, කාලයක් එකම දුක් කම්කටොලු ගොන්නක් බෙදා හදා ගත් එකම පවුලක සහෝදරයින් දෙපලක ගේ ගැටුමක් ලෙස නිරූපණය කරන්නට තරම් මානුෂික විඥානයක් අපට තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

තාත්තා උදෙන්ම රැකියාවට යනවා, හවසට ගෙදර එනවා. වැඩි කතා බහක් නැහැ.  අපේ ගෙදර හවසට තියෙන ඝෝෂාවට සාපේක්ෂව මීක් සද්දයක් නැහැ. ඒ වුනාට අපේ තාත්තා එක්ක හරි හිතවත්. දෙන්නම රජයේ සේවකයෝ නිසා වෙන්න ඇති හවසට පුංචි කතා බහක් වෙනවා ඇහෙනවා. අපට ගානක් නැහැ.

මේ හැත්තෑව දශකයේ  මැදට වෙන්න. දවසක් තාත්තා කිවුවා අපි මේ අවුරුද්දේ යාපනේ යනවා කියලා. අහස්යන්තරෙන්. ඒ අය අපට යාපනේ ඒ ගොල්ලන්ගේ ගෙදර එන්න ආරාධනා කරලා. අපි හිටියේ සතුටින්. අවුරුද්දට ම තාත්තට ( අපේ පවුලට ) ලැබෙන දුම්රිය වොරන්ට් තුන එකතු කලාම ඒ කාලේ යාපනේ යන්න ප්ලේන් වොරන්ට් එකක් ලැබෙනවා. ඒ නිසා අපි වෙන ගමන් නවත්තලා යාපනේ යන්න පෙරුම් පුරාගන හිටියා.

ඔහොම ඉන්න කොට තමයි, දොරෙයිඅප්පා ඝාතනයෙන් ඇරඹි දේශපාලන ප්‍රචණ්ඩ රැල්ලක් එක්ක යාපනේ උණුසුම් වෙන්න ගත්තේ.

ඒකාලේ ඒ ගැන මෙලෝ හසරක් අපි දන්නේ නැහැ. ඒ කලබල අස්සේ යාපනේට ගුවනින් යන සිහිනය බොඳ වෙලා ගියා. ප්ලේන් වොරන්ට් අවලංගු කෙරුනා. ඔය කලබල ගැන තාත්තයි අර දෙමළ මහත්තයයි කතා වෙන අතරේ තමයි යාපනේ ‘සිංහල දිසාපති’ කෙනෙක් ගැන අර මහත්තයා ප්‍රසාදයෙන් කතා කරනවා අහන්න ලැබුනේ. ඒ ගැන ඒ කාලේ කොලු අපට වැඩි උනන්දුවක් තිබුනේ නැහැ.

 මගේ පලවෙනි වේදිකා නාට්‍යය නිෂ්පාදනය:

මං මගේ පලවෙනි වේදිකා නාට්‍යය නිෂ්පාදනය කලේ 1979 අවුරුද්දේ. අපි උසස්පෙළ පංතියට ආව අලුත. නාට්‍යය ගොඩ නැගුනේ එකම පවුලේ සහෝදරයින් දෙන්නෙක් තමන්ගේ මහ ගේ බෙදා ගන්න කරන ආරවුලක් වටා. මැල්කම් මචාඩෝ තමයි ප්‍රධාන චරිතය රඟ පෑවේ. මේ ආරවුලට සිංහල-දෙමළ ආරවුල ඍජු ව සම්බන්ධ නොවුනත් ව්‍යංගයෙන් කතා කලේ ජාතික ගැටලුව ගැන.

ජාතික ගැටලුව ගැන ගැඹුරු දේශපාලනික දැක්මක් ඒ වෙනකොට අපට තිබුනේ නැහැ. ඒත් ඇවිලෙමින් තිබුණු පුංචි පුංචි ගිණි පුපුරු මහා යුධ ගින්නක ඇරඹුම වගේ හැඟීමක් දැනෙමින් තිබුනා. මේ ආරවුල, කාලයක් එකම දුක් කම්කටොලු ගොන්නක් බෙදා හදා ගත් එකම පවුලක සහෝදරයින් දෙපලක ගේ ගැටුමක් ලෙස නිරූපණය කරන්නට තරම් මානුෂික විඥානයක් අපට තිබුණා.  

පාසලේදී නිෂ්පාදනය කළා වුනත් රාජ්‍ය නාට්‍ය උළෙලේ කලාපීය තරඟ  වටයට එනකල් ඒ නාට්‍යය සුදුසු කම් ලැබුවා. නාට්‍යයේ අගට වෙන්න තිබුණු ගීතය සහෝදරත්වයෙන් සමඟියෙන් එක්ව හිඳීම ගැන කියවෙන ගායනයක්.

ජාතීන් අතර ආතතියක් මෝරමින් තිබුණු අවදිය...

ජාතීන් අතර ආතතියක් මෝරමින් තිබුණු ඒ අවදියේ උතුරු-දකුණු මිත්‍රත්වයක් අපේක්ෂාවෙන් උතුරේ සහ දකුණේ පාසල් සිසු සිසුවියන් ගේ සංස්කෘතික හුවමාරුවක් තිබුනා. අපේ පලාතෙන් තෝරාගත් පිරිසක් යාපනයට ත්, යාපනයෙන් තෝරාගත් පිරිසක් අපේ පැත්තටත් ආවා. අපෙන් එහාට ගිය කණ්ඩායමේ සංස්කෘතික අංගයක් ලෙස ඉදිරිපත් කරන්න මගේ නාට්‍යයේ ගීතය තෝරගන තිබුනා. ඒ කණ්ඩායම සිංහල දෙමළ භාෂා දෙකම කතා කරන්න පුළුවන් මැල්කම් මචාඩෝ ගේ නායකත්වයෙන් වගේ තමයි ගියේ.

මේ 1980 අවුරුද්දේ. මම ගියේ නැහැ. යාපනයෙන් ආව කණ්ඩායමට සත්කාරකත්වය සැපයුවේ අපේ පාසලෙන්. ශිෂ්‍ය නායකයෙකු විදියට මට තමයි ඒ කටයුතු බාරව තිබුණේ.

එහෙන් ආව කණ්ඩායමේ ගුරුවරු සහ අපේ ගුරුවරු අතර කතා බහකදී යාපනේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත් ‘සිංහල දිසාපති’ කෙනෙකු ගැන කතා වෙනවා ඇහුනා මතකයි.

1983 Julyකළු ජූලිය : තිස් අවුරුදු යුද්ධයක නිල ඇරඹුම සටහන් කල ඛේදජනකය

1983 කලබල පටන්ගත්තේ මම විශ්ව විද්‍යාලයේ පලවෙනි අවුරුද්දේ ඉන්න කොට. මහා මිනිස් ඝාතනයක් දේපල විනාශයක් එක්ක තිස් අවුරුදු යුද්ධයක නිල ඇරඹුම සටහන් කල ඒ ඛේදජනක සිදුවීමත් එක්ක ආයෙත් අර යාපනේ හිටිය, යාපනේ ජනතාවගේ සිත් දිනාගත් දිසාපති වරයා ගැන කතාව මතුව ආවා.

ලයනල් ප්‍රනාන්දු කියන කීර්තිමත් පරිපාලන නිලධාරියා ගැන හරියට තොරතුරු සහිතව දැන කියාගන්නේ ඊට පස්සේ. පාසල් අවදියේ සිට ඒ දක්වා විටින් විට මා මනසේ දැවටී මැකී යලි මතුවී ආ යාපනයේ දෙමල ජනතාවගේ ආදරය දිනාගත් ‘යහපත් සිංහල දිසාපති‘ තුමා පුද්ගලිකව මුණ ගැසී දැන හඳුනා ගැනීමේ වාසනාව ලැබෙන්නේ ඊටත් දශක එකහමාරකට දෙකකට විතර පස්සේ.

''ලයනල් ප්‍රනාන්දු කියන්නේ උතුරා යන මානුෂික ගුණයක් ඇති නිලධාරියෙක්. යාපනේ ජනතාව අතර ඔහු කෙතරම් ආදරයට ගෞරවයට පාත්‍රවී ද යත්, ඒ ජනතාවගේ පෙරැත්තය මත ඔහුගේ මවගේ අවමඟුල පවා යාපනය නගරයේම කරන්නට සිදුව තිබෙන බව මා අසා තිබෙනවා. ඇය අවසන් ගමන් ගොස් ඇත්තේ සැතපුම් එකහමාරක තරම් දුරක් යාපන තරුණයින් ගේ උර මතින්.''

ලයනල් ප්‍රනාන්දු කියන්නේ උතුරා යන මානුෂික ගුණයක් ඇති නිලධාරියෙක්. යාපනේ ජනතාව අතර ඔහු කෙතරම් ආදරයට ගෞරවයට පාත්‍රවී ද යත්, ඒ ජනතාවගේ පෙරැත්තය මත ඔහුගේ මවගේ අවමඟුල පවා යාපනය නගරයේම කරන්නට සිදුව තිබෙන බව මා අසා තිබෙනවා. ඇය අවසන් ගමන් ගොස් ඇත්තේ සැතපුම් එකහමාරක තරම් දුරක් යාපන තරුණයින් ගේ උර මතින්.

පූරිවිකාවක් ලෙස කීර්තිමත් පරිපාලන සේවා නිලධාරී ලයනල් ප්‍රනාන්දු ගැන ඉහත සටහන ලියන්න ට හිතුනේ අද පරිපාලන රාජ්‍ය සේවාව පිලිබඳ මිනිසුන්ගෙන් නැගෙන මැසිවිලි ගැන පොදුවේ අදහසක් ගොනු කරන්නටයි.

අද අපට කාර්යක්ෂම නිලධාරීන්, වෘත්තිකයින් හමුවෙන්න පුළුවන්. ඒත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන්, නිරමාණ කෞශල්‍යයෙන් හෙබි නිලධාරීන් හා වෘත්තිකයින් හමු වන්නේ කලාතුරකින්.

 

ලෙනාඩ් වුල්ෆ්:

Leonard Wolfඉංග්‍රීසි යටත් විජිත සමයේ ලංකාවේ සිවිල් නිලධාරියෙකු ලෙස විසූ බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ්, බැද්දේගම තුලින් යුක්තිය පසඳලී මේ ක්‍රියාවලිය හරහා දුගී සිළිඳු ලා ගේ ජීවිත ඛේදවාචකයකට තල්ලු වන හැටි නවකතාවට නැගුවා. අධිරාජ්‍ය වාදී ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වුනත්, ලෙනාර්ඩ් වුල්ෆ් කියන්නේ දේශපාලන න්‍යායාචාර්ය කෙනෙක්. ග්‍රන්ථ  කර්තෘ වරයෙක්. ප්‍රකාශකයෙක්. (ඔහුගේ බිරිඳ තමයි වර්ජිනියා වුල්ෆ්.). යටත් විජිත පාලනය සහ නීතිය පිලිබඳ ඔහුට දේශපාලනික විවේචනයක් තිබුනා.

ඈත වන්නි හත්පත්තුවේ දිසා ආදායම් නිලධාරියෙකු ලෙස සේවය කල විමලරත්න කුමාරගම වැනි සිවිල් නිලධාරීන්, තමන් සේවය කල පළාත් වල ගැමි ජන ජීවිතයේ ඛේදවාචකයත් සුන්දරත්වයත් කවියට නගන්නට තරම් නිර්මාණශීලීත් මානුෂිකත් වුනා.

අද රාජ්‍ය සේවාවට නිලධාරීන් බඳවා ගන්නේ බොහෝ වෙලාවට තරඟ විභාගයකින්. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව පිරිසක් තෝරාගන්න මේ ක්‍රමය හොඳයි තමයි. එහෙත් ඒ තරඟ විභාග සමත් වෙන්නත් අද ටියුෂන් පංති තියෙනවා. ඒවායින් සමත්වන්නට යාන්ත්‍රිකව පුහුණු කරණ ලද පිරිසක ගෙන් තේරී පත් වෙන්නේ හිතන්න බැරි යාන්ත්‍රික පිරිසක්.

ලයනල් ප්‍රනාන්දු වගේ පරිපාලන නිලධාරියෙකු බිහිවෙන්නේ පුළුල්  ක්ෂේත්‍රයක ශික්ෂණය ලැබීමෙන්. පාසල් සමයේ ඔහු, ශිෂ්‍ය භටයෙක්. සාහිත්‍ය කලා ලෝලියෙක්. විශ්ව විද්‍යාලයේ දී ක්‍රියාකාරී විද්යාර්තියෙක්. සරච්චන්ද්‍ර වගේ මහා චරිත වල ඇසුර ලැබුවෙක්. රංගන ශිල්පියෙක්. මේ පරිචයත් මානුෂීය ගුණයත් ඇතුව තමයි ඔහු පරිපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

''ලයනල් ප්‍රනාන්දු වගේ පරිපාලන නිලධාරියෙකු බිහිවෙන්නේ පුළුල්  ක්ෂේත්‍රයක ශික්ෂණය ලැබීමෙන්. පාසල් සමයේ ඔහු, ශිෂ්‍ය භටයෙක්. සාහිත්‍ය කලා ලෝලියෙක්. විශ්ව විද්‍යාලයේ දී ක්‍රියාකාරී විද්යාර්තියෙක්. සරච්චන්ද්‍ර වගේ මහා චරිතවල ඇසුර ලැබුවෙක්. රංගන ශිල්පියෙක්. මේ පරිචයත් මානුෂීය ගුණයත් ඇතුව තමයි ඔහු පරිපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ''

අද අධ්‍යාපන ක්‍රමය තුල අධ්‍යාපනය ලබන දරුවෙකුට මේ ශික්ෂණය ලැබෙන්නේ නැහැ. ඔවුන් දුවන්නේ මාරාන්තික රේස් එකක්. එදා ශිෂ්‍ය භට ශික්ෂණය තුල බිහිකරන්නේ මහත්මයෙක්. අද රණ විරුවෙක්. ක්‍රීඩකයෙකු පුහුණු කරන්නේ කොහොම හරි දිනන්න නෙවෙයි. අභ්‍යාසයෙන් ධෛර්යයෙන් උත්සාහයෙන් අධිෂ්ටානයෙන් ජයග්‍රහණය කරා යන්න. පරාජයට ආත්ම ශක්තියක් ඇතිව මුහුණ දෙන්න.

ක්‍රිකට් බැට්ස්මන් කෙනෙක්ට ඉස්කෝලේ කියල දෙන්නේ බොලේ බැට් එකේ වැදුනා කියලා තමන් දන්නවා නම් අම්පයර් ඇඟිල්ල උසානකල් ඉන්න එපා යන්න කියලා. අද DRS විනිශ්චය ටත් රවාගන ක්‍රීඩාගාරයට යන්නේ.

මේ මරාගන මැරෙන තරඟකාරී අධ්‍යාපන ක්‍රමය සංස්කෘතික මිනිසුන් බිහිකරන්නේ නැහැ. ඒ වෙනුවට බිහිකරන්නේ කිසියම් කාර්යයක් යාන්ත්‍රිකව ඉටුකරන්න පුළුවන්, මිනිස් ශරීර ගොඩක්. ඒ ශරීර ඇතුලේ ඉන්නේ නොහික්මුණු යක්ෂයෙක්.

Ashoka Handagama

සාහිත්‍ය කලාවක් රසවිඳින්නට නොදත්, නායකත්ව හැසිරීමක්  කියන්නේ තර්ජනයෙන් ගර්ජනයෙන් මිනිසුන් පෙලන එක කියලා හිතන මේ නිලධාරී තන්ත්‍රය මුළු රාජ්‍ය සේවා පද්ධතියම වසාගන පිළිකාවක් සේ පැතිරිලා. ජනතාව තුල රාජ්‍ය නිලධාරීන් පිලිබඳ වත් ඔවුන් අතින් මෙහෙයවෙන රාජ්‍යසේවා අංශය පිළිබඳ වත් පිළිකුලත් කෝපයත් වර්ධනය වන්නේ ඒ නිසා.

ජනාධිපති තුමා රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කාර්යාලයට ගෙනත්, එහෙම නැත්නම් ඒ කාර්යාල වලටම ගිහිං රාජ්‍ය නිළධාරීන ට තර්ජනය කරද්දී ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නේ ඒ නිසා.

මේ තත්වයෙන් මිදෙන්න නම් ලයනල් ප්‍රනාන්දු ආදර්ශය පරිපාලන ක්ෂේත්‍රය ඇතුළු රාජ්‍ය සේවා අංශය තුලම නැවත ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ අඩිතාලම දැමීම  පාසල් මට්ටම බැස කලයුතු එකක්.

(අශෝක හඳගම -අනිද්දා පුවත්පතින් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...