The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

T

The Leader Desk

August 29, 2020 • 4:32 PM

වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුනෙන් දෙකට ආසන්න බලයක් සහිතව අලුත් ආණ්ඩුවක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දී ඇත.
  • දෙවැන්න වාර්ගික ප්‍රශ්නය ලෙස ප්‍රකට වරිග ප්‍රශ්නයයි.
  • එය දෙමළ ප්‍රශ්නයෙන් ඔබ්බට ගොස් ආගමික වරිගයා දක්වාම පැතිර ඇත.
  •  එහෙත් ඒ ප්‍රශ්න දෙකක් බව බහුතරයක් දේශපාලන විශේෂඥයන්ගේ මතය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික වශයෙන් අභියෝගත්මක කාල පරිච්ඡේදයක් සමග නව ආණ්ඩුව ආරම්භ වෙයි.

නිදහසින් පසු සෑම ආණ්ඩුවක් ම පාහේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් සමග පොර බදයි.

එකක් ආර්ථික ප්‍රශ්නයයි.

දෙවැන්න වාර්ගික ප්‍රශ්නය ලෙස ප්‍රකට වරිග ප්‍රශ්නයයි.

එය දෙමළ ප්‍රශ්නයෙන් ඔබ්බට ගොස් ආගමික වරිගයා දක්වාම පැතිර ඇත.

මේ ප්‍රධාන ප්‍රශ්න දෙක එකිනෙකට සම්බන්ධය.

 එහෙත් ඒ ප්‍රශ්න දෙකක් බව බහුතරයක් දේශපාලන විශේෂඥයන්ගේ මතය යි.

මේ ප්‍රශ්න දෙක විසින්ම දකුණේ තරුණ නැගිටීම, උතුරේ ප්‍රචණ්ඩත්වය සහ ඉස්ලාම් මූලධර්මවාදී පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වාම යම් සමාජ කොටස් ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කර ඇත.

''මේ ප්‍රශ්න දෙක විසින්ම දකුණේ තරුණ නැගිටීම, උතුරේ ප්‍රචණ්ඩත්වය සහ ඉස්ලාම් මූලධර්මවාදී පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වාම යම් සමාජ කොටස් ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කර ඇත. ''

අලුත් ආණ්ඩුවට මෙම ප්‍රධාන ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් විකල්ප දෙකක් ඇත.

එකක්, ආර්ථික විසදුම් රාමුවක් තුළ වරිග ප්‍රශ්නය විසදීමට තනි ප්‍රවේශයකට යාමයි.

දෙවැන්න, මෙය එකිනෙකට සම්බන්ධ වුවත්, ඒවා වෙනස්  ප්‍රශ්න දෙකක් සේ සලකා ප්‍රශ්න දෙකටම විසදුම් සෙවීමේ අන්තර් සම්බන්ධිත ප්‍රවේශ දෙකකට යොමු වීමයි.

යම් හෙයකින් ආණ්ඩුව පළමු විකල්පය තෝරා ගතහොත්, එය කෙතරම් යථාර්ථවාදී ද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.

එයට මූලික හේතුවක් ලෙස පෙනෙන්නේ ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අභියෝගය හමුවේ ජාත්‍යන්තරය කෙරෙහි ආණ්ඩුවේ ඇති රදා පැවැත්මයි.

එසේම, වරිග ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ඉල්ලා සහ පශ්චාත් යුද කාලීන ජාත්‍යන්තර විමර්ශන ඉක්මන් කරන ලෙස ඉල්ලා රට තුළ සහ රටින් පිට සිටින සුලු ජාතික දේශපාලන කණ්ඩායම් විසින් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් හරහා සිංහල-බෞද්ධ නැඹුරුවක් ඇති ආණ්ඩුවක් ලෙස සැලකෙන මෙම ආණ්ඩුව මත ගොඩ නගන පීඩනය වැඩි වීමේ ඉඩකඩ ද බහුලය.

''වරිග ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ඉල්ලා සහ පශ්චාත් යුද කාලීන ජාත්‍යන්තර විමර්ශන ඉක්මන් කරන ලෙස ඉල්ලා රට තුළ සහ රටින් පිට සිටින සුලු ජාතික දේශපාලන කණ්ඩායම් විසින් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් හරහා සිංහල-බෞද්ධ නැඹුරුවක් ඇති ආණ්ඩුවක් ලෙස සැලකෙන මෙම ආණ්ඩුව මත ගොඩ නගන පීඩනය වැඩි වීමේ ඉඩකඩ ද බහුලය. ''

එවැනි ගෝලීය දේශපාලන පසුබිමක ඉහත සාකච්ඡා කළ දෙවන විකල්පය මග හැර නොයෑමට ආණ්ඩුවට එල්ල විය හැකි බලපෑම ද වැඩි වනු ඇත.

ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට මුහුණට මුහුණ දී විසදුමක් ඉදිරිපත් කළ යුතු වටපිටාවක් අනාගතයේ නිර්මාණය වන බව පෙනේ.

 

මධ්‍යම ආණ්ඩුව සහ කලාප ආණ්ඩු අතර බලය :

consociational

ජන වාර්ගික ප්‍රශ්නයට විසදුම් ලෙස පසුගිය රජයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තා මගින් පෙනෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ කලාප ආණ්ඩු අතර බලය consociational (කොන්සොසියේෂනල්) ක්‍රමවේදය පදනම් කර ගෙන බෙදීමට යෝජනා වූ බවයි.

 මේ ක්‍රමය මගින් 'ජාතිකත්වය' පිළිබඳ ප්‍රශ්නය විසදීමට 'භූගෝලීය' වශයෙන් කලාප වෙන් කර, එක් එක් ජාතීන්ගේ දේශපාලන ප්‍රභූ පන්තිය එකී ජාතීන්ගේ වරිග නියෝජිතයන් ලෙස සලකා, රාජ්‍ය බලය ඔවුන් වෙත නිශ්චිත ලෙස බෙදා වෙන් කිරීමට යෝජනා කර ඇත.

එසේ වෙන් කළ යම් විශේෂිත බලයන් ආපසු පවරා ගැනීමට එක් කලාපයක් හෝ විරුද්ධ වුවවහොත් නොහැකි වන ලෙස 'නිශේධ බලයක්' ද එකී ප්‍රභූ පන්තීන් වෙත ව්‍යවස්ථාව මගින්ම පවරා දීමට යෝජනා කර තිබේ.

Arend LijphartConsociational (කොන්සොසියේෂනල්) ක්‍රමවේදය ජනවාර්ගික , ආගමික හා භාෂාමය ගැටුම් ඇති රටවල් කීපයකම ගැටුම් වලට විසදුම ලෙස අත් හදා බැලූ, ලොව ජනප්‍රිය ක්‍රමවේදයකි.

1857  - 1967 අතර කාලයේ නෙදර්ලන්තයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී බලය බෙදීමේ ක්‍රමවේදය පදනම් කර ගනිමින්  අරෙන්ඩ් ලෙයිෆාර්ට් (Arend Lijphart) නම් දේශපාලන විද්‍යාඥයා විසින් 1969 දී න්‍යායගත කරන ලද මෙම ක්‍රමවේදය ජනවාර්ගික, ආගමික සහ භාෂාමය ගැටුම් ඇති රටවලට විසදුමක් ලෙස සලකා විවිධ රටවල ක්‍රියාත්මක කරන ලදී.

උදාහරණයක් ලෙස උතුරු අයර්ලන්තයේ ප්‍රොතෙස්තන්ත සහ කතෝලිකයන් තර වූ සන්නද්ධ නැගිටීමට විසදුමක් ලෙස 1973 දී අත්සන් කළ 'සනින්ඩේල්' ගිවිසුම මහාචාර්ය ලෙයිෆාර්ට් ගේ කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම් වූ බව පිළිගැනේ.

කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම්ව, විසිවෙනි ශත වර්ෂයේ බලය සාර්ථක ලෙස බෙදාගත් රටවල් 16 ක් තිබෙන බව මහාචාර්ය ලෙයිෆාර්ට් 2002 වර්ෂයේ දී ආඩම්බර විය.

''කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම්ව, විසිවෙනි ශත වර්ෂයේ බලය සාර්ථක ලෙස බෙදාගත් රටවල් 16 ක් තිබෙන බව මහාචාර්ය ලෙයිෆාර්ට් 2002 වර්ෂයේ දී ආඩම්බර විය. ''

ඔහුට අනුව සූරිනාමය, නෙදර්ලන්ත දූපත් සමූහය, උතුරු අයර්ලන්තය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, කොලොම්බියාව, චෙකොස්ලෝවෙකියාව, සයිප්‍රස්, ලෙබනනය, මැලේසියාව, ෆීජි, දකුණු අප්‍රිකාව, ස්විස්ටර්ලන්තය, බෙල්ජියම, සහ ඉන්දියාව යන රටවල්හි කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම් වූ power sharing (බලය බෙදා ගැනීමේ) ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.

පසුගිය ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනා ද කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම්ව බලය බෙදා ගැනීම සාර්ථක ප්‍රතිපල ලබා දිය හැකි බව විශ්වාස කළ කණ්ඩායම් විසින් සකස් කරන ලදී.

Prof2එහෙත්, මහාචාර්ය ලෙයිෆාර්ට් සාර්ථකයි කියූ රටවල් දහසය කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිපල අත් කර නොගත් බවත්, ඒ වෙනුවට අහිතකර ප්‍රතිවිපාක තුනකින් එකක් භුක්ති විදින බවත් පර්‍යේෂණාත්මකව මහාචාර්ය ඩොනල්ඩ් රොත්චයිල්ඩ් (Donald Rothchild) සහ මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් (Philip G. Roeder) 2005 වසරේ දී පෙන්වා දුන් අතර, එම මත සහ ඔවුන් යෝජනා කරන නව ක්‍රමවේදය අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල පාඨමාලා වලට ඇතුළු වීමට තරම් විෂය ක්ෂේත්‍රය තුළ විශාල බලපෑමක් ඇති කළේය.  

ඔවුන්ගේ නිරීක්ෂණය අනුව කොන්සොසියේෂනල් ක්‍රමවේදය පදනම් කරමින් බලය බෙදා ගෙන ඇති වාර්ගික වශයෙන් බෙදී ගිය රටවල අවසානයේ නැවත ගැටුම් ආරම්භ වී ඇත.

 එක්කෝ කැනඩාවේ මෙන් බලය බෙදීමේ ගිවිසුම්ගත කරුණු සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව අතර විසදිය නොහැකි ගැටුම් විසදීමට තම රටේ ස්වෛරී බලයට හානි කරමින් වෙනත් රටකට තීරක බලය ලබා දී ඇත.

උදාහරණයක් ලෙස කැනඩාව විසින් ක්විබෙක් ප්‍රාන්තය සම්බන්ධයෙන් එකග විය නොහැකි ගැටලු ගැන බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලය වෙත තීරක බලය ලබා දී ඇත.

නැති නම් අවසානයේ ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුවෙන් බෙදී වෙන්වී ගොස් ඇත.

එමෙන්ම යම් සාර්ථකත්වයක් ලබා ඇති ස්විස්ටර්ලන්තය, බෙල්ජියම සහ ඉන්දියාව එම සාර්ථකත්වය ලබා ගෙන ඇත්තේ කොන්සොසියේෂනල් ක්‍රමවේදය නිසා නොව වෙනත් සුවිශේෂී හේතු නිසා බව මහාචාර්ය රොත්චයිල්ඩ් සහ රෝඩර් පෙන්වා දෙති.

කොන්සොසියේෂනල් ක්‍රමවේදයේ සාර්ථකත්වය පිළිබඳ ලෝකයේ අත්දැකීම් ඇසුරින් ප්‍රශ්න කරන ශාස්ත්‍රීය පසුබිමක් නිර්මාණය වී ඇති යුගයක වුවද, වරිග ප්‍රශ්නයට විසදුමක් ලෙස කොන්සොසියේෂනල් ක්‍රමවේදය ගැන විශ්වාස කරන මෙරට වාර්ගික දේශපාලන ප්‍රභූන් සහ එම මතය පිළිගන්නවුන් එම ක්‍රමවේදයම පදනම් කර ගත් විසදුමක් ගෙන ඒම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව අලුත් ආණ්ඩුවට බලපෑම් කිරීමේ බහුල ඉඩ කඩක් ඇත.

''වරිග ප්‍රශ්නයට විසදුමක් ලෙස කොන්සොසියේෂනල් ක්‍රමවේදය ගැන විශ්වාස කරන මෙරට වාර්ගික දේශපාලන ප්‍රභූන් සහ එම මතය පිළිගන්නවුන් එම ක්‍රමවේදයම පදනම් කර ගත් විසදුමක් ගෙන ඒම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව අලුත් ආණ්ඩුවට බලපෑම් කිරීමේ බහුල ඉඩ කඩක් ඇත. ''

 

කොන්සොසියේෂනල් ක්‍රමවේදය බලාපොරොත්තු තැබිය හැකි විසදුමක්ද? නැද්ද?

ඒ ගැන ආණ්ඩුවේ දේශපාලන තීරණය කුමක් වුවත්, එය කොන්සොසියේෂනල් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තැබිය හැකි විසදුමක්ද? නැද්ද? යන්න පිළිබඳ ශාස්ත්‍රීය පදනමක් මත පිහිටා ගත යුතුය.

එය ෆෙඩරල් ක්‍රමයට විරුද්ධවීම මත යමෙකු ජාතිවාදියෙකු හෝ පක්ෂ වීම මත දේශද්‍රෝහීයෙකු ලෙස හංවඩු ගසනවාට වඩා වෙනස් ය.

මෙම ලිපි පෙළ මගින් උත්සාහ දරන්නේ අලුත් ආණ්ඩුවට පෙඩරල් විසදුමේ පරණ වයින් අලුත් බදුන් වල දැමීමට යෝජනා කිරීම මතවාදයක් ලෙස කෙතරම් යෝග්‍ය ද? නැද්ද? යන්න ශාස්ත්‍රීය පදනමක සිට සරලව සිංහල පොදු පාඨකයා සමග සාකච්ඡා කිරීමයි.

''මෙම ලිපි පෙළ මගින් උත්සාහ දරන්නේ අලුත් ආණ්ඩුවට පෙඩරල් විසදුමේ පරණ වයින් අලුත් බදුන් වල දැමීමට යෝජනා කිරීම මතවාදයක් ලෙස කෙතරම් යෝග්‍ය ද? නැද්ද? යන්න ශාස්ත්‍රීය පදනමක සිට සරලව සිංහල පොදු පාඨකයා සමග සාකච්ඡා කිරීමයි.''

අවබෝධය මත ගන්නා තීරණය 'ෆෙඩරල්කාරයා රට බෙදනවා' හෝ 'ෆෙඩරල් විරෝධියා ජාතිවාදියෙක්' යැයි සටන් පාඨ එකිනෙකාට එරෙහිව කියා ගන්නවාට වඩා ඵලදායී වනු ඇතැයි කල්පනා කරමි.

 

1539934387 Ex UNP MP appointed as Media Director to President3

  නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

  dodamgoda@gmail.com

 [දිනේෂ් දොඩම්ගොඩ වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.   ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම - ‘දිවයින ෆෙඩරල් කොලම’ -2020 අගෝස්තු 30 )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...