The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

''මේ කව්ද ? මොනවද කරන්නේ ? - සජිත්ගේ දේශපාලන ගමන් මග

T

The Leader Desk

June 26, 2020 • 2:16 PM

''මේ කව්ද ? මොනවද කරන්නේ ? - සජිත්ගේ දේශපාලන ගමන් මග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ නායකයා ලෙසින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
  • සජිත් ප්‍රේමදාස ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 13 කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත්විය.
  • එකී අධ්‍යාපන සහතිකය පසුගිය වකවානුව තුළ දේශපාලනවේදිකාවේ ද ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් විය.
  • සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස 1977 වසරේ අගමැති පදවියත්, 1989 වසරේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගන්නා ලද්දේ එවකට එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයන්ව සිටි ප්‍රබල දේශපාලන චරිත කීපයකට අභියෝග කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතික පක්‍ෂය හිටපු මන්ත්‍රීවරුන් බහුතරය මෙවර සමගි ජන බලවේගයෙන් තරඟ කරන්නේ එජාපය සමඟ එකමුතුව සන්ධානයක් ලෙසින් තරඟ වැදීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුවය.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය හිමිකර ගනු ලැබුවේ පක්‍ෂ නායකත්වයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි.

සජිත් ප්‍රේමදාස ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 13 කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත්විය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ එකඟත්වයෙන් ඔහු විපක්ෂනායක පදවියට පත්කෙරිණ.


"ප්‍රේමදාස පුතා"

 108975084 29e9488f 60a7 46ea b660 d02ca15be0ac                                            සජිත් ප්‍රේමදාස සිය කාර්යාලයේදී

1967 ජනවාරි මස 12 වෙනිදා කොළඹ දී උපත ලද සජිත්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ එකම පුත්‍රයාය. ඔහුගේ මව හේමා ප්‍රේමදාස වන අතර දුලාංජලී ප්‍රේමදාස එකම සහෝදරිය වන්නීය. සජිත්ගේ බිරිඳ ජලනී ප්‍රේමදාසය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහලේ මූලික අධ්‍යාපනය ලද සජිත් ප්‍රේමදාස අනතුරුව එක්සත් රාජධානියේ 'මිල්හිල්' විදුහලෙන් (Mill Hill School) ද්විතීයික අධ්‍යාපනය ලැබ ලන්ඩන් සරවියේ ආර්ථික සහ දේශපාලන පීඨයට (London School of Economics) ඇතුළත්ව සිය පළමු උපාධිය සම්පූර්ණ කළ බව ඔහුගේ ජීව දත්ත වාර්තාවන්හි දැක්වෙයි. එකී අධ්‍යාපන සහතිකය පසුගිය වකවානුව තුළ දේශපාලනවේදිකාවේ ද ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් විය.

සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස 1977 වසරේ අගමැති පදවියත්, 1989 වසරේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගන්නා ලද්දේ එවකට එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයන්ව සිටි ප්‍රබල දේශපාලන චරිත කීපයකට අභියෝග කරමිනි.

ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස පළමුව රටපුරා බිම් මට්ටමින් සිය බලය ව්‍යාප්ත කරගත් අතර අනතුරුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රනය සිය අභිමතයට යටකර ගැනීමට සමත් විය.

ඔහු පුත් සජිත් ප්‍රේමදාසත් 2019 ජනාධිපති ධූර අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා සිය පියාගේ මාවතෙහිම ගමන් කරන ලද ආකාරයක් දක්නට ලැබුණ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


 108972446 threemenසජිත්-කරු-රනිල් මොවුන් අතරින් ජනාධිපති අපේක්ෂකත්වය කාටද යන්න සම්බන්ධයෙන් දීර්ඝ සමාජ කතිකාවක් විය

1972 ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් ඒ වනවිට අගමැති පදවියේ සිටි ජේ ආර් ජයවර්ධන ජනාධිපති පදවියට අනුප්‍රාප්ත වීමත් සමඟ අගමැති පදවියේ පුරප්පාඩුවක් ඇති වුණි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ වඩාත් දීර්ඝ ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් ඉදිරිපත් වුවත් ඔවුන් අභිබවා යමින් තනතුර දිනා ගැනීමට ආර් ප්‍රේමදාස සමත් විය.

රණසිංහ ප්‍රේමදාස 1988 දී ජනාධිපති ධූර අපේක්ෂකත්වය හිමිකර ගන්නා ලද්දේ පක්ෂ අභ්‍යන්තරයේ ඊටත් වඩා තියුණු 'සීතල යුද්ධයක්' අවසානයෙහිය.

ප්‍රේමදාස පුත් සජිත් ද 2019 ජනාධිපති ධූර අපේක්ෂකත්වය හිමිකර ගන්නා ලද්දේ ඊට නොදෙවෙනි පක්ෂ "අභ්‍යන්තර අරගලයක" නිරත වෙමිනි.

"මම ප්‍රේමදාසගේ පුතා" යනුවෙන් ඔහු ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් කීපයකදීම කියා සිටියේය.

දේශපාලන ආගමනය
 108975086 f41703b1 d38c 43fe b5a3 902745c74ad9
එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටියදී 1993 මැයි මස පළමුවෙනිදා සිය පියා ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව සියරට පැමිණි සජිත්, "ප්‍රේමදාස දේශපාලනයේ" වගකීම භාර ගත්තේය.

සිය පියාගේ බලකොටුව වී තිබුණ මැද කොළඹින් සමුගත් සජිත් සිය දේශපාලනය ආරම්භ කළේ දකුණු පළාතේ දුෂ්කර දිස්ත්‍රික්කයක් වූ හම්බන්තොටිනි.

සජිත්ගේ වචනයෙන්ම සඳහන් කළහොත් ඔහුගේ "සමාජ සත්කාර වැඩ සටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට ආශීර්වාදයක්" වී ඇති අතර ඔහු 2001 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ජනපතිවරණය දක්වාම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු 2020 මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

2001 වසරේ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහි වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍යය නියෝජ්‍ය ඇමති පදවිය සජිත්ට හිමිවිය.

අනතුරුව පැවති සෑම මහ මැතිවරණයකින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ මහජන වරම දිනාගත් සජිත් 2015 ජනවාරි 08 වෙනිදා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රජයේ නිවාස ඇමති පදවියට පත් කෙරිණි.

2015 අගෝස්තු මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ද නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති පදවි ඔහු හෙබවීය.

නායක පොරය:

 108975090 0839929b d7e4 41ad a27a fa05583f336f
සජිත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා දිගුකලක පටන් බල අරගලයක නිරතව සිටියේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහු කීප වරක්ම නැගී සිටි නමුත් එම ප්‍රයත්නයන් කෙලවර වුණේ රනිල්ගේ වාසියට තීන්දු වෙමිනි.

එම බල අරගල ඇතැම්විට කෙලවර වුණේ සිරිකොතට පවා අලාභ හානි සිදු කරමිනි.

'රනිල් විරෝධී', සජිත්වාදී පෙළපාලියකට මාතර දී ප්‍රහාරයක් එල්ල කෙරුණ අතර අධිකරණය තෙක් ගමන්ගත් එම ගැටුම "කුරුඳු පොලු නඩුව" ලෙස මහජන ව්‍යවහාරයෙහි පවතියි.

රනිල් වෙනුවට කරු ජයසූරිය පක්ෂ නායකත්වයට ගෙන ඒමේ මෙහෙයුමක් ද සජිත් විසින් ආරම්භ කරන ලද නමුත් එම උත්සාහයත් අසාර්ථක වූයේ කරු ජයසූරිය පක්ෂය තුළ දුෂ්කර අඩියකට හෙළමිනි.

සජිත් පක්ෂ නායකත්වයට ගෙන ඒමට උරදුන් ඇතැම් සගයන්ට පක්ෂය අහිමි වුනත් දිගටම පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය රැක ගැනීමට ඔහු සමත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 වසරේ සැප්තැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් ඉවත් කරමින් එම පදවියට මහින්ද රාජපක්ෂ නම් කරනු ලැබීමට පෙර සහ පසුව ජනාධිපතිවරයා අගමැති පදවිය සඳහා තමාට පනස් වතාවකටත් වැඩි වාරයක් ආරාධනය කළ බව සජිත් ප්‍රේමදාස පවසයි.


 108885041 sirikothaසිරිකොත මන්දිරයට එල්ල කෙරුණ වෙඩි ප්‍රහාරයකින් අලියා ළකුණට හානි සිදුව තිබුණ ආකාරය

සජිත් නායකත්වය දෙන ව්‍යාපෘතීන්:

'ගම් උදාව' සජිත්ගේ පියා, ආර් ප්‍රේමදාස විසින් අඩු ආදායම් පවුල් ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතියකි. රටේ විවිධ පළාත්වල 'උදාගම්' ඉදි කරමින් නල ළිං පහසුකම් සපයමින් ආර් ප්‍රේමදාස විසින් ගෙනයන ලද වැඩපිළිවෙල ඔහුට බිම් මට්ටමින් ජන පදනමක් ස්ථාපනය කර ගැනීමට ඉවහල් විය.

එම ව්‍යාපෘතිය සියතට ගත් සජිත් ප්‍රේමදාස විවේචන මධ්‍යයේ වුවද උදාගම් සංකල්පය පෙරට ගෙන යමින් සිටී.

'ජනසවිය', ආර් ප්‍රේමදාස විසින් හඳුන්වා දෙන ලද තවත් ව්‍යාපෘතියකි.

1994 දී බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ පටන් එම 'ජනසවිය' සහන වැඩ සටහන වෙනත් නමකින් 'සමෘද්ධි' ලෙස ක්‍රියාවට නැංවෙයි.

ඔහු සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් "සසුනට අරුණ" නමින් බෞද්ධ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර බෞද්ධ විහාරාරාම සහ දහම් පාසල්වලට අනුග්‍රහ දැක්වීම එහි අරමුණ වෙයි.

"සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන" ඔහුට මල්වතු මහා විහාරය විසින් පිරිනමන ලද ගෞරව සම්මානයයි.

සජිත් සමාජ මාධ්‍ය ජාලයේ

 108975092 6be5b34c 0fe0 400b bd4e cd075945028eඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ඔහු ආරම්භ කළ අරගලයත් සමඟ සමාජ මාධ්‍ය ජාලය තුළ ඔහු මුල්කර ගත් ප්‍රවාද රැසක් හුවමාරු විය.

ජනපතිවරණය සමයේ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස රැස්වීමක් අමතමින් තමා සජිත් ප්‍රේමදාස "ආර්යාව" හැටියට ඇය විසින්ම හඳුන්වා ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය තුළ පමණක් නොව ප්‍රතිවාදී දේශපාලනඥයාගේ ද උපහාසයට ලක්වන්නට විය.

තවත් එවැනි මාතෘකාවක් වුණේ සජිත් ප්‍රේමදාස විසින්ම "උසනම් සිකුරිටු -කොටනම් කම්කරු" යනුවෙන් රැකියා සොයා පැමිණි පිරිසක් අමතමින් සඳහන් කරන වීඩියෝ පටයකි.

වනසතුන් නැරඹීම කෙරෙහි ලැදියාවක් දක්වන සජිත් ප්‍රේමදාස අලියකු සිප ගන්නා පින්තූරයක් අන්තර්ජාලයේ සැරි සැරීය.

එපමණක් නොව, ඉස්ලාමීය මිතුරකු විසින් දෙන ලද අලි ඇතුන් දමනය කළ හැකි අල් කුරානයේ "ගාථාවක්" තමන් සතුව ඇතැයි ද ඔහු වරෙක ප්‍රකාශ කළේය.

ඔහු ශ්‍රී ලංකාවෙන් බිහි වූ ක්‍රිකට් දැවැන්තයන් දෙදෙනකු වෙනුවෙන් මෑතදී "සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම" සහ "සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම" නමින් අලුත් උදාගම් දෙකක් ද ඉදි කළ අතර එය සමාජ ජාල තුළ දැඩි අවධානයට ලක් විය.

තව ද "ඒදණ්ඩක" ගමන් කිරීම, පියානෝ වාදනය, "ඉණිමගේ නැගීම", පන්දුවට පහර දීම ආදී අවස්ථා දැක්වෙන ඔහුගේ ඡායාරූප සමාජ ජාල ඔස්සේ විවිධ හැඩයෙන් පළ විය.

සජිත් -ජනපති සන්ධානය:

 108975896 mediaitem108975895පියා විසින් ගෙන යන ලද ව්‍යාපෘති හැරුණු කොට කිසිදු වෘත්තීය හෝ සිවිල් අරගලයක් වෙනුවෙන් පෙනී නොසිටි බවට සිවිල් සංවිධාන ක්‍රියාධරයෝ සජිත් ප්‍රේමදාසට චෝදනා කරති.

2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව තරග වැදි පළමු එක්සත් ජාතික පක්‍ෂ අපේක්ෂකයා ලෙසත් සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ ඉතිහාසයට එක්විය.

මෙයින් වසර දාහතරකට පෙර පැවැත්වුන 2005 ජනාධිපතිවරණයේ දී පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ තරග වැදුන අතර, ඉන් පසුව එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලද්දේ "පොදු අපේක්ෂකයකු" වෙනුවෙන් සහයෝගය දීමේ පිළිවෙතකි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයට තරග වැදී සිටින්නේ පොදුජන එක්සත් පෙරමුණට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද ප්‍රතිවාදියෙකු ලෙසිනි. 

‘සද්-ජාතිකත්වය’ නමින් අලුත් සංකල්පයක් !

 මෙවර කොළඹට 'දුරකථනය' ලකුණින් තරග වදින සජිත් ප්‍රේමදාස දේශපාලන ශබ්ද කෝෂයට ‘සද්-ජාතිකත්වය’ නම් අලුත් සංකල්පයක් හදුන්වා දී ඇත.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සිහිනයට පණ දීමට තමා කැපවී සිටින බව පවසන සජිත් ප්‍රේමදාස,  ‘සද්-ජාතිකත්වය’ සංකල්පය මෙසේ පැහැදිලි කර තිබේ.

 ‘දිවංගත ප්‍රේමදාස මැතිතුමන් මට කියා දුන් දහම මම ලොවට කියාදෙමි,  ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටකි, මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි. එහෙත් මම මේ රටේ උපන් සෙසු අහිංසක ආගමිකයන්ට, සෙසු ජාතීන්ට වෛර කිරීම දේශප්‍රේමීත්වයක් ලෙස නොසලකමි. මම මගේ ආගමට, ජාතික උරුමයට, මව්බිමට, පරිසරයට සහ සියලු පුරවැසියන්ට බෞද්ධයෙකු ලෙස ආදරය කරමි, ආරක්ෂා කරමි. එයට මම ‘සද්-ජාතිකත්වය’ යැයි කියමි.’  

වීඩියෝ 


(උපුටා ගැනීම් : බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...