1200 x 80 DMirror

 
 

දෙබස අවසන් වන විට ඔවුන් ජාතික පුස්තකාලයේ ප්‍රවේශාගාරය ආසන්නයට ම පැමිණ තිබිණ. එහි ආලින්දයට ගමන් කළ යුත්තේ පිළිගැනීමේ

නිලධාරිනිය පසු කරමිනි. ඔවුන් දෙපළ එම ස්ථානය පසු කරනවාත් සමග ම ‘‘ ප්‍රතිෂ්ට සර්... මොකද මේ අහක බලාගෙන ම... අපිත් එක්ක තරහ වෙලා ද... හුඟක් දවසකිං මේ පැත්තෙ ආවෙත් නෑ නේද...?’’ යැයි විමසමින් කාන්තා මුවකින් විසිකළ ප්‍රශ්නාවලියක් ම සවන් තුළට ඇතුළු වුයේ දෙදෙනා ම විමතියට පත් කරමිනි.

‘‘ආ... රුචිකා... මං ඒත් බැලුව කව්ද කියල... ඇත්තට ම දැක්කෙ නෑ රුචී...’’

එසැණින් ආපසු හැරුණු ප්‍රතිෂ්ඨ කාන්තාව වෙත ද වදන් කිහිපයක් පා කර හැරී ය.

 

ElizabethMurrayCountessofDysartwithherFirstHusbandSirLionelTollemacheandherSisterattributedtoJoanPalmerNationalTrustImagesප්‍රතිෂ්ඨ පිළිවදන් සපයන මොහොතේ රුචිකාගේ දෙනෙත් යොමුවී තිබුණේ සචේතනී වෙත ය; ඒ දෙනෙත්වල ඇඳී තිබුණේ: අඳුරු පැහැයෙන් යුත්, ගුප්ත සිතුවමකි.

 

සචේතනී ද රුචිකා දුටු සැණින් යම් ව්‍යාකූලත්වයකට පත්වුව ද එය මඳක් හෝ පිටතට ප්‍රදර්ශනය නොකරන්නට වගබලාගත්තා ය. රුචිකාගේ අවධානය තමා දෙස යොමුවී ඇති බවත්, ඒ අවධානය තුළ සැකයක් සහ ඊර්ෂ්‍යාසහගත බවක් සැඟව පවතින බවත් සචේතනී වටහාගත්තා ය. ඇය නොදැනුවත්ව ම ඇගේ සිතෙහි ද යම් ව්‍යාකූලභාවයක් පැන නැගිණ. ඒ කුමක් අරබයා ද යන්න ඇයට ම වටහා ගත නොහැකි වූවා ය. 

 

‘‘ඔවු ඔවු... දකින්නැති එක පුදුමයක් නෙවෙයි නෙ ඉතිං...’’

 

රුචිකා එම වදන් මුදාහරින මොහොතේ ඇය මුදා නොහැරි වදන් මොනවා ද යන්න වටහාගැනීම ප්‍රතිෂ්ඨට අපහසු නොවි ය. එබැවින් ඔහු සචේතනී දෙස හැරී ‘‘රුචී... මේ සචේතනී...’’ යැයි ඇය හඳුන්වා දුන් සැණින් ඇයගේ දකුණත අල්ලාගත් රුචිකා ‘‘හෙලෝ...’’ යැයි පැවසු සැණින් ම සචේතනී ද ඊට ප්‍රතිචාර දැක්වූයේ ‘‘හෙලෝ’’ යැයි පවසමිනි.

 

‘‘ඉතිං සර්... කොහොම ද... මොකද මේ පැත්තෙ ආවෙ නැත්තෙ...?’’ යැයි යළිත් විමසුවේ ඇය කලක සිට ප්‍රතිෂ්ඨ බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තියක ලෙසිනි.

‘‘රුචී... මං මේ දවස්වල කොළඹ හිටියෙ නෑ... අපි රිසර්ච් එකකට මොනරාගල ගියා.’’

 

ප්‍රතිෂ්ඨ පැවසුවේ මුසාවාදයකි. එය එසේ යැයි වටහාගැනීම සචේතනිට ද අපහසු නොවිණ. එහෙත් ඇය කිසිදු වෙනසක් ප්‍රදර්ශනය නොකරමින් ශාලාව වටා ඇගේ දෙනෙත් සැරිසැරෙව්වා ය. ඒ අතර සචේතනී දෙස අප්‍රසන්න බැල්මක් හෙළූ රුචිකා ‘‘අපි කිව්වෙ...!’’ යනුවෙන් විමසුවේ සැකයේ පිළිබිඹුවක් උවන පුරා සිතුවම් කරගනිමිනි.

 

‘‘අපි කිව්වෙ මේ... අපේ විඩියෝ ටීම් එකත් එක්ක...’’ යැයි පවසා අවසන් වීමටත් පෙර ම රුචී ‘‘ආ... ඒක මිසක්...’’ යැයි පැවසුවේ ඉහළට ගත් දිගු හුස්මක් පහත හෙළන අතර ය. ඒ මොහොතේ ඇගේ පිරිපුන් ළය මඬල සෙමෙන් ඉහළට එසවී යළි ඒ වේගයෙන් ම පහළට ගමන් කර නිසි ලෙස, නිසි ස්ථානයේ නතර වූ ආකාරය ප්‍රතිෂ්ඨගේ දෙනෙතේ සටහන් විය.

 

සචේතනී තවමත් ඇගේ දෙනෙත් අවට සිසාරවන අතර ම ප්‍රතිෂ්ඨ සහ රුචිකා අසල ද ඇසිල්ලක් තරම් කාලයක් නතර කරන්නට ද අමතක නොකළා ය. ඇය ගතකරමින් සිටින්නී කිසියම් පිංතූර රාමුවක සිරවී සිටින ඇගේ ම ඡායා රුවක්  රාමුවෙන් පිටතට පැන දිව යන්නට යත්න දරන ආකාරයෙනි.

 

‘‘රුචී... අපි ආවෙ මේ...’’

 

ප්‍රතිෂ්ඨ සිය අදහස ඉදිරිපත් කරන්නට සැරුසුණ සැණින් ඊට මැදිහත් වූ රුචිකා අනුරාගීත්වය ද සරදම් බවද සහිත සිනාවකින් මුව සරසාගනිමින් ‘‘මේ... සචේතනීගෙ වැඩකට... එහෙම නෙ කියන්න හදන්නෙ...?’’ යැයි විමසී ය.

 

ඇගේ එම වදන් කිහිපය ඇසූ සැණින් දැඩි අපහසුතාවට පත්වූ ප්‍රතිෂ්ඨ ‘‘ඔවු රුචී... මේ... පොත් වගේක ඩීටේල්ස් වගයක් ගන්න තියෙනව... අපි එහෙනං උඩට යන්න ද...?’’ යැයි විමසුවේ දැඩි ශාරීරික අවශ්‍යතාවක් පැන නැගුණු පුද්ගලයෙකු ලෙසිනි. සචේතනී ද පසුවුයේ හැකි ඉක්මනින් මේ අවස්ථාව මගහැර යාමේ වුවමනාවෙනි. ප්‍රතිෂ්ඨ දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව ද සචේතනී අවබෝධ කරගෙන සිටියා ය.

 

‘‘එහෙමනං රුචී... අපි යන්න ද...?’’

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ ඇගේ අවසරයකින් තොරව එම ස්ථානයෙන් බැහැරවීම අසීරු බව දනවන ලෙසිනි.

 

මෙතෙක් විවිධ හැඩයේ අඳුරු පැහැති වලා කැටි සිතුවම් වී තිබූ රුචිකාගේ උවන යම් පමණකට ආලෝකමත් වූයේ එම අඳුරු පැහැ වළා අතරින් මෝදු වූ අඩ සඳක් මෙනි. එම තත්ත්වය සචේතනීගේ සිත තුළ පැවති ව්‍යාකුලත්වය තව තවත් වර්ධනය කෙරිණ. එහෙත් ඇය, ඇගේ සිත තුළ පැන නැගි සියලු සිතුවිලි වසා දැමුවේ කුඩා දරුවන් කෙළි දෙළෙන් ගත කළ පුලින තලාවක් ඉපල් අත්තකින් අමදා හැරි ලෙසිනි.

 

‘‘හරි සර්... එහෙනං ගිහිං ඒ වැඩේ කරගන්න... ආ... කවද්ද ආයෙ මේ පැත්තෙ එන්නෙ...?’’

ඇය එසේ විමසුවේ ඇයට ප්‍රතිෂ්ඨ හමුවීමේ දැඩි අවශ්‍යතාවක් ඇතැයි හැඟෙන පරිදි ය.

‘‘ම්ම්ම්... කොහොමටත් තව දවසක් දෙකක් මේ පැත්තෙ එන්න වෙයි. ඇයි රුචී...?’’

girl portrait face hair wallpaper preview

උවන පුරා ස්මිතයක් නගාගත් රුචිකා ප්‍රතිෂ්ඨ දෙස අනුරාගී බැල්මක් හෙළන අතර ම ‘‘හම්ම්ම්... මං හිතුව...’’ යැයි පවසන අතර ම සචේතනි දෙසට හැරී ‘‘එහෙනං මිස්... මං යන්නං... සර් අනිවාර්යයෙන් මිස්ගෙ වැඩේ කරල දෙයි,’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නැයි නොපවසා පවසමිනි.

 

‘හම්මේ... ඇති යංතං... යකෝ මේ වාතෙත් මේ වෙලාවෙ ම කඩා පාත් උණානෙ... සචේති මොනව හිතුවද මංද...’

 

ආලින්දය ද පසුකර, ඔවුන්ට පිටුපා යන රුචිකා දෙස තත්පර කිහිපයක් බලා සිටි ප්‍රතිෂ්ඨ ‘‘යං... අපි යං සචේති,’’ යැයි පවසා කඩිනමින් ම පියගැට පෙළ නැගී ය. ප්‍රතිෂ්ඨගේ අණට කීකරු වීම හැර අන් විකල්පයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක සිටි සචේතනී ද ප්‍රතිෂ්ඨ පසුපස ම ගමන් කළා ය.

******

දෙදෙනා ම ගොඩනැගිල්ලේ දෙවන මහලට පැමිණි පසු එහි සේවයේ නියුතුව සිටි තරුණ සහ තරුණ විය ඉක්මවූ සියලු සේවක සේවිකාවෝ ප්‍රතිෂ්ඨ වෙත පෑ සුහදශීලි බව සචේතනී ප්‍රහර්ෂයට පත්කළේ ය. මීට මොහොතකට පෙර බිම් මහලේ දී සිදුවු සිද්ධිය පිළිබඳ කිසියම් වික්ෂිප්තභාවයකින් සිටි ඇයට මෙය මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේ ය.

 

f6a467b4ff9818e4c70e48dd0b18b8e8රුචිකා නමින් හඳුන්වා දුන් එම කාන්තාව ද දුටු දුටු පුරුෂයින්ගේ සිත වසඟ කරන්නට තරම් රූමත් ය; ඇගේ රුවට ම සරිලන මිහිරි කටහඬක් ඈ සතු ය; ඇය ඇඟලා සිටි සාරිය ඇගේ සිරුරේ හැඩය වඩාත් පෙරහන් කර තිබිණ. එමෙන් ම ඇය බොහෝ කලක සිට ප්‍රතිෂ්ඨ ඇසුරු කර ඇති බව ඇගේ හැසිරීම සාක්ෂි දැරී ය; එම ඇසුර ඉතා සමීප ඇසුරක් බව ඇය ප්‍රතිෂ්ඨ කෙරෙහි පෑ සියලු අභින තුළින් තව තවත් ගම්‍යමාන විය. ඇතැම් අවස්ථාවල සරාගී ස්වරුපයකින් ද, තවත් විටෙක සරදම් ස්වරුපයකින් ද ප්‍රතිෂ්ඨ වෙත ඇගේ බැල්ම යොමු කළ අතර තවත් විටෙක ඇය සචේතනී වෙත හෙළුවේ සැක සහිත බැල්මකි. ඒ සෑම අවස්ථාවක ම ඇය සචේතනීගේ හැඟීම් කියවන්නට යත්න දැරුවා ය.

 

සචේතනීට මේ සියල්ල සිහිපත් වූයේ: දෙදෙනා ම ශාලාවේ තබා තිබූ මේස පේළියේ තුන්වන මේසය අසලට ගිය පසු ප්‍රතිෂ්ඨ, එක් මේසයක් වටා තිබූ අසුන් කිහිපය අතුරෙන් අසුනක් පෙන්වා ඇයට එහි අසුන් ගෙන සිටින්නැයි පවසා, ඇය පෙර දිනයේ ප්‍රතිෂ්ඨ වෙත ඉදිරිපත් කළ, ඇය සොයන කෘතියේ කතුවර හිමිගේ නම සඳහන් කඩදාසි කැබැල්ල ද රැගෙන ශාලාව ආරම්භයේ පිහිටි, වීදුරුවලින් ආවරණය කර තිබූ පරිගණක යන්ත්‍ර පිහිටි කොටසට ඇතුළු වීමෙන් අනතුරුව ය.

 

මේ කෙටි කාලය තුළ ඇගේ රුපකාය එම ස්ථානයේ අසුන් ගෙන සිටිය ද ඇගේ මනස ලැගුම් ගෙන සිටියේ බිම් මහලේ ය; මීට මොහොතකට පෙර ඔවුන් දෙපළ සහ රුචිකා අතර සිදුවු සිදුවීම් පෙළ තුළ ය. ඇය කෙතරම් දුරට එම සිදුවීම් පෙළ සමග බද්ධ වි සිටියා ද යත්: ප්‍රතිෂ්ඨ ඇය අසලට පැමිණ, ඇගේ ඉදිරි පස පිහිටි අසුන පසුපසට ඇද, එහි අසුන්ගෙන ‘‘සචේති...!’’ යැයි ඉතා රහසින් විමසන තෙක් ම ඇය එතෙක් තමා අවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක නොසිටියා ය.

 

‘‘ආ... ප්‍රතිෂ්ඨ...’’ යැයි ඇය විමසනවාත් සමග ම ප්‍රතිෂ්ඨ ඔහුගේ දකුණතේ දබරැඟිල්ල ඔහුගේ ම දෙතොල් මත තබා නිශ්ශබ්ද වන ලෙස සංඥා කළේ ය. එවිට ම ඇය ‘‘සොරි ප්‍රතිෂ්ඨ...’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨ මෙන් ම ඉතා රහස් හඬකිනි.

 

මිනිත්තුවක හෝ කාලයක් ඉක්ම නොවිමට ඉඩ සැලසූ ප්‍රතිෂ්ඨ, සචේතනී ඉදිරියෙන් අසුන් ගත් අසුනෙන් නැගී සිට, ශබ්ද නොනැගෙන සේ එම අසුන ඇතුළු කර, සචේතනීගේ දකුණු පස තිබූ අසුනේ අසුන් ගත්තේ ඇයට වඩාත් සමීප වෙමිනි. ඒ මොහොතේ ඔහුගේ නැහැපුඩු තුළින් හමා ආ උණුසුම් වායු දහරාව ඇගේ වැලමිටට මඳක් පහළින් වැතිර අනතුරුව සිරුර අභ්‍යන්තරයට ද ප්‍රසාරණය විය. එය ඇගේ සමස්ත සිරුර ම ආක්‍රමණය කරන්නට කෙතරම් සමත් වුවා ද යත් ඇය ද එය විඳගැනීමේ රිසියෙන් මෙන් නිහඬව ම ප්‍රතිෂ්ඨගේ සුසුම් වැතිරුණු ස්ථානය දෙස දෙනෙත් යොමු කර සිටියා ය. ඇයට කුමක් සිදුවී ද යන්න නිශ්චය කරගත නොහැකි වූ ප්‍රතිෂ්ඨ ඉතා සීරුවෙන් ඇගේ දකුණතේ පිටි අත්ල මත ඔහුගේ වම් අත්ල තබා ඉතාමත් රහස් හඬින් ‘‘සචේති’’ යැයි මිමිණී ය.  

 

‘‘අහ්... ඔවු... කියන්න...’’ යැයි ඇය ද පැවසුවේ රහස් හඬිනි.

 

ප්‍රතිෂ්ඨ, සචේතනිගේ අත්ල මතින් ඔහුගේ අත්ල ඉවතට ගෙන, ඔහු මේසය මත තබා තිබූ කුඩා සටහන් පොත දිගැර එතුළ තිබූ, සචේතනිගෙන් ඉල්ලාගත් කුඩා කඩදාසි කැබැල්ල ගෙන එය ඇය වෙත පෑය.

 

‘‘මේ කඩදාසිය ඔයා කොච්චර කාලයක් ඔය බෑග් එක ඇතුළෙ දාගෙන හිටිය ද කියල මං දන්නෑ. හැබැයි ඒ ගැන ඔයාට දැං හුඟක් ආඩම්බර වෙන්න පුළුවං,’’ යැයි රහස් හඬින් පැවසී ය.

 

සචේතනිගේ දෑස් මඳක් විසල් වී එතුළින් ආලෝක කිරණ විහිදෙන්නාක් මෙන් විය; ඇගේ ශ්වෙත වර්ණ දසන් දෙපළ ද ඒ හා සමග ම තවත් ආලෝක දහරාවක් විහිදාලූවා ය; ඇගේ උවන පුරා සිතුවම් වී තිබුණේ ප්‍රහර්ෂණාත්මක ස්මිතයකි.

 

ML 1001 c25878 0001 m 1920

‘‘ආඩම්බර වෙන්න...! ඒ මොකට ද...?’’

ඇය විමසුවේ මෙතෙක් නිකුත් කළ හඬට වඩා මඳක් තියුණු හඬකිනි.

එවර ප්‍රතිෂ්ඨ ඔහුගේ දකුණතේ දබරැගිල්ල තැබුවේ ඉදී රත්පැහැ ගැන්වූ වෙරළු පතක පැහැයෙන් දිදුලන සචේතනිගේ දෙලවන් මත ය.

‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’

ඇගේ දෙලවන් මත තැබූ ප්‍රතිෂ්ඨගේ දබරැගිල්ල මඳක් තෙරපමින් ම ඔහු පැවසී ය.

‘‘සොරි සොරි... ඒ මොකට ද මං ආඩම්බර වෙන්නෙ...?’’

ඇය යළිත් එයම විමසුවා ය.

‘‘මේ බලන්න...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඔහුගේ සටහන් පොත දිගැර එහි ලියු යම් සටහනක් සචේතනී වෙත පා ‘‘බලන්න ඔයාට අමතක වෙච්ච පොතේ නම මේ නම් අතර තියෙනව ද කියල,’’ යැයි පවසමින් ම සටහන් පොත ඇය අත පත්කළේ ය; ඇය සටහන් පොතේ ලියා තිබූ නම් මත ඇගේ දැස් තබන අතර ම එම නම සිතෙන් කියවූවා ය.

 

‘සිදත් සඟරා රසවිඳුම

ගුත්තිල ඇදුරිඳු සාධාරණ ද

සිංහල භාෂාවේ අලංකාරය

සිංහල ව්‍යාකරණයේ වෙසෙස් ලක්ෂණ’

 

‘‘හරියට හරි... මේක තමයි පොත... මේක තමයි පොත...’’

තත්පර කිහිපයක් සටහන් පොත මත අලවා තිබු ඇගේ දෙනෙත් එක්වර ම ප්‍රතිෂ්ටගේ උවන දෙසට විසිවිය. එසැණින් ම ප්‍රතිෂ්ඨ යළි ඔහුගේ දකුණතේ දබරැගිල්ල ඔසවනවාත් සමග ම ‘‘සොරි සොරි’’ යැයි පැවසූ සචේතනී නිහඬ වුවා ය; එහෙත් ඇගේ උවන පුරා පිච්ච මල් පිරි සිතුවමක් ඇඳී තිබිණ. ඇය ද නොදැනුවත්ව ම ඇගේ දෑත ම ප්‍රතිෂ්ඨගේ දෑත් තරයේ අල්ලාගෙන සිටියා ය. ඇගේ සතුට නිමි හිම් නොමැති බවත්, ඇගේ සිතේ පවතින දෑ පවසා ගැනීමට නොහැකිව ඇය තාවර වන බවත් ප්‍රතිෂ්ඨට වැටහිණ.

‘‘සචේති... අපි පල්ලෙහාට ගිහින් තේකක් බොමු ද...?’’

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ තේ පානය කිරීමේ අටියෙන් ම පමණක් නොවේ. ඇතැම් විට සචේතනීට ද එය වැටහුණා වන්නට පිළිවන. එසේ නොවන්නට ද පිළිවන. කෙසේ නමුත් ඇය ප්‍රතිෂ්ඨගේ ආරාධනය පිළිගත්තා ය.

‘‘හම්ම්ම්... යමු යමු... මමත් මේ බලාගෙන හිටියෙ ඔයා පල්ලෙහාට යන්න කතා කරනකම්ම තමයි.’’

සචේති පැවසුවේ ඇය බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් උදා වූ සේ ය.

‘‘ඒ මොකද අප්පේ ඒ...?’’

සචේති වෙතින් එවන් පිළිතුරක් බලාපොරොත්තු නොවූ ප්‍රතිෂ්ඨ විමසී ය.

‘‘මොකට ද කියල කියන්න ඉතිං අපි පල්ලෙහාට යන්න එපාය...’’ යැයි පැවසූ සචේති ප්‍රතිෂ්ඨගේ දෑත් අතහැර අසුන්ගෙන සිටි අසුනෙන් නැගිට, එම ශාලාවට මීට පෙර පැමිණ ඇති පුරුදුකාරියක සේ පියගැට පෙළ ආසන්නයට ගමන් කළා ය. කිසිවක් නිශ්චය කරගත නොහී ව්‍යාකුලත්වයට පත්වූ ප්‍රතිෂ්ඨ ද සටහන් පොත ද රැගෙන ඇගේ සෙවණල්ල සේ ඇය පසුපස ඇදිණ.

ඉවර නෑ...

Trans+National New Left MagazineOpiuma Left'හිතුවක්කාර වරා මල' දැන් පාඨක ඔබ  අබියස- ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022/04/19

 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 
The Leader TV අද වීඩියෝ 


 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58