1200 x 80 DMirror

 
 

ප්‍රතිෂ්ඨ දුටු දසුනෙන් ඔහු අන්ද මන්ද විය. එහෙත් ඒ කිසිවක් ම පිටතට නොපෙන්වූ හෙතෙම හැකි ඉක්මනින් සෙවුම් කාමරය වෙත පියනැගී ය.

 

ඔහුගේ සිත ව්‍යාකූල ය; මනස් කුහරය තුළ කුරුමිණියෙකු එහා මෙහා සක්මන් කරන කලෙක මෙන් හිස වේදනා දෙන්නේ ය. තමා දුටු දසුන විශ්වාස කළ හැකි ද, එය ඔහුගේ මනසේ පිළිබිඹුවක් ද, එසේත් නොවේ නම් සැබැවින් ම එය සිදුවූවා ද යන්න පවා ඔහුට අවිනිශ්චිත ය. ඔහු සිය පර්යේෂණ කටයුතුවල නියැළෙමින් සිටි ස්ථානයට ගොස් පුස් කොළ පොත දිගහැරිය ද ඔහුගේ දෙනෙතට හසුවූයේ එහි සටහන් අකුරු නොව මීට මොහොතකට පෙර දුටු දසුන ය.

girl on the bike unknown

‘කවුද ඒ කොල්ල... ඌ කොහොම ද ඒකිගෙ බයික් එක පැදගෙන ආවෙ... අනෙක ඒකි වාඩිවෙලා ගියපු විදිය... මට හොඳට ම ෂුවර් උදේ ඒකි ආවෙ තනිය ම... එතකොට අරූ කොයි වෙලාවෙද ආවෙ... ඌ එන්න ඇත්තෙ පයිං... ඇවිත් මේකි එනකං පාර්ක් එකේ ඉන්නැති. එහෙම නං ඌ ආවෙ කොයි වෙලාවෙ ද... ඒකිට කෝල් එකක්කත් ආවෙ නෑනෙ... සමහර විට SMS එකක් ආවද දන්නැ නෙ... ඒකිට යන්න හදිසි උණේ ඒ හිංද ද දන්නැ නෙ... ඒකි මාව ඇන්දුව ද... එහෙම නැත්නං මං ම ඇඳගත්ත ද... බලමු... කොහොම උනත් ඒකි හෙට එන්න එපායැ...’

ප්‍රශ්න ගොන්නක් මනස තුළ පුරවාගෙන, ඒ ප්‍රශ්න එකිනෙක වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන, ඊට අදාළ පිළිතුරු තමන් ම සොයාගත යුතු මොහොතක පර්යේෂණ කටයුත්තේ යෙදිය නොහැකි බව වටහා ගත් ප්‍රතිෂ්ඨ ‘ෂිහ්... මට නිකමට හරි ෆෝන් නම්බර් එක ඉල්ලගන්න බැරි උණා නෙ... එහෙම උණා නං කෝල් එකක්කත් දෙන්න තිබ්බ... දැන්නං වැඩ කරන්න බෑ අප්ප...’ යැයි සිතු හෙතෙම පර්යේෂණය සඳහා ලබාගත් පුස් කොළ පොත අදාළ අංශයට බාර දී, තම ගමන් මල්ල ද රැගෙන පර්යේෂණ කාමරයෙන් බැහැර විය.

******

සුපුරුදු පරිදි ලේඛනාගාරයට පැමිණි ප්‍රතිෂ්ඨ අවසර පත්‍රය ලබාගැනීම සඳහා පෝලිමට එක් වූයේ එහි සිටි හැම කාන්තාවකගේ ම උවන දෙස බලාපොරොත්තු සහගත බැල්මක් හෙළමිනි. ඔහුගේ නෙත ගැටෙන කාන්තාව කවුරුන් වුව ද ඇගේ රුව ඔහුගේ දෙනෙතේ සටහන් වූයේ සචේතනීගේ රුව ලෙසිනි. පෝලිමේ තමන්ට හිමි තැන දක්වා ගමන් කළ ද සැබැවින් ම සචේතනීගේ උවනේ සිරි විඳීමට අපොහොසත් වූ ප්‍රතිෂ්ඨගේ මනසේ එක් වරම සිතුවම් වූයේ ජනක මහබෙල්ලන කවියාගේ සංයුක්ත කවියකි.

Exif_JPEG_420

 

මෙතෙක් කවියකින් පමණක් විඳ තිබූ ඒ අත්දැකීම මේ මොහොතේ සැබැවින් ම අත්විඳීමට සිදුවේ යැයි ඔහු කිසිදු දිනක නොසිතී ය; ප්‍රාර්ථනා ද නොකළේ ය. නමුදු මේ දැන් මොහොතකට පෙර ඔහු එය සැබැවින් ම අත්විඳී ය.

 

ප්‍රතිෂ්ඨ කෙමෙන් කෙමන් ඉදිරියට ගමන් කරන විට ඔහුට පිටුපසින් තව තවත් පිරිස එක්වූහ. එහෙත් බලාපොරොත්තු වූ රූපකාය තවමත් ඔහුගේ දෙනෙත් ඉදිරියේ පෙනී නොසිටි බැවින් හෙතෙම පෝලිමෙන් බැහැර වන්නට පවා අදහස් කළේ ය. ඔහු ඉදිරියෙන් සිටි පිරිස එකා බැගින් ලේඛනාගාරය තුළට ඇතුළු වන සැම මොහොතක් පාසා ම ඔහුගේ හදවතේ රිද්මය වේගවත් විය. දැන් දැන් පෝලිමෙන් ඉවත්ව ගොස් කෙළවරේ ම යළි සිටගත යුතුයැයි ඔහුට සිතිණ.

‘‘මොකක්...! මෙතනින් ගිහිං ආයෙ පෝළිමේ කෙළවරට එකතු වෙන්න. උඹ එහෙම ආපහු ගියොත් මේ මිනිස්සු හිතාවි උඹට පිස්සු කියල. පිස්සු කෙළිං නැතුව ඔන්න ඔහොම හිටහං තව හතරදෙනයි නෙ... ඒ හතරදෙනා යන්න කලිං ඒකි ඒවි. ඒක මට ෂුවර්...’’

කිසිවකු තම සවන් අබියස සිට රහස් හඬින් එසේ පවසනු ප්‍රතිෂ්ඨට ඇසිණ. ඒ කවුදැයි බලන්නට හිස දකුණු පසට හරවනවාත් සමග ම පෙරදා ඇය පැමිණි ස්කූටරය ලේඛනාගාරයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු විය. එහෙත් ඊයේ මෙන් එය පදවාගෙන ආවේ ඇය නොව පිරිමි සිරුරකි; කඩවසම් තරුණ පිරිමි සිරුරකි.

ස්කූටරය පෝලිමේ කෙළවරින් ම නතර විණ; පිටුපස අසුන් ගෙන සිටි කාන්තා රූපකාය ස්කුටරයෙන් බැස, හිස් වැසුම ගලවා ස්කුටරය පදවාගෙන ආ තරුණ රූපකාය වෙත බාර දෙන අන්දමත්, ඔහු එය අතට ගෙන, එහි පටි දෙකෙළවර සම්බන්ධ කර ඔහුගේ දකුණතෙහි රඳවාගන්නා විට ම ‘‘කෝ ඊළඟ එන්න... කෝ... ඔය මහත්තය කොහේද බලාගෙන ඉන්නෙ... තව කට්ටිය පෝලිමේ ඉන්නවනෙ මහත්තයො... කොහ්... ගන්න ගන්න... ඉක්මනට අයිඩෙන්ටි එක ගන්න,’’ යැයි ආරක්ෂක නිලධාරිනිය සිය බලපරාක්‍රමය පතුරවමින් ගිගුරුවා ය. ප්‍රතිෂ්ඨ පියවි සිහියට පැමිණියේ ඒ මොහොතේ ය. ඔහු වහාම තම පසුම්බිය අතට ගෙන එහි තිබූ ඔහුගේ ජාතික හැඳුනුම්පත ආරක්ෂක කුටිය තුළ සිටි ආරක්ෂක නිලධාරියා වෙත දිගු කර නැවත ආපසු හැරී බැලී ය. ඒ වන විට ස්කුටරය එහි නොතිබිණ. පෝලිමේ කෙළවර බැලීමට නම් ආරක්ෂක කුටියෙන් පිටතට පැමිණිය යුතු ය.

‘‘ආ මහත්තයො... මෙතන අත්සනක් දාන්න,’’ යැයි පැවසු ආරක්ෂක නිලධාරියා පැමිණීමේ ලේඛනයේ ස්ථානයක් වෙත ඔහු අත තිබු පෑන තැබී ය. ප්‍රතිෂ්ඨ බලාපොරොත්තුවෙන් සිටියේ ද ඒ මොහොත ය. වහා තම කෙටි අත්සන යොදා අවසර පත ලබාගත් ඔහු ආරක්ෂක කුටියෙන් පිටතට විත් පෝලිම දෙස අවධානය යොමු කළේ ය.

ee83edaac1eb4cb8e0e20ec94aecbf2a

පෝලිමේ රැඳී සිටින මිනිස් රූපකායවල පැතිකඩ රූ එකිනෙක සිය දෑසින් අල්ලාගත් ප්‍රතිෂ්ඨ එසැණින් එය අතහැර දැමුවේ තමාට අවැසි රුව තවමත් ඇස නොගැටුණ බැවිනි. තව දුරටත් සිය දෙනෙත් පෝලිමේ පසුපසට ගමන් කරවන විට එක්වරම නෙත ගැටුණු: කළු පැහැති ඩෙනිම් කලිසමත්, කහ පැහැති බ්ලවුසයත් ඇඳි පැතිකඩ කාන්තා රූපකාය අබියස ඔහුගේ දෙනෙත් නතර විය. ඒ රූපකායේ උවන සම්පූර්ණයෙන් දිස් නොවුණ ද, සිය දෙනෙත් තුළ සිතුවම්ව පවත්නා  පැතිකඩ රුවේ උවනතින් සහ දකුණතින් විහිදෙන ළා තැඹිළි පැහැයත්, ඉඟ පෙදෙසේ සිට පාදයේ අකවට දක්වා සිරවී තිබෙන ඩෙනිම් කලිසමේ පැතිකඩ දසුනත්, උරිසේ එල්ලී සිටින අත් බැගයත් ඒ රූපකාය කාගේදැයි ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සැපයි ය.

‘ම්ම්ම්... ගිහින් කතා කරනව ද... එක්කො ඕන්නෑ... මොනවත් නොදන්න ගානට ගිහිං ලොබි එකේ වාඩිවෙලා ඉන්න ඕනෙ. බලමු ඇවිත් මොනවද කියන්නෙ කියල,’ යැයි සිතමින් ම ලේඛනාගාරය තුළට ප්‍රවිෂ්ට වූ ප්‍රතිෂ්ඨ එහි ආලින්දයේ තිබූ සෝපා කට්ටලයේ, ප්‍රවේශ දොරටුවට මුහුණලා ඇති අසුනක අසුන් ගත්තේ ලේඛනාගාරයට ප්‍රවේශ වන ඕනෑම කෙනෙකුට සම්මුඛ වන ලෙසිනි; එතැන් සිට ඔහුගේ දෙනත් අලවා තිබුණේ  ප්‍රවේශ දොරටුවේ හිස් අවකාශයේ ය.

 

කාලය, ප්‍රතිෂ්ඨ පසුකර ගෙවී ගියේ මිනිත්තු පකටත් අඩු ප්‍රමාණයකි. ප්‍රවේශ දොරටුවේ හිස් අවකාශයේ අලවා තිබූ ප්‍රතිෂ්ඨගේ දෙනෙත් එක් වරම චංචල විය. ඒ, ඔහු මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි රුව තම දෙනෙත් තුළ සිතුවම් වූ බැවිණි. ඔහු, සෙල් රුවක් සේ නිසලව ම හිඳිමින් ප්‍රවේශ දොරටුවෙන් ඇදි එන සූර්ය කදම්බ අතරින් තමා කරා ඇදෙන සචේතනීගේ රූ සිරිය විඳගත්තේ මනසින් මිස දෙනෙතින් නොවේ. ඒ, ඇගේ රුවට පිටුපසින් ඇදි ආ සූර්ය කදම්බ ඒ රුපකායේ ඉදිරිපස අඩ මුවා කර තිබූ බැවිනි. නමුදු සචේතනිට ප්‍රතිෂ්ඨ දිස් වූයේ ඊට විරුද්ධ ලෙසිනි. ඇයට, ඇය දෙස නෙත් නොසලා බලාසිටින ප්‍රතිෂ්ඨගේ රුව මැනවින් ප්‍රදර්ශනය විය; ඇය ද කුඩා දරුවකු සිය මව, පියා හෝ සමීපතම ඥාතියකු ඈතින් එනු දුටු මොහොතේ අදාළ පුද්ගලයා දෙසට ඇදි යන්නා සේ ඍජුව ම ප්‍රතිෂ්ඨ අසුන්ගෙන සිටි සෝපා කට්ටලය දෙසට ඇදී ආවා ය.

 

සචේතනී ආලින්දයේ මඳ දුරක් පැමිණි පසු එතුළ දල්වා තිබු විදුලි පහන් ආලෝකය ඇගේ රූපකාය තම ග්‍රහණයට නතු කරගත් බැවින් ඒ ආලෝකය පරාවර්තනය වී ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළ තැන්පත් විය; දැන් ප්‍රතිෂ්ඨට ඇගේ රූසිරිය මැනවින් දර්ශනය වන්නේ ය. ඒ රුව පෙර දිනටත් වඩා මනරම් ය; සිත්කලු ය; ආකර්ෂණීය ය. සෝපා කට්ටලයට ආසන්න වී සචේතනී එතෙක් පැමිණි ගමන් වේගය මඳක් වේගවත් කර ප්‍රතිෂ්ඨ දෙසට ඇදෙන බව දුටු ඔහු අසුනෙන් නැගී සිටියේ කුඩා අවධියේ ඔහු ඉදිරියට: සිය දෙමාපියන්, වැඩිහිටියෙකු, ගුරුවරයෙකු හෝ ගුරුවරියක පැමිණ මොහොතේ අසුනෙන් නැගි සිටියා සේ ය. එය ඔහු සිතා මතා කළ දෙයක් නොව ස්වයං සිද්ධියකි.

පළමුවෙන් ම වදන් මුදා හළේ ඇය යි.

‘‘ගුඩ් මෝනිං...!  ඔයා ඇවිත් හුඟක් වෙලා ද...?’’ යැයි ඇය විමසන විට ඇගේ ළා තැඹිලි පැහැ උවනතේ ඇලී තිබූ ඉදී රත් පැහැ ගැන්වුණු වෙරළු කොළය මැදින් විවර වනවාත් සමග ම එතුළින් ඇගේ ස්වේත වර්ණැති දත් පෙළ දිස්වූයෙන් උවනතේ පැහැය තව තවත් වර්ණවත් විය.

‘‘ආ... ගුඩ් මෝනිං... න්.. න්... නැ නෑ... දැන් ටිකක් වෙලා... ඒත් මං බැලුව පරක්කු මොකද කියල...’’

ප්‍රතිෂ්ඨ එක් වරම වදන් මුදා හලේ තරමක ව්‍යාකුල ස්වභාවයෙනි.

‘‘මොකද මේ... නිකං බයවෙලා වගේ... එක පාට්ට ම මාව අදුරගන්න බැරි උණා ද... එහෙම නැත්නං වෙන කල්පනාවක හිටිය ද...?’’

ඇය විමසුවේ ප්‍රතිෂ්ඨගේ හැසිරීම් ස්වභාවය නිවැරැදිව ම  අවබෝධ කරගත්තියක සේ ය.

‘‘න්...න්... නෑ... ඇත්තට ම මං හිටියෙ වෙන කල්පනාවක. එත්...’’

ප්‍රතිෂ්ඨ තවත් යමක් පවසන්නට යත්න දරන විට ම ‘‘ඇයි... ඇයි... මේ ඒතත් කියල නැවැත්තුවෙ... ඔයාට මොනව හරි හදිසි වැඩක් යෙදිල ද... එහෙම නං කමක් නෑ ප්‍රතිෂ්ඨ අපි වෙන දවසක් දාගමු. අවුලක් නෑ,’’යැයි පැවසූ සචේතනී සෝපා අසුනක අසුන් ගත්තා ය.

‘‘නෑ නෑ... එහෙම දෙයක් නෙවෙයි සචේති මං කල්පනා කරේ ඔයාගෙ වැඩේ ගැන ම තමයි. අපි අද දවස ඇතුළත මේ වැඩේ පුළුවන් තරං ඉවරයක් කරගන්න බලමු... යං... මං කෝකටත් රිසර්ච් රූම් එකට ගිහින් මේ බෑග් එක තියල එන්නං. එතකං ඔයා පල්ලෙහා ඉන්න,’’ යැයි ප්‍රතිෂ්ඨ පවසන විට සචේතනි අසුන්ගෙන මිනිත්තුවක් හෝ ඉක්ම ගොස් නොතිබිණ.

ප්‍රතිෂ්ඨගේ අදහසට එකඟතාව පළ කළ සචේතනී, ඉඳ සිටි අසුනෙන් නැගී සිටින විටත් ප්‍රතිෂ්ඨ අඩි කිහිපයක් ගමන් කර තිබිණ.

‘‘මේහ්... දැං ඔයා මොකද්ද ඔය කරන්න හදන්නෙ...?’’ යැයි විමසමින් ම ප්‍රතිෂ්ඨ පසු පස දිව ආ සචේතනී ඇගේ දකුණතින් ඔහුගේ වම් උරිස තෙරපුවා ය.

 

10845097 2 ad never easy1

 

ඇඳ සිටි කමිසය ද, මේස් බැනියම ද විනිවිදිමින් සිරුර තුළට ඇතුළු වූ විදුලි දහරාවක් සමස්ත සිරුර ම වෙළාගත්තා බඳු හැඟීමක් ප්‍රතිෂ්ඨට දැනුණ ද හෙතෙම ඒ හැඟීම, මිහිරියාව අංශු මාත්‍රයක් හෝ පිළිබිඹු නොකරමින් ‘‘එන්නකො යන්න මාත් එක්ක,’’ යැයි පවසන අතර ම වේගය ද මඳක් වැඩි කර සෙවුම් කාමරයට ප්‍රවේශ වන පියගැට පෙළ දක්වා පැමිණ ආපසු හැරී බැලී ය; කුඩා දරුවකු සිය මව පුපස හෝ පියා පසුපස... එසේත් නොමැති නම් පෙම්වතාගේ පසු පස යන පෙම්වතියක සේ සචේතනී ප්‍රතිෂ්ඨ පසුපසින් ඔහු ආසන්නයේ ම නතර වූවා ය.

‘‘ඔයා ඔහොම්ම ඉන්න. මං මේක කබඩ් එකෙන් තියල ටක් ගාල එන්නං,’’ යැයි පවසා මඳක් වේගයෙන් පියගැට පෙළ නැගී ය.

‘අනේ මංද... මට තේරෙන් නෑ මෙයා මොකද්ද කරන්න හදන්නෙ කියල. කොහොම උනත් රැවටීමක් කරන්නෙ නෑ කියල නං විශ්වාසයි. ඒත්... අද මෙයාගෙ හැසිරීම හරි ගුප්තයි වගේ. අනික ඊයෙ තරම් ම මට ක්ලෝස් නෑ වගෙත් දැනෙනව.’

‘‘යං... අපි යං...’’

කිසිවකු තමාගේ පිටුපස සිට පවසන හඬින් පියවි ලොවට පිවිසි සචේතනී ‘‘අහ්... යන්න...! කොහේද...?’’ යැයි විමසුවේ නාඳුනන කෙනෙකුගෙන් විමසන ලෙසිනි.

‘‘කොහේද...? කොහේද නෙවෙයි... ඔයාට ඕන කරන පොත හොයාගන්න... යං යං...’’

 

ප්‍රතිෂ්ඨ පවසන්නේ මොනවා ද යන්න නිසියාකාරව වටහා ගැනීමට අපොහොසත් වී සිටින සචේතනී ප්‍රතිෂ්ඨගේ දෙනෙත් ඇගේ දෙනෙතින් සිර කරගෙන ම අනිමිස ලෝචනයක යෙදුණා ය. ඇය ව්‍යාකූලත්වයට පත්ව ඇති බව වටහා ගත් ප්‍රතිෂ්ඨ ඇගේ ගෙල පිටුපසට මදක් පහළින් අත තබා, ඉතා සෙමෙන් ඉදිරියට තල්ලු කළේ ය.

 

‘‘යං... මේ ගොඩනැගිල්ලට එහා පැත්තෙ තියෙන්නෙත් පොත් ආකරයක්. ඔයා ඒක දන්නැද්ද...?’’ යැයි විමසන විට ඇය ද නොදැනුවත්ව ම ඇය ප්‍රතිෂ්ඨට සමාන්තරව ඉදිරියට ගමන් කරමින් සිටියා ය.

‘‘ඒ මොකද්ද...? මට තේරුන්නෑ...’’

ඉදිරියට ගමන් කරන අතර ම ප්‍රතිෂ්ඨගේ උවන දෙස සැක මුසු බැල්මක් හෙළූ සචේතනී විමසුවා ය.

‘‘ඇයි ළමයො... ඔයා අහල නැද්ද ජාතික පුස්තකාලෙ... අන්න අර පේන්නෙ ඒක තමයි. දැන් අපි යන්න ඕනෙ එතෙන්ට.’’

ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ ඔහුගේ වමතේ දබරඟිල්ල, ඔවුන් ඉදිරියේ පිහිටි ගොඩනැගිල්ලක් දෙස එල්ලකරමින් සචේතනිගේ සිරුරේ ස්පර්ශ වන නොවන තරමට ආසන්න වෙමිනි.

‘‘ආ... මමත් අහල නං තියෙනව... හැබැයි ගිහිං නෑ... ඕකට ම නේද ප්‍රලේඛනාගාරෙ කියල කියන්නෙත්...?’’ යැයි විමසුවේ ඇය ද ඒ පිළිබඳ යම් තරමක් දන්නා බවට ඉඟි කරමිනි.

new york city public library rose reading room christopher arndt

‘‘ආ... ඔවු ඔවු... ඒකෙ නිල නාමය නං ‘ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලය’ තමයි. ඉතිං සමහර අය ජාතික පුස්තකාලෙ කියනව... තවත් සමහර අය ප්‍රලේඛනාගාරය කියල කියනව. කොහොම කිව්වත් ලංකාවෙ ප්‍රකාශනයට පත් වෙච්ච වගේ ම අනාගතයෙත් ප්‍රකාශනයට පත් වෙන හැම පොතක් ම මෙතනට එනව.’’

‘‘එතකොට ඔයා කියන්නෙ අපි හොයන පොතත් ඔතන ඇති කියල ද...?’’

යන ගමන මඳක් නැවතූ සචේතනී ප්‍රහර්ෂණීය ස්මිතයක් උවනේ සිතුවම් කරගනිමින් විමසුවා ය.

‘‘නෑ... අපි හොයන පොත ෂුවර් එකට ම එතන ඇති කියල මං කියන්නෑ. හැබැයි අපිට පොත හොයාගන්න පුළුවන් මාර්ගයක් හම්බ වෙයි කියල නං විශ්වාසයි.’’

සචේතනී නවතිනවාත් සමග ම නැවතුණු ප්‍රතිෂ්ඨ යළි ගමන අරඹන අතර පැවසී ය.

‘‘කොහොම හරි කමක් නෑ ප්‍රතිෂ්ඨ... මට මගේ යාළුව වෙනුවෙන් මේ වැඩේ කරගන්න ම වෙනව. ඒ වෙනුවෙන් කීයක් වියදං උනත් කමක් නෑ.’’

සචේතනී පැවසුවේ: අවිහිංසක සහ ආයාචනාත්මක බැල්මක් ප්‍රතිෂ්ට වෙත හෙළමිනි.

‘‘කීයක් ගියත් කමක් නෑ...! ඔයා හිතනව ද මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න පුළුවන් වැඩක් කියල...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ මිට මොහොතකට පෙර සචේතනී ගමන නතර කළ ආකාරයට ම සැණින් ගමන නවතමිනි.

‘‘ඒ කිව්වෙ ප්‍රතිෂ්ඨ...? මට පැහැදිලි නෑ...’’

ඇය එසේ විමසන විට ඇගේ දෙනෙත් අඩවන් විණ; වුවනතේ සටහන් වූයේ සමාව අයදින ස්වරූපයකි.

‘‘මෙහෙමයි සචේති... සල්ලිවලට කරන්න පුළුවන් වැඩත් තියෙනව. ඒ වගේ ම සල්ලිවලින් විතරක් ම කරන්න බැරි වැඩත් තියෙනව. මේ වැඩේ එහෙම වැඩක්. ඒ නිසා සල්ලි ඉස්සරහට දාන්නෙ නැතුව අපි වැඩේට අතගහමු.

දෙබස අවසන් වන විට ඔවුන් ජාතික පුස්තකාලයේ ප්‍රවේශාගාරය ආසන්නයට ම පැමිණ තිබිණ. එහි ආලින්දයට ගමන් කළ යුත්තේ පිළිගැනීමේ නිලධාරිනිය පසු කරමිනි. ඔවුන් දෙපළ එම ස්ථානය පසු කරනවාත් සමග ම ‘‘ ප්‍රතිෂ්ඨ සර්... මොකද මේ අහක බලාගෙන ම... අපිත් එක්ක තරහ වෙලා ද... හුඟක් දවසකිං මේ පැත්තෙ ආවෙත් නෑ නේද...?’’ යැයි විමසමින් කාන්තා මුවකින් විසිකළ ප්‍රශ්නාවලියක් ම සවන් තුළට ඇතුළු වුයේ දෙදෙනා ම විමතියට පත් කරමිනි.

ඉවර නෑ...



Trans+National New Left MagazineOpiuma Left'හිතුවක්කාර වරා මල' දැන් පාඨක ඔබ  අබියස- ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58