‘නෑ අම්ම... මට එහෙම විශේෂ අසනීපයක් නෑ. ඇත්තට ම ඒ වෙලාවෙ උණේ මොනවද කියල මමවත් දන්නෑ අම්මෙ... කෝ... අපේ එකෙක්කත් මොකවත්

කියන්නෙත් නෑ නෙ අම්මෙ. දැන්නං මට කිසිම ලෙඩක් නෑ අම්මෙ... මට බඩගිනියි... අපි කෑම කමුද අම්මෙ...?’’

Museo Nacional de Bellas Artesඇගේ ඇකයෙන් හිස ඔසවාගත් මා ඇය මෙන් ම ඇගේ එක් කොපුලක් සිපගෙන නැගී සිටියා ය. ඒ සමග ම අම්මා සාලයේ තබා ආ ඇගේ අත්බෑගයේ තිබෙන ජංගම දුරකතනය නාද විය.

‘‘හරි... දුව කෑමට ලේස්ති වෙන්නකො... මං කෝල් එකත් බලල වොෂ් එකක් දාගෙන එන්නං’’ යැයි පැවසූ අම්මා කඩිනමින් ගොස් දුරකතනය විවෘත කළා ය.

‘‘හෙලෝ...’’

‘‘... ...’’

‘‘ආ... ඔවු ටීචර්... කියන්න’’

‘‘... ... ... ’’

‘‘හම්... මොනව...!’’

‘‘... ... ... ...’’

‘‘එහෙනං... මොකද්ද වෙලා තියෙන්නෙ...?’’

‘‘... ... ...  ... ... ...’’

‘‘හරි ටීචර්... හරි... නෑ ටීචර්... එහෙම මොකුත් දැනගන්න තියන්නෑ ටීචර්...’’

‘‘... ... .... ...’’

‘‘හරි ටිචර්...මං එන්නං... තැන්ක් යූ කතා කරාට වගේ ම උදව් කරාට... ඕ කේ...’’

අනිවාර්යයෙන් ම අනෙක් පසින් කතා කළේ කාංචනා මිස් විය යුතු ය. ඇය පවසන්නේ මොනවා දැයි නෑසුණ ද අම්මා දුරකතනයට සවන් දුන් ආකාරය සහ ඇගේ වදන්වල හඬ කියා පෑවේ කුමක් හෝ බරපතළ යමක් සිදු වී ඇති බවයි.

‘‘දුව... දුව... ඔයා තවම කාමරේ ද...?’’

අම්මා යළි කතා කරන හඬ සවනත වැකුණ ද මා එය නැසුණා සේ තත්පර කිහිපයක් ගතකළේ ඇගේ කතාවට මා සවන් දෙන්නට ඇතියි සැක සිතාවි ය යන අදහසෙනි. එවර අම්මා කතා කරේ දොරට ද තට්ටු කරමිනි.

‘‘ඇයි අම්මා... මමත් මේ වොෂ් එකක් දාගන්න යන්න හැදුවෙ.’’

මා පැවසුවේ මුසාවකි. නමුදු මේ මොහොතේ කළ හැකි අන් කිසිවක් ම නොමැත.

‘‘ආ... හරි හරි... මාත් ඉක්මනට ම වොෂ් එකක් දාගෙන එන්නං...’’

 

අම්මා මා සමග හුවමාරු කරගත් වදන් මුදාහරින මොහොතේ නම් දුරකතන ඇමතුමට වදන් මුදා හැරි තරම් බරසාර බවක් නොදැනිණ. ඒ මොහොතේ මා ඇමතුවේ මගේ ම අම්මා ය; සුපුරුදු ආදරණීය වදනින් මා අමතන මගේ ම අම්මා ය.

 

******

Phone Call, oil on canvas by Julian Cardinal - L'Atelier 55‘මොකද තවම අම්මගෙන් කෝල් එකක් නැත්තෙ... අම්ම කිව්වෙ නං ස්කොලෙට ගිහිං එතන සිද්ද වෙන දේ මොකද්ද කියල මට කෝල් කරන්නං කියල. අද ස්කෝලෙ නොයන්නෙ මොකද කියල තාත්ත ඇහුවොත් සනීප නැති නිසා කියල බොරුවක් කියන්න කිව්වෙත් අම්ම. අමෝද්‍ය සර්රුත් බලනව ඇති අද මං ආවෙ නැත්තෙ ඇයි කියල. ඊට හපං පංතියෙ එවුං... ඇත්තට ම මට ඊයෙ මොකද උණේ... ඇයි ඒ ගැන දුලීකවත් කිසිම ඉඟියක්කත් දුන්නෙ නැත්තෙ... අනේ මංද... මටනං පිස්සු වගේ...’

 

සිතුවිලි සාගරයක කිමිද සිටි මා පියවි ලොවට පිවිසියේ නිවසේ දුරකතනය නාද වන හඬිනි. නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල පමණක් නොව සිටින අවස්ථාවක දී වුව ද එම දුරකතනයට පිළිතුරු සපයන්නේ කමල ඇන්ටී ය. මේ මොහොතේ ද ඇය කුස්සියේ සිටින්නේ නම් එහි තිබෙන ඉන්ටර් කොම් දුරකතනයට පිළිතුර දෙනු ඇත. එසේත් නොමැති නම් මේ වන විටත් සිටින තැනක සිට සාලය වෙත දිව එනු ඇත. ඒ අවස්ථා දෙක ම මේ දැන් මගේ මනසේ සිතුවම් වෙමින් පවතී. ක්ෂණිකව ම ඒ සිතුවම් දෙක අතරින් මතුවූවේ වෙනත් ම සිතුවමකි.

 

‘‘බේබි... බේබි... මේ මැඩම්ගෙන් කෝල් එකක්’’

දෙසවන් ආක්‍රමණය කළේ කමල ඇන්ටීගේ හඬයි. එය සැබෑ ලෝකයේ දී ඇසුණ හඬක් නොව සිහිනයෙන් ඇසුණ හඬක් යැයි උපකල්පනය කළ මම මෙතෙක් ඇඳ මත දිගාවී සිටි ඉරියව්ව වෙනස් කරමින් යළි දැස් පියාගන්නට උත්සාහ කළෙමි.

‘‘ටක් ටක් ටක්...’’

ඒ කිසිවකු දොරට ගසන හඬ ය...

‘‘බේබී... බේබී... ඔයා නිදි ද බේබි...? මේ දොර අරින්න. ලොකු මැඩම්ගෙන් කෝල් එකක්... ඉක්මනට ආන්සර් කරන්න බේබි.’’

එවර මගේ දෙසවන් කරා ඇතුළු වූයේ කමල ඇන්ටීගේ කටහඬ පමණක් නොවේ. ඇය කිහිප වතාවක් ම දොරට තට්ටු කරන හඬ ද යළි යළිත් මගේ දෙසවන් ආක්‍රමණය කළේ ය. මා ඇඳෙන් ගැගිට්ටා නොව ස්වයංක්‍රීයව ම නැගිටී දොර අබියසට ද යැවිණ. වහා දොර විවර කළ මා කමල ඇන්ටී අත තිබූ වයර්ලස් දුරකතනය අතට ලෙන සවන කරා යොමු කළේ අසිහියෙන් මෙනි.

‘‘අම්මා...’’

‘‘ආ... දුව... දුව මෙතන වැඩේ නං ඉවරයි. මං හිතාගෙන හිටියෙ මේ වැඩේ ඉවර වෙලා ඉස්කෝලෙට යනව කියල. ඒ උනාට දුව මං ඉස්කොලෙට ගිහිං දහයට විතර එන්නං. අපි ඇවිත් කතාකරමුකො...’’

මගේ අම්මා සුපුරුදු ස්නේහ ලීලාවෙන් ම මා ඇමතීම අදහාගත නොහැකි තරම් ය. එහෙත් ‘දෙයියනේ... මොකද්ද අම්මට මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ... මොනවද ඉස්කෝලෙදි වෙන්න ඇත්තෙ... මොනවද ඉස්සරහට වෙන්න යන්නෙ...’

 

මගේ මනස අවුල් ජාලයකි; ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ නම් පඹගාලකි; පැටලුණ නූල් බෝලයකි; අම්මා එනතෙක් කාලය ගෙවාගන්නේ කෙසේ ද යන්න පවා ගැටලුවකි. එහෙත් ඉවසීම හැර අන් විසඳුමක් පෙනෙන තෙක් මානයක හෝ නොමැත... මේ මොහොතේ පිටස්තර කිසිවකු සම්බන්ධ කරගැනීම අතිශය දුෂ්කර කාර්යයකි.

 

‘කමක් නෑ... වෙන දෙයක් උනාවෙ අම්ම එනකං ම නිදාගන්නව’

******

අමෝද්‍ය සර් මගේ ඇඳ මත වාඩිවී ස්නේහයෙන් මගේ හිස පිරිමදින විට දැනෙන මිහිරියාව වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් ය. එතෙක් අනෙක් පසට හැරී සිටි මා හිස හරවා ඔහු දෙස බලනවාත් සමග ම ‘‘දුවේ... ඔයාට නින්ද ගියා ද...? මට හිතුණ... ඒකයි මං මේ ඔයාගෙ ඔළුව ටිකක් අතගෑවෙ’’ යැයි මා ඇමතුවේ අම්මා ය. මෙතෙක් අමෝද්‍ය සර් සමග සිහින ලෝකයක අතරමංව සිටි මා පියවි සිහිය ලැබුවේ අම්මාගේ මුවෙන් ගලා ආ ස්නේහය මිශ්‍ර වදන් සවන් වෙත ඇතුළු වීමත් සමග ය.

‘දෙවියනේ...! මට හීනෙන් සර්ගෙ නමවත් කියවෙන්න ඇති ද...’

 

10 romantic paintings that stir feelings of love - CNN Style

 

එක්වර ම මගේ සිරුර පුරා සිහින් දා බිඳු මතු වී සමස්ත සිරුර ම දැඩි උණුසුමකින් වෙළි යනවා සේ හැඟිණ. මා මෙතෙක් සිටියේ අමෝද්‍ය සර් අබියස ය. ඔහු මගේ හිස අතගාන විට නින්ද ගියා සේ නිසලව සිටියේ ඒ අත්ලේ පහස සිරුර පුරා විදාරණය වන විට දැනෙන මිහිර විඳගැනීම උදෙසා ය. ඔහු රැටීම තව දුරටත් නොකළ යුතු යැයි අදහස් කළ බැවින් අනෙක් පස හැරී, ඒ දෑස් දෙස බලන්නට සැරසෙනවාත් සමග ම මා අබියස සිටියේ අම්මා ය.

‘‘අම්මා...! ළඟට එනකම්ම දැනුනෙත් නෑ...’’

මා එසේ පවසා නැගිටීමට තැත් කළ ද අම්මා එය වළකාලූවා ය.

‘‘නෑ... ඕනෙ නෑ... දුව ඔහොම්ම ම ඉන්නකො... යැයි පැවසූ ඇය නැගිට ගොස් මගේ පොත් මේසය අසල තිබූ පුටුව රැගෙන විත් ඇඳ අබියස තබා මගේ දෙසට මුහුණ ලා වාඩිවූවා ය.

‘මේක නං සුබ ලකුණක් නෙවෙයි. ඇයි මේ...?’ යැයි මා මගෙන් ම විසන විට ම ‘‘මං දන්නව දැන් ඔයා හිතන දේ... ඔවු... මං දන්නව...’’ යැයි අම්මා පැවසුවේ මගේ හිත කියවූ සාශ්ත්‍රකාරියක ලෙසිනි.

‘‘මොකද්ද අම්මා... මං හිතන දේ කිව්වෙ...?’’

මා එසේ විමසුවේ ඇත්තට ම මේ මොහොත දක්වා මගේ මනසේ ඇඳී තිබූ සිතුවම් මොනවාද යන්න අම්මා දැනගත්තා ද යන අනියත සැකයෙනි.

‘‘නෑ... ඔයා කල්පනා කරේ ඇයි මං පුටුවත් ඇදගෙන මෙතන වාඩි උණේ කියල නෙ... ඒකයි මං ඇහුවෙ...’’

‘අම්මෝ ඇති යංතං...’

‘‘ආ... ඒක මිසක... මං ඒත් බැලුවෙ අම්මට දැන් පරචිත්ත විජානන ඥානයවත් ලැබිල ද කියල,’’ යැයි මා විහිළු ස්වරයෙන් විමසුව ද දියණියකගේ හිතට එබී බලන්නට මවකට ගතවන්නේ ඉතා සුළු කාලයක් බව මා අසා ඇත. මේ, හැබැහින් ම එවන් අවස්ථාවක් දක්නට ලැබෙන මොහොතක් ද යන්න මට හැඟිණ.

 

අම්මා පුටුව මා ඉදිරියෙන් තබා එහි වාඩිවී ඍජුව ම මගේ දෙනෙත් දෙස ඇගේ දෙනෙත් යොමු කළේ ඇගේ දෙනෙතින් මගේ දෙනෙත් සෙලවීමටවත් නොහැකි වන සේ වෙළාගනිමිනි. මට කිසි සේත් ම අම්මාගේ දෙනෙත් මානයෙන් මගේ දෙනෙත් ඉවතට ගැනීමට නොහැකි සේ ම අම්මාට ද ඇගේ දෙනෙත් මගේ දෙනෙත් මානයෙන් ඉවතට ගැනීමට නොහැකි වන සේ එම බැම්ම ශක්තිමත් වී තිබිණ.

 

‘‘අම්මා... ඇයි ඔයා ඔය විදියට මං දිහා බලන්නෙ...?’’ යැයි මා අම්මාගෙන් විමසුවේ තව දුරටත් ඉවසාගත නොහැකි මායිමේ දී ය.

එවිට ඇය ඇගේ දෙනෙත් බිඳකුදු ඉවත නොගෙන ම ස්නේහය මුසු මන්දස්මිතයකින් මුව සරසාගත්තා ය; එසැණින් ම ඇගේ දෙතොල් සෙලවිණ.

‘‘හම්ම්ම්... මං මේ අහන්න හැදුවෙත් ඒක ම තමයි. ඇයි ඔයත් ඔය විදියට මගේ දිහා බලාගෙන ඉන්නෙ...?’’

කිසිදු පිළිතුරක් නොදුන් මම වහා මගේ කඳ ඍජු කර නැගී සිට දෙපා පොළෙවට තබා ඇඳ මත වාඩි වී අම්මාගේ දෑත් මගේ දෑතින් ම අල්ලා ගතිමි; අම්මා යළි මුව විවර කළා ය.

‘‘දුව... දැන් ඔයාට වයස දාහතයි. ඒ නිසා මං ඔයාට දොස් පවරන්න හරි දඬුවම් කරන්න හරි කැමති නෑ. හැබැයි මගේ දුව මං මේ අහන දේට ඇත්ත ම ඇත්ත කියන්න ඕන... තේරුණා ද...?’’

‘දෙවියනේ...! මොනව ද අම්ම මේ කියන්නෙ... අම්මට මොනව හරි ආරංචි වෙලා ද...?’

A Mother Consoling Her Newly Wedded Daughter | Exotic India Artඅම්මා එසේ විමසූ සැණින් මගේ සමස්ත සිරුර ම වෙව්ලා ගියේ නොසිතු මොහොතක නොසිතූ යමකට බියපත් වූ විට සිරුරට දැනෙන හැඟීම ද සහිතව ය.

‘‘අම්මා... ඇයි අම්මා මේ... මං අම්මට බොරු කියල තියෙනව ද...? අහන්න... අම්ම ඕන දෙයක් අහන්න... මං මගේ රත්තරං අම්මට ඇත්ත ම කියනව... ඔවු අම්මෙ... මං මගෙ අම්මට ඇත්ත ම කියනව...’’

මා එසේ පැවසුව ද අමෝද්‍ය සර් පිළිබඳ යමක් විමසුවහොත් අම්මාට ඇත්ත කියන්නේ කෙසේ ද යන ගැටලුව ම’සිත අභ්‍යන්තරයේ ගමන් කරමින් තිබිණ.

‘‘හරි... මං එහෙම නං ඍජුව ම අහන්නං කො... දුව කවුරු හරි පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනව ද...?’’

අම්මා කිසිදු පැකිළීමකින් තොරව ‘කවුරු හරි පිරිමි ළමයෙක් එක්ක’ යැයි විමසන විට සිත තුළ තිබූ බර තරමක් ලිහිල් විය. එහෙත් අසීරු ම අවස්ථාව එළඹ ඇත්තේ දැන් ය.

‘‘අනේ නෑ අම්මා... මම කවුරුවත් පිරිමි ළමයෙක් එක්ක එහෙම සම්බන්ධයක් නෑ... ඇයි අම්මා... කවුරු හරි අම්මට එහෙම දෙයක් කිව්ව ද...?’’ යැයි විමසුවේ මා කිසිවක් ම නොදන්නා ලෙසින් වුව ද මගේ දෙනෙත් තුළ කිසියම් රහසක් ලියවී ඇති බව අම්මාට දැනෙන බව මට හැඟිණ.

‘‘නෑ නෑ... මට කවුරුවත් මොනවත් කිව්වෙ නෑ... හරි... එහෙනං මට කියන්න දුවගෙ හිතේ කවුරු හරි ගැන එහෙම අදහසක් තියෙනව ද... එහෙම නැත්නං දුව ගැන එහෙම අදහසක් කාගෙ හරි හිතේ තියෙනව කියල දුවට දැනෙනව ද...?’’

අම්මා මා වටා දැලක් එළා හමාර ය. එහෙත් මේ මොහොතේ කළ යුත්තේ ඒ දැලෙන් මිදී පලා යාමට දැඟලීම නොව අම්මා ම ඉතා සියුම් ලෙස මා එම දැලෙන් බේරාගන්නා තැනට කටයුතු කිරීම ය.

‘‘අයියෝ අම්මා... මගේ හිතේ එහෙම කවුරුවත් ගැන අදහසක් නෑ අම්මා... හැබැයි ඉතිං කොල්ලො කවුරු කවුරු එහෙම හිතාගෙන ඉන්නව ද කියල නං මං දන්නෙ නෑ... මං තවම අපේ පංතියෙ කොල්ලොයි ක්ලාස්වල කොල්ලොයි ආශ්‍රය කරන්නෙ යාළුවො වගේ...’’

ඇගේ සිත දිනාගැනීමට මා එසේ පැවසුව ද මේ මොහොත වන විට කුමක් හෝ සිදු නොවිය යුතු යමක් සිදු වී ඇති බව නම් මට හොඳට ම විශ්වාස  ය. එහෙත් ඒ පිළිබඳව අම්මාගෙන් කිසිවක් ම ප්‍රශ්න කළ නොහැකි ය; ප්‍රශ්න කිරීම ද නුසුදුසු ය.

‘‘දුව... ඔයා දන්නව නෙ... ඔයා යන ඉස්කෝලෙ ගෑනු පිරිමි දෙගොල්ලොම ඉන්න ඉස්කෝලයක් උනාට මම ප්‍රින්සිපල් විදියට වැඩ කරන ඉස්කෝලෙට එන්නෙ ගැනු ළමයි විතරයි. ඉතිං ඒ ගෑනු ළමයි හැරද්දි මං දන්නව මොකට ද හැරෙන්නෙ කියල. හැබැයි මට මගේ දුවගෙ එහෙම වෙනසක් මෙච්චර කාලෙකට දැකල නෑ... එහෙම දැක්ක කියල මං මේ අනිත් අම්මල වගේ කලබල වෙන්නෙත් නෑ... හැබැයි ඔයා දන්නව නෙ තාත්තගෙ හැටි. ඒ නිසා ඉස්සරහට හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මං දැනට ඔයා විශ්වාස කරනව.’’

අම්මා එසේ පවසන අතර මගේ හිස අතගෑවේ ‘උඹ නොකිව්වට මට උඹව දැනෙනව දුවේ’ යන වදන් පෙළ ඇගේ දෙනෙත්වල සටහන් කරගනිමිනි.

ඉන් ඔබ්බට කිසිවක් ම නොවිමසූ ඈ මගේ කාමරයෙන් ඉවත්ව ගියේ ‘‘හරි... දැන් ඔයාගෙ වැඩක් - පළක් කරගන්න. කොහොමටත් හෙටයි අනිද්දයිත් නිවාඩු නෙ,’’ යැයි පවසමිනි.

****

A Time to Paint | Wall Street International Magazine

කාලය මා පමණක් නොව අප සියලු දෙනා ම පසු කර වේගයෙන් දිව යයි. ඒ අතර තුර අපි සියලු දෙනා ද ඒ පසුපස දිව යන්නෙමු. එසේ දිව යන අතර අපි විවිධ කටයුතුවල නිරතවන්නෙමු. ඒ කටයුතු සියල්ල: හොඳ - නරක, අවශ්‍ය - අනවශ්‍ය, සුදුසු - නුසුදුසු යනාදි වශයෙන් බෙදා වෙන් කර ඇත. එහෙත් මේ සියල්ල එකිනෙකට සාපේක්ෂ ය; ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ අවස්ථාවලට සහ ඒ ඒ සන්දර්භවලට අනුව හොඳ - නරක, සුදුසු - නුසුදුසු හෝ අවශ්‍ය - අනවශ්‍ය යන්න විවිධාකාරයෙන් බලපාන්නේ ය. එය කිසිවෙකුට නිශ්චිත ලෙස බෙදා වෙන් කළ නොහැකි ය; වෙන් කිරීමට ද උත්සාහ නොදැරිය යුතු ය. එළඹෙන තත්පරයෙන් සියයක මොහොතක් වුව කිසිවකුට කිසිදු ආකාරයකින් නිශ්චය කළ නොහැකි ය. එහෙත් අපි ඒ තත්පරයෙන් සියයක කොටස අමතක කර අනාගතය පිළිබඳ දැවැන්ත බලාපොරොත්තු පොදි බැඳගන්නෙමු...

 

‘‘බේබී... බේබී... දොර අරින්න... මෙන්න බේබිගෙ යාළුවෙක් ඇවිත්...’’

ඩයිරිය අතට ගෙන හිතට නැගුණ සිතුවිලි ගොන්නක් අකුරු කරමින් සිටින මොහොතේ දොරට පිටතින් සිට කමල ඇන්ටිගේ හඬ කාමරය තුළට විත් මගේ දෙසවන් තුළට රිංගී ය.

‘යාළුවෙක්...! මේ වෙලාවෙ...!! කවුද මේ වෙලාවෙ මං හම්බවෙන්න එන යාළුව...?’

ඉවර නෑ...

 





jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/03/29




වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්