මැටෙල් සමාගමේ නිෂ්පාදනයක් වන බාර්බි බෝනික්කා සහ ඇගේ පිරිමි සහකරු ගැන කියැවෙන, ග්‍රේටා ගර්විග්ගේ බාර්බි චිත්‍රපටයේ තේමා පාඨය ලියැවී ඇත්තේ "ඇය තමයි හැමදේ ම.

ඔහු නිකම්ම කෙන්," ලෙස ය. අප්‍රේල් මස නිකුත් වූ එම තේමා පාඨය සමාජ මාධ්‍ය තුළ 'මීම්ස්' රැසක් නිර්මාණය වීමට අඩිතාලම සැපයුවේ ය. එය, 1961 වසරේ දී 'කෙන්' නම් චරිතය බිහි වූ දා සිට එතරම් වැදගත් නොවන සහාය චරිතයක් ලෙස පැවතීම යන කරුණ හාස්‍යයට ලක්කළේ ය.

එහෙත්, මෙම සතියේ බාර්බි චිත්‍රපටය වෙත ප්‍රතිචාර ගලා ඒමත් සමග ඊට පරස්පර විරෝධී අදහසක් ඇති කරුණක් ඉස්මතු විය. එනම්, සැමදා සහාය නළුවා වූ ඔහු සැබවින් ම චිත්‍රපටයේ තාරකාව බවට පත් වීම ය. බාර්බිලන්තය තුළ දක්නට ලැබෙන විවිධ ආකාරයේ කෙන්ලා මධ්‍යයේ, මේ රන්වන් පැහැති හිසකෙස් ඇති "සාම්ප්‍රදායික කෙන්" ලෙස රඟ දක්වන රයන් ගොස්ලින් තරම් අන් කිසිවෙකුත් මෙතරම් අවධානයක් දිනාගෙන නොමැත.

චරිතය සඳහා ඔහු මහත් කැපවීමකින් යුතුව භෞතිකව සිදු කරගෙන ඇති වෙනස්කම්වලට (බ්ලීච් කළ රන් පැහැ හිසකෙස්, ව්‍යාජ ලෙස දුඹුරු පැහැ ගන්වන ලද ඡවි වර්ණය, නියෝන් වර්ණ සහිත රෝද සපත්තු පැළඳ ගමන් කරන දර්ශන සඳහා රෝම ඉවත් කරන ලද පාද), සුදුසු ම අවස්ථාවල මතු කරන හාස්‍ය රසයට, සහ ජවසම්පන්න ලෙස ඉදිරිපත් කරන ගීත සහ නර්තන ඇතුළත් දර්ශනවලට ස්තූතිවන්ත වන්නට ගොස්ලින් ඔහුගේ රංගන දිවියේ ලද ඉහළ ම පිළිගැනීමට ලක්වී තිබේ. "හැමෝම දක්ෂ ලෙස රඟපානවා. හැබැයි ගොස්ලින්ගේ රංගනය තමයි කැපිලා පේන්නේ," කර්ස්ටන් අකූනා, ඉන්සයිඩර් වෙබ් අඩවිය වෙත ලිවීය. එම්පයර් මැගසින්හි බෙත් වෙබ් සඳහන් කරන්නේ, "මස්පිඬු ප්‍රදර්ශනය කරන හැම වාරයම, හිස කෙස් ගස්සන හැම වාරයම, ගිටාරය වයන හැම වාරයම හරියට ම කරනවා. සමහර තැන් තියෙනවා, ඔහු ඔබේ හුස්ම සොරා ගන්නවා," යනුවෙනි.

barbie premiere uk 8534da3562ac4cae9df524b3e52b1e5f

චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් තිරය තුළ මෙන් ම තිරයෙන් පිට ත් ඔහු සැලකිය යුතු කැපකිරීමක් සිදු කර තිබේ. "මේ චරිතය මට හරියට ම ගැලපෙනවා. මෙහෙම කිව්වොත්, මට ඒ චරිතය කරන්න 'කෙන්-ජවය' තිබුණා. දැන් ඒ 'කෙන්-ජවය' (Ken-ergy)මේ මොහොතෙත් මා තුළ තියෙනවා," MTV පුවත් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, චිත්‍රපටය නිකුත්වීමට ආසන්නයේ දී හාස්‍යයෙන් පිරුණු තව ත් සම්මුඛ සාකච්ඡා ද ලබා දෙමිනි.

'හිම්බෝ' චරිතයට පෙරළියක්

  • 'හිම්බෝ' යනු කඩවසම් පෙනුමක් ඇති නමුත් බුද්ධිමත් නොවන තරුණයෙකි

ගොස්ලින්ගේ රංගනය සත්‍ය වශයෙන් ම, පිටපත තරමට ම විශිෂ්ඨ ය. සාමාන්‍යයෙන් කෙන්ගේ චරිතය බාර්බිගේ සරල, යටහත් පහත් සහකරු ලෙස ඉදිරිපත් කර තිබුණු නමුත්, ගර්විග් සහ ඇගේ සහකරු මෙන් ම සම-පිටපත් රචකයා ද වන නෝවා බෝම්බැක් එහි පෙරළියක් සිදු කරති: ඒ අනුව කතාවෙහි මාර්ගෝ රොබී රඟ දක්වන "සාම්ප්‍රදායික බාර්බි" චරිතය සහ ගොස්ලින් රඟ දක්වන කෙන් චරිතය 'සැබෑ ලෝකය' වෙත ගෙන එයි. එහිදී බාර්බි ඇගේ පැවැත්ම පිළිබඳ අර්බුදයකට මැදිවීමට පටන් ගන්නා අතර, කෙන් ද ඔහු තුළ ඇති අනාරක්ෂිතභාවයෙන් සහ කාංසාවෙන් පෙළෙන බව අපට වැටහෙයි. ඔහු, ඔහු සිරවී සිටින සාම්ප්‍රදායික කූඩුවෙන් ඉවතටවිත් පීතෘමූලිකත්වය යන සංකල්පය සොයා ගන්නා අතර, එවැනි සමාජ ක්‍රමයක් බාර්බිලන්තයේ ද ස්ථාපනය කිරීමට තීරණය කරයි.

ryan

රොබීගේ චරිතයේ බැරෑරුම් ලක්ෂණ ඉස්මතු කරන ප්‍රහසන රංගන ශිල්පියා වෙමින්, ගොස්ලින් ඔහු ගායනයෙන් මෙන් ම නර්තනයෙන් ද Disney Mouseketeerහි චරිතයක් රඟදැක්වූ කුඩා කාලය මුළුමනින් ම වැළඳ ගන්නේ, මාර්ක් රොන්සන් සහ ඇන්ඩෲ වයට් විසින් ලියන ලද "I'm Just Ken" නම් මෘදු රොක් ගීතය ඔහුගේ හාස්‍යජනක රංගනය කැපී පෙනෙන අවස්ථාවන්ගෙන් එකක් බවට පත් කරමිනි. සුප්‍රසිද්ධ නර්තන ශිල්පී බොබ් ෆොසීගේ ශෛලියෙන් ආභාසය ලද, අනිත් කෙන්ලා සමග නර්තනයේ යෙදෙන දර්ශනය ඔහු කෙතරම් දක්ෂ ලෙස ඔහු සතු ශිල්පීය ගුණාංග පෙන්නුම් කරන අවස්ථාවකි. ඔහු එහි ඉතා තාත්විකව නර්තනයේ යෙදෙන ආකාරයෙන්, කෙන් චරිතයට ගොස්ලින් කෙතරම් කැපවීමක් කිරීමට සූදානම් ද යන්න ඉතා විනෝදජනක ලෙස සිහිපත් කරයි. ඔහු එම දර්ශනය සඳහා අවශ්‍ය කරන සියලු ම 'කෙන්-ජවය' නිසි ආකාරයෙන් වැළඳ ගනියි.

ගොස්ලින්ගේ අනෙක් දක්ෂතාව නම්, කෙන් සත්‍ය ලෝකය ගැන කිසිදු අදහසක් නැති ලෙස පෙන්වන රඟ දැක්වීම්වල දී පවා ඔහුට සැබවින් ම වෛර කිරීම අපහසු වීම යි. ඔහු මොණරෙකු මෙන් ඔබමොබ සැරුවත්, ඇත්තෙන්ම ඔහු තම දුර්වලතා පිළිගැනීමට මත්තෙන්, වසර ගණනාවක් තිස්සේ බාර්බිගේ සෙවණැල්ල වී සිටීමෙන් පසු තම අනන්‍යතාව සොයා ගැනීමට වෙහෙසෙන, නොමඟ ගිය, තරමක් දුක්ඛිත සහ අනුකම්පාසහගත චරිතයකි. ගර්විග් එල්ඒ ටයිම්ස් වෙත පැවසුවේ, කෙන්ගේ ගමන්මඟ නිරූපණය කිරීමේදී ගොස්ලින් විවෘත හදවතකින් යුතුව චරිතය වැළඳ ගැනීම ගැන තමන් පැහැදුණු බව ය: "ඔහු දර්ශන තලයේ හිටපු හැම කෙනෙක්ට ම පිරිමිබව ගැන වෙනස් ආකාරයේ අවබෝධයක් ලබා දුන්නා. එතන හිටපු පිරිමි ඒකට ගොඩක් ඇලුම් කළා. මම හිතන්නේ ඒකෙන් ඒ අයට සහනයක් ලැබුණා."

wb 1

ගොස්ලින්ගේ රංගනය මෙතරම් සුවිශේෂී වන්නේ, ඔහු අඳුරු ස්වභාවයක් ගන්නා චිත්‍රපට හා සම්බන්ධ නළුවෙකු වීම නිසා ය; කල්පනාවෙහි ගිළුණු, විවිධ පීඩාවන්ගෙන් පසුවන චරිත රඟ දැක්වූ Drive සහ A Place Beyond the Pines චිත්‍රපට මෙන් ම, සමාජයෙන් කොන්වී විවිධ ඇබ්බැහිවීම් සමග අරගල කරන පිරිමින්ගේ චරිත ඇතුළත් Blue Valentine සහ Half Nelson ආදී චිත්‍රපට ඒවා අතර වෙයි. ඔහුට එතරම් බැරෑරුම් නොවන සැහැල්ලු චරිත සහ විනෝදාත්මක චරිත නිරූපණය කිරීමේ හැකියාව ද ඇත. රෝමාන්තික-ප්‍රහසන චිත්‍රපට වන Crazy Stupid Love සහ ගැයුම් රැඟුම්වලින් පිරි La La Landහි මෙන් ම, එතරම් ජනප්‍රිය නොවුණු ප්‍රහසන-ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Nice Guys යන චිත්‍රපට තුළ ඔහු එය ඉතා දක්ෂ ලෙස පිළිබිඹු කර තිබේ. නමුත් ඔහු කිසි දිනෙක මෙතරම් විනෝදකාමී වී නැත.

හාස්‍යෝත්පාදන සිනමාව සම්මානයට පාත්‍ර වනවා ද?

ryan gosling shows off muscles as ken 071023 01 02327a4c7cc443db835939996ab7a5ff

බාර්බිහි කෙන් ලෙස ඔහුගේ රංගනය පරිපූර්ණ හාස්‍යජනක රංගනයක් බව පෙන්වා දෙන ඇතැම් පිරිස්, මෙම චරිතය ඔහු ඇකඩමි සම්මානයක් දක්වා රැගෙන යනු ඇතැ යි දැනටමත් යෝජනා කරයි. පූර්ව තිරගත කිරීමකට සහභාගි වීමෙන් පසුව ඒ බව මුල් වරට යෝජනා කළේ ComicBook.comහි ජේමී ජිරාක් ය. ට්විටර්හි අදහස් පළ කළ ඔහු, "රයන් ගොස්ලින්ව ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ කරන්න! මම ඇත්තට ම කියන්නේ!"යි පැවසීය. British GQහි ලූසී ෆෝඩ් ද එවැනි ම අදහසක් පළ කරමින්, "අවංකව ම ඔහු ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ විය යුතු යි," යනුවෙන් ප්‍රකාශ කළා ය.

ryan gosling barbie premiere2 6dcc642f23164d2d82fc72efbb3a1a87ඔහුට ජයග්‍රහණය කළ හැකි යැයි සිතීම ෆැන්ටසියක් ද? ඉතිහාසය පෙන්නුම් කරන්නේ, චිත්තවේගීයව නිර්මාණය කරන ලද නාට්‍යානුසාරී සහ චරිතාපදාන චිත්‍රපටවල නළු නිළියන් සමග ඇති සටනේ දී, My Cousin Vinny චිත්‍රපටයේ මරිසා ටෝමයි සහ As Good As It Getsහි ජැක් නිකල්සන් හැරුණුකල ඔස්කාර් සම්මාන උළෙලක දී හාස්‍යෝත්පාදන චිත්‍රපටවල රංගනයෙන් දායක වන නළු නිළියන් සාර්ථක වී ඇත්තේ කලාතුරකින් බව ය. විකට චරිත වෙනුවෙන් සම්මාන දිනූ නළු නිළියන් අතරින් ගොස්ලින් වැනි හාස්‍යජනක, අතිශයෝක්තියෙන් පිරුණු සහ බුද්ධිහීන චරිත රංගනයන් ඉදිරිපත් කර ඇත්තේ ස්වල්ප දෙනෙකි. නැවතත් බාබන්හයිමර්, එනම්, එක ම දිනයේ නිකුත් වූ බාර්බි චිත්‍රපටය සහ න්‍යෂ්ටික බෝම්බය නිපදවීම ගැන කියැවෙන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපට අතර බොක්ස් ඔෆිස් සටන ලොව පුරා අවධානයට ලක් වී තිබේ. නොඑසේ නම්, ඒ චිත්‍රපට ද්විත්වයම විවිධ අංශ ඔස්සේ නිර්දේශිත සම්මාන ලැයිස්තුවට ඇතුළුවනු ඇතැ යි ඇකඩමි සම්මාන උළෙලේ චිත්‍රපට වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන පිරිස කැමැත්තෙන් සිටිනවා විය හැකි ය.

ගොස්ලින් කෙන් ලෙස "සාර්ථකව රඟපෑ බව" චිත්‍රපට විචාරක එලන් ඊ. ජෝන්ස් සිතූ නමුත්, එය ඇකඩමි සම්මාන උළෙලේ දී බලපෑමක් ඇති කරනු ඇතැ යි ඇය නොසිතයි. "රයන්ට ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබේවි කියලා මම හිතන්නේ නැහැ," ඇය බීබීසී කල්චර් වෙත පවසයි. "පළමුවෙන් ම, අපි මේ ඉන්නේ පොදුවේ ලෝකයේ සමාජ වෙනස්කම්වලට අනුකූලව සම්මාන උළෙලවල් ප්‍රතිසංස්කරණයට ලක් වන යුගයක වුණ ත්, මෙම උළෙලවලින් අවසානයටම ඉවත්වෙනවා ඇත්තේ ඒවායේ තියෙන නීරස ස්වයං-බැරෑරුම්කම කියල මම විශ්වාස කරනවා... ඒ හේතුව නිසා, ගොස්ලින්ගේ අතිශය සාර්ථක හාස්‍යෝත්පාදක ඉදිරිපත් කිරීම ඇගයීමට ලක් නොවන්න ඉඩ තියෙනවා." එමෙන් ම ඇය පෙන්වා දෙන්නේ, "ස්ත්‍රීවාදී චිත්‍රපටයක් සඳහා පිරිමියෙකුට සම්මානයක් ලබා දීමට තරම් දෘෂ්ඨියක් නොමැති" බව ය.

ඒ කෙසේ වෙතත්, ගොස්ලින් නිසැකව ම කෙන් චරිතය හරහා හොලිවුඩයේ වඩාත් ම බහුනිපුණතා ඇති නළුවෙකු ලෙස තම ස්ථානය ස්ථාවර කිරීමට සමත් වී ඇත. ඔස්කාර් සම්මානයක් ලැබුණත් නැතත්, බාර්බිහි ඔහුගේ පැස්ටල් පැහැති ලොම් කබාය මුදුනේ ඇති තේමා පාඨය නැවත ලියමින් මෙසේ පැවසිය හැකි ය: ඔහු නළුවෙකු ලෙස ඕනෑවටත් වඩා හොඳ ය.
(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image