අධිරුධිර පීඩනය පිළිබඳ ජාත්‍යන්තර සංගමය නිකුත් කළ අනෙකුත් උපදෙස් අතර, සංගීතයට සවන් දීමට කාලය වෙන් කර ගැනීම, යෝගා ව්‍යායාම කිරීම සහ සතිය පවත්වා ගැනීමට පුහුණු කිරීම යනාදිය වේ.

පවත්නා වෛද්‍ය උපදෙස්, එනම්, දුම් පානය නතර කිරීම සහ ලුණු භාවිතය අඩු කිරීම තවදුරටත් අනුගමනය කළ යුතු ය.

එහෙත්, විශේෂඥයින් පවසන්නේ, "සිරුර සහ මනස" සම්බන්ධ නව ඉලක්ක නිර්දේශ කරන බව ය.

Hypertension සඟරාවේ පළ කරන ලද විද්‍යාත්මක පත්‍රිකාව අනුව, ඇතැම් සුළු සාම්ප්‍රදායික ප්‍රවේශයන් සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තිබේ.

එම පත්‍රිකාවේ කතුවරයෙකු වන එක්සත් රාජධානියේ අධිරුධිර පීඩනය පිළිබඳ විශේෂඥ මහාචාර්ය බ්‍රයන් විලියම්ස් බීබීසී පුවත් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ "ඖෂධ ගැනීම වගේ දෙයක් එක්ක ගත්විට මේක තරමක් මුදු මොළොක් ක්‍රියාකාරී බවක් නොපෙන්වන දෙයක් විදියට පෙනුණත්, මේක හෘද රුධිර වාහිනී පද්ධතියට ආතතීන්ගේ බලපෑම අඩු කර ගන්න වැදගත් දායකත්වයක් සපයනව වගේම ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලැබෙමින් තිබෙනවා" යනුවෙනි.

"මිනිස්සුන්ට තමන් වෙනුවෙන් ම කර ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි ඔක්කොම අඩියක් පස්සට තියලා හිතන්න ඕනෙ, ඇත්තට ම, මගේ ජීවිතය ටිකක් සැහැල්ලු කර ගන්න සංගීතය අහන්න, ඇවිදින්න යන්න, ජිම් එකට යන්න සහ ව්‍යායාම කරන්න මගේ දවසින් පැය භාගයක් හොයා ගන්න ඕන කියලා."ආතතිය හා සම්බන්ධ අධිරුධිර පීඩනය අඩු කර ගැනීම සඳහා මිනිසුන් දිනපතා මිනිත්තු 45 ක් පමණ භාවනා කිරීමට උත්සහ කළ යුතු බව නව මාර්ගෝපදේශ පවසයි.

රුධිර පීඩනය අඩු කර ගැනීමට සහය වන සාධක මොනවා ද?

Screenshot 2023 09 24 at 11.13.37
අධිරුධිර පීඩනය අකල් මරණ සඳහා බලපාන ප්‍රධාන සාධකයකි.

එය දිගුකාලීනව හෘදයාබාධ සහ ආඝාතවලට තුඩු දිය හැකි හෘදය සහ රුධිර වාහිනී මත පීඩනයක් ඇති කරයි.

ලෝකය පුරා පුද්ගලයින් බිලියනයක්, එනම්, සෑම වැඩිහිටියන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් අධිරුධිර පීඩනයෙන් පෙළෙයි.

රටවල් 18ක විශේෂඥ මණ්ඩලය දී ඇති උපදෙස් මෙසේ ය:

මානසික පීඩනය නැති කරන උපාය මාර්ග වන භාවනා කිරීම, ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාස කිරීම්, යෝගා සහ සතිය පවත්වාගෙන යාමට දිනපතා උත්සහ කරන්න.

ඔබට ස්තුතිවන්ත විය හැකි ධනාත්මක දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ යහපැවැත්ම පිළිබඳ හැඟීමක් ලබා ගැනීම සඳහා කාරුණික ක්‍රියාවල නිරත වීමෙන් කෘතඥතාව පුහුණු කිරීමට යොමු වන්න.

සතියකට තෙවරක් දිනකට අවම වශයෙන් මිනිත්තු 25 බැගින් සන්සුන් සංගීතයට සවන් දීමට පුරුදු වන්න.

ඔබේ මනස දෛනික වෙහෙසවීම්වලින් ඉවත් කිරීම ඔබේ මනසට සහ හදවතට වැදගත් සහ සමුච්චිත ආතතිය නැති කිරීමේ බලපෑමක් ඇති කරන බව, මහාචාර්ය විලියම්ස් පවසයි.

සෙසු යහපත් පුරුදු වන්නේ, ශාරීරිකව ක්‍රියාකාරී ලෙස ජීවත් වීම සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ය. මාර්ගෝපදේශවල දැක්වෙන්නේ, ඇවිදීම, නින්ද සහ රුධිර පීඩනයේ වෙනස්කම් මැනීම සඳහා ශාරීරික යෝග්‍යතා මැනීමේ මෙවලම් අවශ්‍ය වනු ඇති බව ය.

ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ විශේෂඥයෙකු වන මහාචාර්ය විලියම්ස් පැවසුවේ: "නිදා ගන්නා කාලය විතරක් නෙවේ නින්දේ ගුණාත්මකභාවය ත් වැදගත්. සාක්ෂිවලින් පේන්නේ, බොහෝ මිනිසුන් නිදා නොගැනීමේ සහ පීඩනය අඩු කර නොගැනීමේ බලපෑම් අවම කර ගැනීම සඳහා පැය හතක හොඳ තත්ත්වයේ නින්දක් ලබා ගැනීමට උත්සහ කළ යුතු" බව ය.

Screenshot 2023 09 24 at 11.16.06ටික්ටොක් ප්‍රවණතා

රුධිර පීඩනය පාලනය කිරීම සඳහා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් අවධාරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කර ඇති බව ඔහු පැවසීය.

"අපි උත්සහ කළේ බොහෝ විට සමාජ මාධ්‍යවලින් මතු වෙන විවිධ දේවල් සම්බන්ධයෙන් සියලු සාක්ෂි සොයා බලා ඒවායින් කීයකට විද්‍යාත්මක පදනමක් තියෙනවා ද සහ කීයක් තාවකාලිකව ජනප්‍රිය වී තිබේ ද? කියා සොයා බැලීමට යි."

මතු වන සාක්ෂිවලින් කර ඇති යෝජනා
 
* මාළු ආහාරයට ගැනීම හෝ ඔමෙගා-3 මාළු අක්මා තෙල් භාවිතයෙන් සහයක් ලැබෙනු ඇත.

* ආන්ත්‍රික සෞඛ්‍යය (Gut health) ද වැදගත් සාධකයකි. ප්‍රෝබයෝටික් සහ කෙඳි සහිත ආහාර වැඩි වශයෙන් ගැනීම හොඳ අදහසකි.

* තේ සහ කෝපි පානය කිරීම යහපත් වේ. එහෙත්, කැෆේන් විශාල පරිමාවක් අඩංගු ශක්තිජනක පානයන් වැඩි වශයෙන් ගැනීම නිර්දේශ නොකර යි.

* වැල්මී වැනි තේ වලින් ප්‍රවේශම් වන්න. ඉන් රුධිර පීඩනය ඉහළ යා හැකි ය.

* බීට්රූට් සහ දෙළුම් යුෂ ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරන අතර රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. ඒ, ඇතැම්විට ඒවායේ නයිට්‍රේට් සංයෝග අඩංගු නිසා ය. රුධිර නාල විහිදීමට, ලිහිල් කිරීමට හෝ පුළුල් කිරීමට වෛද්‍යවරු ඖෂධ හරහා නයිට්‍රේට් භාවිත කරති.

තවත් උපදෙසක් 

ඔබට එළිමහනේ ව්‍යායාම කිරීමට අවශ්‍ය නම්, වායු දූෂණය හදවතට සහ පෙනහලුවලට අහිතකර හෙයින් උද්‍යානයක දුවන්න. එසේ නැත්නම් කාර්ය බහුල මාර්ගවලින් ඉවත් වී ඇවිදින්න.

මහාචාර්ය විලියම්ස් පැවසුවේ: "වායු දූෂණය හෘද නාලිකාවල ක්‍රියාකාරිත්වයට බලපාන බව පෙන්වන දත්ත දැන් රටවල් ගණනාවකින් ලැබෙමින් තිබෙනවා. බොහෝ විට, සාක්ෂි මත පදනම්ව, ලොව පුරා හෘද රෝග සඳහා ඇති අවදානම් සාධකවල ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා."

අධිරුධිර පීඩනය වළක්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට පළමුවෙන් ම කළ යුතු ප්‍රවේශය වන්නේ, ජීවන රටාව වෙනස් කර ගැනීම ය. එහෙත්, අවශ්‍ය වූ විට ඖෂධ භාවිත කිරීමට හෝ ආතතිය පිළිබඳ යුරෝපා සංගමය නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ නියම කිරීමට වෛද්‍යවරුන්ට හැකි බව ඔහු පවසයි.

Blood Pressure UK ආයතනයේ වෛද්‍ය පෝලීන් ස්විෆ්ට් පැවසුවේ, අධිරුධිර පීඩනය ඇත්නම්, එය පාලනය කර ගැනීමට ඇති වේගවත් ම මාර්ගය ලුණු භාවිතය සීමා කිරීම බව ය. ඔබේ ආහාර සඳහා ලුණු එකතු නොකළ ද, පිසූ ක්ෂණික ආහාරවල ලුණු විශාල ලෙස අඩංගු විය හැකි ය.

"ඔබ ගොඩක් ලුණු කනවා නම්, ඒක ඔබේ ශරීරයේ අමතර ජලය ගබඩා වෙන්න හේතුවක් වෙනවා. ඒකෙන් ඔබේ රුධිර පීඩනය වැඩි වෙනවා.

"පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගැනීම සහ ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම හෝ නර්තනය වැනි ව්‍යායාමවල නිරන්තරයෙන් නිරත වීමෙන් රුධිර නාලිකාවල තද ස්වභාවය අඩු වී රුධිර සංසරණය පහසු කිරීමෙන් රුධිර පීඩනය අඩු කරයි."

British Heart Foundationහි ජ්‍යෙෂ්ඨ හෘදය රෝග හෙද නිලධාරී ජෝ විට්මෝර් මෙම නිර්දේශ පිළිගන්නේ, රුධිර පීඩනය කෙරෙහි ජීවන රටාව කොතෙක් බලපාන්නේ ද යන්න හඳුනා ගැනීම "අධිකාරීමය බිඳ වැටීමක්" ලෙස සලකමිනි.

"අපගේ පුද්ගලික අවදානම් සාධක සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීම නිරෝගී රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වන අතර, එය සාර්ථක කර ගත හැකි ආකාරය පිළිබඳ සවිස්තරාත්මක නිර්දේශ මෙම පත්‍රිකාවෙන් සපයනවා."


(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්