තථ්‍ය දෑ: සවන් දීමට, කියවීමට හෝ දැකීමට වඩා අතථ්‍ය දෑ ඇසීමට දැකීමට මිනිසා තුළ පවත්නේ සහජ ආශයකි. එමෙන් ම ඇසීමට, දැකීමට හෝ නැරඹීමට අවස්ථා නොලැබෙන හෝ අවම අවස්ථා එළඹෙන යමක් වේ
නම් එබඳු දෑ ඇසීමට, දැකීමට හෝ නැරඹීමට ද මිනිසා දැඩි ආශයක් දක්වයි. මිනිසා නිර්මාණ: නැරඹීම, කියවීම සහ සවන් දීම සඳහා පෙලඹෙන්නේ යට කී සියලු ආශයෝ සන්තෘප්ත කරගනු පිණිස ය.
මිනිසා එසේ සන්තෘප්ත කිරීම සඳහා මිනිසා විසින් ම කරනු ලබන කුමන හෝ සාහිත්‍ය කලා නිර්මාණයක් ‘ප්‍රබන්ධ’ ලෙස හැඳින්විය හැකි ය. ඊළඟට පැන නැගෙන ප්‍රශ්නය වන්නේ එබඳු නිර්මාණ ‘ප්‍රබන්ධ’ලෙස හඳුන්වන්නේ ඇයි ද යන්න ය. එසේ නම් ‘ප්‍රබන්ධය’ යනු කුමක් ද යන්න මඳක් විමසා බලමු.
ප්‍රබන්ධ කෘතියක් (කවි, ගීත, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා හෝ වෙනත් ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක්) ලෙස හැඳින්විය හැක්කේ මනඃකල්පිත ලෝකයක ඉදි කළ හෝ ඉදි කරන කිසියම් ඉදිකිරීමකි. එකී ඉදිකිරීමට උපස්තම්භක කරගන්නා ජීවි අජීවි සියලු වස්තු සහ ඒවායේ ක්‍රියාකාරිත්වය තථ්‍ය ලෝකයේ ජීවි අජීවී වස්තු විසින් කරනු ලබන ක්‍රියාදාමවලට වඩා වෙනස් විය යුතු යැයි මතයක් පවතින අතර ම එබඳු ඉදිකිරීම බොහෝ විට තථ්‍ය සමාජය විසින් පිළිගනු ලබයි.
එය එසේ විය යුතු ද? එය එසේ කළ හැකි ද?
කිසියම් නිර්මාණයකට පාදක කරගන්නා සිද්ධි හෝ චරිත තථ්‍ය ලෝකයේ සිදු නොවන දෑ මෙන් ම සිදුවන දෑ සමග ද මිශ්‍ර විය යුතු ය. එකී චරිත ද තථ්‍ය ලෝකයේ වෙසෙන චරිත මෙන් ම නොවෙසන චරිත ද විය යුතු ය. එමෙන් ම ඊට අදාළ චරිතවල ක්‍රියාකාරිත්වය ද එසේ විය යුතු ය. එනම් ඕනෑ ම ප්‍රබන්ධයක් තුළ සත්‍ය නොවන දෑ මෙන් ම අසත්‍ය නොවන දෑ ද අඩංගු විය යුතු ය.
එසේ නොවුණ කල්හි එකී නිර්මාණය වනාහී හුදු ප්‍රලාපයක් හෝ සුරංගනා ලෝකයක සිදුවන සිද්ධි දාමයක් හෝ සුරංගනා ලෝකයක වෙසෙන චරිතවලට සමපාත විය හැකි ය. මන් ද ‘සුරංගනා ලෝකය’ සහ ‘සුරංගනා කතා’ යනු සපුරා ම ප්‍රබන්ධ පමණි. නමුදු සුරංගනා කතා ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය ද කිසියම් සුරංගනා කතාවක් තුළින් ඉදිරිපත් කරන සිද්ධි සහ ඒවායේ සිටින චරිත හුදු මනඃකල්පිත සිද්ධි හෝ මනඃකල්පිත චරිතවලට පමණක් සීමා නොකරන්නට වගබලාගන්නේ ය.
ඊට ප්‍රබල ලෙස බලපාන්නේ අදාළ ප්‍රබන්ධ රචකයා හෝ රචකාව සියලු ගනුදෙනු කළ යුත්තේ තථ්‍ය ලෝකය තුළ වෙසෙමින් වන බැවිනි. එවිට ඔහුට හෝ ඇයට පළමුව මනසට නැගෙන්නේ තථ්‍ය ලෝකය යි.
ඇතැම් අවස්ථාවක දී මේ සියල්ල ම තථ්‍ය ලෝකයෙන් වියුක්ත වීමට ද පිළිවන. උදාහරණ ලෙස විද්‍යා ප්‍රබන්ධ නමැති ශානරය හැඳින්විය හැකි ය. ඒවායේ දී වුව ද කිසියම් ජීවියෙකුගේ ආකෘතිය, නොඑසේ නම් හැඩය බොහෝ විට මිනිසෙකුගේ හෝ වෙනත් සත්වයෙකුගේ හැඩය ගන්නේ එබැවිනි.
කිසිදු ප්‍රබන්ධකරුවෙකුට හෝ ප්‍රබන්ධකාරියකට අවම වශයෙන් ‘පිටසක්වල ජීවින්’ යැයි හඳුන්වනු ලබන ජීවියෙකුගේ රූපකාය පවා ඉදිරිපත් කරන්නේ විකෘති මිනිසකුගේ හෝ සත්වයෙකුගේ හැඩයෙනි. එසේ සිදුවන්නේ කෙරම් ප්‍රබන්ධකරණයට සමීප වුව ද තථ්‍ය ලෝකයෙන් පලායන්නට හෝ තථ්‍ය ලෝකය සම්පූර්ණයෙන් අමතක කරන්නට මිනිසා නමැති ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය අපොහොසත් වන බැවිනි.
ප්‍රබන්ධ වර්ග
ප්‍රබන්ධකරණය පිළිබඳ විමසීමේ දී සාම්ප්‍රදායික ප්‍රබන්ධ සහ සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකි ය.
සාම්ප්‍රදායික ප්‍රබන්ධ
ජනප්‍රවාද, මිථ්‍යා කතා, දේව කතා, සුරංගනා කතා, වීර කාව්‍ය යනාදිය සාම්ප්‍රදායික ප්‍රබන්ධකරණයට අයත් වන අතර මේ සියලු ප්‍රබන්ධ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රබන්ධ ලෙස සැලකිය හැකි ය. එනම් මෙබඳු ප්‍රබන්ධ තුළ අන්තර්ගත සිද්ධි මෙන් ම ඒවායේ සිටින චරිත තථ්‍ය ලෝකයේ දී හමු නොවන බැවිනි. උදාහරණයක් ලෙස: මහා පර්වත මතු නොව කඳු පවා උසුලා විසි කළ හැකි යෝධයෝ, එකැස් යෝධයෝ, මුවෙන් ගිනි පිටකරන මකරු, දියකිඳුරෝ හෝ දියකිඳුරියෝ, මුව දෙපසින් වක්‍රව පිහිටි දළ ඇති යක්ෂයෝ, මිනිසුන්ගේ මස් අනුභව කරන යක්ෂණියෝ, කතා කරන ගස්වැල් සහ අපා දෙපා සිවුපාවෝ මෙන් ම පක්ෂිහූ යනාදී ජීවිහු මෙම ප්‍රබන්ධවල සිටිති.
කතරගම දෙවියන්ට මුහුණු සයකි. අත් දොළසකි
දේව කතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ද මෙවන් ලක්ෂණ සහිත දෙවිවරු පිළිබඳ ලියවී ඇත. ඊට ආසන්නතම උදාහරණය ලෙස කඳ සුරිඳු හෙවත් කතරගම දෙවියන් හැඳින්විය හැකිය. පවත්නා මතයට අනුව කතරගම දෙවියන්ට මුහුණු සයකි. අත් දොළසකි. අත් සතරක් ඇති, ඇත් මුහුණ සහිත දෙවිවරු ද අත් සතරක් ඇති දිව්‍යාගනාවන් ද මෙම දේවකතාවලට අයත් ය. මේ සියල්ල ප්‍රබන්ධ ම මිස තථ්‍ය ලෝකයේ දී දැකිය හැකි චරිත නොවේ.
ජාතක කතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ද දක්නට ලැබෙන්නේ ඒවායේ බහුතරයක් අන්තර්ගතව ඇත්තේ සාම්ප්‍රදායික ප්‍රබන්ධ ලක්ෂණ බවයි. ඇතැම් ජාතක කතාවක තථ්‍ය ලෝකයේ දැකිය හැකි සජීවී සහ අජීවි වස්තු පිළිබඳ තොරතුරු අන්තර්ගත වන අතර ඇතැම් ජාතක කතාවල කිසිදු ආකාරයකින් තථ්‍ය ලෝකයේ දී දක්නට නොලැබෙන දෑ පිළිබඳ විස්තර කෙරේ. උදාහරණ ලෙස පදමානවක ජාතකය, නළපාන ජාතකය, දේවධර්ම ජාතකය සහ තවත් බොහෝ ජාතක කතා හැඳින්විය හැකි ය.
සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ
කිංකොං
යට කී ප්‍රවර්ගවලට අයත් නොවන, එසේත් නොවේ නම් එබඳු අනුභූතිවලින් තොර කවි, ගීත, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා, රූකඩ සහ නෘත්‍ය නිර්මාණ, ගුවන් විදුලි නාට්‍ය, පරිගණක සජීවිකරණ (Animation) සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ ලෙස හැඳින්විය හැකි ය.
මීළඟට සලකා බැලිය යුත්තේ සාම්ප්‍රදායික ප්‍රබන්ධ සහ සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ අතර පවතින විරුද්ධාභාෂය යි.
දෙවනුව කී සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ තුළ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ: ඇතැම් විට සිදුවිය හැකි, එහෙත් සිදු විය නොහැකි යැයි සිතෙන සිද්ධි දාම සහ ජීවත්ව සිටිය හැකි යැයි මෙන් ම ජීවත්ව සිටිය නොහැකි යැයි සිතෙන පුද්ගල චරිත මෙම නිර්මාණ තුළ අන්තර්ගත වීම ය.
ඊට හොඳ ම උදාහරණයක් ලෙස ඩ්‍රැකියුලා චරිතය, ටාර්සන් චරිතය, කිංකොං චරිතය සහ තවත් එබඳු චරිත බහුල ය. තවත් පසෙකින් ගත් විට ‘‘ඕගේ කතාව’’ නමැති ප්‍රබන්ධ කෘතියේ එන (මෙම කෘතිය ‘ඕ’ නමැති අන්වර්ථ නාමයකින් පෙනී සිටි තැනැත්තියක් විසින් රචිත ප්‍රබන්ධයක් බව පසු කලක දී හෙළි විය) ‘ඕ’ නමැත්තිය බඳු චරිතයක් ජීවත්ව සිටිය හැකි ද සහ ඇය මුහුණ දෙන ලිංගික හිරිහැර සැබැවින් ම සිදුවිය හැකි ද යන්න ගැටලුවකි.
මෙවන් දෑ සිදුවිය නොහැකි ද?
බහුල වශයෙන් මෙවන් සිද්ධි සිදු නොවුණ ද ඇතැම් තැන්හි මෙවන් සිදුවීම් සිදුවි ඇති බවට සාක්ෂි බුදුන් තුන් වරක් වැඩියා යැයි විශ්වාස කරන, හතර පෝයට ම සිල් සමාදන් වන බෞද්ධ බහුතරයක් ජීවත්වන මේ ලක් දෙරණ තුළ ද දක්නට හැකි ය. ඒ සඳහා වඩාත්ම මතකයේ රැඳෙන සිද්ධි දෙකක් පමණක් උදාහරණ ලෙස දැක්විය හැකි ය. පළමුවැන්න මාලඹේ හෝකන්දර ප්‍රදේශයේ සිදු වූ සමුහ ඝාතනය යි. එහි දී ඝාතකයෝ එම නිවසේ සිටි තරුණියකගේ අත් පා ගැටගසා කිහිප වතාවක් ම සමූහ දූෂණයට ලක් කර, සරනේරුවක එල්ලා ඝාතනය කර තිබුණි. දෙවැන්න උතුරු ප්‍රදේශයේ විසූ 17 හැවිරිදි විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම ය.
ලාංකීය සිංහල නිර්මාණයක් තුළ එවන් සිද්ධියක් පළමු වරට දක්නට ලැබෙන්නේ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උතුමාණෙනි’ සිනමා නිර්මාණයෙනි. ‘හිතුමතේ ජිවිතේ’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන (බටගහගේ සුමතිපාල නොහොත් රංජිත් ) පුද්ගලයාගේ නැගණිය තථ්‍ය ලෝකයේ දී එවන් සමූහ දූෂණයකට ලක්වූ බවත් ඉන් අනතුරුව ‘හිතුමතේ ජිවිතේ’ යන නමින් හැඳින්වෙන ඇගේ සොහොයුරා සිද්ධියට අදාළ සියලු පුදද්ගලයෝ ඝාතනය කළ බව පැතිර ගිය ද පසුව එබඳු සිද්ධියක් සිදු වී නොමැති බවට ද ආරංචි පැතිර ගියේ ය.
යට සඳහන් සිද්ධි සාහිතය කලා නිර්මාණයකට පාදක කරගත නොහැකි යැයි කිසිවකුට පැවසිය නොහැකි ය. නමුදු එම සිද්ධි සිදුවීමට පෙර කිසියම් සාහිත්‍ය කලා කෘතියක එබඳු සිද්ධියක් අන්තර්ගත වූවා නම් එය ප්‍රබන්ධයක් ලෙස සලකනු ඇත. ඒ, එබඳු සිදුවිමක් සිදුවිය හැකි යැයි අප විශ්වාස නොකරන බැවිනි. විශ්වාස නොකරන බැවින් ම එබඳු සිදුවීමක් පිළබඳ ශ්‍රවණය කිරීම, නැරඹීම හෝ කියවීම සඳහා රුචිකත්වයක් දක්වන තරමේ ගූඪ මානසිකත්වයක් මිනිසා තුළ පවතින බැවිනි.
කාන්තාවන් ඝාතනය කර, සිරුරේ කොටස් වෙන් කර ශීතකරණයක බහා තබන පුද්ගල චරිතයක් සිටින බටහිර සිනමා නිර්මාණයක් මීට වසර කිහිපයකට ඉහත මම නැරඹුවෙමි. එකල එය ප්‍රබන්ධයකි. නමුදු මීට නොබෝ දිනකට ඉහත කාන්තාවක් ඝාතනය කර, හිස කඳෙන් වෙන් කර, කඳ කොටස විශාල ගමන් බෑගයක දමා රැගෙන විත් පිටකොටුවේ කිසියම් ස්ථානයක දමා යන ආකාරය තථ්‍ය ලෝකයේ දී දක්නට ලැබිණ.
මිට පෙර පාතාල නායකයෙකුගේ යැයි හැඳින්වෙන පුද්ගලයෙකුගේ හිස පමණක් අලුත් කඩේ අධිකරණ භූමියේ දමා ගොස් තිබිණ. මෙවන් සිදුවීම් මීට පෙර සාහිත්‍ය කලා නිර්මාණයක් තුළ දක්නට ලැබුණ අවස්ථාවේ දී එය ප්‍රබන්ධයකි. නමුදු මේ වන විට එය සත්‍යයක් බවට පත්ව තිබේ.
එසේ නම් ප්‍රබන්ධ යනු හුදු මනඃකල්පිත සිද්ධි හෝ චරිත පමණක් ද? එහි දක්නට ලැබෙන්නේ කුමන ලක්ෂණ ද?
ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි ම කිසිදු ප්‍රබන්ධකරුවකුට හෝ ප්‍රබන්ධකාරියකට තථ්‍ය ලෝකයේ චරිත සහ සිද්ධි වියුක්ත කර ප්‍රබන්ධකරණයේ නියැළීම සරල කාරණයක් නොවේ. තව දුරටත් විග්‍රහ කරන්නේ නම් ‘ප්‍රබන්ධය’ යනු ම තථ්‍ය ලෝකය සහ අතථ්‍ය ලෝකය අතර පවත්නා කිසියම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් එසේ නොවනු ඇතැයි: කියවන පාඨක ප්‍රජාවට, අසන රසික ප්‍රජාවට හෝ නරඹන ප්‍රේක්ෂක ප්‍රජාවට ප්‍රත්‍යක්ෂ කිරීම ය.
තත්ත්වය එසේ නම් සාහිත්‍ය කලා නිර්මාණ විවිධ ප්‍රභේද ලෙස වර්ග කර ඇත්තේ මන්දැයි කිසිවකු විමසිය හැකි ය. එය වැඩි දුරටත් විග්‍රහ කරන්නේ නම්: යථාර්ථවාදී (Realism), නව යථාර්ථවාදී (Nio Realism) අධි යථාර්ථවාදී (Surrealistic), මායා යථාර්ථවාදී (Magicai Realism), අද්භූතවාදී (Romantism), අභූථ රූපවාදී (Absurdism), ස්ත්‍රීවාදී (Feminist) සහ තවත් විවිධාකාර ලෙස වර්ග කර ඇත්තේ ඇයි දැයි විමසිය හැකි ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසා බැලීමේ දී දක්නට ලැබෙන්නේ අදාළ සියලු වර්ගකිරීම් සිදුකරනු ලැබ ඇත්තේ නිර්මාණකාරුවා හෝ නිර්මාණකාරිය නොව විචාරක ප්‍රජාව බවයි. One Hundred Years of Solitude (සියක් වසක හුදෙකලාව) වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ ගේබ්‍රියෙල් ගාෂියා මාර්කේස් ඊට කදිම පිළිතුරක් සපයා ඇත. ඔහු පවසා ඇත්තේ එම කෘතිය කවුරුන් කුමනාකාරයට වර්ග කළ ද තමා ලියා ඇත්තේ තථ්‍ය ලෝකයේ දී ඇසු දුටු දෑ බවයි.
එසේ නම් එය මායා යථාර්ථවාදී (Magicai Realism) කෘතියක් ලෙස හැඳින් වූයේ ඇයි?
විචාරක ප්‍රජාව එසේ වර්ගීකරණයට ලක් කළේ කතුවරයා සිය අනුභූතිය ඉදිරිපත් කළ ආකාරය අනුව ය. ඔහු සිය අත්දැකීම් ඒ ආකාරයෙන් ම වාර්තාමය ලෙස හෝ යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කළේ නම් එය කිසිදු දිනක ‘ප්‍රබන්ධයක්’ බවට පත් වන්නේ නැත. එසේ නම් විවිධ දාර්ශනිකයෝ කුමනාකාරයේ මත ඉදිරිපත් කළ ද ‘ප්‍රබන්ධය’ යනු ම හුදු තථ්‍ය ලෝකයේ සිදු නොවන සිද්ධි, චරිත හෝ එකී චරිතවල ක්‍රියාකාරකම් නොව, අසන්නාට, නරඹන්නාට හෝ කියවන්නාට අතථ්‍ය යැයි හැඟෙන පරිදි ඉදිරිපත් කරන සිද්ධි මාලාවක් බව පැහැදිලි ය.
ගම්පෙරළිය ප්‍රබන්ධයක් ද?
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය යථාර්ථවාදි නවකතාවක් ලෙස සැලකෙන ‘ගම්පෙරළිය’ රචනයේ දී මාර්ටින් වික්‍රමසිංහ ඇන්ටන් චෙකොව්ගේ ‘චෙරි උයන“ නාට්‍ය පෙළන් ආභාෂය ලබා ඇත. (වැඩි විස්තර සඳහා මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න විසින් රචිත ‘රුසියානු සාහිත්‍ය හා වර්තමාන සිංහල නවකථාව හා කෙටිකථාව’ නමැති කෘතිය කියවන්න.) එය ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය වුව ද යට කී ආකාරයට එවකට තථ්‍ය ලෝකයේ පැවති හෝ පවතින, ජීවත් වූ හෝ ජීවත්වන චරිත සහ සිද්ධි පාදක කරගනිමින් රචිත ප්‍රබන්ධ කෘතියකි.
එහි එන මුහන්දිරම් සැබැවින් ම ජීවත්ව සිටි පුද්ගලයෙකු විය හැකි ය. මහ කප්පින වලව්ව යනු සැබැවින් ම එම පළාතේ පිහිටි වලව්වක් විය හැකි ය. පියල්, නන්දා, බලදාස, ජිනදාස යනු ද රචකයා අනුදත් චරිත විය හැකි ය. නමුදු සමස්ත කතාව ම සත්‍ය හෝ අසත්‍ය විය නොහැකි ය. රචකයා සතු ප්‍රබන්ධකරණ දක්ෂතාව උපයෝගී කරගනිමින් හෙතෙම ‘යථාර්ථවාදී ප්‍රබන්ධයක්’ නිර්මාණය කර ඇත.
ගුණදාස අමරසේකර විසින් රචිත ‘කරුමක්කාරයෝ’ කෘතිය ප්‍රබන්ධයකි. නමුදු විවිධ අවස්ථාවල විවිධ මාධ්‍යවලට ගුණදාස අමරසේකර පවසා ඇති පරිදි එම කෘතියට පාදක කරගෙන ඇති ඇතැම් චරිත සහ සිද්ධි තථ්‍ය ලෝකයේ ඇසු දුටු දෑ ය. ඔහු ද දක්ෂ ප්‍රබන්ධකරුවකු බැවින් අදාළ නිමිත්ත ප්‍රස්තුත කරගනිමින් අගනා ප්‍රබන්ධයක් රචනා කළේ ය.
සයිමන් නවගත්තේගම විසින් රචිත ‘සුද්දිලාගේ කතාව’ හැර (එම කතාවේ ද යටි පෙළක් නැතැයි මෙයින් අදහස් නොකෙරේ) අනෙක් සියලු සාහිත්‍ය කෘති ද තථ්‍ය ලෝකයේ දී සිදු විය නොහැකි යැයි සිතෙන සහ තථ්‍ය ලෝකයේ ජීවත් විය නොහැකි යැයි සිතෙන චරිත පාදක කරගනිමින් රචිත ප්‍රබන්ධ ය. එම කෘති කියවිය යුත්තේ ද එහි මතුපිට කතාව පමණක් රස විඳීමේ පරමාර්ථයෙන් නොවේ. පාඨක ප්‍රජාවගේ වැඩි අවධානය යොමු විය යුත්තේ එම කෘතිවල යටි පෙළෙහි සඟවා ඇති කතාව දෙස ය. එවිට එම කෘති ද සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ බව වැටහෙනු නොඅනුමාන ය.
ඉතිහාසය වර්තමානයේ යථාර්ථයක් ලෙස
සරත් ආරියරත්න විසින් රචිත ‘මින්නේරි දෙවියෝ’ කෘතියට පාදක වන්නේ මහසෙන් රජුගේ රාජ්‍ය සමය සහ ඔහුගේ ජීවන වෘතාන්තය යි. එම කෘතියට ඓතිහාසික ලෙස ප්‍රසිද්ධි සහ චරිත පාදක කරගත්ත ද කතුවරයාගේ පරිකල්න දක්ෂතාව ද මැනවින් උපස්තම්භක කරගෙන ඇත. එමෙන් ම එහි එන යුද ප්‍රධානියා අති දක්ෂ රණ ශූරයෙකි. නමුදු අවසන රජු ඔහු සමග උරන වීම හේතුවෙන් ඔහුට අත්වන ඉරණම ඛේදජනක ය. වර්තමානයේ (2009) ජයග්‍රහණය කළා යැයි පවසන මෙරට පැවති සිවිල් යුද්ධය මෙහෙය වූ යුද ප්‍රධානියා ද යුද්ධය අවසන් වූ සැණින් පාලකයාගේ දෝෂ දර්ශනයට මතු නොව වෛරයට ද බඳුන් විය. ඔහු මුහුණ දුන්නේ ද මහසෙන් රජුගේ යුද ප්‍රධානියා මුහුණ දුන් ඛේදවාචකයට ම ය.
මොහාන් රාජ් මඩවල විසින් රචිත ‘ආදරණීය වික්ටෝරියා’ කෘතිය අති ප්‍රබල ප්‍රබන්ධයකි. නමුදු එහි ප්‍රධාන චරිතය මෙරට විසූ ප්‍රබල දේශපාලනඥයකුගේ චරිතයට ඉතා මැනවින් ගැළපිය හැකි ය. (වැඩි දුර අධ්‍යනය සඳහා ‘ත්‍රිමාන කියවිමක්’ කෘතිය කියවන්න)
යට ගෙනහැර දැක්වූයේ අතීතයේ සිටි චරිත සහ සිදු වූ සිදුවීම් පාදක කරගනිමින් රචිත ප්‍රබන්ධ කෘති ද්විත්වයක් සහ ප්‍රබන්ධ කෘතියක් රචනා කිරීමෙන් ඉක්බිති එවන් චරිත සහ සිදුවීම් තථ්‍ය ලෝකයේ දී හමු වූ අවස්ථා කිහිපයකි.
‘ප්‍රබන්ධ’ නොවන විදෙස් ප්‍රබන්ධ
ප්‍රබන්ධකරණ්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී විශ්ව සාහිත්‍යයේ හමුවන සුවිශේෂී නිර්මාණ ත්‍රිත්වයක් පවතී. එනම් ෆ්‍රාන්ස් කෆ්කා විසින් රචිත ‘රූපාන්තරණය’ (THE METAMORPHOSIS), නිකලොයි ගොගොල් විසින් රචිත ‘සිත්තම’ සහ ‘නාසය’ යන කෙටිකතා ත්‍රිත්වය යි. මෙම කෙටිකතා ත්‍රිත්වයට ම පාදක වන්නේ තථ්‍ය ලෝකයේ දී සිදුවිය නොහැකි යැයි හැඟෙන සිද්ධි ත්‍රිත්වයකි.
එමෙන් ම මෙම කෙටිකතා ත්‍රිත්වය ම වර්ගීකරණය කර ඇත්තේ මායා යථාර්ථවාදී (Magicai Realism) නිර්මාණ ලෙස ය. නමුදු එම කෙටිකතා ත්‍රිත්වය තුළ මතුපිට කතන්දරය තථ්‍ය ලෝකයේ සිදුවිය නොහැකි සිද්ධිය වුව ද එම කතුවරු දෙදෙනා ම සිය නිර්මාණ තුළ බහා ඇති නොපෙනෙන කතන්දර (යටිපෙළ) වනාහී ඒ ඒ යුගවලට අයත් සමාජ, ආර්ථික සහ දේශපාලනික ව්‍යසන පිළිබඳ පිළිබිඹුවකි.
තව දුරටත් පවසන්නේ නම් ඒ කතන්දර ත්‍රිත්වය ම හුදු සුරංගනා කතා හෝ මිථ්‍යා කතන්දර නොවේ. එනම් සාම්ප්‍රදායික ප්‍රබන්ධ නොවේ. මෙම ලේඛක දෙපළ ම කළේ පවතින සමාජ වටපිටාව තුළ තමන් අනුදත් සමාජ, ආර්ථික සහ දේශපාලන විපත් ව්‍යංගාර්ථයෙන් ගෙනහැර දැක්වීම ය.
රුසියානු ලේඛක මිහායිල් බුල්ගාකෝව් විසින් රචිත, ගාමිණී වියන්ගෙඩ විසින් පරිවර්තිත ‘බල්ලකුගේ හදවත’ (Heart of Dog), ඔහු විසින් ම පරිවර්තිත ගෝර් විදාල් විසින් රචිත ‘කල්කි’ (kalki), ජෝජ් ඕවල් විසින් රචිත, දයාරත්න ගරුසිංහ විසින් පරිවර්තිත ‘ගොවිපළේ පෙරළිය’ (The Animal Farm) යනාදි කෘති ද තථ්‍ය ලෝකයේ දී සිදු වෙතැයි සිතිය නොහැකි සිද්ධි ද, ජීවත්ව සිටිතැයි සිතිය නොහැකි චරිත ද පාදක කරගනිමින් රචිත ප්‍රබන්ධ ය. නමුදු අපි කියවා ගත යුත්තේ එම කෘතිවල මතුපිට කතාව නොව කතුවරු නොලියා ඇති කතාව ය. එවිට එම කෘති සාම්ප්‍රදායික නොවන ප්‍රබන්ධ ලෙස හැඳින්විය හැකි ය.
ඉසබෙලා අයියන්දේ යනු විශ්න සාහිත්‍ය ජයගත් ලේඛිකාවකි. ඇය විසින් රචිත, ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තිත ‘ඊවා ලුනා’ කෘතිය නිකුත් වූ කාලයේ (1994) දී එම කෘතිය කියවන විට එහි අන්තර්ගත ඇතැම් සිදුවීම් අභව්‍ය හෝ තථ්‍ය ලෝකයේ දී සිදුවිය නොහැකි දෑ ලෙස හැඟුණි. නමුදු ඊට වසර කිහිපයකට පසු නිකුත් වූ ඇගේ ම කෘතියක් වූ ‘පෝලා’ කියවන විට එදා ‘ඊවා ලූනා’ කියවන මොහොතේ අතථ්‍ය යැයි හැඟුණ ඇතැම් දෑ ඉසබෙලා අයියන්දේගේ ම ජීවන අත්දැකීමක් පව පසක් විය. එනම් එහි දී ද ගම්‍යමාන වන්නේ ප්‍රබන්ධය යනු තථ්‍ය ලෝකයේ දී සිදුවූ යමක් නිර්මාණකරුවකුගේ හෝ නිර්මාණකාරියකගේ පරිකල්පන දක්ෂතාව මත ඔප් නංවන නිපැයුමක් බවයි.
ප්‍රමුඛ කරුණ
ලිපිය මධ්‍යයේ සඳහන් කළ පරිදි සාම්ප්‍රදායික ප්‍රබන්ධ නිර්මාණ හැරුණු විට එදා මෙදාතුර අපි: ශ්‍රවණය කර, නරඹා හෝ අසා ඇති සියලු ප්‍රබන්ධ කෘති යනු හුදු ප්‍රබන්ධ පමණක් ම නොවේ. එමෙන් ම හුදු තථ්‍ය ලෝකයේ පැති හෝ පවතින චරිත හෝ සිද්ධි පාදක කරගනිමින් නිර්මිත නිර්මාණ ද නොවේ. එසේ නම් දැන් අපි ‘ප්‍රබන්ධ’ යනු මොනවාද යන්නට නිවැරැදි පිළිතුරක් සොයාගත යුතු ය. සැබැවින් ම නම් එයට නිවැරැදි පිළිතුරක් සොයාගත නොහැකි ය. නමුදු අවසන් වශයෙන් මෙබඳු නිගමනයකට පැමිණිය හැකි ය. එනම් කිසියම් ආකාරයකින් සංවර්ධිත, සංකීර්ණ මෙන් ම සිත්ගන්නාසුලු චරිත සහ සිද්ධි පිළිබඳ ස්වයං විවේචනාත්මක මෙන් ම විචාරාත්මක ගැඹුරු චරිත සහ සිද්ධි අධ්‍යයනයකි යන්න ය.
අදාළ චරිත සහ සිද්ධි මොනවා ද, ඒවා කෙසේ විය යුතු ද යන්න ඉදිරි ලිපියක දී සාකච්ඡා කරමු.
ජයසිරි අලවත්ත
2021/ 06/11
මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි!
සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට?