1200 x 80 DMirror
 
 

 මුරුගසන් වැහි කෝඩ බිඳුණා
අඳුරු බිම් හේලංකඩේ
පයෝධර තුඩු කඳුළු මිදුණා
ඉඩෝරෙක මිනිසත්කමේ//
ගිලන් ලේ වැල් පණ ගසා
හුස්ම දියවර තනනවා
දෑස නිරුවත් මිනිස් කුලයේ
හිනා වත ගොම්මන් වෙලා
රොගී දෑසක් කෑ ගසා
අඬන පණ නල යදිනවා
කළුත් සුදු නැති අරුම පාටක
මිනිස්කම් යති දියවෙලා//
පද රචනය - ධම්මික තිසේරා
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - අමරසිරි පීරිස්
 
 

 
 
 
මේ සිරස නාලිකාව තුළින් විකාශය වූ ‘‘හේලංකඩ’’ ටෙලි නිර්මාණයේ පසුබිම් ගීතය යි. සමස්ත ටෙලි නිර්මාණය සමග සසැඳීමේ දී ගීතයේ පද බොහොමයක් අදාළ නිර්මාණය පිළිබඳ යටි පෙළ අරුතක් විදහා දැක්වන්නට සමත්ව තිබේ. 
 
නමුදු මෙහි පළමු දෙපදය ගත් විට එයින් අරුත් ගැන්වෙන්නේ අඳුරු හේලංකඩ බිමේ දී මුරුගසං වැසි වසින්නට පෙර පැමිණෙන වැහි කෝඩය බිඳුණු බවයි. ගීතයේ පළමු පද පෙළින් එබඳු අරුතක් ඉස්මතු වුව ද සමස්ත නිර්මාණය නරඹා අවසාන වන විට සිදුවන්නේ එහි අනෙක් පාර්ශ්වය යි.
 
 එනම් මුරුගසං වැස්සක් පැමිණ මහා ව්‍යසනක් සිදුවීම ය. පද රචනයේ ඉතිරි පද ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී ඒ සියලු වචනාර්ථ ටෙලි නිර්මාණය සමග සාම්‍යයක් පවතින බව ද සඳහන් කළ යුතු ය. එම පරස්පරතාව එසේ තිබිය දී ම ‘‘හේලංකඩ’’ ටෙලි නිර්මාණය පිළිබඳ කියවීමකට යොමු වෙමු.
 
 
 
 
 
මෙම නිර්මාණය විකාශනය වන්නේ 2019 වසර් දී ය. ඊට වසර කිහිපයකට පෙර සිට සහ ඒ වන විට ද සිරස ප්‍රමුඛ බොහෝ රූපවාහිනි නාලිකා තුලින් විකාශනය කළ ටෙලි නිර්මාණ සමග සැසඳු කල ‘‘හේලංකඩ’’ අප්‍රසන්නතාවකින් තොරව නැරඹිය හැකි ටෙලි නිර්මාණයක් බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය. 
 
සමස්ත නිර්මාණය එසේ පැවතිය ද මෙහි යම් යම් දුර්වලතා ද නැතුවා නොවේ. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම පසෙක තබා මෙහි අන්තර්ගත සිද්ධි සහ චරිත වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට උත්සාහ කරමු.
 
ලෝකයේ කවුරු කොතැනක කිනම් නිර්මාණයක් කළ ද ඊට පාදක කරගන්නේ අදාළ රටේ හෝ වෙනත් රටක: සමාජ, දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, ආගමික සහ සංස්කෘතික වටපිටාව ය; එකී වටපිටාවේ වෙසෙන මිනිස් ප්‍රජාව ය; ඔවුන්ගේ ගති සොබා ය.
 
එදා මෙදාතුර සිදු වූ දෑ සහ වර්තමානයේ සිදුවන දෑ අතර වෙනසක් පවතින්නේ නම් ඒ කාලයාගේ ඇවෑමෙන් එකී සිදුවීම් සිදුවන ආකාරය වෙනස් වීම පමණි; ඊට අදාළ චරිත පෙර සිදු කළ දෑ ම යම් වෙනසකට ලක් කර, වෙනස් මාන ඔස්සේ සිදු කිරීම පමණි. කිසියම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක තමන්ගේ නිර්මාණයක් සදහා පාදක කරගන්නා අනුභූතිය වෙනස් වන්නේ ද මේ ආකාරයට ම ය.
 
 
 
J 1 Image 
 
‘‘හේළංකඩ’’ නිර්මාණයට පාදක වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අභ්‍යන්තරයට වන්නට පිහිටි දුෂ්කර ගම්මානයක සිදුවීම් මාලාවකි. එම සිදුවීම් මාලාව ම වෙනත් නිර්මාණ තුළ ද අපි අත්දැක ඇත්තෙමු. ඒ පිළිබඳ උදාහරණ කිහිපයක් ගෙන බලමු.
 
 
01.  පුරාණ විහාරයක් පිහිටි භූමියේ ඇතැයි සැක කරන නිධානයක් ගොඩ ගැනීමට යත්න දරන පිරිසක්. මෙම පිරිසට ද ඒ සඳහා පූර්ණ සහය පළ කරන්නේ ගමේ වෙසන වරප්‍රසාදලාභී පුද්ගලයෙකි. ඒ සඳහා ඔහු පොලඹවන්නේ පිට පෙදෙසිකින් පැමිණි ධනපතියෙකි.
 
 
02.  වර්තමානයේ සිට මේ දක්වා ම එක් එක් පුද්ගලයෝ නිරත වන රැකියාව අනුව ගම තුළ ඔවුන් සැලකුම් ලැබුවේ වෙනස් ලෙසිනි. එනම් රෙදි සෝදන පිරිස ‘රදා’ හෝ ‘හේනයෝ’ ලෙස ද, මළ ගෙදරක, මගුල් ගෙදරක කටයුත්තක දී බෙර වයන්නෝ ‘බෙරවායන්’ (නකෂත්‍ර කටයුතු සහ යාතුකර්ම කරන්නෝ ද මෙනමින් හඳුන්වා ඇත) ලෙස ද, ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් ‘කරාව’ කුලය ලෙස ද, කුරුඳු තළන පිරිස් ‘සලාගම’ කුලය ලෙස ද, රා මැදීමේ නිරත පිරිස් ‘දුරාව’ කුලය ලෙස ද හඳුන්වා ඇති අතර වැඩි ප්‍රසිද්ධියක් නොඉසිලුව ද පොල් කැඩීම සඳහා ගස් නැගි පිරිස් ‘ඔලී’ ලෙස ද හඳුන්වයි. 
 
මෙම නිර්මාණයේ ද ගස් නැගීම ජීවිකාව කරගත් පවුලක් දක්නට ලැබෙන අතර එම පවුල වෙනත් කුලයකට අයත් බව නොහැඟවුව ද ගමේ ප්‍රභූන් අතර මෙන් ම වෙනත් රැකියාවල යෙදෙන පිරිස් අතුරෙන් මෙම පවුල යම් තාක් දුරකට වියුක්ත කර ඇති බව පැහැදිලි ය.
 
 
03.  වර්තමානයේ ‘ග්‍රාම නිලධාරි’ යන මැයෙන් හඳුන්වන මීට ඉහත ‘ග්‍රාමසේවක රාලහාමි’ යන මැයෙන් හැඳින් වූ චරිතය නාගරිකව දැඩි ලෙස තම ආධිපත්‍ය පතුරවමින් නොසිටිය ද ග්‍රාමීය පෙදෙස්වල වෙසෙන මෙම තනතුර හොබවන්නෝ යම් සමාජ බලයක් ආරෝපණය කරගෙන සිටින්නෝ ය; පීඩිත පිරිස් වෙත තම බලය ප්‍රදර්ශනය කරන්නෝ ය. මෙහි එන ‘ග්‍රාමසේවක රාලහාමි’ ද එවැන්නෙකි.
 
 
 J 2 image
 
 
 
04.  පිට ගම්කාරයෙක් වුව ද මේ ගමට පැමිණ, අයුක්ති සහගතලෙස සහ අසාධාරණයෙන් මුදල් සරිකරගෙන, ගමේ ප්‍රධාන බල කේන්ද්‍රය වන වෙදරාළ හෙවත් වෙද මහතා මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට සමත්කම් දක්වන පුද්ගලයාගේ දියණිය විවාහ කරගත් බැවින් ද, තම අණසක පතුරවන චරිතයක් ද මෙහි අන්තර්ගත ය. 
 
පළමුව සඳහන් කළ ‘වරප්‍රසාදලාභි පුද්ගලයා’ මොහු ය. 
 
යට කී වෙද මහතා, මන්ත්‍රකරුවා හෝ නකෂත්‍රකරුවාගේ මිනිබිරියක් සිය කිරිඅත්තාගේ ඇවෑමෙන් ඔහුගේ වෙදකම මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය අත්පත් කරගන්නා ආකාරය ද මෙහි අන්තර්ගත ය. 
 
ඇය ද විශ්විද්‍යාල අධ්‍යාපනය ලබා ඇති බව ප්‍රේක්ෂකයාට ඉඟි සැපයේ. මෙහි දී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදියට සමත්කම් නොදැක්වුව ද මෙවන් චරිත ද්වයක් අපට මුණ ගැසුණු ප්‍රබල නිර්මාණයක් ලෙස ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘‘වෙද හාමිනේ’’ සිහිපත්වනු නොඅනුමාන ය.
 
 
 
 
 
J 3 image 
 
05.  ධනපති පෙළැන්තියක තරුණියක් මේ ගමේ පාසලේ ගුරුවරියක ලෙස සේවයේ නිරත වන්නී ය. ඇය නවාතැන් ගෙන සිටින්නී යට කී වරප්‍රසාද ලාභියාගේ නිවසේ ය. අපි අසා, කියවා නරඹා ඇති බොහෝ නිර්මාණවල ද පිටතින් දුෂ්කර සේවයට පැමිණෙන ධනපති හෝ මධ්‍යම පංතියේ ගුරුවරියන් මතු නොව ගුරුවරු ද නවාතැන් ගන්නේ; විදුල්පතිවරයා, ග්‍රාමසේවක රාලහාමි, වෙදමහතා හෝ ගමේ වෙසෙන වෙනත් වරප්‍රසාදලාභී පුද්ගලයකුගේ නිවසේ ය.
 
 
06.  විශ්වවිද්‍යාලයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා උපාධියකට ද හිමිකම් කියන, සමාජ සමානාත්මතාව පිළිබඳ නිතර කියවන, එහෙත් රැකියා වියුක්ත තරුණයෙකු ද මෙහි ඇතුළත් ය. යට කී ගස්නගින්නාගේ පුතා (අව වරප්‍රසාදලාභියාගේ පුතා) පෙම් සබඳතාවක පැටලෙන්නේ ද යට කී වරප්‍රසාදලාභියාගේ දියණියක සමග ය. 
 
අවසන එම වරප්‍රසාදලාභියාගේ සිල්ලර කඩය මිලදී ගන්නේ ද, ගමේ ග්‍රාමසේවක රාලහාමිගේ එක ම දියණිය සමග විවාහ වන්නේ ද ඔහු ම ය.
 
 
07.  මිනිසුන් රවටා මුදල් ගරාගන්නා චරිත ද්වයක් සහ එවන් චරිතවලට රැවටෙන චරිතයක් ද මෙම නිර්මාණයේ අන්තර්ගතය. එකී චරිතය වනාහී නිධන් හෑරීමට ගොස් නීතියේ රැහැනට කොටු වන යට කී වරප්‍රසාද ලාභියාගේ බිරිඳ ය.
 
 
08.  ග්‍රාමීයව මතු නොව නාගරික ප්‍රජාව තුළ ද පවත්නා මිථ්‍යා මත සහ ඇදහිලි (පුල්ලෙයාර් අත්තප්පා ඇදහීම සහ ඔහුගේ පිහිට පැතීම) ද මෙහි අන්තර්ගත ය.
 
 
09.  දරාගත නොහැකි ආර්ථික පීඩනය හේතුවෙන් විදෙස් රැකියාව වෙත යොමුවන කාන්තාවන් එහි දී මුහුණ දෙන හිරිහැර පිළිබඳව ද මෙහි ඉඟි සපයයි. එමෙන් ම එවන් අවස්ථාවල දී මතු නොව පසුගිය යුද සමයේ දී අතුරුදන්වූ සෙබළුන් පවා මිය ගියා යැයි සැක කර, ඔවුන් වෙනුවෙන් වන්දි ලබාගත් පසු අදාළ පුද්ගලයෝ නැවත ජීවග්‍රහයෙන් පැමිණිම ද මෙහි එන සිද්ධිවලට සමාන ය. අදාළ පුද්ගලයන් වෙනුවෙන් ලබාදුන් බොහෝ වන්දි මුදල් ග්‍රාමසේවකලා විසින් වංචා කර ඇති බව ද ප්‍රසිද්ධ සිද්ධි ය. මෙහි එන ග්‍රාම සේවක රාලහාමි ද එබඳු පුද්ගලයෙකි.
 
 
10.  මේ චරිත සියල්ල අභිභවමින් යම් නව්‍යතාවක් රැගෙන එන්නේ: ආරන්‍යවාසී භික්ෂුව, මානසික ආතතියක් හේතුවෙන් ඉබාගාතේ ඇවිද අවසන ගමට සේන්දු වන තරුණ චරිතය සහ දඩයක්කරුවකු වන ගොළු තරුණයා ය. ඔහුගේ චරිතය සුවිශේෂ වන්නේ හෙතෙම දඩයක්කාරයෙකු වුව ද සාමාන්‍ය මිනිස්සු වටහා නොගන්නා ඇතැම් දෑ ඔහු ඉතා පහසුවෙන් වටහාගන්නා බැවිනි. නමුදු අවසානයේ ඔහු ද සාම්ප්‍රදායික ආකාරයෙන් ම ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස තම චරිතය නිමා කරයි.
 
යට සඳහන් කළ චරිත සහ සිද්ධි බොහොමයක් සාහිත්‍යයේ ද, සිනමාවේ ද, ටෙලි නිර්මාණ තුළ දී ද මීට පෙර අප වෙත සම්මුඛ වී තිබෙන බව නොරහසකි. එකී චරිත සහ සිද්ධි පාදක කරගනිමින් වුව ද නැරඹීමට අප්‍රසන්නතාවක් ගෙන නොදෙන නිර්මාණයක් ලෙස ‘‘හේලංකඩ’’ නිර්මාණය ටෙලි ප්‍රේක්ෂක ප්‍රජාව තුළ ජනප්‍රියත්වයට පත්වන්නේ කෙසේ ද? අප විමසා බැලිය යුත්තේ ම එය නොවේ ද?
 
 
 
ප්‍රබල චරිත සහ නව්‍ය සිද්ධි
 
 
 
 
J 8 image
 
 
 
 
මෙම නිර්මාණයට දායකත්වය දක්වන චරිත අතුරෙන් මද්දු හෙවත් ගොළු තරුණයාගේ චරිතයට පණ පොවන ජගත් චමිල සමස්ත නිර්මාණය පුරා ම සිය රංගන ආධිපත්‍ය පතුරවන බව අවිවාදිත ය.
 
දෙවනුව ආරන්‍යවාසී භික්ෂුවගේ චරිතයට පණ පොවන අමිත්ත වීරසිංහ ද නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වා හැසිරීමෙන් මෙන් ම ස්වාමින් වහන්සේ නමක් ලෙස මුවෙන් නිකුත් කරන වදන් තුළින් ද සමාජය තුළ පවත්නා නිෂඵල දෑ මෙන් ම යථා ස්වභාවය මැනවින් ප්‍රකට කරන්නට සමත්කම් දක්වා ඇත. 
 
ඒ සඳහා තිර රචකයා සිය වාග් කෞෂල්‍ය මැනවින් උපස්තම්භක කරගෙන ඇත. එබඳු දෙබස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා උපාධියකට ද හිමිකම් කියන සිරිමල්ගේ (ජගත් මනුවර්ණ) මුවෙන් මෙන් ම ඔහුගේ පෙම්වතිය වන අයෝමාගේ (දිලිනි ලක්මාලි) මුවෙන් ද නික්මීම ඇය සහ සිරිමල් අතර පවත්නා සබඳතාව පිළිබඳ ගැඹුරු අරුතක් සපයන්නේ ය.
 
 
 
J 7 image 
 
 
කිසියම් මානසික ආතතියක් හේතුවෙන් ගමට සේන්දු වන කාවින්ද (ඔහුගේ නියම නම හෙළිදරව්වන්නේ පසුව ය. එතෙක් මයෝමා හෙවත් වෙද හාමිනේ (උමයාගනී වික්‍රමසිංහ) විසින් ඔහු හඳුන්වනු ලබන්නී ‘නිශ්ශංක’ ලෙසිනි) ගේ චරිතයට පණ පොවන පුබුදු ජයකොඩි ද මෙතෙක් ටෙලි නිර්මාණයක දී නෙත නොගැටුණු චරිතයක් ඉදිරිපත් කිරීම ද සුවිශේෂ ය. 
 
එමෙන් ම ඔහු පෙළෙන රෝගී තත්ත්වය සුවපත් කිරීම උදෙසා දේශීය වෙදකම උපයෝගී කරගැනීම ද නව්‍ය සංකල්පයකි. එය එසේ කළ හැකි ද නැද්ද යන්න විවාදයට බඳුන් විය යුතු කරුණක් වුව ද මම ද පුද්ගලිකව විශ්වාස කරන අන්දමට ඇතැම් බටහිර වෛද්‍ය ක්‍රම අභිභවන වෛද්‍ය ක්‍රම සහ ඔසු දේශීය වෙදකම තුළ පවතී. එය ‘‘වෙද හාමිනේ’’ ටෙලි නිර්මාණයේ දී මෙන් ම තවත් නිර්මාණ කිහිපයක දී ම දක්නට ලැබුණි. නමුදු මෙහි එන රෝගය සහ ඒ සඳහා ප්‍රතිකාර සොයාගැනීම නව්‍ය සංකල්පයකි.
 
මෙම චරිතවලට අමතරව දිගු කලකට පසු ටෙලි නිර්මාණයක දක්නට ලැබුණු අනෝමා ජනාදරී (පින්නි) ද දරුවන් යනු මවගේ යටත් වැසියන් ලෙස සලකන ආකාරය සමස්ත නිර්මාණය පුරා ම ඉදිරිපත් කරන්නී සිය රංගන දායකත්වය නොමසුරු ලෙස දායක කරමිනි.
 
 
 
J 4 image 
 
ටෙලි නිර්මාණයේ අඩක් පමණ දක්නට ලැබෙන සිරිල් වික්‍රමගේ (වෙද මහතා) ද ඔහුගේ වගකීම ඉතා මැනවින් ඉටු කර ඇති අතර සරත් කොතලාවල (සින්නයියා) ද තමන් වෙත පැවරි තිබූ වගකීම උපරිමයෙන් ම ඉටු කර ඇත. වෙද මහතාගේ පුතාගේ චරිතයට (පිංච මාමා) පණ පොවන උඩවත්ත රවින්ද්‍ර ප්‍රදීප් සිය රංගන කුසලතා මැනවින් ප්‍රදර්ශනය කරන්නට සමත් වී ඇත. 
 
ඔහුගේ චරිතය දුටු විට නිතැතින් ම සිහියට නැගෙන්නේ සිකුරුලියා සිනමා නිර්මාණයේ එන මිටි මිනිසාගේ (එම ශිල්පියාගේ නම අමතක ය) රංගනය යි. ජගත් මුනුවර්න අපට සිටින දක්ෂ නළුවෙකු වුව ද මෙම නිර්මාණය තුළ ඔහුට රඟපෑමට තරම් යමක් නොතිබුණා බඳු ය.
 
මෙම ටෙලි නිර්මාණය ද පළමුවෙන් සඳහන් කළ සිද්ධි සහ රාමු තුළ (එය එසේ වීම වරදක් හෝ දුර්වලතාවක් නොවේ) කොටු වී තිබුණ ද යට සඳහන් කල ප්‍රබල චරිත නිරූපණය සහ සිද්ධි දාම හේතුවෙන් එය මගේ වෙසෙස් අවධානයට ලක් විය.
 
 
 
 
J image 10 
භාෂා භාවිතය:
 
 
සමස්ත නිර්මාණය පුරා ම ඒ ඒ චරිත කෙරෙන් විකාශනය කෙරෙන වදන් කෙරෙහි ද මගේ වෙසෙස් අවධානය යොමු විය. එනම් ප්‍රාදේශීය බස් වහර පිළිබඳව ය. 
 
එහි දී වඩාත් අවධානය යොමු වූයේ කිසිවකුගේ ඥාතිත්වයට පිටුපසින් හෝ නමට පිටුපසින් යෙදන ‘අප්පා’ යන වදන කෙරෙහි ය. උදාහරණ ලෙස: ‘අයියප්පා’, ‘අත්තප්පා’ ‘කච්චත්තප්පා’ සහ මීට පෙර සඳහන් කළ ‘පුල්ලෙයාර් අත්තප්පා’ යන වදන් ඉදිරිපත් කළ හැකි ය. 
 
එහි විශේෂත්වය වන්නේ එම වදන් සවන වැකුණු සැණින් මට සිහිපත් වූයේ මෙම වදන් පිටු පස යම් ආකාරයක දෙමළ භාෂා සම්බන්ධයක් පවතින බවයි. එහෙත් එය සාක්ෂාත් කරගැනීම සඳහා අවැසි සාක්ෂි මා සතුව නොපැවති බැවින් සහ මා ඒ පිළිබද නොදැනුවත් බැවින් එම අදහස එතරම් සැලකිල්ලට නොගෙන සිටින්නට මම තීරණය කළෙමි.
 
 
 
‘අයියප්පා’, ‘අත්තප්පා’ යන වදන් !
 
 
එසේ තීරණය කර සිටිය දී නාට්‍ය නරඹන කාලය අතර පසුගිය දිනක මගේ මිත්‍රයෙකු ඔහු විසින් රචිත සාහිත්‍ය ප්‍රබන්ධයක අත් පිටපත විද්‍යුත් තැපෑලෙන් මාවෙත එවා තිබුණි. ඒ, එම ප්‍රබන්ධය කියවා යම් අදහසක් පළ කරන ලෙස ආරාධනා කරමිනි. එම මිත්‍රයා ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක උපත ලබා, හැදි වැඩී පසු කලෙක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගත්තෙකි. 
 
ඔහුගේ ප්‍රබන්ධ කෘතියේ ද ‘අයියප්පා’, ‘අත්තප්පා’ යන වදන් අන්තර්ගතව තිබිණ. මා මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසු අවස්ථාවේ දී දැනගන්නට ලැබුණු තොරතුරු අනුව මගේ උපකල්පනය සත්‍යයක් බවට පත්විය. එනම් එම වදන් බිඳී එන්නේ දෙමළ සම්භවයකින් බවයි.
 
කෙසේ වෙතත් මට පැවසිය යතු වූයේ තිර රචකයා සිය තිර රචනය සඳහා පාදක කරගන්නා චරිත සහ සිද්ධිවලට අදාළ ප්‍රාදේශීය බස් වහර පිළිබඳ හදාරා ඇති බව හෝ ඒ පිළිබඳ දැනුවත්භාවයකින් සිට ඇති බවයි. ටෙලි නිර්මාණයේ සාර්ථකභාවයට එය ද ප්‍රමුඛ දායකත්වයක් සපයා ඇත.
 
 
 
කලා අධ්‍යක්ෂණය
 
J image 11 
 
 
මෙම නිර්මාණයට පාදක වන ප්‍රදේශය, එහි වටපිටාව සහ එහි අන්තර්ගත චරිතවල ජීවන තත්ත්වයට සරිලන ආකාරයේ නිවාස යනාදිය නිර්මාණය කිරීමට හෝ ඊට සුදුසු ස්ථාන සොයා ගැනීම නිර්මාණයේ කලා අධ්‍යක්ෂකවරයා වන ඇහැළියගොඩ සෝමතිලකගේ වගකීමකි. ඔහු ද සිය වගකීම මැනවින් ඉටු කර ඇති බව ටෙලි නිර්මාණය නැරඹීමේ දී දැකගත හැකි ය.
 
 
අවම දුර්වලතා, චරිත සහ සිද්ධි
 
 
මෙම නිර්මාණයේ මා දුටු ප්‍රධාන ම දුර්වලතාව වූයේ ඇතැම් චරිත සඳහා තෝරාගෙන සිටි ශිල්පින් සහ ශිල්පිනියන් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කර නොතිබීම ය. උදාහරණ ලෙස (ඔවුන්ගේ සැබෑ නම් නොදන්නා බැවින් චරිතයේ නාමයෙන් හඳුන්වන්නට සිදුවේ.) පාසල් ගුරුවරිය, ‘ලෝයර් මහත්තයා’ හෙවත් මිනී පෙට්ටි සාප්පු හිමිකරු, ග්‍රාමසේවක රාලහාමිගේ අන්තේවාසිකයා, සිරිමල්ට සහ අයෝමාට කේලාම් කියන තරුණිය යන චරිත ඉදිරිපත් කළ අය සහ තවත් කුඩා චරිත සඳහා පෙනී සිටි කිහිප දෙනෙකු හැඳින්විය හැකි ය.
 
එබඳු සිද්ධි ලෙස ගතහොත් පාසල් ගුරුවරිය පාසල් යනෙ’න අතරවාරයේ දී විවිධ ස්ථානවල දී ගොළු තරුණයා සම්මුඛ වීම. මෙම චරිතය එක්වර ම අතුරුදන් වීම ද මෙයට ම අදාළ ය. නිර්මාණය ආරම්භයේ දී ඇය මයෝමාගේ නිවසේ නවාතැන් ගෙන සිටින බව දක්නට ලැබුණ ද පසුව එහි ඇය සිටින බව හෝ ඇගේ චරිතය ද අතුරුදන්ව ගොස් තිබිණ. 
 
විශේෂයෙන් ම සින්නයියා (සරත් කොතලාවල) රිමාන් භාරයට පත්වීමෙන් පසු කුමන හෝ හේතුවක් මත පින්නි සහ අයෝමා ද වෙද නිවසේ පදිංචියට යාමෙන් ඉක්බිති ගුරුවරිය දක්නට නොලැබේ. ඇය නැවත නිවසට කැඳවාගෙන යන බව ඇගේ පියා පැවසුව ද එසේ කළ බවක් ද නොහැඟේ.
 
අයෝමා විසින් සිල්ලර වෙළෙඳ සැල බාරගැනීමෙන් අනතුරුව පුවත්පත් අලෙවිය කිරීම කාවින්ද පිළිබඳ පළ කර ඇති දැන්වීම ගමට ලැබෙන ආකාරය ප්‍රකාශ කිරීම සඳහා පමණක් ම යොදාගත් බව හොඳින් ම පැහැදිලි ය. අනෙක් පසින් එම පුවත්පත් එකක් හෝ අලෙවි නොකළ ද ගම පුරා කේළාම් කියමින් යන කාන්තා චරිතය අතට පුවත්පතක් ලැබීම ද තිර රචනයේ කිසියම් දුර්වලතාවක් පිළිබිඹු කරයි.
 
යට සඳහන් අඩු ලුහුඬුතා මධ්‍ය යේ වුව ද නැරඹීමෙන් වැළකී සිටීමට සිත් නොදෙන, සුඛාන්තයකින් පමණක් නොව දුඃඛාන්තයකින් ද යම් නිර්මාණයක් අවසන් කළ හැකි බව පසක් කළ ටෙලි නිර්මාණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදාළ නිර්මාණයේ තිර රචකයා (ලාල් වසන්ත කරුණාරත්න) සහ අධ්‍යක්ෂවරයා (ධම්මික තිසේරා)ගේ සිට ඊට දායක වූ සියලු දෙනාට කෘතඥතාව පළ කරමින් ‘‘හේලංකඩ’’ ටෙලි නිර්මාණය පිළිබඳ මගේ විඳීම සහ කියවීම මම මෙතෙකින් අවසන් කරමි.
 
මෙම නිර්මාණයේ නිෂ්පාදන දායකත්වය අෂාන් කන්නන්ගරගෙනි. සමස්ත නිර්මාණයට ම සංගීතය සපයා ඇත්තේ නවරත්න ගමගේ ය.  
 
 
j mage 13 
 
 
 
ප. ලි.
 
අපි කියවා, නරඹා හෝ අසා ඇති බොහෝ නිර්මාණවල නිධාන ද නිධන් හොරු ද (එසේ යමක් තිබේ ද නැද්ද යන්න මා පුද්ගලිකව නොදනී) සිටිති. නිර්මාණවලට පාදක කරගෙන ඇති මේ සියලු නිධන් හොරු අවසානයේ නීතියේ රැහනට කොටු වෙති. එසේත් නොමැති නම් ඒ සඳහා කරන විවිධ පුජා අවස්ථාවල දී කිසියම් අනතුරකට මුහුණ දෙති. ‘නරක වැඩ’ කරන එවන් පුද්ගලයන්ට ‘දෙවියෝ’ දඩුවම් පමුණවති. එහෙත් තථ්‍ය ලෝකයේ දී නම් අසන්නට ලැබෙන්නේ අසවල් දේශපාලනඥයා අසවල් තැන තිබී මෙපමණ නිධන් ප්‍රමාණයක් රැගෙන ඇති බවයි; තව දුරටත් එවන් කටයුතුවල නිරත වන බවයි; එබඳු පුද්ගලයෝ රටේ ඉහළම තනතුරුවලට පත්ව ඇති බවයි.
 
තථ්‍ය ලෝකයේ තත්ත්වය එසේ තිබිය දී නිර්මාණකරුවෝ සහ නිර්මාණකාරියෝ සිය නිර්මාණ තුළ දී යට කී ආකාරයට එබඳු නිධන් හොරුන්ට දඬුම් ලබා දෙන්නේ සහ එම නිධන් සොරකම් වැළකෙන ආකාරයට සිය නිර්මාණ ඉදිරිපත් කරන්නේ ඇයි? මේ සඳහා බලපාන සාධක මොනවා ද? ලිපිය කියවන පාඨක ප්‍රජාව අතුරෙන් කෙනෙකු මේ පිළිබඳව යමක් පවසන්නේ නම් මැනවි.
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/06/18  
THE LEADER TV 
 
 
 ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 

 

 

බොලේ ගම්මං පිලේ.. බැසිල් ගැසූ ගේම සහසුද්දෙන්ම මෙන්න! 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්