BREAKING
Top Ad
Life

අන්සතු ප්‍රේමය හරිහැටි දැකීම - Faculty of Sex

T

The Leader

November 1, 2021 • 3:14 AM

අන්සතු ප්‍රේමය හරිහැටි දැකීම - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල හිට්ම සිංදුව ‘අන්සතු ඔබ’ නෙ. ඒක කියන්නෙ තිසර වීරසිංහ. මේ සිරා වීඩියෝව හදලා තියෙන්නෙ නිම්න දේවපුර.
  •       මගේ කතාව කියන්න කලින් මේ සිංදුව වෙනුවෙන් මේ මිනිමලිස්ට් කතාව හිතපු උන්ටත්, මේ තරම් සියුම්ව, ඩීටේල් ඇතුව ඒ රංගනය කරපු උන් දෙන්නටත් මගේ ආදරය සහ ගෞරවය පිරිනමන්න ඕන.
  • ඒ ගායකයා බව නොදැන ලියවුනු මාර විචාර කීපයක්ම දැක්කා.
  • සෙක්ස් කරලා නෑ කියන එක අවධාරණය කරලම කියනවා.    එතකොට මේ අන්සතු බව තියෙන්නෙ කොතනද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
සාමාන්‍යයෙන් ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන සිංදු වර්ගයට අයිති නැති, විකල්ප, බුද්ධිමත් පාඨක ගතිලක්ෂණ පෙන්නුම් කළත්, අන්සතු ඔබ ට්‍රෙන්ඩින් වෙනවා. සමාජ මාධ්‍යවල අනියම් ප්‍රේමයන් ගැන කතිකා හදනවා. සාම්ප්‍රදායික පෙම්වතුන් කැළඹෙනවා. අසාම්ප්‍රදායික පෙම්වතුන් පිනා යනවා?
 
නෑ මං හිතන්නෙ නෑ අසාම්ප්‍රදායික පෙම්වතුන් ඒ තරම් ආස්වාදයකට පත්වෙනවා කියල. මේ සිංදුවෙ ඉලක්කයමත් සාම්ප්‍රදායික පෙම්වතුන්මයි. 
 
සාම්ප්‍රදායික නැත්තං සම්මත ප්‍රේමය තුලම හිරවෙලා ඉන්න, කොටුව පනින්න ආසා කරන පිරිස සහ කොටුව පැනගන්න බය පිරිස. ඒක තමයි සිංදුවෙ හරිම ඕඩියන්ස් එක. ආසා පිරිස වර්ණනා කරනවා. බය පිරිස බනිනවා.
 
Ansathu Oba Song 4 
 
මගේ කතාව කියන්න කලින් මේ සිංදුව වෙනුවෙන් මේ මිනිමලිස්ට් කතාව හිතපු උන්ටත්, මේ තරම් සියුම්ව, ඩීටේල් ඇතුව ඒ රංගනය කරපු උන් දෙන්නටත් මගේ ආදරය සහ ගෞරවය පිරිනමන්න ඕන. ඒ වීඩියෝව ටයිමින්, ආර්ට් ඩිරෙක්ෂන්, කැමරා සියල්ලම හොඳටම ගැලපුනු ආතල්ම වැඩක්.
 
 
මේකෙ ගොඩක් අය කතා කරන එකම රූප රාමුවෙන් වැඩේ ඉවර වෙනකල් යන එක නං මට මාර වුනේ නෑ. ඒක ගොඩක් ඕවරේටඩ් වැඩක් මේ වෙද්දි. ශිල්පීය දක්ෂතා ලොකු කරලා පෙන්නන ඒ වගේ වැඩවලට මං පුද්ගලිකව ඒ තරම් කැමති නෑ. හැබැයි තනි කැමරා රූප රාමුවෙ අපි ඉන්නෙ කියල නොදැනෙන තරම් සියුම්ව ඒක කරන එක වැඩක්.
 
සිංදුවෙ ප්‍රධාන චරිත දෙක බැහැලා ගියාට පස්සෙ ගායකයා නගිනවා. ඒ ගායකයා බව නොදැන ලියවුනු මාර විචාර කීපයක්ම දැක්කා. කීයෙන් කී දෙනෙක් මේ ඉන්නෙ ගායකයා කියල නොදැන සිංදුව බැලුවද කියලා ෂුවර් නෑ.
 
සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ කරපු ඕන එකෙක් දන්නවා ගායකයා ඌව වැඩිපුර පෙන්නගන්න කොයිතරම් වදයක් දෙනවද කියල. ඒක වරදකුත් නෑ. තමන් වියදම් කරලා අඩුගානෙ තමන්ගෙ මූන පෙන්නගන්න බැරි නම් වැඩකුත් නෑනෙ. එතනදි තිසර වීරසිංහ සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. ත්‍රීවීල් එකට නැගලා කරන යන්තම් මිමිනීමකින් විතරයි තමන් ගායකයා කියල හඳුන්වාදෙන්නෙ. ඒක හරිම ලස්සනයි. හැබැයි ඒ තිසර කියල තේරුම් ගන්න බැරි උන් රොත්තක් දකිද්දි හිතෙනවා ඒ අන්තිම විනාඩිය අපතේ ගියාද කියල.
 
Ansathu Oba Song 8 
 
දැන් මං මගේ කාරණයට එන්නං. මේ සිංදුව සම්මත සාම්ප්‍රදායික විවාහයට ඇළුම් කරන අය වෙනුවෙන් හැදුන එකක්. ඒක නමේම තියෙනවා. අන්සතු පෙම. 
 
ප්‍රේමයක් කවුරුවත් විසින් සතු කරගන්න පුළුවන් දේපොලක් හැටියෙන් විශ්වාස කරන කෙනෙකුට හිතෙන හැටියක් ඒක. ඒක අන්සතු දෙයක් හොරකම් කරනවා වගේ හැඟීමක්. ඒකෙ තියෙන්නෙ සාම්ප්‍රදායික සම්බන්ධතා විශ්වාස කිරීම. ඒ හින්ද සිංදුව පටන්ගන්නෙම හොරකමක් කියන තැනින්.
 
  
මේ සිංදුව සිංදුවකට වඩා කවියක්. කවි බණක්. ඒ කවිබණ තාලය ලංකාවෙ ට්‍රෙන්ඩින්. චාමර වීරසිංහ ඕපන් ස්ටේජ්වල කවිබණ කියන්නෙ ඒ හින්ද. අන්සතු පෙම කියන්නෙ පරදාර සේවනය ගැන කවිබණක් විදිහටයි මං දකින්නෙ. 
 
 
ට්‍රෙන්ඩින් වෙන්න අනිත් හේතුව තමයි දුක. ලංකාවෙ සතුටු සිංදු ට්‍රෙන්ඩින් කරන්න බෑ. මේ සිංදුව පුරා තියෙන්නෙ දුකක්. ළඟ හිටියත් ළං කරගන්න බැරිකම ගැන දුකක්. මේ සිංදුවෙ වචන අන්තිම සාම්ප්‍රදායික තැනකින් ලියවෙන්නෙ. මේ පෙම්වතුන් කොටුව පැනපු නැත්තං සීමාව අතික්‍රමණය කරපු දෙන්නෙක් නෙමෙයි.
 
 
වරදක් නොකරම වර‍දේ බැඳිලා…
 
 
හැඟීමෙන් විතරයි වරදෙ බැඳිලා තියෙන්නෙ. ඒ හින්ද මේ ආදරය පිවිතුරුයි. කන්‍යාමයයි. ඒක වල්කමක් විදිහට දාගන්න බැරි කරනවා. සෙක්ස් කරලා නෑ කියන එක අවධාරණය කරලම කියනවා. 
 
එතකොට මේ අන්සතු බව තියෙන්නෙ කොතනද? සිංදුවෙ වචන වල හැටියට හැඟීම්වලින් නම් ඇය ඔහු සතු බවත් පැහැදිලියි. මේ කතා කරන්නෙ ඇගේ ශරීරය ගැන. ඒ ශරීරය තමයි තාම මේ පෙම්වතා සතු කරගන්න බැරි වෙලා තියෙන්නෙ. 
 
  
සෙක්ස් නොකිරීමේ පිවිතුරුබවම අවධාරණය කරන පසුගාමී සාම්ප්‍රදායික ආදර සංස්කෘතියේ ගිලුනු සිංදුවක් විදිහටයි ‍මං මේක දකින්නෙ. මේක මාස්ගත වීමට (බහුතරයා විසින් වැළඳගැනීමට) හේතුව වෙන්නෙ මේ පසුගාමී බවයි.
 
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
 
 
 
මේ කියන්නෙ අසම්මත ප්‍රේමයක් ගැන නෙමෙයි. මේ කියන්නෙ කුළුඳුල් ප්‍රේමයක් ගැන. අසම්මත ප්‍රේමයක් වෙන්නෙ සම්මතය කඩන තැනින්. අසම්මත ප්‍රේමයක් පටන් ගන්නෙම සෙක්ස්වලින්. මොකද ඒක තමයි සම්මතයට එරෙහිව ගහන කැරැල්ල. මේ කරන්නෙ සම්මතය පරිස්සම් කිරීම. නැවත හිමි කර ගැනීමේ ආශාව.
 
 මේක අඩුගානෙ ටයිටැනික්වල ජැක් රෝස් තරම්වත් නිර්භීත ආදරයක් නෙමෙයි. 
 
ගිල්ටියේ පැහැවමින් ඒ ගිල්ටියම රස විඳිමින් ගත කරන ලාංකේය ආදර උරුමයක්. විවාහයෙන් පිට ආදරය ඇතුලෙත් ආපහු හොයන්නෙ දුක. 
 
මේක අර බෞද්ද දුක් දොලහ ඇතුලෙ තියෙනවා. පියේහි විප්පයෝගෝ දුක්ඛෙ‍ා.. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක.
 
 
අසම්මත ප්‍රේමයේ උත්සවය මේ සිංදුවෙදි මගඅරිනවා. විරාගයේ අරවින්ද වගේ මඩ නොගෑවෙන, ශුද්ධ වූ අනියම් ප්‍රේමයක් ගැන සංකල්පයක් හදනවා. ඒක තමයි සාම්ප්‍රදායික විවාහයේ හිරවෙලා ඉන්න බෙලහීන සිංහල බෞද්ද පිරිමියාගේ ප්‍රේමයේ උපරිම සීමාව.
 
Ansathu Oba Song 5 
 
මේ රූප රචනයේ ආදරය දනවන විදිහ හොඳට බලන්න. කැම්පස්වල තියෙනවා බත් ලව් එක කියල එකක්. ඒකෙදි කෙල්ල විසින් කොල්ලට දිනපතා උයලා බත් එකක් අරන් ඇවිත් කවනවා. ඒ බත් එකට තමයි කොල්ලා නොගැලවෙන්න ඇලවෙන්නෙ. මේක අන්තිම ග්‍රාම්‍ය ආදර සංස්කෘතියක්. 
 
කොල්ලාගෙ කොලර් එක හදනවා. නැප්කින් එකක ඔතලා කෑම එකක් අරන් එනවා. මේ හැමදේකින්ම ප්‍රකාශමාන වෙන්නෙ සමානයෙකුගේ ආදරයක් නෙමෙයි. ආපහු මාතෘ ප්‍රේමයට කැඳවීමක්. උයා පිහා ඇඳුම් සෝදා දී රැකබලාගැනීමේ ආදරයක්. මේක සංස්කෘතියක් විදිහට පිටුදැකිය යුතු පුහුණුවක්. 
 
අන්සතු පෙම වැඩියෙන් හිට් වුනේ මෙන්න මේ විදිහට හරියට ඊඩිපස් සංකීර්ණය විසඳුනේ නැති රටේ බහුතරය අතර.
 
මං කලින් කිව්වා වගේ අසම්මත ප්‍රේමයන් විඳින අය මේ සිංදුවට කැමති වෙන්නෙ නෑ. ඒකට හේතුව මේ කියන වරදකාරීත්වය ඒ ප්‍රේමය විසින් බාරගන්නෙ නැති එක. මේකට කැමති වෙන්නෙ සම්මතය ඇතුලෙ අසම්මතය හොයන බියසුළු පෙම්වතුන්. ප්‍රේමයක පරමාර්ථය සුඛය මිස දුකක් නෙමෙයි. කරන්න ආසයි බයයි එකේ වුනත් තියෙන්නෙ කිතිකැවෙන ජොලියක්. මෙහෙම මළ පද වැලපිල්ලක් නෙමෙයි.
 
  
ඉතින් මගේ අදහස වෙන්නෙ අන්සතු පෙම කියන එක ලාංකේය සාම්ප්‍රදායික සමාජයේ ප්‍රේම ෆැන්ටසියක් කියන එකයි. ඒක අසම්මත ප්‍රේමයක් විදිහට ගැනීම අසම්මතයට කරන නිග්‍රහයක් කියන එකයි.
 
 
මේක කොහෙත්ම මේ නිර්මාණ කාර්යය පහත හෙලා දැකීමක් නෙමෙයි. මේකෙ තියෙන අයිඩියොලොජිකල් අවුලත් එක්ක ඒක හරි තැන පිහිටුවීමක් විතරයි.
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
 
 
සබැඳි විශේෂාංගය:
 
 
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...