BREAKING
Top Ad
Life

තුන්වන සීනුවට ද වඩා මිහිරි ජයලාල්ගේ හඬ -උදයසිරි වික්‍රමරත්න

T

The Leader

February 20, 2021 • 10:28 AM

තුන්වන සීනුවට ද වඩා මිහිරි ජයලාල්ගේ හඬ -උදයසිරි වික්‍රමරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණය තරම් සත්‍යයක් තවත් නැත. ජයලාල් අයියාගේ සමුගැනීම ගැන මා මෙතෙක් කිසිවක් ම නොලීවේ ඒ නිසාය. මරණය තරම් ම ඇත්තක් කිව යුතු බැවිනි.
  •   ජයලාල් රෝහණ මහතාගේ මරණය ආරංචි වූ මොහොතේ ජූඩ් ශ්‍රීමාල් මහතා ප්‍රකාශ කළේ ජයලාල් සතියකට පෙර තමාට ඇමතුමක් දුන් බවයි.
  • නැවත වේදිකා රගදැක්වීමට අවසර ලැබී ඇතැයි පුවත ඒ වන විට පැතිරෙමින් තිබිණි.    ජූඩ් මහතාට කතා කර ජයලාල් මහතා ප්‍රකාශ කර තිබුණේ යළි නාට්‍ය රගදැක්වීමක් සිදුවන්නේ නම් ජයලාල් රගපාන නාට්‍යයක් මුලින් ම රගදැක්වීමට යොදාගන්නා ලෙසයි.
  • රංගනය ආත්මය කරගෙන උපන් අයෙකුට එසේ සිතීම ස්වාභාවිකය.    හංසයාට දිය පිරුණු විලක් නැතිව ජීවත් විමට නොහැකි සේ ම ජයලාල් අයියාට ප්‍රේක්ෂකයාගෙන් පිරුණු නාට්‍ය ශාලාවක් නැතිව ජීවත් වීමට යම් අපහසුතාවක් දැනෙන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
කෝවිඩ් නිසා නාට්‍ය රගදැක්වීම නතර නොවුණේ නම් ජයලාල් අයියා තවත් ජීවත් වනු ඇතැයි යන්න මගේ හැගීමයි. ජයලාල් අයියා වේදිකාවට ගොඩ වන්නේ හංසයා දියට බසින්නාටත් වඩා ආසාවෙනි. 
 
හංසයාට විල් දිය ජීවිතය වන්නේ ද ජයලාල් අයියාට කරළිය ජීවිතය විය. ජයලාල් උපන්නේ රගපාන්නටය යන්න මගේ හැගීමයි. ඒ අවස්ථාව අවූරුද්දකට පමණ අහිමිවීම ජීවිතය කෙරෙහි ජයලාල් අයියාගේ ග්‍රහණය ලිහිල් වීමට හේතු වූවේ යැයි සිතමි.
 
ජයලාල් රෝහණ මහතාගේ මරණය ආරංචි වූ මොහොතේ ජූඩ් ශ්‍රීමාල් මහතා ප්‍රකාශ කළේ ජයලාල් සතියකට පෙර තමාට ඇමතුමක් දුන් බවයි. නැවත වේදිකා රගදැක්වීමට අවසර ලැබී ඇතැයි පුවත ඒ වන විට පැතිරෙමින් තිබිණි. 
 
ජූඩ් මහතාට කතා කර ජයලාල් මහතා ප්‍රකාශ කර තිබුණේ යළි නාට්‍ය රගදැක්වීමක් සිදුවන්නේ නම් ජයලාල් රගපාන නාට්‍යයක් මුලින් ම රගදැක්වීමට යොදාගන්නා ලෙසයි. ඒ ඉල්ලා සිටියේ මුදල් නොවේ. නාට්‍යයක් රගපෑමෙන් ලැබෙන මුදල් නොවේ. නාට්‍යය රගපෑමෙන් ලැබෙන ජීවිතයයි. 
 
අවුරුද්දක් පුරා නාට්‍ය රගපාන්නට නොලැබීමෙන් ජයලාල් අයියා ‘වෙහෙසට’ පත්ව සිටියේය. රංගනය ආත්මය කරගෙන උපන් අයෙකුට එසේ සිතීම ස්වාභාවිකය. 
 
හංසයාට දිය පිරුණු විලක් නැතිව ජීවත් විමට නොහැකි සේ ම ජයලාල් අයියාට ප්‍රේක්ෂකයාගෙන් පිරුණු නාට්‍ය ශාලාවක් නැතිව ජීවත් වීමට යම් අපහසුතාවක් දැනෙන්නට ඇත.
 
ජයලාල් අයියා අවසන් වරට රංගනයෙන් දායක වූ නාට්‍ය අතරට මගේ ‘ගරු කටානායකතුමනි’ නාට්‍යය ද අයත් වේ. ඒ නාට්‍යයට දේශපාලන නායකයන්ගේ චරිත වස්තු වේ. එහිදී ඔවුන්ගේ චරිතවල දුර්වලතා පමණක් නොව ප්‍රබලතා ද නිරූපණය වේ. 
 
ජයලාල් අයියා නිරූපණය කළේ මේ යුගයේ ප්‍රබලතම පෞරුෂය හිමි දේශපාලන චරිතයයි. දුර්ව චරිතයක් නිරූපණය කිරීමට ඕනෑම නළුවෙකුට හැකිය. එහෙත් ප්‍රබල දේශපාලන පෞරුෂයක් හිමි චරිතයක් නිරූපණය කිරීමට නම් නළුවාට ද ප්‍රබල පෞරුෂයක් හිමි ව තිබිය යුතුය. 
  
Jayalal Rohana.1
 
ජයලාල් රෝහණ මහතාගෙන් ‘මහින්ද රාජපක්ෂ’ මහතාට සාධාරණයක් මිස අසාධාරණයක් සිදුවූයේ යැයි නොසිතමි. 
 
දේශපාලන මතවාදී ස්ථාවරයන් නිසා ‘මහින්ද රාජපක්ෂ’ මහතාට අකැමති අය පවා ජයලාල් රෝහණ මහතා නිසා ‘මහින්ද මහතාට’ කැමති වූයේ යැයි සිතමි. 
 
රංගනයක ආශ්චර්යය එබඳුය. ඒ ආශ්චර්යමත් රංගන හැකියාව පිළිබදව අවමංගල්‍ය උළෙලේ දී ගුණ කථනය කරමින් ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් මැනවින් පැහැදිලි කරන ලැබිණි.
 
කෙසේවුවත් ජයන්ත චන්ද්‍රසිරි මහතා එහිදී තමා ලියා ඇති දෙබස් ජයලාල් රෝහණ මහතා හරිහැටි මතක තබාගෙන නොකීවේ යැයි චෝදනාවක් ඉදිරිපත් කළේ නැත. නාට්‍ය රචකයන් වන අපට අප ලියන දෙබස්වලට වඩා වටින දෙයක් නැත. 
 
එහෙත් ජයලාල් අයියා වැනි නළුවන්ට ඊට වඩා වටින දේ ඇත. ඒ නාට්‍ය නැරඹීමට පැමිණ සිටින ප්‍රේක්ෂකයායය. අප කොතරම් හොද නාට්‍ය ලියූවත් ජයලාල් රෝහණ වැනි නළුවන් නැති නම් ප්‍රේක්ෂකයා නාට්‍යශාලාවට ඇදෙන්නේ නැත. 
 
මගේ නාට්‍යයේ මා ලියූ බොහෝ දෙබස් ජයලාල් අයියාට මතක තිබුණේ නැත. එහෙත් ඒ නිසා ‘මහින්ද රාජපක්ෂ’ මහතාට අසාධාණයක් වූයේ නැත. සිදුවූවා නම් සාධාරණය පමණි.
 
කෙසේවුවත් ජයලාල් අයියාම ලියූ ලෝකා නාට්‍යයේ ජයලාල් අයියා ම රගපෑ චරිතයෙන් පසුව ජයලාල් අයියාට විශිෂ්ටම චරිතය රගපාන්නට ලැබුණේ නාට්‍යයක නොව ටෙලි නාට්‍යයක බව ද කිව යුතුය. ඒ මුතුමිණ චරිතයයි. 
 
Isuruyogaya
 
සුසිරන් ද සිල්වා මහතා මුතුමිණ නම් අපූරු චරිතයක් මවාගත්තේය. ඒ චරිතයට හොදම නළුවා ද තෝරාගැනීමේ හැකියාව ඔහුට තිබිණි. සුසිරන් මහතා වචනයෙන් සංකල්පයෙන් මවාගත් චරිතය ජයලාල් රෝහණ මහතා ප්‍රේක්ෂකයාගේ ඇස් පනාපිට මවා පෙන්වූවේය. 
 
ඒ රංගනය කොතරම් ද යත් අපට මුතුමිණ චරිතය ද ජයලාල් රෝහණ මෙන් ම ඇත්ත ජීවිතයක් චරිතයක් යැයි සිතෙයි. 
 
රංගනයේ ආශ්චර්යය එබඳුය. නිර්මාණයේ ආශ්චර්යය එබදුය. සුසිරන් ද සිල්වා සිතේ මැවූ චරිතය ජයලාල් රෝහණ මහතා ඇත්තක් බවට පත් කළේය.
 
තවත් ටිකක් ලියන්නට තිබේ. වේලාව රාත්‍රී දොළහකුත් මිනිත්තු හතළිස් පහකි. රංග ශාලාවේ දී ජයලාල් අයියාගේ කටහඬ නාට්‍යය ඇරඹීමට නාද වන තුන්වන සීනුවට ද වඩා සැමවිටම මිහිරිය.
 
 
- උදයසිරි වික්‍රමරත්න

 

 


 

 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...