BREAKING
Top Ad
Life

සිනමා : පොදු සතුරා හඳුනාගන්නැයි ඉඟි කරන 'පුර සක්මන' - ජයසිරි අලවත්ත

T

The Leader

May 1, 2021 • 8:10 AM

 සිනමා :  පොදු සතුරා හඳුනාගන්නැයි ඉඟි කරන 'පුර සක්මන' - ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පීඩිත පංතියේ ජනතාව මතු නොව මධ්‍යම පංතියේ ද, ඉහළ මධ්‍යම පංතියේ ද ජනතාව වුව ද කිසියම් සමාජ, ආර්ථික හෝ දේශපාලනික පීඩාවකට පත්ව සිටිය ද ඔවුහු කිසිවකු තමන්ගේ පොදු සතුරා නොහඳුනති;
  •   ටිකිරි රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් 2003 වසරේ දී තිරගත වූ ‘‘පුර සක්මන’’ සිනමා නිර්මාණය තුලින් ප්‍රකට කෙරෙන්නේ යට කී යථාර්ථය යි.
  •   වියළි කලාපයේ ගමක වෙසෙන චරිත කිහිපයක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම සිනමා පටයේ මතුපිටින් දක්නට ලැබෙන සතුරා නම් විල්මන් (ක්ලිටස් මෙන්ඩිස්) ය.
  • දාමරිකයකු වන ඔහු නම් දරා සිටින්නේ සුරා සොඬෙකු සහ ස්ත්‍රී ලෝලියෙකු ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
පොදු සතුරාට එරෙහිව අරගල නොකරති; පොදු සතුරා යැයි සිතා ඔවුන් සටන් වදින්නේ පුද්ගලික සතුරා සමගිනි. එය පොදු සතුරාගේ ජයග්‍රහණයේ මාවත යි. එය එසේ වුව ද යට කී කිසිදු පංතියක් එකී යථාර්ථය අවබෝධ කර නොගනී.
 
ටිකිරි රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් 2003 වසරේ දී තිරගත වූ ‘‘පුර සක්මන’’ සිනමා නිර්මාණය තුලින් ප්‍රකට කෙරෙන්නේ යට කී යථාර්ථය යි.
 
වියළි කලාපයේ ගමක වෙසෙන චරිත කිහිපයක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම සිනමා පටයේ මතුපිටින් දක්නට ලැබෙන සතුරා නම් විල්මන් (ක්ලිටස් මෙන්ඩිස්) ය. දාමරිකයකු වන ඔහු නම් දරා සිටින්නේ සුරා සොඬෙකු සහ ස්ත්‍රී ලෝලියෙකු ලෙසිනි. ඒ ඔහුගේ චර්යා රටාව ය. 
 
ඔහු එකී චර්යා රටාවේ නියැළෙන්නේ ද පවත්නා සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු බොහොමයකට මැදිව සිටින කාන්තා පාර්ශ්වය සමගිනි. ඒ එක් එක් කාන්තාව ඔහුගේ ග්‍රහණයට හසුවන පළමු අවස්ථාවේ අකමැත්තක් ප්‍රකාශ කළ ද ඉන් අනතුරුව ඔහු සමග යහන් ගතවන්නේ සිය කැමැත්තෙන් බව සිනමා නිර්මාණයේ මතුපිටින් දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. නමුදු එය එසේ ම ද යන්න යළි යළිත් සිතා බැලිය යුතු ය.
 
චිත්‍රපට කතාවට අනුව විල්මන් පළමුව සිය ග්‍රහණයට නතු කරගන්නේ ගුණවතී ය. ඇගේ සැමියා වන අන්දිරිස් (හේමසිරි ලියනගේ) සිරගත වන්නේ කසිප්පු විකිණීමේ වරදට ය. ඔහු කසිප්පු විකුණන්නේ ගොවිතැන් කිරීමෙන් පමණක් දිවි ගැටගසාගැනීමට නොහැකි බැවිනි. වන අලින්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගැනීමේ සිට ස්වාභාවික ව්‍යසන හේතුවෙන් සිදුවන ජල හිඟතාව දක්වා වූ සියලු බාධක ඔවුන්ගේ ගොවිතැන නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට බාධා පමුණුවන්නේ ය. 
 
 
 

p12

 
 
වගා කළ හැකි කාල සිමාවේ දී කෙසේ හෝ දිවි ගැටගසාගන්නා මේ ජන ප්‍රජාවෝ වියළි කාලගුණය පවතින සමයේ අනන්ත දුක්ගැහටවලට මුහුණ පාන්නෝ ය. එකී ගැටලු විසඳාලීමට පාලක පාර්ශ්වයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැත. 
 
එහි දී ගමේ වෙසෙන වැන්දඹු කාන්තාවන්ට මතු නොව තාවකාලික කාලයකට හෝ සිය සැමියා අහිමිව සිටින කාන්තා පාර්ශ්වයට සිදුවන්නේ ධනය සහ මැර බලය හිමි පුද්ගලයකුගේ හෝ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත කටයුතු කරන්නට ය. ඒ ජීවන රටාවේ දී වුව ද දැඩි පීඩනයකට ලක්වන්නෝ කාන්තාවෝ ය.
 
සිනමා නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වා ම ඉතා මැනවින් සිය දක්ෂතා විදහා දක්වමින් සෝමෙ නමැති චරිතයට පණ පොවන ජනක කුඹුකගේ නියෝජනය කරන්නේ කුමන සාධකයක් ද? සැබැවින් ම ඔහු නියෝජනය කරන්නේ මෙරට වෙසෙන පීඩිත පංතිය යි; අවිහිංසක ගැමි ප්‍රජාව යි. මෙරට වෙසෙන සමස්ත පීඩිත ප්‍රජාව ම ඔහු මෙන් ම කිසිදු හව්හරණක් නොමැති පිරිසකි. 
 
ගමේ වෙසෙන බලවතා මතු නොව සාමාන්‍ය ජනතාව පවා බොහෝ විට ඔහු සමාජයෙන් වියුක්ත කර තබන්නට යත්න දරන්නේ රටේ පාලකයෝ පිඩිත පංතියේ ජන ප්‍රජාව සමාජයෙන් වියුක්ත කර යත්න දරන ආකාරයට ම ය. නමුදු ඔහු නිරන්තරයෙන් ම තම පීඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් කළ හැකි යමක් වේ නම් එය නොපිරිහෙළා ඉටු කරයි. 
 
අවසානයේ විල්මන්ට එරෙහිව සිය දැත් ඔසවන්නේ ද මෙරට තරුණ ප්‍රජාව එක් නිශ්චිත මොහොතක දී පවතින සමාජ දේශපාලන ක්‍රමයට එරෙහිව අරගල කළ ආකාරය සංකේතවත් කරමිනි. 
 
අවසන සිදුවන්නේ ද එබඳු ප්‍රජාව කෙරෙහි පාලකයෝ අනුගමනය කල ක්‍රියාදාමය ම ය. එනම් ගමට ව්‍යසනයක්ව සිටින, ගමේ ප්‍රජාව (විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වය) දැඩි පීඩනයට ලක් කරන විල්මන්ට එරෙහිව අත් එසවූ මොහොතේ සිට ඔහු ගමෙන් අතුරුදන් වීම ය.
 
 1971 දී, 87-89 වකවානුවේ දී මෙන් ම යුද සමයේ දී මෙරට දේශ හිතෛෂී ජනතාව දේශ ද්‍රෝහින් ලෙස නම් කර: අතුරුදන් කළේ ද, විවිධ වධ බන්ධනයට ලක් කළේ ද, මරා දැමුවේ ද පීඩක පාලක පංතියට එරෙහිව සාකච්ඡා කිරීම, ජනතාව සංවිධානය කිරීම සහ අවි අමෝරා නැගී සිටීම හේතුවෙනි.
 
 
 
 

1774 1

 
 
 
අනෙක් පසින් අපේ රටේ මතු නොව ලෝකයේ බොහෝ රටවල වෙසෙන මිනිස්සු යම් පුද්ගලයෙකු සතුරෙකු ලෙස සලකන්නේ තමන්ට සතුරුකම් කිරීමෙන් ඉක්බිතිව ය. එසේ නොවන තාක් කල් අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම සමස්ත රටට මතු නොව ලෝකයේ වෙසෙන විවිධ ප්‍රජාව කෙරෙහි විවිධ සතුරුකම් කළ ද ඊට එරෙහිව වචනයකින් හෝ නැගී සිටීමට යත්න නොදරති. නමුදු තමන්ට පුද්ගලිකව වරදක් කළ මොහොතේ අදාළ පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහි නැගී සිටිති. 
 
ගුණවතී විල්මට එරෙහි අවි අමොරන්නේ විල්මන් ඇය සමග යහන්ගත වන අතර ම සිය දියණියට බලහත්කාරයෙන් අතවර කිරීම හේතුවෙනි; ඇය ගැබ්ගැනීම හේතුවෙනි. නමුදු ඒ සටන හුදෙකලා සටනකි. එයින් සිදුවන්නේ ගුණවති විල්මන්ට එරෙහිව එසවූ අවියෙන් ම ගුණවතීගේ දිවි අහිමි වීම ය. 
 
 download
 
 
 
හුදෙකලා සටන්වල නියැළෙන පීඩක පන්තියට අත්වන්නේ ද මේ ඛේද ජනක ඉරණම ම ය. එහි දී සැබැවින් ම නම් ගුණවතීගේ මරණයට වගකිව යුත්තේ විල්මන් වුව ද ඔහු නිදොස් කොට නිදහස් කෙරෙන්නේ ගුණවතීගේ පාර්ශ්වය කෙරෙහි අවධානය යොමු කරන්නට කිසිවකු නොසිටීම හේතුවෙනි. එනම් බලය ඇති පුද්ගලයාට එරෙහිව කටයුතු කරන්නට තරම් පීඩිත ප්‍රජාව ශක්තිමත් නොවීම හේතුවෙනි.
 
දේශපාලකයෝ ද එක් අවස්ථාවක පුද්ගලිකව පරාජයට පත් වෙන අතර ඒ මොහොතේ ඔවුහු තාවකාලිකව පසු බසිති. නමුදු කල් යල් බලා යළි කල-එළි බසිති. 
 
විල්මන් ද ගුණවතිගේ මරණයට චුදිතයෙකු වුව ද අවසන ඔහුට එරෙහිව සාක්ෂි නොමැති බැවින් නිදහස ලැබීමෙන් ඉක්බිති යළි ගමට පැමිණ, ඔහු විසින් ම තාරුණය උදුරගනු ලැබූ යසා යළි සිය ග්‍රහණයට ගන්නට යත්න දරන්නේ තමාට එරෙහි බලවේගයක් නිර්මාණය කරන්නට තරම් ගම්වැසි ප්‍රජාව ශක්තිමත් නොවන බව හෙතෙම අවබෝධ කරගෙන සිටින බැවිනි.
 
 යම් පමණකට හෝ එරෙහිවන අවිහිංසක සෝමේ අතුරුදන්වීමෙන් ඉක්බිතිව යළි යසා සොයා පැමිණෙන්නේ ද සිය බල පරාක්‍රමයට අනෙකා යටත් බව දන්නා බැවිනි. මෙරට පාලකයෝ ද එක් වරක් පරාජයට පත්ව, යළි කල් යල් බලා බලයට පැමිණ, පෙර දිනක නැවතූ තැන් සිට යළි සිය මර්දිත ක්‍රියාමාර්ග දියත් කරන්නේ ඔවුන් අත බලය පවත්නා බැවිනි.
 
අවසන විල්මන් ඝාතනය කෙරෙන්නේ යසාගේ ආවේගශීලි කියා පිළිවෙත හේතුවෙන් වුව ද එහි වගකීම බාරගනු ලබන්නේ ඇගේ පියා විසිනි. 
 
විල්මන් ඝාතනය කළ පමණින් ම යසා බඳු ප්‍රජාවගේ ජීවන රටාව යහපත් අතට ගමන් කරයි ද? ඔවුන් නිදහස් මිනිස්සු ලෙස දිවි ගෙවයි ද? නැත... කිසි සේත් ම නැත. මන්ද විල්මන් යනු ඔවුන්ගේ පුද්ගලික සතුරා මිස පොදු සතුරා නොවේ. පොදු සතුරා යනු එවන් සමාජ ආර්ථික රටාවක් පවත්වාගෙන යන පාලක පෙළැන්තිය යි. එකී පාලක පෙළැන්තියට එරෙහිව අරගල කරන තාක් කල්: ගුණවති, යසා, සෝමේ සහ අන්දිරිස් බඳු පීඩිත ප්‍රජාවගේ ජීවිත නගාසිටුවිය නොහැකි ය; ඔවුන්ට විමුක්තිය උදා කර දිය නොහැකි ය. 
 
එබැවින් ගුණවති, යසා, සෝමේ සහ අන්දිරිස් යනාදි පිරිස් සාකච්ඡා කළ යුත්තේ, සංවිධානය විය යුත්තේ, සටන් වැදිය යුත්තේ තම ප්‍රජාව පාගාගෙන සිටින, පීඩාවට පත්කරමින් සිටින පොදු බලවේගයට එරෙහිව ය. එසේ නොවන තාක් කල් සිදුවන්නේ අද ඝාතනය වූ විල්මන් වෙනුවට හෙට තවත් විල්මන් කෙනෙකු බිහිවනවා සේ ම අද පරාජය වන පීඩක පෙළැන්තිය වෙනුවට හෙට දිනයේ තවත් පීඩක පෙළැන්තියක් බිහිවීම ය.
 
පුර සක්මන සිනමා සිත්තම තුළ මතුපිටින් දක්නට ලැබෙන්නේ වියළි කලාපයේ මිනිසුන්ගේ දිවි පෙවත වුව ද එහි යටි පෙළින් ප්‍රකට කෙරෙන්නේ මෙරට සමස්ත පීඩිත පංතියේ ඛේදවාචකය යි; පීඩිතයෝ පීඩකයන්ට එරෙහිව අරගල කළ යුතුය යන්න යි. සිනමා නිර්මාණය අවසන් වන මොහොතේ අන්දිරිස්ගේ මුවෙන් මුදාහරින වදන් තුළ ගැබ්ව පවත්නේ එකී යථාර්ථය යි.       
 
 
 
  
 
‘‘පුර සක්මන’’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වූවෝ
 
අනෝජා වීරසිංහ (ගුණවතී), හේමසිරි ලියනගේ (අන්දිරිස්), කාන්චනා මෙන්ඩිස් (යසා), ක්ලිටස් මෙන්ඩිස් (විල්මන්), ජනක කුඹුකගේ (සෝමෙ), ග්‍රේස් ආරිය විමල් (එමලින්), දුලීකා මාරපන (පියවතී), රිචාඩ් වීරක්කොඩි, විනී වෙත්තසිංහ
 
 
නිෂ්පාදනය - සාමා රත්නායක
 
කැමරාකරණය - ලාල් වික්‍රමාරච්චි
 
සංස්කරණය - එල්මෝ හැලිඩේ
 
සංගීතය - නවරත්න ගමගේ
 
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ටිකිරි රත්නායක
 
බෙදාහැරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
 
තිරගත වූයේ - 2003 වසරේ පෙබරවාරි 12වන දින සිට යි
 
 
 
JA 21.05.01(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
2021/04/30
 
###############

 

 

THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...