BREAKING
Top Ad
Life

පංතිය රකින පංතියේ කතාව - ‘‘අසනි වර්ෂා’’

T

The Leader

June 26, 2021 • 12:55 AM

පංතිය රකින පංතියේ කතාව - ‘‘අසනි වර්ෂා’’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලොව කොතැනක හෝ නව්‍ය ජන්මයකට හිමිකම් කියන මිනිස් ජීවින් මතු නොව වෙනත් ඕනෑ ම ජීවියෙකු උත්පාද වන්නේ එම ජීවියාගේ අවශ්‍යතාවකට නොවේ.
  • වඩාත් සරලව පවසන්නේ පිරිමි සත්වයකුගේ සහ ගැහැනු සත්වයෙකුගේ ලිංගිකාස්වාදය උදෙසා යෙදෙන ලිංගික සංසර්ගයේ ඵලයක් ලෙසිනි.
  • එය මනුසතා හෙවත් මිනිසා වෙත යොමු කරන්නේ නම් කිසියම් පුරුෂයෙකු සහ කාන්තාවක් ඔවුනොවුන්ගේ ලිංගික තෘප්තිය උදෙසා සිදු කරන ලිංගික සංසර්ගයේ ඵලයක් ලෙසිනි.
  • යථාර්ථය එසේ වුව ද මෙලොවට උත්පාද වන සෑම මිනිස් ජීවියෙකු වෙනුවෙන් ම අදාළ ජීවියාගේ මව සහ පියා ලෙස හඳුන්වනු ලබන පුද්ගල යුවළ අතුරෙන් සියයට සියයක් ම අදාළ වගකීම් කොටස ඉටු කරනවා ද?
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළ ජීවියා උත්පාද වන්නේ එම ජිවියාගේ ‘‘මව’’ සහ ‘‘පියා’’ ලෙස හඳුන්වන ජීවින් දෙදෙනාගේ තෘප්තිය උදෙසා යෙදෙන යම් ක්‍රියාවක ඵලයක් ලෙසිනි. වඩාත් සරලව පවසන්නේ පිරිමි සත්වයකුගේ සහ ගැහැනු සත්වයෙකුගේ ලිංගිකාස්වාදය උදෙසා යෙදෙන ලිංගික සංසර්ගයේ ඵලයක් ලෙසිනි. එය මනුසතා හෙවත් මිනිසා වෙත යොමු කරන්නේ නම් කිසියම් පුරුෂයෙකු සහ කාන්තාවක් ඔවුනොවුන්ගේ ලිංගික තෘප්තිය උදෙසා සිදු කරන ලිංගික සංසර්ගයේ ඵලයක් ලෙසිනි. ඇතැම් විට කාන්තාව බලහත්කාර ලිංගික ක්‍රියාවකට යටත් වූයේ නම් එය හුදෙක් පුරුෂයාගේ ලිංගික අවශ්‍යතාවේ අතුරු ඵලයකි. 

මෙලෙස පුරුෂයකුගේ සහ කාන්තාවකගේ ලිංගික තෘප්තියේ අතුරු ඵලයක් ලෙස මෙලොවට උත්පාද වන මිනිස් ජීවියා හට: කවා - පොවා, හදා - වඩා, අධ්‍යාපනයට යොමු කරවා ඔහු හෝ ඇය සමාජයට වැඩදායී පුද්ගලයෙක් බවට පත්කිරීම එම ජීවියාට උපත දුන් කාන්තාවගේ සහ පුරෂයාගේ වගකීමකි.

asani 02

එම කාන්තාවට සහ පුරුෂයාට අදාළ වගකීමෙන් නිදහස් විය නොහැකි ය; මගහැර යා නොහැකි ය. යථාර්ථය එසේ වුව ද මෙලොවට උත්පාද වන සෑම මිනිස් ජීවියෙකු වෙනුවෙන් ම අදාළ ජීවියාගේ මව සහ පියා ලෙස හඳුන්වනු ලබන පුද්ගල යුවළ අතුරෙන් සියයට සියයක් ම අදාළ වගකීම් කොටස ඉටු කරනවා ද? සත්‍ය තත්ත්වය නම් ‘‘නැත’’ යන්න ය. සියයට සියයක් දෙමාපිය යුවළ එකීවගකීම නිසි ලෙස ඉටු කර තිබුණේ නම්, ඉටු කරන්නේ නම්: මේ සමාජයේ බාල අපරාධකරුවන් හෝ අපරාධකාරියන් බිහි නොවන්නේ ය. ළමා නිවාස අවැසි නොවන්නේ ය.

 වසර දෙදහස් පන්සියයක වගාඩම්බර ඉතිහාසයකට උරුමකම් ඇති බවට වහසි බස් දොඩන මෙරට ළමා නිවාස කෙතරම් පවතී ද, දිනකට කලල කීයයක් නම් ගබ්සා කෙරෙන්නේ ද, දරුවන් කෙතරම් මහ මග දමා යන්නේ ද, අවජාතක යැයි හැඳින්වෙන දරුවන් කෙතරම් සිටින්නේ ද...? මේ සියල්ලට වග විය යුත්තේ ‘‘දෙමාපියන්’’ ලෙස හෝ ‘‘මව සහ පියා’’ ලෙස හැඳින්වෙන පුද්ගලයන් සහ ‘‘අවජාතක’’ නමැති සංකල්පය තව දුරටත් වලංගු සංකල්පයක් ලෙස පවත්වාගෙන යන සමාජය ම නොවන්නේ ද? 

අද විමංසනයට බඳුන් කරන සිනමා නිර්මාණයේ ප්‍රමුඛ සංකල්පය වන්නේ ද ‘‘අවජාතක’’ යැයි සමාජයෙන් වියුක්ත කළ දරුවකුගේ ඛේදවාචකයකි. මෙකී ඛේදවාචකය අඩංගු වන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ, 2005 වසරේ අප්‍රියල් 07 වන දින සිට තිරගත කළ ‘‘අසනි වර්ෂා’’ සිනමා සිත්තමේ ය. 

asani 05

 

කතා සාරාංශය

 

සංජීව ගොඩකුඹුර යනු පාරම්පරිකව ම දේපළ හිමි උගත් තරුණයෙකි. යොවුන් වියේ දී ඔහුගේ ප්‍රේමවන්තිය වූයේ රුවන්ති (මීනා කුමාරි) ය. නමුදු සංජීවගේ පාර්ශ්වයෙන් එයට දැඩි විරුද්ධත්වයක් දක්වයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රුවන්ති ගැබිනියකව සිටිය දී ම සංජීව සහ ඔහුගේ දෙමාපියෝ මෙරට තිබු සියලු දේපොළ විකුණා විදේශගතවීම ය.

කුඩා දරුවකු සමග අතරමං වන රුවන්ති කෙරෙහි අනුකම්පාවෙන් ඇය සමග විවාහ වන්නේ පැට්‍රික් නමැති: නිහඬ, අවංක, පුද්ගලයෙකි. ඔහු සෙවණේ ඇති දැඩිවන රුවන්තිගේ (සංජීව ගොඩකුඹුරට දාව කුස හොත්) දරුවා ප්‍රදීප් ගොඩකුඹුර (ජගත් චමිල) ය.

asani 04

 

පංතිය සමග පංතිය

 

සිනමා සිත්තම ඇරඹෙන්නේ ප්‍රදීප්, ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ සහචරයෙකු ලෙස ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා දායකත්වය දක්වන රූප රාමුවකිනි. එතැන් සිට කතාව දිගහැරෙන්නේ ප්‍රදීප් සිය පියා වන සංජීව සොයා යාම, සංජීවට එය මහත් කරදරයක් බවට පත්වීම සහ ඔහු එම කරදරයෙන් බේරීම සඳහා යොදන අමානුෂික වැඩපිළිවෙළ හේතුවෙන් තරුණ ජීවිතයක් මෙලොව හැර යන තුරු පවතින ගැටුම පිළිබඳව ය. මෙම ඇමතිවරයා (සනත් ගුණතිලක) ද සංජීවගේ පාසල් සගයෙකි. අවසන ‘‘ලෙයට ලෙය කවදත් එකමුතු ය’’ යන සාම්ප්‍රදායික ආකල්පය සුනු විසුනුව ගොස් ‘‘පංතියට පංතිය කවදත් එකමුතු ය’’ නමැති සංකල්පය ඉතා මැනවින් ස්ඵුට කරන්නට මෙම සිනමා සිත්තම සමත් වී තිබේ. 

 

මෙම සිත්තම තුළ ජීවත්වන පැට්‍රික් නමැති නිහතමානී මිනිසා සහ රුවන්ති හෙවත් ප්‍රදිප් ගේ මව හැර අන් සියල්ලෝ ම කුමන තත්ත්වයක් යටතේ වුව ද, කවුරුන් තළා පෙළා වුව ද, සිය පැවැත්ම තහවුරු කරගන්නට යත්න දරන්නෝ ය. ඒ අනුව ගත් විට මෙම නිර්මාණය මතු දැක්වෙන පරිදි පාර්ශ්ව කිහිපයකට වෙන් කළ හැකි ය.

01.  තම ආසන්නත ම සගයා වුව ද තමාගේ පැවැත්මට බාධාවක් වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාප ඉක්මනින් ම නවතාලන්නට පෙලඹෙන දේශපාළුවන්ගේ කතාව

02.  තම ලෙයින් උපන් දරුවා වුව ද තමාගේ මධ්‍යම පාන්තික පවුල් කුටුම්බයට මතු නොව සමස්ත ජීවිතයට ම බලපෑම් එල්ල කරන්නේ නම් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන පියවරුන්ගේ කතාව

03.  එකම පියෙකුට දාව කාන්තාවන් දෙදෙනෙකුගේ කුසෙන් උපන් දරුවන් තිදෙනෙකුගේ පැවැත්මේ පරස්පරතාව

04.  ‘අවජාතක’ යැයි සම්මත, සමාජයෙන් වියුක්ත වූ, හැකි තාක් දුර ඉවසීමෙන් කටයුතු කරන සහ කටයුතු කළ පුතෙකුගේ ඛේද ජනක ඉරණම

asani 01

 

කියවා ගතයුතු සිනමාව    

 

සමස්ත නිර්මාණය එක මිටට ගත් විට වඩාත් වැරැදි කවුද යන්න හෝ වඩාත් නිවැරැදි කවුද යන්න හෝ නිශ්චය කරගත නෙහැකි ය. එසේ වුව ද එබඳු ඛේද  ජනක දෑ සිදුවන්නට බලපාන ප්‍රධාන සමාජ, ආර්ථික සහ සංස්කෘතික හේතු මොනවා ද යන්න වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නට ‘‘සිනමාව කියවන ප්‍රේක්ෂක ප්‍රජාවට’’ අපහසු නොවේ.

සමාජයේ අවධානය යොමු විය යුත්තේ එහි පළමු වැරැද්ද සිදු කරන්නේ සංජීව ගොඩකුඹර නමැති දේපොළ හිමි තරුණයා ද, එසේත් නමැති නම් ඔහුගේ දෙමාපියන් ද යන්න පිළිබඳව නොවේ. එකී වරද සිදුවන්නේ හෝ එය සිදු කරන්නේ සංජීවගේ දෙමාපියන් මතු නොව මෙරට බොහෝ මිනිස්සු හිස මත තබාගෙන සිටින පුහු ආකල්ප හේතුවෙන් නොවේ ද යන්න පිළිබඳව ය. අප නිවැරැදි කරගත යුත්තේ එතැන ය. සමාජයක් ලෙස අපට එම ආකල්ප පසෙක ලා ‘‘සෑම දරුවෙක් ම දරුවෙක්’’ නමැති ආකල්පය වර්ධනය කරගත හැකි වන්නේ නම් අනාගතයේ දී මෙවන් ඛේදවාචක සිදුවීම අවම කරගත හැකි ය. නමුදු එය ආරම්භ කළ යුත්තේ තනි තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් වශයෙනි. 

 

asani 07

වෙනස් කරගත යුතු ආකල්ප

 

පසු ගිය වසරේ මැයි මාසයේ දී පමණ විකාශනය අවසන් වූ, ශාන්ති දිශානායක විසින් රචිත කෘතියක් ඇසුරෙන් නිෂ්පාදනය කර තිබූ ‘‘ගිරිදේවී’’ ටෙලි නිර්මාණයේ ‘ආශා’ ද එවන් ඛේද ජනක ඉරණමකට ගොදුරුවන තරුණියකි. එහි දී ද ‘ආශා’ යනු: කාට දාව, කාගේ කුසෙන්. කෙසේ බිහිවූ දරුවෙක් ද යන්න අවධානය යොමු නොකර ඇය ද ‘අපේ දරුවෙකි’ යන ආකල්පයෙන් යුතුව කටයුතු කළේ නම් ඇය සිය ජීවිතයේ දී මුහුණ දුන් අභාග්‍යසම්පන්න සිදුවීම්වලට මුහුණ නොදෙන්නී ය. 

ලෝකය කෙතරම් දියුණු යැයි පැවසුව ද මිනිස් සිත් තුළ පවත්නා ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කර නොගන්නේ නම් එය ‘‘දියුණු මිනිස්සු සිටින සමාජයක්’’ ලෙස නම් කළ නොහැකි ය. එය ආරම්භ කළ යුත්තේ කෙසේ ද කොතැනින් ද යනුවෙන් කිසිවකු විමසන්නේ නම් එයට දිය හැකි ඍජු ම සහ එක ම පිළිතුර ‘‘එය ඔබගෙන් ආරම්භ කරන්න’’ යන්න ය. ඔවු... එය ඔබගෙන් ආරම්භ කරන්න. එසේ කළ හැකි නම් කඩිනමින් නොවුණ ද ක්‍රමානුකුලව හෝ සමාජයේ වෙසෙන මම සහ ඔබ වැනි ම තවත් බොහෝ පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත වනු නොඅනුමා ය. 

සිනමා සිත්තමට දායකත්වය සැපයු පිරිස 

නිෂ්පාදනය -සෝමා එදිරිසිංහ

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර

සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, සුනිල් විශ්වනාත් දෑරංගල 

කැමරා අධ්‍යක්ෂණය -ජයනාත් ගුණවර්ධන 

සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ 

අංග රචනය - ඉමල් ශානක

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

තිර රචනා සහාය - කවිමල් සූරියආරච්චි, මමෝහාරි දයානන්ද, සංජීවිනා

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

රඟපෑමෙන් දායක වූවෝ

ජගත් චමිල (ප්‍රදීප් ගොඩකුඹුර), කමල් අද්දරආරච්චි (සංජීව ගොඩකුඹුර), සනත් ගුණතිලක (සිරිමාන්න ඇමති), මීනා කුමාරි (රුවන්ති), වීණා ජයකොඩි (සංජීව ගොඩකුඹුරගේ මව), මහේන්ද්‍ර පෙරේරා (පැට්‍රික්), සේමිණි ඉද්දමල්ගොඩ (සංජීව ගොඩකුඹුරගේ නීත්‍යනුකූල බිරිඳ), ජානකී විජේරත්න, නිලු හෙට්ටිහේවා, රන්මිණි ලොරෙන්සුහේවා, කසුන් චාමර, වීනු නානායක්කාර, ප්‍රසන්නජිත් අබේසූරිය, මංජුලා පෙරේරා, දිමුතු චින්තක,සුරංග පෙරේරා, නිලූප හින්කෙන්ද, සම්පත් වන්නිආරච්චි, අතුල ජයසිංහ, සහන් රත්නායක, සම්පත් ජයවීර, බී. ජේ. චන්ද්‍රදාස, නිශාන්ත ගුණවර්ධන,විරාජ් වීරක්කොඩි, එල්. එච්. ප්‍රේමදාස, නිරාන් දිල්රුක්, සාගරිකා ශ්‍රීලාල්, ජයතිස්ස අතුලසිරි ,

Jayasiri Alawaththaජයසිරි අලවත්ත

2021/05/25

 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...