BREAKING
Top Ad
Life

මා දුටු 'නිමිති' - ජයසිරි අලවත්ත

T

The Leader

November 21, 2021 • 1:49 AM

මා දුටු 'නිමිති' - ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘නිමිති’’- මංජුල වෙඩිවර්ධනගේ දසවන කාව්‍ය සංග්‍රහයයි.
  • ඔහු එ’කව තුළින් පවසන ආකාරයට ම එම කෘතියේ මතු නොව ඔහුගේ සියලු කෘති තුළ යට සඳහන් ආකාරයේ කවි අන්තර්ගත ය.
  • මෙහි දී මෙම කවි දෙවර්ගය දෙස ම අපි අවධානය යොමු කළ යුත්තේ වචනාර්ථයෙන් නොව ඊට ඔබ්බෙන් ගැබ්ව ඇති අරුතෙනි.
  • එසේ නම් පාඨක ප්‍රජාව කළ යුත්තේ සිද්ධි වාචක හෝ සොබා සෞන්දර්ය පිළිබද ලියවී ඇති කවි විඳින ආකාරය සහ ‘‘නිමිති’’ බඳු කවි විඳින ආකාරයේ වෙනස හඳුනාගෙන, එබඳු කවි කියවා විඳගැනීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):




‘‘මේ ඇතැම් කවි
මග සොයාගන්නට
ඔවු ඇතැම් කවි
අතරමං වෙන්නට...’’




යට සඳහන් කළ කවිය අන්තර්ගත කර තිබෙන්නේ මංජුල වෙඩිවර්ධනගේ දසවන කාව්‍ය සංග්‍රහය වන ‘‘නිමිති’’කෘතියේ ය. ඔහු එ’කව තුළින් පවසන ආකාරයට ම එම කෘතියේ මතු නොව ඔහුගේ සියලු කෘති තුළ යට සඳහන් ආකාරයේ කවි අන්තර්ගත ය. එනම් ‘මග පෙන්වන කවි’ සහ ‘අතරමං වන කවි’ ය. නිමිති කෘතියේ ද ‘මග පෙන්වන’ නිර්මාණ බහුල වන අතර ම ‘අතරමං වන කවි’ ද නැතුවා නොවේ.

මෙහි දී මෙම කවි දෙවර්ගය දෙස ම අපි අවධානය යොමු කළ යුත්තේ වචනාර්ථයෙන් නොව ඊට ඔබ්බෙන් ගැබ්ව ඇති අරුතෙනි. එනම් ‘මග පෙන්වන’ යනු කිසිවකුට ‘මෙසේ කළ හොත් මෙසේ වේ’ යැයි පැවසීම හෝ ‘අතරමං වෙන්නට’ යනු කවි මගෙහි හෝ වෙනත් කවර මාර්ගයක හෝ අතරමං වීම නොවේ.

ඊට අදාළ කරගත හැක්කේ මේ වන විට මෙරට වෙසෙන බහුතරයක් පිරිසකගේ අතරමං වීම ය.

එනම් දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් අතරමං වී තිබීම ය. ‘මග පෙන්වන’ වනු ද එසේ අතරමං වි සිටින දේශපාලන සත්ව කොට්ඨාසය වෙත කිසියම් මාර්ගයක් පෙන්වා දීම ය. මෙම කාර්ය ද්විත්වය ම වචනාර්ථයෙන් ඔබ්බෙහි පිහිටි ගැඹුරු අරුත් සපයන්නකි. එකී මාර්ගය සොයා පාදා ගැනීම හෝ අතරමං නොවීම පාඨක ප්‍රජාව විසින් ම කරගනු ලැබිය යුත්තක් මිස එය අනෙකෙකුට පහදා දිය නොහැකි ය. තවත් සරලව පවසන්නේ නම් තමා විසින් ම අවබෝධ කරගනු ලැබිය යුතු ය.

 

මංජුලගේ ‘‘නිමිති’’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ මගේ කියවීම ඉදිරිපත් කිරීම ආරම්භයේ දී මේ නිර්මාණයෙන් ම එය ආරම්භ කළේ ද ‘‘නිමිති’’ වටහා ගන්නට නම් එහි අතරමං නොවී නිවැරදි මග සොයා පාදා ගන්නට වෙහෙස වන්නැයි ආරාධනා කරමිනි.

 

වෙහෙස මහන්සි වී කවි කියවා එවායේ අරුත් සොයාගන්නේ කුමකටදැයි මෙහි දී කිසිවකු විමසන්නට පිළිවන. ඔවු... එසේ විමසීම පාඨක ප්‍රජාවගේ අයිතියකි. අනෙක් පසින් ගත් විට කවියා මතු නොව වෙනත් ඕනැම නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරියකට තමා අනුදත් දෑ, තමා සිටින ස්ථානයේ සිට තමා කැමති ආකාරයකට ඉදිරිපත් කිරීමේ අයිතිය ඔවුන් සතු ය.

එසේ නම් පාඨක ප්‍රජාව කළ යුත්තේ සිද්ධි වාචක හෝ සොබා සෞන්දර්ය පිළිබද ලියවී ඇති කවි විඳින ආකාරය සහ ‘‘නිමිති’’ බඳු කවි විඳින ආකාරයේ වෙනස හඳුනාගෙන, එබඳු කවි කියවා විඳගැනීම ය. තවත් ආකාරයකට පවසන්නේ නම් කවියා තම වගකීම් කොටස ඉටු කළ විට එය වටාගෙන මග සොයා පාදාගැනීම පාඨක ප්‍රජාවගේ යුතුකමකි යන්න වටහා ගැනීම ය.


මංජුලගේ බොහෝ කෘතිවල මෙන් ම මෙම කෘතියේ ද මිනිස් සන්තානයට හසුවන විවිධ ඉසව් ස්පර්ශ කර ඇත. එමෙන් ම හෙතෙම එකී ඉසව් ස්පර්ශ කිරීමෙන් නොනැවතී ඒ සියල්ල ඉතා සරලව, සංක්ෂිප්තව සහ රසවත් ලෙස අකුරු කර පාඨක ප්‍රජාව හමුවට රැගෙන විත් ඇත. බොහෝ පිරිස් මංජුලගේ නිමිති කෘතිය ‘‘හඉකු’’ කවි ලෙස ද තවත් පිරිසක් ‘‘කෙටි කවි’’ ලෙස ද අර්ථ ගන්වා ඇත.


එමෙන් ම මා යට සඳහන් කළ සරල සහ සංක්ෂිප්ත යන වදන් ද්විත්වය භාවිත කළ පමණින් ම මංජුලගේ කවි ‘‘හඉකු’’ කවි හෝ ‘‘කෙටි කවි’’ ලෙස පමණක් නාමකරණයට ලක් කිරීමට මම පුද්ගලිකව අකමැත්තෙමි. ‘‘නිමිති’’ හි ‘‘හඉකු’’ ලක්ෂණ සහිත කවි අන්තර්ගත ය. නමුදු ඒ ‘‘හඉකු’’ නොවේ. එ’කවි කෙටි කවි ය. නමුදු බොහෝ පිරිස් විශ්වාස කරන්නේ කවියක් ‘‘කෙටි’’ වූ පමණින් එ’කව ‘‘හඉකු’’ ලෙස ය.

මගේ පුද්ගලික හැඟීම නම් එය එසේ නොවන බවයි. එමෙන් ම ‘‘හඉකු’’ යනු ද කෙටි කවි ප්‍රවර්ගයක් නොවන බව මගේ හැඟීම ය. මෙම කවි ප්‍රවර්ග ද්විත්වය එක් හෝ එකිනෙකට සමපාත කවි ප්‍රවර්ග ද්විත්වයක් නොව එකිනෙකට සපුරා වෙනස් කවි ප්‍රවර්ග ද්විත්වයකි. එසේ නම් මංජුලගේ ‘‘නිමිති’’ කියවීමට පෙර යට කී  මායාමය අදහසෙන් මිදිය යුතු ය; ‘‘කෙටි කවි’’ ද ‘‘හඉකු කවි’’ ද වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතු ය; අවසන මංජුලගේ කවි කියවිය යුතු ය; විඳිය යුතු ය.

මන්ද ඔහුගේ ‘‘නිමිති’’ තුළ ‘‘හඉකු’’ ගනයේ කවි මෙන් ම කෙටි කවි ද, සංක්ෂිප්ත කවි ද අන්තර්ගත බැවිනි; ඒ කවි සියල්ල ම: සොබා සිරිය, දර්ශනය, දේශපාලනය, ප්‍රේමය, විරහව සහ ශෘංගාරය ද මුසු රස ගුලාවක් බඳු හෙයිනි.


මංජුල අද මේ පැමිණ තිබෙන්නේ ඔහුගේ කවි මගේ හැරවුම් ලක්ෂ්‍යයකට යැයි සමහරු පවසති. තවත් සමහරු පවසන්නේ මේ මංජුලගේ කෙටි කවියේ කූටප්‍රපාප්තිය බවයි. නමුත් යථා තත්ත්වය නම් මේ කිසිවක් ම නොවේ. මන්ද ඔහු ෂේන් මැකලේව් සමග එක්ව ඉදිරිපත් කළ ‘‘නිරුත්තර සමාධිය’’ කෘතියේ සිට ‘‘සන්තාන ගීතිකා’’ දක්වා වූ සෑම කෘතියක ම පාහේ  කෙටි කවි පළ කර ඇත. එය වඩාත් හොඳින් ග්‍රහණය කරගැනිමට නම් ‘‘නිමිති’’ කෘතියේ එන ‘තිස් වසරක ක්ෂුද්‍ර මතක’ යන මැයෙන් වූ කෙටි ලියවිල්ල කියවිය යුතු ය; කියවා අවබෝධ කරගත යුතු ය. ඒ අනුව ගත් විට මංජුලගේ කවියේ හැරවුම් ලක්ෂ්‍යය හෝ කුටප්‍රාප්තිය කොතැනදැයි පැවසීමට අපි ඉක්මන් නොවිය යුතු ය. ඔහු තවමත් ගමන් කරනු මිස ගමන අවසන් කර හෝ ගමන වෙනස් කර නැත; වෙනසකට අර අඳිමින් ගමන් කරමින් සිටියි.


‘‘නිමිති’’ කියවීම ඇරඹුමේ දී ම සම්මුඛ වන්නේ දැඩි උත්ප්‍රාසාත්මක නිර්මාණයකි. එකී උත්ප්‍රාසය දේශපාලනික ය. තවත් ආකාරයකින් පවසන්නේ නම් දේශපාළුවෝ ද ඔවුන්ගේ අන්තේවාසිකයෝ ද උත්ප්‍රාසයට ලක් කිරීමකි.



එම්බල ගෙම්බ!

දිය පිනුම් ශබ්දය ම ඇති

ගැයුම් නම් වුවමනා නැති.




මේ වන විට (හැත්තෑ තුන් වසරක් පුරා) සමස්ත රට දරුණු අගාධයක් වෙත තල්ලු කරගෙන ගොස් දැන් නැවතී සිටින්නේ අගාධයේ මුව විට ය. එහෙත් එවන් තත්ත්වයකට රට ඇද දැමූ දේශපාළුවෝ දිය පිනුම් ගසන අතර එකී දේශපාළුවන්ගේ වන්දිභට්ට පිරිස විවිධාකාරයේ රැඟුම් ද, ගැයුම් ද, වැයුම් ද ඉදිරිපත් කරමින් සිටිති.

මංජුල නම් දක්ෂ කවියා එකී දේශපාලන සන්දර්භය: ඉතා සරලව, සංක්ෂිප්තව, සුක්ෂමව සහ ගැඹුරු ලෙස අප හමුවට රැගෙන විත් ඇත. මංජුලගේ කවිකම නම් එය ම ය. කවි කියවා විඳින පාඨක ප්‍රජාව ග්‍රහණය කරගත යුත්තේ එය කෙටි කවියක් ද, දිගු කවියක් ද, හඉකු ගනයේ කවික් ද යන්න නොව ‘‘කවියක්’’ යන අර්ථයෙනි. එවිට මංජුලගේ කවිය කියවාගැනීම සහ විඳීම ඉතා පහසු වනු ඇත.

මේ තවත් එවන් ගැඹුරු අරුතක්, උත්ප්‍රාසයක්, උපහාසාත්මකභාවයක් සහ ඛේදජනකභාවයක් දනවන කවියකි.


පෙරහැර වඩින ඇතු!

ඉදින් දැනගත යුතු

කරඬුව ‘ඇසළ’ තතු.




මෙ’කව නිවැරරැදිව කියවා විඳගැනීමට නම් කවියා උද්ධෘත කොමා තුළ යොදා ඇති වදන නිවැරැදිව ම කියවාගත යුතු ය. ඒ කුමක්දැයි සඳහන් කිරීමෙන් මම ද වැළකී සිටින්නෙමියි පළමුව අදහස් කළ ද ඒ අදහස යම් පමණකට අතැ’ර ‘ඇසළ’ මාසය යනු මෙරට තුළ කෙතරම් ඛේදවාචක තොගයක් ජනිත කළ මාසයක් ද යන්න කියවන්නැයි පාඨක ප්‍රජාවට ආරාධනා කරමි. එවිට මංජුලගේ පාඨක ප්‍රජාවට මේ කවියේ පතුල/ගැඹුර දැක, අවබෝධ කරගත හැකි යැයි විශ්වාස මම කරමි.



‘‘නිමිති’’ යනු: සොබා සිරිය, දර්ශනය, දේශපාලනය, ප්‍රේමය, විරහව සහ ශෘංගාරය ද මුසු රස ගුලාවක් යැයි මා යට සඳහන් කළ බව ඔබට මතක ඇතැයි මම සිතමි. මේ ඒ අතුරෙන් සොබා සිරිය මෙන් ම දාර්ශනික අරුතක් ද ජනිත කෙරෙන කවකි.



ගිරමුඳුන

ඉකිබිඳුම

දියකඳුර


 

ගඟ.

මෙ’කව තුළ බැලු බැල්මට දක්නට ලැබෙන්නේ ගංගාව නමැති මහා ප්‍රවාහයේ ආරම්භය, ගමන් මග සහ එහි සුවිසල් ඵලය යි. කවියාට ඔහුගේ මතය ඉදිරිපත් කිරීමේ අයිතියට ගරු කරමින් ම මෙම නිර්මාණයේ අවසානයට තවත් එක් වදනක් එක් කළේ නම් එය වඩාත් ගැඹුරු අරුතක් දනවනු ඇතැයි මට හැඟේ. මන් ද ගිරි මුඳුනක ඉකිබිඳිමකින් සැදි දිය කඳුරකින් උපත ලබන ජල ධාරාව ගඟක් වී ගලා ගොස් අවසන නතරවන්නේ කොතැන ද... එයත් මිනිස් ජීවිතය හා සම ය. ඉදින් මම කවිය කියවා ගත්තේ කවියා නොලියු වදන ද එක් කරමිනි. (එය කෙතරම් දුරට සාධාරණදැයි විමසිය යුත්තේ කවියාගෙන් ම ය.) එවිට සොබා සිරිය අභිභවන දාර්ශනික අරුතක් මම මෙ’කව තුළින් දුටිමි.
 
 
පඩත්තර මැස්සා

වැහුණු වම් ඇස

පහුරු ගා

සුළු දියර ඉස්සා
 
 
 
 
තත්කාලීන දේශපාලන දේශපාලන වටපිටාව තුළ ලංකාව මතු නොව සමස්ත ලෝකයේ ම පවත්නා වාමවාදී බලවේග එක් පියවරක් නොව පියවර කිහිපයක් ම පසුපසට තබා ඇත. නමුදු එකී බලවේගය පියවරක් නොව පියවර අර්ධයක් හෝ ඉදිරියට පියවර තබන බවට පැහැදිලි සාක්ෂි නැත. එකී බලවේගවලට අත්ව ඇති ඛේද ජනක ඉරණම පිළිබඳ පසබිම් කතන්දරය වදන් දහයක් පේලි හතරකට ව්‍යවච්ඡේදනය කර, මෙලෙස සමාජ ගත කරන්නට තමන්ගේ කවිතා ගුණය මෙතරම් සූක්ෂමාකාරයෙන් භාවිත කළ කාව්‍යක්කාරයෙක් මට නම් මීට පෙර හමුවී නොමැත.


කවියකු හෝ කිවිඳියක සිය නිර්මාණ සඳහා කාව්‍යාලංකාර උපස්තම්භක කරගැනීමේ දී රූපක සහ සංකේත කෙරෙහි විශේෂිත අවධානයක් යොමු කරති. මංජුලගේ ‘‘නිමිති’’ කෘතියේ එන මෙ’කව එකී කාව්‍යාලංකාරික ගුණය සුවිශේෂි ලෙස යොදාගෙන ඇති නිර්මාණයකි.
 
 
අර ඈත

සමරිසි කඳු මුඳුන්

එකිනෙක

වෙළෙන හැටි

උඩහුළඟ හා

ගැටි ගැටි.
 
 
මෙම නිර්මාණය නිවැරැදිව ම කියවාගන්නට සමත්වන්නේ නම් ඇතැම් අවස්ථාවල සමාජයේ ගැරහුමට, අවමානයට, ක්‍රෝධයට මෙන් ම වෛරයට පාත්‍රවන මිනිස් කොට්ඨාසයක් කෙරෙහි මිනිසුන්, මිනිසුන් දෙස බලන්නට, ක්‍රියා කරන්නට පෙලඹෙනු ඇතැයි සිතිය හැකි ය. එහෙත් ඇතැම් විට තවකෙක් මෙය කියවා විඳ කවියාට සහ කවියට ද දොස්නගන්නට වුව ද ඉඩ-කඩ පවතී. නමුදු කවියා තම සමාජ වගකීම සිය නිර්මාණයක් තුළින් ඉටු කර තිබීම පැසසිය යුතු ය.



මේ කිලිටි කරදහිය මත

කොටු ගසා ඔබ තබා ගිය

ජීවිතේ දෙස බලාගෙන

ප්‍රහේලිකා ලිහන්නෙමි මම





කවියක් කියවීම සහ විඳීම යනු එකිනෙකාගේ බින්න රුචිකතවය මත ම සිදුවන්නක් බව මම මීට පෙර ද අවස්ථා ගණනාවක ම පවසා ඇත්තෙමි; එය තව දුරටත් වලංගු ය. ඉදින් එකී වලංගුතාව මත සිටිමින් ම යට දැක්වූ කවිය පිළිබඳ මගේ කියවීම සහ විඳීම මම මෙලෙස සටහන් කරමි.    

මගේ කියවීමට අනුව නම් මේ ආකාරයේ ප්‍රහේලිකා ලිහන්නට සිදුවූයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිට මිය ගිය අයගේ බිරින්දැවරුන්ට ය. ඒ, කසාද සහතිකය නමැති කිලිටි කරදහියෙන් කොටු ගසා එබදු කාන්තාවන් සිර කර තැබු බැවිනි. එනම් මිය ගිය යුද හමුදා සෙබළුන්ගේ බිරින්දැවරුන්ට වෙනත් කසාදයක් කරගැනීමේ අයිතිය අවුරා තිබිණ. ඇය යම් ආකාරයකින් වෙනත් කසාදයක බැඳුණි නම් ඇගේ පෙර සැමියාගේ කසාද අයිතිය වෙනුවෙන් ලැබිය යුතු කිසිදු වන්දියකට සුදුසුකම් නොලබන්නී ය.

රාජ්‍ය පාර්ශ්වයෙන් මතු නොව මෙවැනි ඇතැම් කාන්තාවෝ මිය ගිය සෙබළාගේ මවු-පිය හෝදර සහෝදරියන්ගේ වෙනස්කම්වලට ද බඳුන් විය; එබදු කාන්තාවන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා අහෝසි කෙරිණ. එකී වාතාවරණය යනු ම එකී කාන්තාවන්ට ප්‍රහේලිකා ලිහීමට සිදුවුණා බඳු ය.


මුවින් නොදොඩා දැසින් කඳුළු නොවගුරවා දුක සිත තුළ තෙරපාගෙන සිටින පුද්ගලයෝ කොපමණක් නම් අද සමාජයේ සිටිති ද යන්න කිසිවෙකුට ගණනය කළ නොහැකි ය. එබදු පුද්ගලයන්ගේ ඇතුළාන්තය ඉතා මැනවින් කවියකට හසු කරගන්නට මංජුල සමත්ව ඇති බව මතු දැක්වෙන නිර්මාණය කදිම උදාහරණයකි.




වෙසෙස් වැසි ඇත

නිතර නොවසින

දියර නොඉසින.


කාව්‍ය නිර්මාණ 120කින් සමන්විත ‘‘නිමිති’’ කෘතියේ නිර්මාණ අටක් පිළිබඳ මගේ කියවීම මෙලෙස සටහන් කළ ද එකී කෘතියේ මා කියවා විඳි කවි ප්‍රමාණය 75කි. නමුදු ඒ සියල්ල පිළිබඳ මගේ විඳීම සටහන් කරන්නට තරම් අවස්ථාවක් නොලැබීම කනගාටුවට කරුණක් වුව ද මංජුලගේ කවි කියවා විඳින පාඨක ප්‍රජාවට මගේ මේ විමංසනය අත්වැලක් සපයනු ඇතැයි යන විශ්වාසය දරමින් දැනට සමු ගන්නට අවසර...  




Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
 

2021/11/21






'නිමිති' - මංජුල වෙඩිවර්ධන ( වීඩියෝ පෙළක් මෙතනින් ..)




නිමිති' | 10 | පිහාටුව  | මංජුල වෙඩිවර්ධන
 



'නිමිති' | 02 | වරක් දෙවරක්.. | මංජුල වෙඩිවර්ධන
 



'නිමිති' | 75 | අර බලනු අර වැස්ස - මංජුල වෙඩිවර්ධන
 



'නිමිති' | 82 | ලුහු බඳියි රළ  | මංජුල වෙඩිවර්ධන
 



'නිමිති' | 33 | ඇතැම් විට.. | මංජුල වෙඩිවර්ධන
 



නිමිති' | 09 | දැනෙනවද | මංජුල වෙඩිවර්ධන
 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...