BREAKING
Top Ad
Life

ඡන්දෙකදි එක් වරක් දෙවරක් නොව සියවරකටත් වඩා හිතපල්ලා...

T

The Leader

May 6, 2022 • 10:05 AM

 ඡන්දෙකදි එක් වරක් දෙවරක් නොව සියවරකටත් වඩා හිතපල්ලා...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ අර්බුදය උච්චම තැනකට ආව මොහොතක පවතින අර්බුදයට වේදිකා නාට්‍යයකින් විසඳුම් යෝජනා කරන නාට්‍ය හා සිනමාවේදී වසන්ත මොරගොඩ
  •   ඇත්තටම රටේ මේ වෙලාවෙ අර්බුදයක් තියෙනවා.
  • මේක නිදහසෙන් පස්සෙ අප ගෙවා දැමූ අවුරුදු හැත්තෑ ගානක් පුරාවටම ඇති වුණු අර්බුදයක්.
  •   ඇත්තටම මේ වෙලාවෙ නාට්‍යයක් කරන්න මං හීනෙකින්වත් හිතුවෙ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
" ඒක හරිම දේශපාලනිකයි....  අපට අපේ අවශ්‍යතා සහ හැකියාවන් සමාජගත කරන්න, ඒවට ක්‍රමවේද හදන්න සිස්ටම් එකක් නොමැති ප්‍රශ්නයක් අපට පෙනෙන්න තියෙනවා"
 
 
indexපවතින දේශපාලනික අර්බුදය හමුවේ රටේ ජනතාව පාලන තන්ත්‍රයට විරුද්ධව අරගල කරන මොහොතේ කලාකරුවන් ඒ අරගලයේ ප්‍රමුඛත්වය ගෙන සිටිනවා. එවන් මොහොතක කලාකරුවකුගේ සමාජ වගකීම මැනවින් වටහාගත් සිනමාවේදී වසන්ත මොරගොඩ වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් වත්මන රටේ පවතින අර්බුදයට කලාකරුවකු විදියට තමන් යෝජනා කරන විසඳුම පිළිබඳව අපූරු දේශපාලනික විසඳුමක් යෝජනා කර තිබෙනවා. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නෙ සිනමා හා නාට්‍යවේදී වසන්ත මොරගොඩ සමඟින් ඒ පිළිබඳව කතාබහට අවතීර්ණ වීමටයි.
 
 
මොකක්ද මේ අලුත්ම වෑයම ?
 
ඇත්තටම රටේ මේ වෙලාවෙ අර්බුදයක් තියෙනවා. ඒක දේශපාලනික අර්බුදයක්. සොබාවික අර්බුදයක් නෙවෙයි. මේක නිදහසෙන් පස්සෙ අප ගෙවා දැමූ අවුරුදු හැත්තෑ ගානක් පුරාවටම ඇති වුණු අර්බුදයක්. කොහොමත් මේ තත්ත්වයට පුරවැසියන් විදියට අපත් වගකියන්න ඕනෙ. විශේෂයෙන් පාලකයන්ගෙ මැදිහත් වීම මත අරගත්තු වැරදි තීන්දු මත ගොඩ නැගුණු ගැටලු ටිකක් තමයි අද වෙනකොට මේ මතුවෙලා තියෙන්නෙ. හැබැයි ඒ ගැටලුවල උච්චම තැනකට ඇවිත් තියෙන මේ වෙලාවෙ ඉන් ගැලවෙන්න හැමෝටම උවමනාවක් තියෙනවා. ඒ වෙලාවෙ කලාකරුවෙක් විදියට මගේ වගකීම ඉටු කිරීමේ අරමුණෙන් මම වේදිකා නාට්‍යයක් කරන්න අදහස් කළා. එය මං නම් කරන්නෙ "රජෙකු නැති කතාවක් " විලසින්.
 
මේ වගේ අර්බුදකාරී වටපිටාවක වේදිකා නාට්‍යයක් කරන්න හිතුවෙ ඇයි?
 
ඇත්තටම මේ වෙලාවෙ නාට්‍යයක් කරන්න මං හීනෙකින්වත් හිතුවෙ නැහැ. නමුත් රටේ පවතින ගැටලුවෙ උච්චතම අවස්ථාවට පත්ව ඇති මොහොතක මං මගෙන්ම ප්‍රශ්න කරනවා, මේ වෙලාවෙ කොහොමද මේකට දායකත්වය ලබා දෙන්නෙ කියලා. හැබැයි මං කියන්නෙ මේ ආණ්ඩු පන්නන එක ගැන නම් නෙවෙයි. 
 
ඇත්තටම ඔබ මේ වෙනුවෙන් කරන යෝජනාව මොකක්ද ?
 
මේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා මටත් අදහසක් තියෙනවා. හැබැයි ඒක ක්. ඒ දේශපාලනික අදහස මිනිස්සු අතරට ගෙනියන්නෙ කොහොමද කියලා මගෙ හිත මගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මා සතුව තියෙන විෂය මං පාවිච්චි කරන්න ඕනෙ. එතකොට මට සිද්ධ වෙන්නෙ චිත්‍රපටයක් හදන්න, නැත්නම් වේදිකා නාට්‍යයක් හදන්න. චිත්‍රපටයක් හදනවට වඩා ඉක්මනින් වේදිකා නාට්‍යකින්  ප්‍රේක්ෂකයන් අතරට පණිවුඩයක් අරගෙන යන්න මේ වෙලාවෙ හැකියාව තියෙනවා. හැබැයි එතැනදි දන්නෙම නැතිව මා අතින් ගොඩ නැඟෙන්නෙ දේශපාලනික නාට්‍යයක්. ඒ මේ අවස්ථාවෙ රට තුළ පවතින අවශ්‍යතාව වෙනුවෙන්. මේක එක පක්ෂයකට, එක පුද්ගලයෙකුට ඉලක්ක කරලා කරන එකක් නෙවෙයි. ඇත්තටම මෙතැනදි කතා කරන්නෙ, සමස්ත දේශපාලනයේම තියෙන දුර්වලතා පිළිබඳව. මේ වෙලාවෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරනවා. එක් විකල්පයක් හැටියට ඇමති මණ්ඩලය වෙනස් කළා. ඇත්තටම ඇමති මණ්ඩලය  වෙනස් කරලා, මේ 225 අනන්නෙ කොහොමද කියන කාරණාව මං හිතන්නෙ ජනාධිපතිටත් ඇති. ඒ බව කුට්ටම අනලා තියෙන ආකාරයෙන්ම පේනවා. මේ වෙලාවෙ සමස්ත ජනතාව ඉල්ලනවා, වෙනම නායකත්වයක්. හැබැයි  ඒ වෙනුවට වෙන මොකක්ද එකක් කරන්න හදනවා. ඒ වෙනස්වීම හොඳයි. ඒත් ඒ වෙනස්වීම තුළ නැවතත් මතුවෙන්නෙ අර හිටපු අයමයි.
 
ඉතින් රටේ ජනතාවත් මේ වරදෙ කොටස් කරුවන් නොවෙයි ද? 
 
ඇයි නැත්තෙ. අපි තෝරා පත්කර පාර්ලිමේන්තුවට යවපු අයගෙම ප්‍රශ්නයක්  තියෙනවා.ඇත්තටම මේ වෙලාවෙ කලාකාරයෙක් හැටියට මං මේකට විසඳුම් දෙන්න දන්නෙ නෑ. දැන ගත්තත් මට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒත් කලාකාරයෙක් හැට්‍‍‍‍‍‍‍‍‍‍‍යට මං මගෙ වේදිකා නාට්‍ය තුළින් යෝජනා කරනවා, තව අවුරුදු ගාණකින් හරි මේක නිවැරදි වෙන්න නම්, අපි නිවැරදි මිනිස්සු තෝරා ගන්න ඕනෙ කියන අදහස. ඒ විදියට රටේ පාලන තන්ත්‍රය තෝරා ගැනීමේ ප්‍රශ්නයක් අපට තියෙනවා.
 
 
ඇත්තටම මේ ප්‍රශ්නෙදි අපි දේශපාලඥයන්ට විතරක් ඇඟිල්ල දිගු කරලා හරියන්නෙ නෑ. දේශපාලඥයො තමයි අපට කුට්ටම දුන්නෙ, මේ අයගෙන් තෝරා ගන්න කියලා. හැබැයි ඒ දුන්නු සෙට් එකම අවුල්. ඒත් අපටත් තෝරා ගැනීමේ නිදහස සහ අයිතියක් තිබුණා. ඒ අය අතර හිටපු හොඳ මිනිස්සු ටික අපි තෝරා පත් කර ගත්තෙ නෑනෙ. ඒ අනුව ජනප්‍රිය තලයේ එක්තරා පිරිසක් තමයි එතැනට ආවෙ. ඒ නිසා මං මේ නාට්‍ය තුළින් යෝජනා කරනවා, ඉස්සරහට එන ඡන්දෙකදි ආපහු අපට අවස්ථාවක් ආවම එක් වරක් දෙවරක් නොවෙයි සිය වරකටත් වඩා හිතපල්ලා කියලා. අපි මේ කරන්නෙ හරි වැඩක්ද කියලා. 
 
 
 
ඔබ ඔබේ කලා නිර්මාණය හරහා මේ අර්බුදය විසඳාගන්න කරන යෝජනා මොනවද?
 
මමත්වය පැත්තකින් තියලා, මේ තියෙන පුංචි පුංචි ආකල්ප, අමනාපකම් පැත්තකින් තියලා, ජාති භේද, ආගම් භේද පැත්තකින් තියලා ශ්‍රී ලාංකිකයො හැටියට අපට නිදහසේ ජීවත් වෙන්න හැකියාවක් තියෙන පසුබිමක් හදන්න පුළුවන් නායකයො කැලක් පත්කර 
ගන්න කියලා. ඇත්තටම අපට ඕනෙ නිදහසේ ජීවත් වෙන්නනෙ. ඒත් අද අපට එදිනෙදා මූලික අවශ්‍යතාවන් සපුරාගෙන ජීවත් වෙන්න වත් හැකියාවක් නොමැති තැනක හිඳගෙන මං මගේ කලා නිර්මාණය භාවිත කරනවා, මේ අර්බුදය විසදාගත හැකි තැනකට සමාජය අරගෙන යන්නට.
 
rajaku
 
 
මේ සඳහා ඔබ දායක කර ගත් රංගන ශිල්පීන් කවුද ?
 
රවීන්ද්‍ර යසස්, හසිනිකා කරලියද්ද, අජිත් ලොකුගේ, ජගත් පද්මසිරි, මෙරිල් සුසන්ත, තිසල් මොරගොඩ, සමන්ති ආටිගල ඇතුළු නවක ශිල්පීන් ගණනාවක්ම මේ නාට්‍ය සමඟින් එකතු වෙනවා.
 
 
ඔබට මේ වගේ නාට්‍ය නිර්මාණයක් කිරීමේ අදහස මතුවෙන්නෙ කොයි කාලෙදිද?
 
මේ අර්බුදයත් එක්ක තමයි මට මේ  අදහස සිතට එන්නෙ. දැනට අවුරුද්දකට විතර කල හිටන් මෙතැන අර්බුදයක් හැදෙමින් තිබුණු වග අපට දැනෙමින් තිබුණා. ඇත්තටම අද අර්බුදය තියෙන්නෙ වෙන තැනක. ඒත් දේශපාලඥයො සාකච්ඡා කරන්නෙ වෙන දෙයක්. අද පාර්ලිමේන්තුවේ ඇත්තටම වෙන්නෙ බත බැලුවම හොද්ද තියෙනව වගේ දෙයක්. ඒ කියන්නෙ අවශ්‍යතාව එකක්. කරන්නෙ වෙන එකක්. මං මගෙ නාට්‍ය නිර්මාණය හරහා කතා කරන්න උත්සාහ කරන්නෙ මෙන්න මේ පවතින නියම අර්බුදය පිළිබඳව. ඇත්තටම මේ පාට පක්ෂ නැති මධ්‍යස්ථ තැනක ඉඳගෙන කරන නිර්මාණයක්.
 
ඔබ කලාකරුවෙකු සතු වගකීම ඉටු කරන්න උත්සාහ දරනවා. ඔබ හිතනවද ඔය උත්සාහය තුළින් මේ මිනිසුන්ගෙ ඔළු ගෙඩි ටික හදන්න පුළුවන් වෙයි කියලා?
 
මම හිතන්නෙ ඒ කතාව හරි දේශපාලනිකයි කියලා. මිනිසුන්ට තනි තනි පුද්ගලයන් හැටියට අවශ්‍යතා සහ හැකියාවන් තියෙනවා. ඒවා සමාජගත කරන්න, ඒවට ක්‍රමවේද හදන්න සිස්ටම් එකක් නොමැති ප්‍රශ්නයක් අපට තියෙනවා. ඒ හින්දා අද රෑ නිදාගෙන පහුවදා උදේ නැඟිටින කොට මේ රට වෙනස් වෙන්නෙ නැහැ.ඒකට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඕනෙ. ඇත්තටම මම දන්නෙ නැහැ, කලාකරුවන් විදියට මේ කරනු ලබන ක්‍රියාකාරකම් මොනතරම් දුරට සාර්ථක වෙයිද කියලා. මට හිතෙනවා, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නට වගකීමක් කලාකරුවන්ට තියෙනවා. හැබැයි ඒ පක්ෂයකට  මුවා වෙලා, කුලයකට ආගමකට මුවා වෙලා නෙවෙයි.
 
 
කලාකරුවන් විදියට තිබෙන පොදු සමාජ වගකීම ඉෂ්ට කිරීම තමයි කලාකරුවන් මේ වෙලාවෙ ඉටු කරන්න ඕනෙ. එහෙම නැතිව ගෝටාභය ගේනවද? අනුර දිසානායක ගේනවද? සජිත් ගේනවද, මෛත්‍රීපාල ගේනවද කියන තැන මං නෑ. මේ වෙලාවෙ ඔය පක්ෂ පාට සේරම පැත්තක තියලා එක තැනකට අපි එන්න ඕනෙ. ඒ සමාජ වගකීම පිළිබඳව අවබෝධ කරලා දීම තමයි රජෙකු නැති කතාවක් තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ. 
 
 
rajau
 
කවදද කොහොමද මේ නාට්‍යයේ ප්‍රදර්ශන කටයුතු ආරම්භ වෙන්නෙ?
 
මේ මාසෙක් 07 වැනිදා බොරැල්ලේ පුංචි තියටර් එකෙන් අපි අපේ ගමන ආරම්භ කරනවා. මේ දිනවල පුහුණු වීම් කරගෙන යනවා. කොහොමත් අවුරුදු 3 කට විතර පස්සෙ තමයි මං මේ වේදිකා නාට්‍යයක් කරන්න සූදානම් වෙන්නෙ.  ඇත්තටම මේ වෙලාවෙ ඒක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොකද රියසල් එන්න පෙට්‍රල් නැහැ, සමහරුන්ට එන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ ගැටලු ගණනාවක් එක්ක තමයි මේ වෙලාවෙ රියසල් කරගෙන යන්නෙ. ඉතින් 7 වැනිදා හවස 6.30 ට බොරැල්ලේ පුංචි තියටර් එකට එන්න. පක්ෂ, පාට, ජාති, කුල භේද පැත්තක තියලා. මේක හුදු විනෝදාස්වාදයක් දෙන සරල ආකෘතියක වේදිකා නාට්‍යයක්. හැබැයි ඒ තුළ අපි කතා කරන්නෙ දේශපාලනය. ඒ නිසා සහයෝගයක් හැටියට එන්න. මේ වෙලාවෙ ආවෙ නැතත් ආයෙ ඡන්දයක් තිබ්බොත් ඡන්දෙට කලින් ගිහින් රජෙකු නැති කතාවක් නාට්‍ය බලන්න.
 
සංවාද සටහන - තමාර පතිරණ
 

 

WhatsApp Image 2022 05 05 at 8.40.35 AM 1

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...