BREAKING
Top Ad
Life

කන්‍යාවී !!! -'කවදත් හිටියේ නෑ හිර ගේ ඝාතකයෙක්' (ගීත වීඩියෝව)

T

The Leader

May 18, 2022 • 2:33 AM

කන්‍යාවී !!! -'කවදත් හිටියේ නෑ හිර ගේ ඝාතකයෙක්' (ගීත වීඩියෝව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමටත්, කප්පම් ලබාගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්
  • මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය ගැනත් කියන්නට ඉතිරිව ඇත්තේ එපමණකි.
  • නගර සභාවක සුළු සේවකයෙකු අත්අඩංගුවට ගෙන, ඊට ලබාදෙන පැරණි ජාතියේ මාධ්‍ය ප්‍රචාර මගින් කියන්නේ මහ මොළකරුවන් හිරේ නොයන බවයි.
  • මහින්ද රාජපක්ෂලා සුරක්ෂිත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමටත්, වැලිකඩ සැලසුම් කරන ලද සමූහ ඝාතනයටත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයටත් ආදී වශයෙන් ලංකාව නම් අපරාධ රාජ්‍යයේ තීරණාත්මක තැන්වලදී ඝාතකයන් කිසිවකු හිරගෙදර ගියේ නැත.

ඒ වෙනුවට කොන්ත්‍රාත්කරුවෝ, නැතහොත් නමට විත්තිකරුවෝ කිහිපදෙනෙක් හිරේ ගොස් ආපහු ආහ.

මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය ගැනත් කියන්නට ඉතිරිව ඇත්තේ එපමණකි. නගර සභාවක සුළු සේවකයෙකු අත්අඩංගුවට ගෙන, ඊට ලබාදෙන පැරණි ජාතියේ මාධ්‍ය ප්‍රචාර මගින් කියන්නේ මහ මොළකරුවන් හිරේ නොයන බවයි. මහින්ද රාජපක්ෂලා සුරක්ෂිත බවයි.

ඇස් බැඳුනු - සළු පැළඳු කන්‍යාවියට ඊට හැකියාවක් නැත. නීතියේ දෙවඟන හෙවත් තරාදිය අතින් ගත් මේ කන්‍යාවියගේ ඇස් බැඳ ඇත්තේ කිසිවකු විශේෂිත ලෙස නොදැක, තීන්දු-තීරණ ගැනීමට ය. සමාන ලෙස සැලකීමට ය.

තරාදිය හැමවිටම දෙපැත්ත බැලන්ස් විය යුතුය.

ඇය කන්‍යාවියකි.

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත, මිහිඳු ආරියරත්නගේ 'කන්‍යාවී' ගීතයේ පද පෙළේ ඇති තීරණාත්මක ම වචනය කන්‍යාවී යන්නයි.


'නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි'



මැරී - නොමැරී - නෑ නොමැරී ... ඇය මැරිලා ය. කන්‍යාවිය පණපිටින් මැරිලා ය. තීරණාත්මක ලෙස ඇයගේ ස්වාධීනත්වය අහිමි කර ඇත. එහෙත් සළු පළඳා තිබේ. පිටතට පේන්නට, ඇඟ බේරාගන්නට සළු පළඳා තිබේ.
 
 
ඇස් බැඳ, සළු පළඳා තිබේ. කන්‍යාවියට පමණක් නොවේ. ජනතාවට ද කර ඇත්තේ මේක ය. බලය ලබාගැනීම සහ බලය පවත්වාගැනීම වෙනුවෙන් තමන් කරන අපරාධ දකින නිසා ඔවුහු ජනතාවගේ ඇස් බැන්දාහ. එහෙත්, ජනතාව සතු බලය පිළිබඳ දැනුවත් ඔවුහු අන්තවාදී මතවාද ඇතුළු සළු පිළි යැයි මවා පෑ විස කටු ඇතිරූහ.
 
 
චින්තක ගීතදේව 'දවසක් මම පාර දිගේ' ගීතයේ කිව්වේ 'වැල්ලවත්තෙ කුණු කාණු දිගේ - පිච්ච මලක් පාවෙලා ගියා' කියලා ය. වැල්ලවත්ත, පිච්ච මල තීරණාත්මක සංකේත ලෙස යොදාගනිමින් ඔහු කී දේ, මිහිඳු ආරියරත්න - කසුන් පුස්සෙවෙල 'පිලී ගඳයි, රතු රුධිරෙයි - කාණු දිගේ... වීදි පුරා...' යනුවෙන් තවත් තීව්‍ර කරති.

71දී, 88-89දී, 2009දී තවත් කොච්චරක් නම් වීදි පුරා, කාණු දිගේ රුධිරය ගලාගියේ ද? ඒ පිලී ගඳ ගිලගත් මේ පොළොව සුවඳවත් කරන්නට අඩු තරමේ පියවරක් හෝ ඉදිරියට තබන්නට හැකි වී තිබේද? ඒ වෙනුවට කාණු දිගේ රුධිරය ගලායන්නට සැලසුම් හැදූ, වීදි පුරා ලේ හැලූ පිරිස් යළිත් - යළි යළිත් බලය අත්පත් කර ගනිමින් සිටී.
 
 
උන්මත්තක බල වියරුවට එරෙහිව වීදිය ආක්‍රමණය කළ ගෝල්ෆේස් අරගලය දිනෙන්-දින ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සිටින විට, ඇතුළ පමණක් නොව, එළිය ද හිරි වැටී ගියේය. ඒ හිරිවැටුණු බලවේග තමන්ගේ ගැලවිල්ල වෙනුවෙන් නැවතත් භාවිත කරන්නේ පුරුදු බයිනෙත්තුම ය. තවදුරටත් කළු සපත්තු හඬ දොරට එපිටින් ඇසෙමින් තිබේ.
 
 
 
'මහ පාරේ සෝපාකලා...
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..'


කනත්තක තනි කර දැමූ සෝපාක මෙන් හඬන්නට සූදානම් නැති, තොරතුරුවලින් සන්නද්ධ පරපුරක් සමග පවා බලය ගනුදෙනු කරන්නේ පරණ තියරියෙන්ම ය. බෙදා වෙන් කොට, පාලකයාගේ නීතියෙන් ඔවුන් මර්දනය කරන්නට සූදානම් වුවද, ඔවුන් සෝපාකලා මෙන් අසරණ නැත. එහෙත් ඝාතකයන්ට ඇති බලය, එනම් ඇතුළේ සහ එළියේ හයිය ඔවුන්ට නැත. ගලවාගන්නට එන්නට බුදු හිමි නැත. නිවන් ගොස් ය.

මල්වතු - අස්ගිරි විහාරවල නායක හිමිවරුන් මැති-ඇමැතිවරුන්ට එන්නට එපා යැයි කී අවස්ථාවේ, උන්වහන්සේලා මුරුංගා අත්තේ තැබිණි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගැසූ ගැටය ගැන අවබෝධයෙන් දෝ - අනවබෝධයෙන් දෝ, පෝලිමේ ගොස් දුක කියන්නට සෝපාකලා ද සිටියහ. එහෙත් දැන් නැවතත් මුරුංගා ගහ පාමුල සිටින්නේ දේශපාලනඥයන් ය. සෝපාකලා ඈතට කොට අවසන් ය.

ජනතාවගේ පපුවේ හැමදාමත් රතු පාටින් වෙඩි වරුසා තිබිණි. මතක තබාගන්න, පපුවේ ය වෙඩි වරුසා තිබුණේ. ජන ඝාතන රැසක් මැදත්, යළි-යළිත් අවදි වන ශක්තිය එයයි. කන්‍යාවී ඇතුළතින් මිය ගොස් සිටියදීත්, කන්‍යාවියගේ ආරක්ෂාව නැති බව දැන-දැනත් සටන් ඇවිළෙයි.

හිතන්න. 2009 යුද්ධයේ අවසානයේදී කිරිබත් කන ජනතාව දෙස බලා මහින්ද රාජපක්ෂ මෙසේ කිව්වේ නම්...

'ජනතාව ලෙස ඔබේ තීරණවලට මම විරුද්ධ නෑ. ඒත් රටේ නායකයා ලෙස මට කිරිබත් කෑම උත්කර්ෂයට නංවන්න බෑ. මේ යුද්ධය තුළ කරපු සියලු වැරදි සම්බන්ධයෙන් අපි නැවත කතා කළ යුතුයි. එහි අරමුණ නැවත යුද්ධයක් ඇති නොවීමයි. ඉන්පසු අපි සියලුදෙනා එක්ව, මේ රට ගොඩනැගිය යුතුයි. මියගිය දහස් ගණන් - මරා දැමුණු දහස් ගණන් සියල්ලන් රතු ලේ ඇති තරුණයන්. ඔවුන් සියල්ලන්ට මේ රට ගොඩනැගීම වෙනුවෙන් කළ හැකිව තිබූ දේ කොපමණක්ද. අපි දැන් සිට පටන් ගමු.'
 
 
එහෙත් එවැනි දියුණු නායකයන් අපට නැත. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ වැනි අපරාධකාරයකුගෙන් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බව ද අපි දනිමු. පශ්චාත් යුද මානසිකත්වය සකස් කිරීමේ, නැතහොත් සමාජයක් ලෙස රුධිරය අමතක කරවීම වෙනුවෙන් කිසිදු මුදලක් වැය නොකළ මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා, ඉදිරියේදී එසේ කරන්නේ ද නැත.
 
 
මේ සියලු තැන්හිදී සමස්තයක් ලෙස අප අසමත් ය. අපරාධ රාජ්‍යය ගොඩනැංවීමේ මහා ව්‍යාපෘතියේ අපටත් සුළු පරිමාණයෙන් හෝ කොටස් හිමි ය. මෙතෙක් කලක් නිහඬ වීම යනු ද එහි එක් කොටසකි. එහිදී ආගමික නායකයන් වගකිව යුතුයි, මාධ්‍ය වගකිව යුතුයි යනුවෙන් කොටස් බෙදිය නොහැකිය.

ඒ වගේම, මේ සමස්ත ව්‍යසනය ඉදිරියේ කන්‍යාවියට ගැලවී සිටිය හැකි යැයි විශ්වාස කළේ නම්...

එසේ විය නොහැකිය. කන්‍යාවිය යනු ද මේ ව්‍යසනයේ ම තවත් එක් තීරණාත්මක හරස්කඩකි. එම නිසා කසුන් පුස්සෙවෙල ලියූ, මිහිඳු ආරියරත්නගේ ගීතයට අදහසක් ඉදිරිපත් කරන්නට කැමැති ය.

ඒ, තීරණාත්මක මොහොතක කරන ලද මේ තීරණාත්මක මැදිහත්වීමට ආචාර කරන ගමන් ය.

වහාම කන්‍යාවියගේ දෑස් ලිහා දැමිය යුතුය. දූවිලි පහස නොලත්, සළු පැළඳි ඇය, මහ පාරට කැඳවාගෙන ආ යුතුය. මහ පාරේදී කළු සපත්තුවලට යටවූ සෝපාකලා මියැදෙන හැටිත්, ඝාතකයන් නිදොස් කොට නිදහස් ව මිනී මරන හැටිත් ඇය දැකගත යුතුය. ඇය සත්‍යයේ කිමිදිය යුතුය. කෝපයෙන් ඇවිලිය යුතුය. හාමතේ සිටිය යුතුය.

shalika(ශාලික විමලසේන)
නිදහස් මාධ්‍යවේදී
answimalasena@gmail.com



 
 
 
 
කන්‍යාවී


ඇස් බැඳුනු සළු පැළඳු  කන්‍යාවී..
නෑ නොමැරී... කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී...
නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී...

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ... වීදි පුරා...
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්...
මහපාරේ සෝපාකලා...
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්...
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි...
නෑ නොමැරී...
කන්‍යාවී...

කලු සපත්තු... බයිනෙත්තූ...
රතු පාටින් වෙඩි වරුසා...
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්...
ඈ හිනැහෙයි...
නෑ නොමැරී...
කන්‍යාවී...

ඇස් බැඳුනු සළු පැළඳු  කන්‍යාවී...
නෑ නොමැරී... දෙවඟන කන්‍යාවී...
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී...
නෑ නොමැරී...
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී...
නෑ නොමැරී...
කන්‍යාවී...

පද - කසුන් පුස්සෙවෙල
හඬ / සංගීතය - මිහිඳු ආරියරත්න




ගීතයට පිවිසෙන්න :





Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...