BREAKING
Top Ad
Life

පිට දීපදේස ජය ගත්තා ගීතය නව ආරකින් (වීඩියෝ)

T

The Leader

July 2, 2022 • 1:58 AM

 පිට දීපදේස ජය ගත්තා ගීතය නව ආරකින් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට දශකට අටකට පෙර, එනම් 1939 වර්ෂයේ "හිස් මාස්ටර්ස් වොයිස්" තැටියකට (තැටි අංක N. 9302) පටිගත කළ මෙම ගීතය පිළිබඳ නොදන්නා කෙනෙක් අද සමාජයේ වුව ද සොයා ගැනීම උගහට
  • සෑම කලා නිර්මාණයක්ම කලාව දන්නා සැබෑ කලාකරුවන් බිහි කරන්නේද ඒ අතිශය වැදගත් වූ අර්ථය ඇතිවය.
  • මීට වසර 83කට කලින් කී මේ අනාගත පෙරනිමිති දැන දැනම අන්ධයින් මෙන් පැමිණ අප අද නරාවළක වැටී දහදුක් විඳිති.
  • ඔවුන්ගේ පෙරදැක්මෙන් ලද දැනුම "ගගට කැපූ ඉනි මෙන්" අපතේ ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ය.

ඊට හේතුව වන්නේ, මෙම ගීතය යුග-යුග ශ්‍රාවක පරපුරු ගනණාවක් එකලෙස වැලඳගත් ගීතයක් බැවිනි.

මෙම ගීතය රචනා කළේ ඩබ්ලිව්. ඩී. මර්සිලිනු ඇල්බට් ශූරීන් විසිනි. ගීතයේ සංගීතය මෙහෙයවුයේ එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. ගීතය ගායනා කළේ එවකට සිටි අග්‍රගණ්‍ය නිළියක, ගායිකාවක වූ ලක්ෂ්මි බායි මහත්මිය විසිනි. ලක්ෂ්මි බායි කලාකාරිනියගේ සංගීත දිවියෙහි කූට ප්‍රාප්තිය සනිටුහන් කරන මෙම ගීතයෙන් යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ.

ලොව සෑම කලාවක්ම බිහිවන්නේ කිසියම් වැදගත් පදනමක් මතය. සෑම කලා නිර්මාණයක්ම කලාව දන්නා සැබෑ කලාකරුවන් බිහි කරන්නේද ඒ අතිශය වැදගත් වූ අර්ථය ඇතිවය.

වසර දහස් ගණනක් මිනිසා ලද අත්දැකීම් ඉතාම ආකර්ෂණිය හා කලාත්මකව අනාගතය අභිවෘද්ධිය උදෙසා ගබඩා කළ හැකි සාර්ථකම ක්‍රමය වන්නේ ද කලාවයි. ඒ මහා කලා සයුරේ අප මේ කතා කරන්නෙ ගීත කලාව ගැන පමණී.  

"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"  හා "ගොනා හැරෙන කොට පොල් පැලේටනේ" වැනි අතීත ප්‍රස්ථා පිරළු වලින් කියැවෙන්නෙ ගැමියා අනාගතය කලින් දැකීම පිළිබඳ අදහස්ය.

මේ ගීතයෙන් කියැවෙන්නේද අනාගතයේ විය හැකි මහා ඛේදවාචකයක පෙරනිමිතිය. මීට වසර 83කට කලින් කී මේ අනාගත පෙරනිමිති දැන දැනම අන්ධයින් මෙන් පැමිණ අප අද නරාවළක වැටී දහදුක් විඳිති. ඔවුන්ගේ පෙරදැක්මෙන් ලද දැනුම "ගගට කැපූ ඉනි මෙන්" අපතේ ගොස් ඇත. කලාව කුමක් සඳහාද කලාවේ ඇති වැදගත්කම කුමක්ද යන්න නොදකින මෙවැනි මෝඩ මුග්ධ සමාජයකට මෙවන් ඉරණමක් අත්වීම අහම්භයක් නොවේ.

Lakshmi Bhai                         ලක්‍ෂමී බායි


ඉඳින් මෙම වටිනා ගීතය ගායනා කරන්නෙ ලක්‍ෂමී බායි විසිනි.. එතුමිය පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නේ නම්....

ලක්ෂ්මි බායි පිළිබඳව වෙසෙසින් ම සඳහන් කළ යුතුය. 1927 අප්‍රේල් 7 දින කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාවට සම්බන්ධ වී ටවර්හෝල් කරළියට සපැමිණි “ලක්ෂ්මි බායි” නීතිඥ චාර්ල්ස් ඩයස් ගේ එවකට ජනප්‍රිය වූ නුර්ති සියල්ලෙහි ම වාගේ කාන්තා මෙන්ම පුරුෂ භූමිකා මවමින් අති ප්‍රබල රංගනයත්, රංගනයට නොදෙවෙනි වූ ගායනයටත් උරුම කම් කියූ මෙරට සිටි අද්විතීය කලාකාරිනියක වූවා ය.

එවකට ජනප්‍රිය වූ බ්‍රෝඩ්කාස්ට්, "හිස් මාස්ටර්ස් වොයිස්" පර්ලෆෝන් යන ග්‍රැමොෆෝන් ලේබල සියල්ලට ම 1927-1939 දක්වා ගීත ගායනා කළ ලක්ෂ්මි බායි, 1939 න් පසු රූපසිංහ මාස්ටර් ගේ සංගීතය යටතේ "හිස් මාස්ටර්ස් වොයිස්" තැටි සමාගමේ ලියාපදිංචි වී එහි නිත්‍ය ගායිකාවක ලෙස එම ලේබලයේ තැටි සදහා පමණක් ගීත ගායනා කළා ය .


පිට දිපදේස ජය ගාථා ගීතය නිර්මාණය වීමේ පසුබිම් කතාව මෙසේය....



1937 වසරේ ලක්දිව මෙන්ම දකුණු ඉන්දියාවේද අතිශය ජනප්‍රිය වූ දමිළ චිත්‍රපටයක් ලෙස ආදායම් වාර්තා පිහිටවුයේ, මධුරා හි, “රෝයල් ටෝකීස්” සමාගම විසින් නිෂ්පාදිත "චින්තාමණි" නම් වූ දේව කතාවක් පදනම් කරගත් චිත්‍රපටය යි. මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කළ එම්.කේ. ත්‍යාගරාජා භාගවතාර් සහ නිළි කේ.අස්වත්තම්මා විසිනි.

එම චිත්‍රපටයට ගීත 19ක් ඇතුළත් වූ අතර, එම ගීත තනු බොහොමයක් එවකට ප්‍රචලිත වූ හින්දි චිත්‍රපට සහ චිත්‍රපට නොවන හින්දි භජන් ගීත වලින් ලබා ගත අනුකාරක තනු විය. මෙහි ගීත තැටි ODEON ලේබලයෙන් නිකුත් වූ අතර, ඒවා බොහොමයක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද අතිශය ජනප්‍රිය විය.

 චින්තාමණි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ අස්වත්තම්මා අතිදක්ෂ නිළියක වූ අතර, ඇයගේ ගායනයට සහ රංගනයට වශීකෘත වූ බොහෝ පිරිමින් සියදිවි නසාගත් බවට ද, වාර්තා ද පළ විය. අස්වත්තම්මා 1940 වසරේ, ඉතා තුරුණු වියෙහිදී ම ක්ෂයරෝගය වැලඳීම නිසා අකාලයේ මියගියා ය. “ පිට දීප දේශ ජයගත්තා” ගීතය මෙම ජනප්‍රිය චින්තාමණි සිනමා පටයේ අඩංගු ගීතයක් ඇසුරින් නිපදවූවකි.


 

sara 11 14 ase madhura 1                                                                          අස්වත්තම්මා


“චින්තාමණි” චිත්‍රපටිය මෙරට ප්‍රදර්ශනය කෙරුණු පසු එහි වූ ජනප්‍රියත්වය නිසා ම, එකී තේමාව ඇසුරින් ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් "චින්තාමණි"ලෙස නුර්තියක් 1938 වසරේදී නිපදවිය. දමිළ චිත්‍රපටයේ කේ. අස්වත්තම්මා ගේ භූමිකාව වූ “චින්තාමණි” ලෙස සිංහල නෘත්‍යයෙහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කළේ ලක්ෂ්මි බායි විසිනි.

ලක්ෂ්මි බායි ගේ රංගන සහ ගායන දිවියෙහි කුට ප්‍රාප්තිය ලෙස මෙම නුර්තිය සැලකිය හැකිය.

 ජනයා රොද බැඳගෙන ටවර්හෝල් හි මෙය නෘත්‍යය නැරඹීමට පැමිණි බව සදහන් වන අතර, ලක්ෂ්මි බායි ගේ ජායාරූප රැගත් පූර්ව ප්‍රචාරක පත්‍රිකා , “චින්තාමණි කඩල”, “චින්තාමණි වළලු”, “ චින්තාමණි සාරි” ද ඒඅතර ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගැනීමේ අනෙකුත් ව්‍යාපාරයෝ වූහ. “ලංකා චින්තාමණි” ලෙස ලක්ෂ්මි බායි අතිශයින් ජනාදරයට පත්වූවා ය. එලෙසම ටවර්හෝල් හි වැඩිම වැටුපක් ලබන වෘත්තීමය ශිල්පිනිය ද වූවා ය.

චින්තාමණි චිත්‍රපටයත්, සිංහල නෘත්‍යයත් අතිශයින් ජනප්‍රිය වූ නිසා එවකට ප්‍රසිද්ධියට පත්ව තිබූ "හිස් මාස්ටර්ස් වොයිස්" තැටි සමාගම ලක්ෂ්මිබායි ලවා “ආදී සිංහලුන්“ ගීතයත් (අස්වත්තම්මා විසින් ගැයූ “ දිවා දර්ශනම්” ගීතය ඇසුරින්) , එම තැටියේ අනෙක්පස “නාම ගෝත්‍ර නොදිරාවී” යන ගීතයත් පටිගත කළ අතර, තැටියේ ලේබලයේ “චින්තාමණි රාගයක්“ යනුවෙන් විශේෂ සඳහනක් යොදන ලදී.

එලෙසම, ගීතය සමගින් බෙදාහරින ගීත පොතෙහි ලක්ෂ්මිබායි ගේ සේයාරුවක් සමගින් මේ අන්දමින් සටහනක් යෙදුණි.

“සිංහල වේදිකාවේ චින්තාමණි ලෙස ජනතාවගෙන් නොයෙක්වර ප්‍රශංසා ලැබූ ලක්ෂ්මි බායි නෝනා මහත්මී විසින් ගයන චින්තාමණි රාගතාල ඇසුරින් නිපදවූ අලුත්ම සින්දු දෙකක් ඔබතුමන්ලා සියලුදෙනා විසින් ඇසිය යුතුම ය”. යනුවෙනි. චින්තාමණි චිත්‍රපටියට ඇතුළත් වූ අනෙක් ජනප්‍රිය ගීතනු ද, සිංහල ග්‍රැමොෆොන් ගීත සදහා භාවිත වුණි. කේ.කේ රාජලක්ෂ්මි විසින් කොළොම්බියා තැටියකට ගායනා කළ “කෝප වෙන්නේ ඇ යි පෙම්බර ස්වාමි", පර්ල් වාසුදේවි සහ එම.කේ.වින්සන්ට් ගායනා කළ "පූර්වේ පැතු සේ ප්‍රේමාදරී" එවැනි ගීත කීපයකි.



“ආදී සිංහලුන්” තනුවටම කොළොම්බියා තැටි සමාගම විසින් ද 1939, වසරේම තවත් ගීතයක් නිකුත් කෙරුණි. “පක්ෂ භජනයෙන් පැටලී මේ කාලේ” යනුවෙන් එවකට පැවැති දේශපාලනික වාතාවරණයන් විස්තර කෙරුණු එම ගීතය ගායනා කරන ලද්දේ එවකට ටවර්හෝල් හි නාටිකාවක සහ ගායිකාවක්වූ “වයලට් වීරකෝන්“ මහත්මිය විසිනි. ට්ඡ් 15005 අංකය යටතේ නිකුත් කරන ලද එම ගීතයෙහි සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි.




“ ආදී සිංහලුන්” ගීතය ප්‍රධාන වශයෙන් හින්දුස්ථානි රාගධාරී සංගීතයේ “කාෆී රාගයේ” ලක්ෂණ ඉස්මතු කරන අතර, කෙහෙර්වා තාලයට අනුගතව නිර්මාණය කර ඇත. ආදී සිංහලුන් ගීතයේ ලක්ෂ්මි බායි මහත්මියගේ අනන්‍ය වූ හඬ පෞරුෂය එම ගීතයේ සදාතනික ජීව ගුණය මතුකිරීමට මහත්සේ උපකාරී වූ බව වෙසෙසින්ම පැවසිය යුතු ය.

ලක්ෂ්මි බායි විසින් ගැයූ “ ආදී සිංහලුන්” ගීතයට මෙන්ම, අස්වත්තම්මා විසින් ගැයූ “ දිවා දර්ශනම්” ගීතයට මුලික වූ මුල් හින්දි ගීතය පටිගත කෙරුනේ 1936 වසරේ  "හිස් මාස්ටර්ස් වොයිස්"  තැටියකට ය. එවකට ජනප්‍රිය භාජන ගායිකාවක වූ කුමාරි “ජුතිකා රෝයි” විසින් මාස්ටර් කමල්දාස් ගුප්තා ගේ සංගීතයට මෙහි මුල් ගීතය ගායනා කළා ය. එබැවින් මෙම ජනප්‍රිය ගීතයේ තනුවේ මුල්ම හිමිකාරීත්වය මෙම උත්තර භාරතීය ගීතයට හිමි වේ.


අප විසින් ප්‍රතිනිර්මාණය කරන ලද මෙම ගීතයේ තනුව යම් වෙනසකට භාජනය කරන ලද්දේ මුල් ගීතයේ රසයට කිසිම අයුරකින් හානියක් නෙවන පරිදිය. අවසන් වශයෙන් බුද්ධිමත් ඔබගේ  අවධානයට මෙම අදහස දක්වා තබමු. "කලාව යනු යම් මානව සමාජයක් ලද අත්දැකීම් අත්විඳීම් ගබඩා කරන තබන සෞන්දර්යය මාධ්‍ය වේ. එහි ගබඩා කර ඇති දෑ අනාගතයේ ඔබට මුණගැසෙනු ඇත. ඒ ව්‍යවසනයන් මගහැර ගැනීම මෙන්ම එහි ගබඩා කර ඇති අතිශය සුන්දර වූ ආදරයත් සෙනෙහසත් අවබෝධයෙන් පරිභෝජනයට ගැනීමට බුද්ධිමත්වන්න."


(සාලිය ලියනාරච්චි)

මූලික දත්තයන් සරසවිය පුවත්පතිනි.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...