BREAKING
Top Ad
Life

සාමිනාදන් මමිතුර ! රසද නීරසද මේ අඹ? - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

November 19, 2022 • 11:29 PM

සාමිනාදන් මමිතුර ! රසද නීරසද මේ අඹ? - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිමලරාජන් ස්මරණය කරමින් මා ලියූ කොලමට ප්‍රතිචාර ලෙස ලියූ කොමෙන්ටුවක සාමිනාදන් විමල් නම් මිත්‍රයා පැහැදිලි කිරීම් දෙකක් සිදු කර තිබිණ. ඔහු
  • ඔහු ඒ සඳහා අතිශය බරපතළ ලෙස සහ සූක්ෂ්ම ලෙස උත්ප්‍රාසය යොදා ගෙන තිබිණ.
  • 1) පසුකාලීනව ඔහු නිමල්ගේ බයිසිකලය අත්හැර යතුරු පැදියක් ගත් බව ආරංචි විය.
  • වැරදි ආරංචි මත ලිවීම පුවත්පත් කලාවෙන් ඉවත් වූ පසු නතර කරන්නට ඇතෙයි මම සිතුවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැහැදිලි කිරීමක සෙයියාවෙන් කර තිබුණේ මගේ ලිවීම සහ මා බරපතළ ලෙස විවේචනයට ලක් කිරීමයි. ඔහු ඒ සඳහා අතිශය බරපතළ ලෙස සහ සූක්ෂ්ම ලෙස උත්ප්‍රාසය යොදා ගෙන තිබිණ. ඒ ඔහු උත්ප්‍රාසය ගැන දන්නා බැවිනි.


මේ ඔහුගේ කොමෙන්ටුවයි.


හිතවත් මංජුල,


නිමලරාජන් පිළිබඳ සටහනට බොහොම ස්තුති.
කරුණු දෙකක් පැහැදිලි කිරීමට අවසරයි.


1) පසුකාලීනව ඔහු නිමල්ගේ බයිසිකලය අත්හැර යතුරු පැදියක් ගත් බව ආරංචි විය.
මෙය ඔබට ලැබුණු වැරදි ආරංචියකි. තවම මගේ වාහනය පා පැදියයි. වැරදි ආරංචි මත ලිවීම පුවත්පත් කලාවෙන් ඉවත් වූ පසු නතර කරන්නට ඇතෙයි මම සිතුවෙමි. අවාසනාවකට මගේ සිතීම වැරැදිය . ඔබට පෙර මෙන් මා සමඟ සම්බන්ධ වී විමසීමට තිබුණා නොවේද?


2)ජනතා විමුක්ති පෙරමුණේ යාපනයේ ශාඛාව හදන්නට එහි පැමිණි, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුපස නංවා ගෙන ගොස් තිබුණේ මෙකී යතුරු පැදියේ යැයි අප අතීත මිත්‍රයකු සීරියස් ස්වරයෙන් කීවේය.


මෙය නම් අමූලික පචයකි. මට යතුරුපැදියක් නැත. අනුන්ගේ යතුරුපැදියක්වත් පදින්නට මම දන්නේද නැත . ඔබට මෙය පවසා තිබෙන්නේ ඔබේ අතීත මිතුරෙකු විසින් සීරියස් ස්වරයෙන් වූවත් මම ඔබගේ සීරියස්කම ගැන නොතකනවා සේ ඔබද ඔබේ අතීත මිතුරා ගැන සීරියස් නොවන්න.

ස්තුති.
සාමිනාදන් විමල්



‘බල්සාක් කැෆේ’ ලියනු පිණිස නිමලරාජන්ගේ බයිසිකලය මා යොදා ගෙන ඇත්තේ සංකේතාත්මකව ‍යැයි මා මගේ ලියවිල්ලේ පැහැදිලිවම ලියා ඇත. ඉදින් බයිසිකලය වෙනුවට යතුරුපැදිය සහ මෝටර් රථය යොදා ගනිමින් මා මතු කරන උත්ප්‍රාසය සාමිනාදන්ට නොතේරෙන්නට විදිහක් නැත. ඔහු උත්ප්‍රාසය නොතේරුණා සේ, මගේ ලියවිල්ල ‘ප්‍රවෘත්තියක්’ ලෙස ගෙන එහි කරුණුවල නිරවද්‍යතාව විමසයි. ‘බලාසාක් කැෆේ’ හිඳ මා ලියන්නේ,  සමාජ - දේශපාලන - සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳ ම‍ගේ අදහසයි. කොලම් කලාවේ සංකේත භාවිතය හෝ උත්ප්‍රාස  භාවිතය සාමිනාදන්ට අලුත් යමක් විය නොහැකිය.
නිමලරාජන්ගේ බයිසිකලය සංකේතයක් වූයේ උතුරේ දෛනික ජීවිතය පිළිබඳ තොරතුරු දකුණට ආ විශ්වාසවන්තම මාර්ගය එය වූ බැවිනි. නිමලරාජන් මරා දැමුණු පසු සාමිනාදන් එකී බයිසිකලයට ගොඩ වීම සංකේතවත් කළේ එයයි. සැබැවින්ම එය එලෙසින්ම සිද්ධ වුණි.

 

1519161 882093025168908 4309349931515779538 o


කවර සමාජ දේශපාලන හෝ සංස්කෘතික හේතුවක් මත පදනම් වුව දකුණේ සිට උතුරට යන මාද ඇතුළු සියල්ලන්ගේ හෘදය සාක්ෂිය වූයේ සාමිනාදන් විමල්ය. සාමිනාදන් යනු සරල, සුන්දර, චාම්, අතිශය නිහතමානී මිනිසෙකු බව නොකිව මනාය.


ඔහු සමඟ බෙදා හදා ගත් අතීත මිත්‍රත්ව නිමේෂ පැවතියේ අවංකත්වයේ පතුලේය. "මිනිසකු මේ තරම් හොඳ විය විය හැක්කේ කෙසේද?" යැයි මා ඔහු ගැන ඔහුගේ නිවසේ සිටියදී ඔහුගේම දෑතින් සාදා දුන් ජෝග්ගු තේ බොමින් සිතූ අවස්ථා තිබිණ.

 

යුද්ධයේ අවසානය ලෙස සනිටුහන් වූයේ රාජ්‍ය බලයට එරෙහිව විකල්ප බලයක්ව දෙමළ අරගලය පැවති සමස්ත වකවානුවේ රට තුළ පැවති බල තුලනය අවසන් වීමය‍. එක් බලයක් විසින් අනිත් බලය නිෂේධ කිරීමේ හැකියාව අත්පත් කර ගන්නා විට තමන්ගේ මතය සමාජය හමුවේ ප්‍රකාශ විය යුත්තේ කවරාකාරව දැයි කලින් ඒ ගැන කතා කළවුන් විසින්ම ගණනය කෙරෙයි. එම සමාජ කොන්දේසි අතර පැවැත්ම, ආරක්ෂාව, ප්‍රතිලාභ ඈ වූ ආත්ම කේන්ද්‍රීය ලකුණු පවතින්නට පිළිවන. මෙසේ රූපාන්තරණය වූ සුප්‍රකට සිවිල් පුද්ගල චර්තයන්හි මෙම දේශපාලන චලනයන් වෙන වෙනම ගෙන විශ්ලේෂණය කළ හැකිය. ඔවුන් සමාජය හමුවේ ප්‍රකාශය පත්වන්නේ මෙම දේශපාලන ස්ථාවර මාරු කිරීමට තමන්ට අදාළ වූ සැබෑ ආත්මීය හේතු නොවන්නට පවා බොහෝ සෙයින් ඉඩ ඇත.

 

සාමිනාදන් යනු දකුණේ විශ්ව විද්‍යාලයක සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ සිංහල ශිෂ්‍ය ව්‍යාපාරයේ සක්‍රීය චරිතයකි. වාම මුහුණුවරකින් යුතු දකුණේ දේශපාලන ව්‍යාපාරයන්හි සිංහල ජාතිකවාදය අත්දැක උතුරට යාමට ඔහු විසින් තෝරා ගැනුණේ, උතුරේ තරුණයන් දකුණට පැන ගන්නට මාන බලන දුෂ්කරම මොහොත සහ දුෂ්කරම කවුළුවයි. තමන්ගේ ජීවිතය පිළිබඳ එවන් තීන්දුවක් ගත හැක්කේ බරපතළ වූත්, විරල වූත් මිනිසෙකුට පමණි. සාමිනාදන් එවැන්නකු වූ බව එකී නොකිලිටි ඉතිහාසය සාක්ෂි දරයි.  එය තථ්‍යාකාරවම ප්‍රතිපත්ති මූලික ස්ථාවරයක් මිස වරදාන වරප්‍රසාද හෝ ආරක්ෂාව යන කිසිඳු කොන්දේසියක් මත පදනම් වූවක් නොවේ.


2009 මුල්ලිවෛක්කාල් සංහාරයෙන් අවසන් වූ යුද්ධයේ තීව්‍රතාව විසින් හා යුද්ධයේ අවසන් ප්‍රතිවිපාක විසින් බොහෝ සිවිල් චරිත කලින් දැරූ ස්ථාවරයන්ට වඩා වෙනස් දේශපාලන ස්ථාවරයන් වෙත තල්ලු විය.  අවශ්‍ය නම් එය ඔවුන් සතු ‘අයිතිය’ ලෙස සලකන්නට හෝ විග්‍රහ කරන්නට බැරිකමක් නැත.  
සාමිනාදන් ජ.වි.පෙ. සම්බන්ධව දැරූ ස්ථාවර කවරක් දැයි නිධානයක් සේ සඟවා තැබුණු රහසක් නොවේ. තමන් ශිෂ්‍ය සමයේ ලත් දේශපාලන අද්දැකීම්ද, දකුණේ ගත කළ ජීවිතයේදී දෙමළෙක් වීම නිසාම උහුලන්නට වූ පීඩාවද, මේ සියල්ල අතරේ ජ.වි.පෙ. දැරූ ජාතිකවාදී ස්ථාවරයද ගැන තියුණු විශ්ලේෂණයක් සාමිනාදන් විමල් නම් මිත්‍රයා සතු විය.

 

අරගලයක් විනාශ වූ පසු සමාජයෙහි වූ විරෝධන ශක්‍යතාව අහිමි වීම විසින් සමාජයට ගෙවන්නට සිදුවන වන්දියක් තිබේ. දෙමළ විමුක්ති අරගලයේදී, මෙකී වන්දිය අපට හඳුනා ගන්නට සිදුවන්නේ මරා දැමුණු ජීවිත ගණනින්, අතුරුදහන් කළ මිනිසුන් ගණනින්, කවන්ධ වූ තල් ගස් ගණනින්, දොර ජනෙල්, උළුවහු පවා පැහැර ගැනුණු නටඹුන් නිවාස ගණනින් ඈ වූ සාධක මත පමණක්ම පදනම් වීමෙන් නොවේ. රාජ්‍යයේ දුෂ්ටභාවය පිළිබඳව හා අපරාධකාරීත්වය පිළිබඳ අතිශය බලපෑම් සහගත විවේචනාත්මක දෘෂ්ටියක් සහිත වූවන්ගේ දේශපාලන චලනයන්ද ඒ වන්දිය හඳුනා ගැනීම සඳහා වන තීරණාත්මක සාධයකයක් බවට පත් වෙයි. සාමිනාදන් විමල් නම් මිත්‍රයා  ජ.වි.පෙ. සමඟ යළි සම්මුතියට යාමේ 'මහා තේරුම' මෙකී වන්දියේම අවිච්ඡින්න සංසිද්ධියක් වන්නේ එබැවිනි.

 

උතුරට ආමන්ත්‍රණය කිරීමට සියයට දශම ගණනක හෝ අයිතියක් ජ.වි.පෙට තිබුණා නම් 2009 මුල්ලිවෛක්කාල් සංහාරයෙන් පසු එකී දශම ගණනද ඈවර වී යයි. අවසන් යුද්ධයේ ‘ජයග්‍රහණය’ ලෙස නම් කර ගත්, දකුණුදිග උත්කර්ෂය හා ප්‍රීනනය තුළ මාස හය හතක් ඇතුළද ලක්ෂයක් දෙනා නොව අවම වශයෙන් හැත්තෑදහසක දෙනා මරා දැමුණා යැයි හෘදය සාක්ෂියක් ඇති කවරකු හෝ පිළිගන්නවා නම්, ඒකී යුද්ධය අවසන් කිරීම නම් වූ සංසිද්ධියට තම පක්ෂයට ඍජු හෝ වක්‍ර වගකීමක් ඇති බව දිගින් දිගටම - අදටත් - මහත් උද්යෝගයෙන් ප්‍රකාශ කරනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමඟ සම්මුතියකට යාම කළ හැකිද ? ඉදින් මෙය සදාචාරාමය ප්‍රශ්න කිරීමක් නොවේ. තථ්‍ය දත්ත මත පදනම් වූ දේශපාලන ප්‍රශ්න කිරීමක් බව තේරුම් නොයන්නට හේතුවක් නැත. යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූවා යැයි කිසිවකු හෝ කිසියම් දේශපාලන ව්‍යාපාරයක්  ප්‍රකාශ කිරීමම යනු රාජ්‍ය අපරාධකාරීත්වයේ තමන්ගේ අඩංගුව සහ පංගුව ප්‍රකාශමාන කිරීමකි.  එපමණක් නොව යුද්ධයට අවශ්‍ය දෘෂ්ටිවාදය සකස් කළ මුඛ්‍ය දේශපාලන ව්‍යාපාරයද ඔවුන්ම වන විට එකී වරදකාරීත්වය තීව්‍ර වෙයි.


ස්වයං විචේචනය සහ පාපොච්චාරණය යනු දෙකකි. ‘අපේ අතින් මෙවන් වැරදී වූවා’, ‘එහෙම නොකර ඉන්න තිබුණා’, ‘අපරාදෙ අපි ගත්ත එ් තීන්දුව’ පන්නයේ ප්‍රකාශවලින් දස දහස් ගණනින් විනාශ කළ ජීවිත පිළිබඳ ‘සමාව’ ලැබෙන්නේ නැත. ජ.වි.පෙ. අවම වශයෙන් එලෙස හෝ ප්‍රකාශ නොකරනවා පමණක් නොව තමන් ගත් ස්ථාවරය නිවැරදි බව අදටත් පුන පුනා පවසයි. එම ස්ථාවරය නිවැරදි නම් එම ස්ථාවරය විසින් නිර්මාණය කෙරුණු ප්‍රතිවිපාකවල වගකීමද භාරගත යුතුය යන්න අතිශය පැහැදිලි දේශපාලන යථාර්ථයකි.  


මුල්ලිවෛක්කාල් මහා සංහාරයෙන් පසු සාමිනාදන් නිශ්ශබ්ද වූවා නම් ඒ නිශ්ශබ්ද වීම අපට තේරුම් ගන්නට පිළිවන. ඒත්  මිත්‍ර සාමිනාදන් නම් වූ බරපතළ මිනිසා හිට ගත්තේ, තමන් ගත් ස්ථාවරය නිවැරදි බව දකුණේ වේදිකා මත  හිඳ අහස් මල් වෙඩි ලෙස විචිත්‍රව මුදාහරින ජනතා විමුක්ති පෙරමුණ සමඟය. ජ.වි.පෙ. උතුරට ගොස් සිංහලෙන් කියන දේ 'ඔවුන් දකුණට කියන දේ මඟහැර' දෙමළට  පරිවර්තනය කිරීමට සාමිට හිත හදා ගන්නට හැකි නම් ඔහුට නිමලරාජන්ගේ බයිසිකලය අත්හැරී ඇතැයි මා කරන ප්‍රකාශයේ කවර දේශපාලන වරදක්ද ?


සාමිනාදන් විමල් යාපනයේ අඹ ගැන යාපනයේ සිට ලියූ බරපතළ කවිය මම ‘පැරිස් වලාකුළු’ කෘතියට රැගෙන ආවෙමි.  ඒ ගැඹුරු කවිය ඔහු අවසන් කරන්නේ මෙලෙසය.


"කර්තකොලොම්බන් මේ අඹ
ලැබුණේ නැති කොළොම්තොටට
ගන්න මහතුනි මේ අඹ සැක හැර,
නීරස නොවෙයි සහතිකයි මේ අඹ
යාපනේ අපේ ජීවිත තරමට"

"කපා දෙන්නම් පළුවක් රස බලන්නට මහතුන්ට
කකා යන්න, එපා සල්ලි
අනේ අපටත් දෙන්න මහතුනි
ජීවිතය ටිකක් හුස්ම ගන්නට"


මෙසේ හුස්ම ඉල්ලූ මිනිසුන් දසදහස් ගණනකගේ හුස්ම ගැනීම සදාකාලිකවම නතර කරන්නට දෘෂ්ටිවාදය සම්පාදනය කළ මිනිසුන් සමඟින්  පහන් පත්තු කරනා දේශපාලනය මට නොතේරෙන්නේ සාමිනාදන් කියන්නා සේ මා ඔහු තරම් සීරියස් මිනිසකු නොවන නිසා වන්නට පිළිවන.


කිසිවකුගේ දේශපාලන ආස්ථානය යනු ඔහුගේ ගැලවිය නොහැකි ඉරණම ලෙස භාර නොගෙන ඉන්නට තවෙකෙකුට ඇති අයිතිය දේශපාලනික නොවන්නේ දැයි මම අතිශය මිත්‍ර ස්වරයෙන් සාමිනාදන්ගේ අසමි.


නිමලරාජන්ගේ බයිසිකලය - මංජුල වෙඩිවර්ධන(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwar@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත නොවැම්බර් 20)



සබැඳි ලිපිය :
නිමලරාජන්ගේ බයිසිකලය - මංජුල වෙඩිවර්ධන

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...