BREAKING
Top Ad
Life

රන් බණ්ඩා සෙනෙවිරත්න : නුවරකලාවියේ උපන් ගමේ බයියා

T

The Leader

December 18, 2022 • 12:54 AM

රන් බණ්ඩා සෙනෙවිරත්න : නුවරකලාවියේ උපන් ගමේ බයියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (රන් බණ්ඩා සෙනෙවිරත්නයන් අපි අතුරින් වියෝවී 2022 දෙසැම්බර් 05 දිනට වසර විසි එකකි)
  • මගේ පාසල් කාලයේ, ඒ කියන්නේ ආසන්න වශයෙන් 2006-07 කාලයේ දී තමයි මම මුලින්ම “ දවසක් පැල නැති හේනේ “ සිංදුවට ආදරය කරන්න පටන් ගන්නේ.
  • සිංදුව ඉවර වෙන හරියෙදී කපුගේ “මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ...” කියලා කියද්දී තමයි මම හිතන්නේ මට අම්මා ගැන වගේම, අම්මාගේ ආදරය ගැනත් සිංදුවක් ඇතුලෙන් වැඩියෙන්ම දැනුනේ.
  • එදා ඉඳන් අද වෙනකම් ගත වුණු කාලය කොච්චරද කියලා නැවතිල්ලේ ගැනලා බැලුවහම අවුරුදු 15කට ආසන්න කාලයක් ගෙවිලා ගිහින්.
අකුරු ප්‍රමාණය (Font Size):




වෘත්තියෙන් නීතීඥයකු වුණු රන් බණ්ඩා සෙනෙවිරත්නව මම මුලින්ම හඳුනා ගන්නේ ගුණදාස කපුගේ ට “ දවසක් පැල නැති හේනේ" ගීතය ලියපු ගී පද රචකයා විදිහට.


මගේ පාසල් කාලයේ, ඒ කියන්නේ ආසන්න වශයෙන් 2006-07 කාලයේ දී තමයි මම මුලින්ම “ දවසක් පැල නැති හේනේ “ සිංදුවට ආදරය කරන්න පටන් ගන්නේ.


සිංදුව ඉවර වෙන හරියෙදී කපුගේ “මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ...” කියලා කියද්දී තමයි මම හිතන්නේ මට අම්මා ගැන වගේම, අම්මාගේ ආදරය ගැනත් සිංදුවක් ඇතුලෙන් වැඩියෙන්ම දැනුනේ.


ජීවිතේ අන්ත අසරණ වෙලා, යන්න ඕන පාර මොකද්ද, කොහෙන් කොහාටද හැරෙන්න ඕන කියලාවත් නොදැන මං මුලා වෙලා ඉන්න ඕනම පුතෙක්ට පුළුවන් ආයෙත් ගෙදර ඉදිකඩ ලඟට වෙලා පුතා එනකම් මග බලාගෙන ඉන්න අම්මා ලඟට එන්න.

 

gunadasa kapuge 3 gee padura

 


මවු සෙනෙහස එතෙකැයි කියලා තේරුනේ මම එදා ඒ සිංදුව අහද්දී. කපුගේ හඬගාලා අම්මාව ආමාන්ත්‍රණය කරද්දි මට දැණුනා මම අම්මට වගේම , මේ සිංදුවටත් හැමදාටම ආදරය කරාවි කියලා.


එදා ඉඳන් අද වෙනකම් ගත වුණු කාලය කොච්චරද කියලා නැවතිල්ලේ ගැනලා බැලුවහම අවුරුදු 15කට ආසන්න කාලයක් ගෙවිලා ගිහින්.




මම මගේ ජීවිතේ පළවෙනි වතාවට රන් බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් ලියපු ගීතයකට ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු 15ක් විතර ගෙවෙද්දී,
රන් බණ්ඩා සෙනෙවිරත්න ශූරීන් අපි අතුරින් සමුගෙන ගිහින් වසර 21ක් ගත වෙලා ගිහින්.


හරියටම 2022 දෙසැම්බර් 05 දිනට ඔහු අපි අතුරින් වියෝ වෙලා ගිහින් වසර විසි එකක් සපිරුනා.


ඔහු රචනා කළ බොහෝ ගීත වල තිබුනේ තමන්ගේ ජීවිත අත්දැකීම් වල අහු මුළු කියලා මට හිතෙනවා. ඒ වගේම ඔහු ඒ අත්දැකීම විස්තර කරන්න පාවිච්චි කලේ තමන්ට ජීවිතයේ වැඩියෙන්ම සමීප වුණ ගමේ වචන වෙන්න ඇති කියලත් මට හිතෙනවා.


රන් බණ්ඩා සෙනෙවිරත්න උපත ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, මරදන්කල්ල ගමේ  දී. ඔහුගේ පියා වුණු වන්නිහාමි වෙල් විදානේ දේශීය වෛද්‍යවරයෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහු පළමුව ගමේ පාසලටත්, ඊට පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයටත් ඉගෙනුම සඳහා යනවා.


ඒ කාලේ අනුරාධපුරෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙනුවෙන් කොළඹ එනවා කියන එක අදට වඩා බොහෝම සුළුතරයක් විසින් උදාකරගත්තු අවස්ථාවක් කියලා ඕනම කෙනෙක්ට තේරෙනවානේ.


අන්න ඒ දුළබ අවස්ථාව රන් බණ්ඩා සෙනෙවිරත්නටත් හිමි වෙනවා, ඔහු කොළඹ නීති පීඨයට සුදුසුකම් ලබනවා. එහිදී ඔහු ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ද වෙනවා. දෙවන වසරේදීම ශිෂ්‍ය සංගමයේ සභාපති දූරය හොබවන්න පවා අවස්ථාව උදාකර ගන්න ගන්නත් සෙනෙවිරත්නයන් සමත් වෙන්නේ තමන්ගේ ජීවිතයේ යා යුතු මාර්ගය හරි හැටි පාදා ගනිමිනුයි.


පසුව ඔහු විසින් අටවා ගන්නා කුටුම්ඹය එළිය කළේ ගයා නන්දනී සෙනෙවිරත්න විසින්. ඔවුන් දෙපළට දාව දුවෙක් සහ පුතෙක් උපත ලබනවා. තරමක් තද නීති සහිත ජීවිතයක් ගත කල සෙනෙවිරත්නයන් තමන්ගේ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න සමත් වෙනවා.


රන් බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් ලියපු දෙයක්, ගීතයක් විදිහට මුලින්ම ඇහෙන්නේ ගුණදාස කපුගේ ගේ හඬින්.


ඔවුන් එකිනෙකා මුණ ගැහෙන්නේ කොළඹ වයි.එම්.බී.ඒ. ශාලාවේ නතර වෙලා ඉන්න කාලේදී. අහම්බෙන් ඇහුනු ගැඹුරු කටහඩක් සොයාගෙන ගිහින් ඔහු කපුගේ ව දැන හඳුනා ගන්නවා.


ඒ අඳුර ගැනීමේ කූටප්‍රාප්තිය විදිහට තමයි “උලලේනෝ” ගීතය කපුගේ ගේ හඬින් අපිට අහන්න ලැබෙන්නේ.


සිංදු ලස්සන වෙන්නේ තේරුම් වැඩි වෙන තරමට, ලියන්නා කෙසේ ලීවත් අසන්නාට කැමති තැනකින් ගීත අල්ලගන්න පුළුවන්.

 

සෙනෙවිරත්නයන් “ උලලේනෝ” ගීතය ලියන්නේ හැත්තෑ එකේ කැරැල්ල පාධක කරගනිමින්. කැරැල්ල ව්‍යර්ථ වුනයින් පස්සේ කාත් කවුරුත් නැති දුශ්කර ප්‍රදේශයක, පැලක හැංගිලා ඉන්න ගමන්  ඔහු ඒ ආමාන්ත්‍රණය කරන්නේ තමන් අසලින් කෑගහනවා ඇහෙන උලලේනාටම ද, නැත්තනම් තමන් තරමටම අසරණ වෙලා ඉන්න සමස්ත රට වැසියාටම ද කියන දේ තෝරා ගැනීම ශ්‍රාවකයාට බාරයි.

 

හැබැයි මම ඉස්සර කැමති වුනා උලලේනෝ ගීතය ඇතුලෙන් හැත්තෑ එකේ කැරැල්ල අත් හැරලා, ඒ ගීතය තනිවෙලා ඉන්න තරුණ හිතකට ඈඳෙනවා දකින්න.


නමුත් මේ ගීතය ගැන වැඩිදුර විස්තර හොයාගෙන යද්දී මට තැනකදී මුණ ගැහෙනවා තරමක් සංවේදී සටහටනක්.


හැත්තෑ එකේ කැරැල්ල කාලෙදී රන් බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ පවුලේ දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා සහ පවුලේ පස් දෙනෙක් රක්ශිත බන්ධනාගාර ගත වෙලා තියෙනවා කියලා.


එදා මම මම ආයෙත් උලලේනෝ ගීතය අහනවා.


“ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....


සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..!”


මට තව දුරටත් ඒක වෙනදා ඇහුවා වගේ විවිධ තේරුම් එක්ක අහන්න බැරි වුනා එදායින් පස්සේ.

 

ඒ තමයි මනුස්සයෙක්ගේ හිතක හිරවුණු පීඩනය ලිහිල් කරගන්න පුළුවන් හොඳම විදිහ, ලියන එක.


ඒක තමයි සෙනෙවිරත්නයන් විසින් සිදු කරන්න ඇත්තේ.



රණ්බන්ඩා සෙනෙවිරත්නයන් විසින් මහා ගීත ගොන්නක් රචනා නොකළා වුනත්, ඔහු ලියපු හැම ගීයකින්ම වගේ සංවාදයක් ගොඩ නගන්න සමත් වුනා.


ලිපියේ මුලින්ම කතා කරපු “දවසක් පැල නැති හේනේ” සිංදුවට අදටත් මිනිස්සු විවිධ නිර්වචන ලබා දෙනවා.


ඒ අතරේම තවත් අය ඔහු ලියපු " ලඳුනේ " ගීතයේ කතාව ගැන දුක් වෙනවා , සංවාද ගොඩ නගනවා.


ලඳුනේ ගීතයට අපිට දහසකුත් එකක් නිර්වචන ඉදිරිපත් කරන්න බැහැ. ඒ ගීතය අමුයි, නමුත් හරි රළුයි.


මහනුවර නගරයේදී අහම්බයෙන් මුණ ගැසෙන තරුණියක් පිළිබඳ තම මිතුරෙකුගේ මාර්ගයෙන් තොරතුරු දැන ගන්නා සෙනෙවිරත්නයන් අතින් “ලඳුනේ” ලියවෙනවා.


ඒ සිංදුව ඉවර වෙන්නේ මාරම එපික් වචන ටිකකින්.


“ළැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙ ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ලඳුනේ...”





ඔහුගේ හැම ගීතයක් ඇතුලෙම අපිට අහු වෙන්නේ ලංකාවේ ගීත සාහිත්‍ය ඇතුලේ අපිට නුහුරු වචන ටිකක්. මම පෞද්ගලිකව ඒකට මාරම කැමතියි.


“වැවේ දියේ ඇති නිකිණ්‌න නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වෑ කන්දේ බෝ ගස්‌ සෙවනේ
මම අද තනියම ඔළිඳ ගණිනවා


ඒ වචන තේරුම් ගන්න අපිටත් “ ගමේ බයියෙක්” විදිහට හිතන්න වෙනවා. මිහින්තලේ ඉපදිලා, එහේ හැදිලා වැඩුණු රන් බණ්ඩා සෙනෙවිරත්නයන්ට ලැබුණු ගමේ ආර, ලංකාවේ ප්‍රචලිත වුණු නඩු වලට පවා පෙනී හිටි ප්‍රසිද්ධ නීතීඥයෙක් වුනායින් පස්සෙත් සෙනෙවිරත්නයන්ගෙන් ගිලිහිලා ගියේ නැහැ.


මේ “බයියා” කියන වචනය අද අවභාවිත වුනත් එදා ඒක පාවිච්චි වුනේ තමන් ගමේ උපන්, ගමේ ආභාශයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මතු කරන අදහසින්.

 

ඒකයි සෙනෙවිරත්නයන් මම ගමේ බයියෙක් කියලා තමන්ව හඳුන්වා දෙන්නේ.

 

ඔහුගේ රචනා ශෛලිය ඇතුලේ ඉහත දුන්නු උදාහරණ හැම එකකම වගේ ඒ “බයි” ලක්ශන තමයි ගැබ් වෙලා තිබුනේ. ඔහු ජීවත් වුණු පරිසරය වගේම ඔහුගේ ගීත වලට පාදක වුණු තේමාවන් වගේම ඔහු ඒ ගීත ලියන්න පාවිච්චි කල වචනත් කර්කශයි.

 

රන් බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් රචනා කල හොඳම ගීතය මොකද්ද කියලා කවුරු හරි මගෙන් අහනවා නම් මගේ පිළිතුර “ සුමනෝ”.


“පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ - සුමනෝ.........
ඇයි නුඹ නැත්තේ”



කියලා ගුණදාස කපුගේ ශූරීන් විසින් ගයද්දී අපිට ගීතයේ පසුබිමෙන් ඇහෙන්නේ මළ බෙර හඬක් මුසු වුණු සංගීත නාදයක්.


ඒ ශෝකී රාවය නිසා මට පෞද්ගලිකව දැන්නේ මහා අමුතු හැඟීමක්.


එක අතකින් ඒ හැඟීම ගුප්තයි, තව විදිහකින් ඒ හැඟීම සෞන්දර්යාත්මකයි.


මේ ගීතය අහලා තිබුනට, ගීතයේ තේරුම ගැන අබමල් රේණුවක තරම්වත් අවබෝදයක් නොතිබුණු මම මුලින්ම ඒ ගීතයේ තේරුම මොකක් වෙන්න ඇතිද කියලා හිතන්න පටන් ගත්තේ බොහෝම මෑතකදී.


පස්සේ මම ඒ ගීතයේ තේරුම ගැන විවිධ විස්තර හොයාගෙන යද්දී තමයි තේරෙන්න ගන්නේ මේ තමයි රන් බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් රචනා කළ විශිෂ්ටතම ගීතය කියලා.


මොකද “පබළු නගේ” ඇතුලේ හැංගිලා තියෙන අර්ථය ඒ තරම්ම ගැඹුරු එකක්.


අපි අල්ලන්න උත්සාහ නොකරන මානයන් වචන කිහිපයකින් ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගන්න රන් බණ්ඩා සෙනෙවිරත්නයන්ට පුළුවන් වෙලා තියෙනවා.

 

මම සටහනේ මුලින්ම සඳහන් කළා වගේ ඔහුගේ ගීත ඇත්තටම තේරුම් ගන්න අපිට “ නුවරකළාවියේ උපන් ගමේ බයියෙක්” වගේ හිතන්න පුරුදු වෙන්න වෙනවා. සරලවම කියනවා නම් අපි අපේ හැඟීම් විතරක් නෙවෙයි, අපේ දැනීම් පවා ගමත් එක්ක සමපාත කරගත යුතු වෙනවා.

 

“ පබළු නගේ” ගීතයේ එක තැනක යෙදෙනවා මේ විදිහේ වචන ටිකක්,


“වැවේ දියේ ඇති නිකිණ්‌න නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා”



නිකිණ්න නිල්ලේ කියන වචනය එන්නේ ප්‍රාදේශීය ජනවහරෙන්. ඒකේ තේරුම තමයි නිකිණි මාසයේදී වැවු දිය හිඳී ගියහම වැවු පිටියේ තාවකාලිකව මතුවෙන නිල්වන් තණ ගොබ කියන එක. නමුත් ඒවා පවතින්නේ බොහෝම ටික කාලයක් විතරයි.
 

ඒ ගීතය අපි හිතවට වඩා බර එකක්.
 

මතුපිටෙන් ඇහෙන වචන වල තේරුම් හොයාගෙන යද්දියී ඒ බව ටිකෙන් ටික වැටහෙන්න ගන්නේ.
 

ඒ නිසයි " සුමනෝ එහෙමත් නැත්නම් පබළු නගේ" රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ලියපු හොඳම ගීතය කියලා මම විශ්වාස කරන්නේ.
 

සරලවම කියනවා නම් ඒ ගීතයෙන් චිත්‍රපට තිර රචනයක් කරන්න තරම් ලොකු කතාවක් ගොඩ නගන්න පුළුවන්!

 


රන් බණ්ඩා සෙනෙවිරත්නයන් අපි අතරින් වියෝ වෙලා ගිහින් වසර විසි එකක් පිරෙන අද වගේ දවසක ඔහු ගැන නොලියා බැහැ.
 

එතුමන් විසින් ලංකාවේ ගීත සාහිත්‍යයට දායාද කළේ ගීත අතලොස්සක් වුනත්, අදටත් ඔබට ඒ ගීත කිහිපය ගැන කතා කරන්න කාරණා ඉතුරු වෙලා තියෙන්නේ ඒවාගේ ගැබ් වුනු ප්‍රස්තුතයන් නිසා.
 

එහෙම නිර්මාණකරුවෙක් වෙනුවෙන් ලියන වචන කවදාවත් අපතේ යාවි කියලා මම හිතන්නේ නැහැ.
 
 
අනුජා වික්‍රමසිංහ
anuja.tharinda@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...