BREAKING
Top Ad
Life

බොලිවුඩය සහ පැපරාසීන් අතර ඇති සංකීර්ණ සම්බන්ධතාව

T

The Leader

April 23, 2023 • 1:36 AM

බොලිවුඩය සහ පැපරාසීන් අතර ඇති සංකීර්ණ සම්බන්ධතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ මූල්‍ය නගරය වන මුම්බායි සිට කිලෝමීටර 96ක් දුරින් පිහිටි වෙරළාසන්න නගරයක් වන අලිබාග්හි හෙලිකොප්ටර් අංගනයක් තුළ වරින්දර් චව්ලා හුස්ම අල්ලාගෙන බලා සිටියේ ය.
  • එදා, 2022 නොවැම්බර් දෙවැනි දා, ඛාන්ගේ උපන්දිනයයි.
  • ඔවුන්ගේ බලාපොරොත්තු ඛාන් විසින් බිඳ නොදමනු ඇතැ යි චව්ලා විශ්වාස කළ නිසා ඔහු ඉවසීමෙන් රැඳී සිටියේ ය.
  •     "ඒක නම් ඇත්තටම වටින ශොට් එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ මූලාශ්‍රයන් මඟින් ඔහුට දැනගන්නට ලැබුණේ, බොලිවුඩ්හි සුපිරි තරුව ශාරුක් ඛාන් එහි සිට මුම්බායිහි පිහිටි ඔහුගේ මන්දිරයට යාමට හෙලිකොප්ටරයට ගොඩවීමට ඉඩ තිබෙන බවයි.

එදා, 2022 නොවැම්බර් දෙවැනි දා, ඛාන්ගේ උපන්දිනයයි. එදිනට ඔහුගේ නිවසින් පිටත එකතු වී ඔහුට සුබපැතීමට එන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට ආචාරකරන්නට මේ තරුව පුරුදු වී සිටියේ ය. ඔවුන්ගේ බලාපොරොත්තු ඛාන් විසින් බිඳ නොදමනු ඇතැ යි චව්ලා විශ්වාස කළ නිසා ඔහු ඉවසීමෙන් රැඳී සිටියේ ය.

අවසානයේ දී, ඛාන් රැගත් කාරය පැමිණියේ ය. චව්ලා නළුවාට ඉඟි කළ අතර ඔහු පෙරළා අත වැනුවේ ය. ඉතින් ඔහු කැමරාවේ බොත්තම එබුවේ ය.

 

srk 640x480 51440751740

 

"ඒක නම් ඇත්තටම වටින ශොට් එකක්. මගේ උත්සහය හරි ගියා," චව්ලා පවසයි.

ඔහු, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සැබෑ මොහොතවල් ඡායාරූපගත කරගැනීමට ඕනෑම ආකාරයක දෙයක් කරන, බොලිවුඩයේ වර්ධනය වන පැපරාසීන් අතරින් අයෙකි.

බසිසිකල්වලින් ඔවුන් පසුපස හඹා යාම, ඔවුන්ගේ කළමනාකරුවන් සහ රියැදුරන් සමග මිත්‍ර වී ඔවුන් සිටිනා ස්ථාන පිළිබඳව ඔත්තු ලබාගැනීම, ගුවන්තොටුපොළවල සහ ආපනශාලා අසල රැඳී සිටීම සහ සිනමා තරුවලට අයත් වාහනවල ලියාපදිංචි අංක තහඩු පවා මතක තබාගෙන ඔවුන් පසුපස ලුහුබැඳීම වැනි දේ ඔවුන් සිදු කරයි.

බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන් හා පැපරාසීන් අතර "එකිනෙකා මත යැපෙන සම්බන්ධයක්" පවතින බව ඛාන්ගේ හිටපු ප්‍රකාශිකාවක් වන, වර්තමානයේ තමාගේ ම මහජන සබඳතා ආයතනයක් පවත්වගෙන යන මාන්ද්වි ශර්මා පවසයි.

 

papa 1

 

තරු ජනප්‍රියත්වය උදෙසා ඔවුන් මත යැපෙන අතර, ඔවුන් ජීවත්වීමට තරු මත යැපේ. නමුත් මෙම අන්තර් සම්බන්ධතාව නරක එකක් බවට හැරීමට ද ඉඩ තිබෙන අතර, නිරීක්ෂකයන් පවසන්නේ සමාජ මාධ්‍ය යුගයේ ගතිකයන් වෙනස් වෙමින් පවතින බවයි.

පෙබරවාරියේ දී, ආලියා බාත් විසින් ඇය (නිවසේ) සාලයේ සිටිනවිට ඡායාරූප ශිල්පියෙක් ඇයගේ ඡායාරූප ලබා ගැනීම, ඇගේ පුද්ගලිකත්වයට සිදු කළ "අශික්ෂිත කඩාවැදීමක්" ලෙස හඳුන්වමින් විවේචනය කළා ය.

මාර්තු මාසයේ මුල දී, පැපරාසීන් සයිෆ් අලි ඛාන් සහ ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් ඔවුන්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ල දක්වා හඹා ආ පසු ඛාන් ඔවුන්ට, "ඔහු ඔහුගේ නිදන කාමරය දක්වාත් හඹා එන්නැ,"යි සමච්චල් සහගතව පැවසීම සිරස්තල මැවුවේ ය.

එම වීඩියෝව ජනප්‍රිය පැපරාසියෙකු වන විරාල් භයානිගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ දකින්නට තිබූ අතර එය සමාජ මාධ්‍යයේ පුළුල් ලෙස බෙදාහැර තිබුණි.

2019 දී, සායිෆ් අලි ඛාන් පැවසුවේ සිය දරුවාගේ ඡායාරූපයක් ලබා ගැනීමට ඔහුගේ නිවසෙන් පිටත පැපරාසීන් ස්ථානගතකර ඇති බව ඔහු සොයාගැනීම, "කියන්නත් අප්‍රසන්න" දෙයක් බවයි.

වර්තමානයේ ඔහු යටතේ සේවය කරන ඡායාරූප ශිල්පීන් 15 දෙනෙකු සිටින, දශක දෙකක් තිස්සේ පැපරාසියෙකු ලෙස කටයුතු කරන මානව් මංගලානි පවසන්නේ සමාජ මාධ්‍ය ජනප්‍රිය පුද්ගලයන්ගේ විස්තරවලට ඉතා ගිජු ප්‍රියතාවයක් නිර්මාණය කර ඇති බවයි.

 

papa 2

 

දශක කිහිපයකට පෙර, පැපරාසීන්ගෙන් ඡායාරූප ලබාගත්තේ පුවත්පත් සහ සඟරා පමණි.

2015 දී ඉන්දියාවේ සිදු වූ ඩිජිටල් මාධ්‍ය ආගමනයත් සමග, මාධ්‍ය සහ ප්‍රසිද්ධ පුද්ගලයන් වැඩකටයුතු සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් ගාමක බලවේගයක් බව ඔවුන් උගෙනීමත් සමග, තත්ත්වය නාට්‍යානුරූපීව වෙනස් වූ බව ශර්මා පවසයි. "ඒක ප්‍රචාරණය සඳහා ලොකු පරාසයක් වුණා."

අද මිලියන ගණනක ඉන්දියානුවන් ඔවුන්ගේ කැමතිම ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳ අලුත් දේ දැනගැනීමට භාවිත කරන වේදිකා ගණනාවකට ම සැපයීම සිදු කිරීමට පැපරාසීන්ට සිදු ව ඇතැ යි මංගලානි පවසයි.

"අපි රූගත කරනවා, අප්ලෝඩ් කරනවා, පෝස්ට් (පළ) කරනවා, ස්ටෝරි දානවා සහ ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, රොපෝසො හා ස්නැප්චැට් වගේ ඇප්වලින් සජීවී විකාශ ලබා දෙනවා," ඔහු පවසයි.

ඇත්තෙන් ම, බහුතරයක් ප්‍රසිද්ධ පැපරාසීන් අන්තර්ගතයන් බෙදාගන්නේ ඔවුන්ගේ අතිශයින් ම ජනප්‍රිය වී ඇති ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලින් ය. භයානිට මිලියන 5.2ක අනුගාමිකයන් ද, මංගලානිට මිලියන 2.6ක පමණ හා චව්ලාට මිලියන 1.2ක අනුගාමිකයන් සිටියි.

ඉල්ලුම මත මුදල් ඉපැයීම කරන්නට උත්සහ ගන්නා නවක ඡායාරූප ශිල්පීන් සහ යූටියුබ්කරුවෝ දිය බොර කරති.

වඩාත් උණුසුම් මොහොතක හොඳ ම හෝ විශේෂිත ම ඡායාරූපයක් ගැනීමට සියල්ලන් ම තරග කරන නිසා ඇතැම්විට "සීමාවන් පනින" බවට චව්ලා එකඟ වේ. නමුත් කිසිවෙකු කෝපයට පත්කරන අන්තර්ගතයන් පළකිරීමෙන් තමා වැළකී සිටිනබව චව්ලා කියයි.

 

papa 3

ඡායාරූප ශිල්පිනියකව සිටි අනීතා පවසන්නේ පැපරාසි වැඩ පීඩාව ඇති කරන සහ ඒ වෙලාවේ දී අප්‍රසන්න දෙයක් පවා වන බව ඇය සොයාගත් බවයි. "මට මඟ ඇරුණු ශොට් එකක් වෙන කෙනෙක් ගත්තොත් මගේ බොස් මට බනිනවා," ඇය පවසන අතර, විශේෂ දර්ශනයක් ලබාගත් අයට නිර්ලෝභී ලෙස සන්තෝසම් ද ලැබෙන බව එකතු කළා ය.

ඔවුන් දකින තරගකාරී ප්ලැට්ෆෝමයන්හි ඡායාරූප සහ වීඩියෝපට ඉල්ලා සිටින ප්‍රවෘත්ති ඒජන්සි සහ රූපවාහිනී නාළිකාවලින් ද පීඩනයක් පැමිණෙන බව මන්ගලානි පවසයි.

1990 ගණන් දක්වා දේවල් විශාල වශයෙන් වෙනස් වී ඇත. එකල චව්ලාගේ පියා ද ජනප්‍රිය පුද්ගලයන්ගේ ඡායාරූප ශිල්පියෙකු වී සිටියේ ය. ප්‍රවර්ධන ඡායාරූප ගැනීම සඳහා තරුවකගේ කළමණාකරුවෙකුගෙන් පියා ආරාධනා ලැබූ විට, තමා ද චිත්‍රපට රූගත කරනා ස්ථානවලට සහායට ගියබව චව්ලා සිහි කරයි.

"අපි දවල්ට රෑට කන්නෙ රූගත කරන තැන දි ජනප්‍රිය අය එක්ක. අපි එයාලා එක්ක කතාබහ කරලා යාලුකමක් හදාගත්තා. නළුවො ෂූටින්වලින් විවේකයක් අරගෙන විවිධ ඇඳුම්වලින් ඡායාරූපවලට පෙනී ඉන්නවා," ඔහු පවසයි. "ඒ කාලයේ දී 'පැපරාසි සංස්කෘතියක්' තිබුණේ නෑ."

මාධ්‍ය සහ දේශපාලනය ගැන ලියන නිදහස් මාධ්‍යවේදිනියක වන රන්ජෝනා බැනර්ජි පවසන්නේ 1990 ගණන්වල දී ඉන්දියාව ලෝකයට දොරටු විවෘත කිරීමේ ප්‍රවේශයත් සමග බොහෝ දේවල් වෙනස් වූ බවයි.

"පුද්ගලික රූපවාහිනී නාළිකාවල ව්‍යාප්තිය, වැඩි වැඩියෙන් දේවල් අවශ්‍යවීමේ - වැඩි විනෝදය, වැඩි තොරතුරු වගේ - බීජ වපුරලා නෙළනවා," ඇය පවසන අතර, සිනෙ බ්ලිට්ස් සහ ස්ටා ඩස්ට් වැනි සඟරා ද ජනප්‍රිය පුද්ගලයන්ගේ ඕපාදූප සහ පුවත් ආවරණය කිරීමේ දී වඩාත් ශූර වී ඇති බව එකතු කළා ය.

 

papa 4

"ජනප්‍රිය අයගේ ඡායාරූපවලට තවදුරටත් කලින් සැලසුම් කළ ස්වරූපයක් හෝ හැඟීමක් නෑ. ඒවා වඩාත් අවිධිමත් සහ ස්වභාවික බවට පත්වෙලා," ඇය පවසයි.

ඒත් සමග ම බොලිවුඩය වැඩි වැඩියෙන් ඒකාබද්ධ විය. බැංකු සහ චිත්‍රාගාර චිත්‍රපට සඳහා මුදල් යෙදවීම ආරම්භ කළ අතර සාමාන්‍යයෙන් එක් මහජන සබඳතා නිලධාරියෙකු සිටි තරු වර්තමානයේ මහජන සබඳතා නිලධාරි කණ්ඩායම් මඟින් මෙහෙයවෙයි.

චව්ලා පවසන්නේ, "මේක ප්‍රසිද්ධ අයත්, ඡායාරූප ශිල්පීන් අතරත් අමුතු ආකාරයේ දුරක් හදලා තියෙනවා" යනුවෙනි. "තාමත් අපට එයාලා ළඟට යන්න හැකියාව තිබුණත්, සමහවිට ඉස්සරට වඩා අපට තිබුණු හොඳ යාළුකම නැතිවෙලායි තියෙන්නෙ," ඔහු පවසයි.

පැපරාසි සංස්කෘතිය ඉන්දියාවේ කවදා සිට ආරම්භ වූවා ද යන්න අපහැදිලිවුවත්, ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසන්නේ එය 2000 දශකයේ මැද කාලයට පෙර වන්නට ඇති බවයි.

ඡායාරූප ශිල්පීන්ට තහනම් ව තිබූ අභිෂේක් භච්චන්ගේ විවාහ දිනයේ දී රහසිගත ව ඔහුගේ ඡායාරූපයක් ලබා ගැනීමෙන්, තමා මෙම ප්‍රවණතාවය ආරම්භ කළ බව චව්ලා පවසයි.

පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම පිළිබඳ ව පැපරාසීන්ට එරෙහි ව ජනප්‍රිය පුද්ගලයන් විසින් සාර්ථක නඩු පැවරීම් කළ අවස්ථා කිහිපයක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තිබේ.

"ජනප්‍රිය අය, පැපරාසියෝ, කළමණාකරුවෝ, ප්‍රචාරකයෝ මේ හැමෝට ම පූර්වාදර්ශයක් වෙන ඒ වගේ නඩු අපටත් (ඉන්දියාව තුළ) දකින්න පුළුවන් වෙයි. එතකොට හැමෝටම වාසිවෙන විදියේ වඩාත් හොඳ ක්‍රමයක් තියේවි," ශර්මා පවසයි.



(චෙරිලන් මෝලන් සහ මෙරිල් සෙබස්තියන්)
බීබීසී පුවත්

BBC සිංහල සේවය


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...