BREAKING
Top Ad
Life

නව නාරි බෝම්බය : ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය - (චින්තන ධර්මදාස)

T

The Leader

May 24, 2023 • 2:29 AM

නව නාරි බෝම්බය : ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්‍රොඩයි‍ට් මල් කොල්ලය ගැන නරකක් කියන කෙනෙක් නැති තරම්. ඒ ඇත්තටම ඒක ඒ තරම්ම හොඳ නාට්‍යයක් හින්ද.
  • ඇත්තටම මේ නාට්‍යය පවතින්නෙ කතාවක් මතට වඩා මේ ගෑණු නම දෙනා ‍මත.
  •   මේ නාට්‍යය මේ නිළියන් විසින් තමන්ට අවැසි විදිහට මෙහෙයවා ගෙන ඇති බව පැහැදිලියි.
  • මට වැඩියෙන්ම දැණුනෙ ඒක, ‘උඹලා දැකපු අය නෙමෙයි අපි’ කියලා කරන ප්‍රචන්ඩ ප්‍රකාශනයක් වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පණ්ඩිත දාර්ශනික කතා නැති, හාස්‍යය විනෝදය සපිරි, ලේයර් ගණනාවකින් කියවා ගත හැකි, ලංකාවෙ බලාපොරොත්තු විය නොහැකි විදිහෙ නාට්‍යයක් ඒක.

මට හිතෙන්නෙම මේක ස්පැනිෂ් කතාවකින් අරගෙන තියෙනවා කියල. ඒත් තාමත් එහෙම කිසිම මූලාශ්‍රයක් මට හොයාගන්න බැරි වුනා. ‍ඒත් මේ ආකෘතිය කොහෙත්ම ලංකාවෙ එකක් නෙමෙයි.

මේක ඒ විදිහට කොහෙන් හරි අරගෙන තිබුණත් ඒකෙන් මේකෙ වටිනාකම බාල වෙන්නෙ නෑ. මේ වගේ කතාවක් ඔලුවට එන ඩිරෙක්ටර් කෙනෙක් මෙහේ ඉන්නවා කියන එක අදහාගන්න බැරිකමටම මං සර්ච් කළා ආනයනය කරපු තැනක් හොයාගන්න. ඒත් මට බැරි වුනා.

 

Affrodait Mal Kollaya 8

ඇෆ්‍රොඩයිට් මංකොල්ලය කියන්නෙ මහා ජනතාවකගේ සුවිශාල ලිංගික ආකර්ශනයක් දිනාගත් ගැහැණු නව දෙනෙක් ඒ ආකර්ශනය සිඳී ගිහින් තමන්ගේ හිස් ජීවිතය මුනගැහෙන මොහොතේදී ඒ හිස්කමට එරෙහිව ගහන කැරැල්ලක්. නිළියන් වුණු ඔවුන්ට නිළිකම අවසන් තැන, තමන්ව හොයාගන්න සිද්ද වෙන විටදි මුහුණ දෙන ත්‍රාසමය අත්දැකීමක්. මේ ත්‍රාසය මංකොල්ලයක් විදිහට සංවිධානය වෙනවා.

Affrodait Mal Kollaya 3

ඇෆ්‍රොඩයිට් මල්කොල්ලයෙ ඉන්නෙ නාකි ගෑණු නම දෙනෙක්. ඇත්තටම මේ නාට්‍යය පවතින්නෙ කතාවක් මතට වඩා මේ ගෑණු නම දෙනා ‍මත. ඒ අයගෙ සම්බන්ධතා මත. මේ නාකි - නිළියො නම දෙනෙක්. ඒ නිළියො ටික ඒ අයගෙ ජීවිතේ මහළු මඩමක ගෙවී යන අවාසනාවන්ත ඉරණමට මුහුණ දීගන්න බැරුව බැංකු මංකොල්ලයක් කරනවා. ඒ අයගෙ ජීවිතේ අවසාන හීනෙ වෙනුවෙන්.

මේ නාකි ගෑණුන්ට සමාජය විසින් පැවරුණු කාර්යයන් තියෙනවා. බෝධි පූජා කරන එක, වන්දනා ගමන් යන එක ආදිය. ඒත් මේ ගෑණු ඒ සමාජයෙන් තමන්ගේ වයසට පැවරුණු භූමිකා ප්‍රතික්ෂේප කරනවා. ඒ අය තමන්ගේ හීන හොයාගෙන යන්න කැරැල්ලක් ගහනවා. මෙතෙක් කාගේ හෝ පිටපතකට රඟපෑ නිළි‍යන් පළමු වරට තමන්ගේ පිටපතකට රඟපාන්න තීරණය කරනවා.

 

Affrodait Mal Kollaya 7මේ නාට්‍යය මේ නිළියන් විසින් තමන්ට අවැසි විදිහට මෙහෙයවා ගෙන ඇති බව පැහැදිලියි. මේ නිළියො රඟපෑමෙ අදහාගන්න බැරි පිම්මක් පනිනවා. මීට කලින් අපි මේ නිළියන්ගෙන් කිසි දවසක නොදුටු, නොපැතූ රංගනයක් මේ අය ඉදිරිපත් කරනවා. මට වැඩියෙන්ම දැණුනෙ ඒක, ‘උඹලා දැකපු අය නෙමෙයි අපි’ කියලා කරන ප්‍රචන්ඩ ප්‍රකාශනයක් වගේ. ඒක ඇඟ හිරිවැටෙන තරමෙ අත්දැකීමක්. විශේෂයෙන් අමා විජේසේකර නාකි වුණු සරාගී නිළියක් විදිහට කරන රංගනය පිස්සු වට්ටනසුලුයි. අමාගෙ තියෙන දැහැමි මූණ පිරිමි ශිෂ්නයක් පතන බේබදු ගැහැණියක් බවට පෙරලුනාම පරණ අමාව පුරුදු නරඹන්නාට දැනෙන්නෙ තිගැස්මක්.

කෞෂල්‍යා, චාන්දනී, සමාධි, නිල්මිණී, සුජානි ඇතුලු සෙට් එකම විශ්මිතයි. විශේෂයෙන්ම කෞෂල්‍යාගේ සහ චාන්දනීගේ නිරුත්සාහයික රංගනය මාරයි. ඒ මුනිවර රංගන පරාසයේ සිට තරුණ ජව සම්පන්න රංගනය දක්වා වේදිකාව උඩ එකිනෙක මුහුවෙමින් දිගහැරෙනවා. අලුතෙන්ම දකින රන්දි පවී පවා හොඳ රංගනයක් එක්ක අර දැවැන්ත රංග ආනුභාවයන් සමග මනාව මුහුවෙනවා. උන් මේ ඩිරෙක්ටර්ගෙ පිටපත තම තමන්ගේ අත්අඩංගුවට අරගෙන.

346784458 1280267742891973 5665697745802117007 n

සෝෂල් මීඩියාවල තැන තැන දකින්න තිබුනා මේ නාට්‍යයේ පෝස්ටරය දැකලා කලබල වුනු ස්ත්‍රීවාදීන්ගේ විචාර. මේක පිරිමි ඇග්‍රෙෂන් එකක්ය, පිරිමි අනුකරණය කිරීමක්ය, පිරිමින්ගේ ලිංගික තෘප්තිය පිණිස කරන රෝල් ප්ලේ එකක්ය ආදී වූ චෝදනා ඒ තැන්වල ඇහුනා. ඒත් මේක තනිකරම පිරිමි අධ්‍යක්ෂවරයෙක් යටත් කරගෙන එයාගෙ පිටපත බලහත්කාරයෙන් අත්පත් කරගෙන, තමන්ට ඕන නාට්‍යය රගපාන ගැහැණු නව දෙනෙකුගේ මංකොල්ලයක්.

කෙනෙකුට හිනා නොවී ඉන්න නම් බෑ. හිනා වෙනවා නෙමෙයි හිනා පනිනවා. ඒත් අපි හිනාවෙන්නෙ හරි භයානක දේවල්වලට. ‍එහෙම භයානක දේවල්වලට හිනාවෙවී අපි ගෑණු නව දෙනෙක් තම තමන්ගේ වෙනස් වෙනස් ආශාවන් වෙනුවෙන් එක්ව කරන තනි මංකොල්ලයක් බලන් ඉන්නවා.

Affrodait Mal Kollaya 6

මේ ගෑණු නිළියො වෙන්න තමන්ගෙ ජීවිතේ හැම හීනයක්ම කැප කරපු මිනිස්සු. ඒත් වයසත් එක්ක හිස්බව මිස වෙන කිසිම දෙයක් ඉතිරි නොවුනු මිනිස්සු. සමහරු තාමත් තමන්ගේ පෙම්වතා එනකල් බලන් ඉන්නවා, සමහරු කලින් පෙම්වතා එක්ක ආපහු පැනලා යන්න සැලසුම් හදනවා, සමහරු තමන්ගේ ලිංගිකත්වය මාරු කරගන්න හදනවා, සමහරු තමන් ගබ්සා කරන්න ගිය දරුවාගේ මූන බලන්න මගබලන් ඉන්නවා. තමන්ට නිළි ජීවිතය නිසා මිස් වුන දේවල් හොයාගෙන යන්න මේ ගෑණු කැරැල්ලක් ගහනවා.

Affrodait Mal Kollaya 5

 

නාට්‍යය වඩාත් ත්‍රිල් වෙන්නෙ ඒකෙ තියෙන ට්විස්ට් හින්දමයි. ඒත් අන්තිමට ත්‍රිල වැඩි කරන්න ළග ළග දෙන ට්විස්ට් ටිකක් වැඩිද කියලත් හිතුන. නාට්‍යය මැද්දෙදි තරමක මන්දගාමී වෙන ගතියක් පේන්න තිබුන. දෙමළ වයසක ගැහැණියක්ද ඇතුලත් කරගනිමින් පොලිටිකලි කරෙක්ට් වෙමින්, ජනවාර්ගික ප්‍රශ්නයත් යන්තමින් හරි ගැටගහන්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලයි හිතෙන්නෙ. ඒ වගේම ඇමන්ඩා විසින් එකවරම බැලේ නර්තනයක් යෙදීමත් නාට්‍යයේ නැරටිව් එකෙන් එලියට වැටීමක් වගේ පෙනුනා.

Affrodait Mal Kollaya 1

නමුත් මේ කිසි දේකින් මේ ගෑනු නමදෙනාගේ කැරැල්ල අවතක්සේරු කරන්න බෑ. ඒක ලංකාවෙ නිළි පරම්පරාවක චරිත රංගනයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ සුවිශේෂී අවස්ථාව වේදිකාව උඩ නිර්මාණය කරදීම සචිත්‍ර රාහුබද්ධ විශිෂ්ට රංග කාර්යයක් වෙනවා.

Affrodait Mal Kollaya 2

නාට්‍යයේ හැම පුංචි දෙයක් ගැනම හිතලා තිබුන. හැම චරිතයකම පාහේ සියුම් ඩීටේල් මතු කරලා තිබුන. ඇත්තටම ගැහැණු නව දෙනෙක් රඟපෑවාට එතන ගෑනූ දහදෙනෙක් ඉන්නවා. නිල්මිනී සිගේරා ගෑණු දෙන්නෙකුට රඟපානවා. නිල්මිණී කියන්නෙ අපූරු නිළියක්. එයා පුළුන් තරම් සැහැල්ලුවට වේදිකාවෙ එහා මෙහා යමින් ගින්දර වගේ රංගනයක යෙදෙනවා. මෑත කාලෙදි ඇතිවුනු අවමතාවාදී වේදිකාව වෙනුවට සචිත්‍ර විසින් දස නාරී බෝම්බයක් වේදිකාව උඩට අතාරිනවා. ඒක හැම ප්‍රේක්ෂාගාරයකම ප්‍රේක්ෂකයන්ගෙ රස නහර කපාගෙන යන මුනිස්සම් තියෙන බර බෝම්බයක්.

Affrodait Mal Kollaya 4

නාට්‍යය ඉවර වෙලා ආචාර කරන්න එද්දි හින්දි ගීතයක් වාදනය වෙන එක පවා මරු. ඒ හැම දේකම වෙනසක් ලකුණු වෙනවා වගේම ප්‍රේක්ෂකයාගේ ඔලුව මඤ්ඤං වෙන බහුබූතයක් වෙනුවට සැහැල්ලුවෙන් හින‍ාවෙවී ගෙදර යන්න පුඵවන්, නැවත ඇවිත් බලන්න පුළුවන් නිර්මාණයක් කිරීමේ උවමනාව සටහන් වෙනවා.

 

ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය කියන්නෙ නාකි කියන්නෙ තරුණ කියන එක බව පසක් කරන නිර්මාණ වෑයමක්. මොකද නාකි බව විසින් අන් කවර කලකටත් වඩා ප්‍රචන්ඩ විදිහට තරුණ බව හඹා යන්න පටන් ගන්න හින්ද. විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. නාකි ගෑණුන්ගෙන්.




Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...