BREAKING
Top Ad
Life

තිළිණි ගමගේ: ආබාධිත බළලුන් වෙනුවෙන් දිවියම කැපකළ තරුණිය

T

The Leader

July 5, 2023 • 12:17 AM

තිළිණි ගමගේ: ආබාධිත බළලුන් වෙනුවෙන් දිවියම කැපකළ තරුණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආබාධිත බළලුන් 51 දෙනෙකු තිළිණිගේ රැකවරණය ලබයි
  • ලංකාවේ සිව් දෙසින්ම සොයාගන්නා ලද විවිධ ආබාධයන්ට ලක්ව සිටින බළලුන් 51 දෙනෙකුට තිළිණි ගමගේ සිය රැකවරණය සපයයි.
  • පුද්ගලික ආයතනයක ගාණකාධිකාරිණියක ලෙස සේවයේ නියුතු තිළිණි, ඇගේ වැටුප මෙන්ම ඇය සිතුවම් කරන චිත්‍ර විකුණා ලබන ආදායම ද යොදවනු ලබන්නේ ආබාධිත බළලුන්ගේ සුබසාධනය වෙනුවෙනි.
  • දහතුන් වසරකටත් වැඩි කාලයක් තිස්සේ ආබාධිත බළලුන් රැකගන්නා තිළිණි, ආබාධ සහිත සතුන් රැකබලා ගැනීමට පුහුණුව ලබා ඇත්තේ ද අත්දැකිම් තුළින්ම ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආබාධිත බළලුන් සෙනෙහසින් රැකබලා උවටැන් කිරීමට කඳානේ පදිංචි තරුණියක සිය ජිවිතයම කැපකර තිබේ.

ලංකාවේ සිව් දෙසින්ම සොයාගන්නා ලද විවිධ ආබාධයන්ට ලක්ව සිටින බළලුන් 51 දෙනෙකුට තිළිණි ගමගේ සිය රැකවරණය සපයයි.

පුද්ගලික ආයතනයක ගාණකාධිකාරිණියක ලෙස සේවයේ නියුතු තිළිණි, ඇගේ වැටුප මෙන්ම ඇය සිතුවම් කරන චිත්‍ර විකුණා ලබන ආදායම ද යොදවනු ලබන්නේ ආබාධිත බළලුන්ගේ සුබසාධනය වෙනුවෙනි.

“අපි පොඩි කාලේ ඉඳලාම පාරේ ගෙනල්ලා දාන සත්තු ගෙදර ගෙනල්ලා හදනවා. මම මුලින්ම රැකියාවට ගියාම ඒ ආයතනය ළඟ හිටියා බල්ලෙක්, එයාට අපි කන්න බොන්න දුන්නා. කොහොමහරි දවසක් එයා ඇක්සිඩන්ට් වෙලා එයාගේ ඇස් දෙකම අයින් කරන්න වුණා. ඊට පස්සේ මට තේරුණා එයාට පුරුදු ජීවිතේ ගත කරන්න බැහැ කියන එක. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මම ආබාධිත සත්තුන්ට උදවු කරනවා කියලා හිතා ගත්තේ," ඇය බීබීසී සිංහල සේවය හා කතාබහකට එක්වෙමින් කියා සිටියා ය.

133816867 10158949474964028 3919461247038196722 nඡායාරූප මූලාශ්‍රය, THILINI GAMAGE
ඈ ජිවත් වන නිවසේ ඉඩකඩ මඳිකම නිසාවෙන් සුනඛයින් හට රැකවරණය ලබාදීමේ හැකියාවක් නොමැති බැවින්, ඇය ආබාධයන්ට ලක්වූ බළලුන්ට පමණක් රැකවරණය ලබා දී තිබේ.

දහතුන් වසරකටත් වැඩි කාලයක් තිස්සේ ආබාධිත බළලුන් රැකගන්නා තිළිණි, ආබාධ සහිත සතුන් රැකබලා ගැනීමට පුහුණුව ලබා ඇත්තේ ද අත්දැකිම් තුළින්ම ය.

“මටත් එක්ස්පිරියන්ස් එකක් තිබුණේ නැහැ මේ වගේ සතෙක් බලා ගන්නේ කොහොමද කියන එක ගැන. එක දවසකට පැම්පස් එකක් දාලා බලනවා, තව දවසකට ටවල් එකක් දාලා බලනවා. එක එක දවසට ඒ විදියට බලලා, ඒ ඒ සතාට පහසු කොහොමද කියලා බලලා අධ්‍යයනය කරලා තමයි මම එයාලව බලාගන්න පුරුදු වුණේ."

“අම්මලාටත් මුලින්ම ෂොක් එකක් තිබුණා කොහොමද මේක කරන්නේ කියන එක ගැන. පස්සේ ඒ අයත් දැක්කා මම මේක කරන විදිය, පුරුදු වෙන විදිය. ඒ අයත් පුරුදු වුණා ආබාධිත සතෙක් බලාගන්නේ කොහොමද කියන එක ගැන,” ඇය අත්දැකිම් ලබාගත් ආකාරය එලෙස විස්තර කළා ය.

“මම උදවු කරන්නේ අයිතිකාරයෙක් නැති, කාගෙන්වත් උදවුවක් නැති, කොන්ද කැඩිලා, කකුල් පණ නැති වෙලා, ඇස් පෙනීම නැති වෙලා, කට කැඩිලා, දත් කැඩිලා වගේ ඇත්තටම අසරණ වෙලා ඉන්න පූසන්ට විතරයි. දැනට කතරගම, ත්‍රිකුණාමලය, මඩකලපුව වගේ රටේ හැම තැනින්ම ආව සත්තු මං ගාව ඉන්නවා.”

thilii 1
රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග බළලුන් 51 දෙනෙකු පෝෂණය කරමින් උවටැන් කිරීමේ දුෂ්කර ක්‍රියාව ගැන ඇය තවදුරටත් විස්තර කළා ය.

“මූලිකව මගේ සැලරි එක. ඊට අමතරව මම කැන්වස් චිත්‍ර අඳිනවා, ලීවල චිත්‍ර අඳිනවා, ඒවා විකුණලා ගන්න ආදායමෙන් තමයි මේ අය බලාගන්නේ. ඒ වගේ දැනට පූසො 18 දෙනෙක් ජිවිත කාලයේම බලාගන්න අනුග්‍රහකයෝ ඉදිරිපත් වෙලා ඉන්නවා.

“මේ අයට දෙන්නේ ලින්නා මාළු විතරයි, මොකද දිරවගන්න පහසු වෙන්න. මේ වෙද්දි ලින්නා මාළු කිලෝ එකක් රුපියල් 1200ක් විතර වෙනවා. එතකොට මාසෙක මාළු බිල වෙනවා ලක්ෂ දෙකක් විතර. තව කැට් ෆුඩ්වලට යනවා ලක්ෂ තුනක් විතර. කෑමවලට විතරක් මාසයකට යනවා ලක්ෂ තුනක් විතර. එතකොට බෙහෙත්වලට, ට්‍රන්ස්පෝර්ට්වලට බලපුවාමත් මාසයකට රුපියල් පනස් දාහක් විතර යනවා. මාසයකට ඒ ඔක්කොටම සම්පූර්ණ වියදම ලක්ෂ හතරක් විතර වෙනවා."

“සත්තු බලන පශු වෛද්‍යවරු, ඒ රෝහල් ගොඩක් උදවු කරනවා. ඒ වෙලාවෙම බිල ගෙවන්න ඕනේ නෑ, ටික ටික ගෙවන්න හදලා දෙනවා. කැට්ෆුඩ් ගන්න තැන්වල අය පවා මාව දන්න නිසා ටික ටික ගෙවාගෙන ගන්න පුළුවන්. ඒ වගේ උදවු මට හම්බ වෙනවා,” ඇය කියා සිටියා ය.

රට මේ මොහොතේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බළලුන් නඩත්තු කිරීමට යන වියදම සොයාගැනීම දුෂ්කර වී ඇති බව පැවසූ, තිළිණි ඒ සඳහා සහායවීමට කැමැති අයෙකුට දායකත්වය ලබාදිය හැකි බව ද පැවසුවා ය.

“කැමති නම් ලයිෆ් ටයිම් ස්පොන්සර් කරන්න පුළුවන්. එහෙම නැතිනම් උපන් දිනයකට හරි, වෙන විශේෂ දේකට හරි, එක කෑම වේලකට හරි, බෙහෙත් ගන්න හරි කැමති කෙනෙකුට ස්පොන්සර් කරන්න පුළුවන්.”

නිවැසියන්ගෙන් බළලුන් රැකබලා ගැනීම සඳහා තිළිණිට සහාය ලැබෙනමුත්, සතුන් හට උවටැන් කිරිම සහ අනෙකුත් දෑ සිදුවන්නේ ඇගේම අතින් ය.

thilin 2
“මේගොල්ලන්ව බලාගන්නේ මම විතරයි. වෙන කවුරුත්ම බලාගන්නේ නැහැ. මගේ අම්මා උදවු කරනවා, නමුත් සම්පූර්ණයෙන් ඒ අයව බලාගන්නේ මම. ඒ අය ලෙඩ වෙනවා ද, බෙහෙත් ඕනෙ ද, ඉන්න තැන් අස් කරන්නේ රෙදි සෝදන්නේ ඒ ඔක්කොම කරන්නේ මම.

“පාන්දර 4 ට විතර නැගිටලා මේ අය ඉන්න තැන් සුද්ද කරලා, ඒ අය ඉන්න තැන්වලට දාලා, කන්න බොන්න දීලා තමයි මම ඔෆිස් යන්නේ. මම ආපහු ගෙදර එද්දි හවස 6 විතර වෙනවා. ඒ ඇවිල්ලා හවස 7 විතර වෙද්දි මේ අයට ආයේ කෑම බීම දීලා, ක්ලීන් කරන වැඩ ටික කරනවා. ඒ වැඩ ඉවර කරලා පැයක් දෙකක් චිත්‍ර අඳිනවා. එහෙම තමයි දවස ගෙවෙන්නේ," ඈ විස්තර කළා ය.

තිළිණි ගමගේ සිය ජිවීතයේ වැඩිම කාලයක් වෙන්කර ඇත්තේ ආබාධයන්ට ලක්වූ බළලුන් වෙනුවෙනි. ඇගේ කාලයත්, ශ්‍රමයත් ඈ යොදවන්නේ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ය.

ආබාධිත බළලුන් වෙනුවෙන් වඩාත් ඉඩකඩ හා පහසුකම් සහිත මධ්‍යස්ථානයක් පවත්ගෙන යමින් ඔවුන්ගේ ජිවිත කාලය පුරාම රැකබලා ගැනීමට ඇය සිහින දකියි.

වීදි සුනඛයන් මෙන්ම බළලුන් ද සමාජ ගැටලුවක් නොවීමට වග බලා ගැනීම මිනිසුන්ගේ වගකීමක් බව පවසන ඇය, එසේ නොවීමට කටයුතු කරන්නැ යි සමස්ත සමාජයෙන්ම ඉල්ලා සිටියි.

“ලංකාවේ මිනිස්සුන්ට දෙන්න ඕන මූලිකම පණිවිඩය තමයි සත්තුන්ව පාරට ගෙනල්ලා දාන්න එපා කියන දේ. සත්තු මූලිකව ආබාධ වෙන්නේ මිනිස්සුන්ගේ වැරැද්දෙන්. ගෙවල්වල හදන බල්ලා හෝ පූසා ගෑණු සතෙක් වෙච්ච ගමන් ඔලුවට එන දේ, පැටවු දානවා හරි කරදරයි කියන එක. ඒ නිසා මේ අය පාරට දානවා, පන්සලට ගෙනත් දානවා. ඒ ගෙනත් දාපුවාම මිනිස්සු ගහලා හරි, සත්තු හපලා හරි, වෙනත් හේතුවක් නිසා හරි ඒ අය ආබාධිත වෙනවා.

“මේ සත්තුන්ව පාරට ගෙනත් දානවට වැඩිය සාර්ථක විසඳුම් තියෙනවා වන්ධ්‍යකරණය වගේ දේවල්. වන්ධ්‍යකරණය එක්ක පාරට ගෙනත් දාන එක අවම වෙනකොට ඩිසේබල් සත්තු අවම වෙයි කවදා හරි දවසක,” තිළිණි ගමගේ බිබිසි සිංහල සේවය හා එක්වෙමින් අවධාරණය කළා ය.

(BBC සිංහල සේවය )


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...