BREAKING
Top Ad
Life

පාඨක මනසින් මැකී නොයන 'ප්‍රේම මුද්‍රා' - (ජයසිරි අලවත්ත)

T

The Leader

September 4, 2023 • 2:32 AM

පාඨක මනසින් මැකී නොයන 'ප්‍රේම මුද්‍රා' - (ජයසිරි අලවත්ත) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මනහර කාව්‍ය මෘදු ලලිත පදවලින් ගහණය. ගොරෝසු ශබ්දාර්ථයන්ගෙන් හීනය. සුවසේ අවබෝධ විය යුතු අතර සුඛුමාල හා රම්‍ය ගුණවලින් පිරී පවතී.
  • එය මනහර කාව්‍ය ය යි.” කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම: පිටුව 101 බඹරැන්දේ මහානාම හිමිපාණෝ ද මෙය උපුටා දක්වන්නේ රාකේෂ ගුප්තගේ “Psychologigal Studies in Rasa’’ නමැති කෘතියෙනි.
  • ඔහුගේ මතය ප්‍රතික්ෂේප කළ නොහැකිවාක් මෙන් ම නූතන කාව්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන අතැම් කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේ දී ඉහත ප්‍රකාශය සියයට සියයක් ම නිවැරැදි නොවන බව ද හැඟේ.
  • එහෙත් ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති “ගොරෝසු ශබ්ධාර්ථ” නම් අන්තර්ගත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

34තර්කයට හා බුද්ධියට තුඩු දෙන පරිදි පද සන්ධි පමණක් නොව කථාවේ සන්ධිස්ථාන ද එක් පුරුකක් අනෙක් පුරුකට හාවෙන පරිදි අඛණ්ඩතාව ප්‍රධානය. එය මනහර කාව්‍ය ය යි.”
කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම: පිටුව 101

බඹරැන්දේ මහානාම හිමිපාණෝ ද මෙය උපුටා දක්වන්නේ රාකේෂ ගුප්තගේ “Psychologigal Studies in Rasa’’ නමැති කෘතියෙනි. රාකේෂ ගුප්ත යනු දක්ෂ කාව්‍ය විචාරකයෙකි. ඔහුගේ මතය ප්‍රතික්ෂේප කළ නොහැකිවාක් මෙන් ම නූතන කාව්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන අතැම් කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේ දී ඉහත ප්‍රකාශය සියයට සියයක් ම නිවැරැදි නොවන බව ද හැඟේ. උදාහරණයක් ලෙ ගංගා නිරෝෂිණිගේ මෙම කාව්‍ය නිර්මාණය වෙත අවධානය යොමු කරමු.

අඩක් හිස් වුණු සිත අඬන හඬ

ළපටි ඉර වැටී මූණට
වැඩට යන්නට පමා වන විට
ගතු කියනව ද නුඹ ඉතිං
ඇහැරවන්නට මා ළඟ නොමැති වරදට

මල් වැටුණු ගුරු පාර අද්දර
දොඹ ගහේ පැණි කුරුලු ජෝඩුව
උනුන් තුරුලුව රහස් කොඳුරනු
දකින විට හීල්ලෙනව ද නුඹට

සරි කරනු වස් දිවිය තුන් කල
වෙහෙස වී නුඹ එන විට දි හවසට
ගෙමිදුලෙහි පිපි නාරිලතාවක්
නොමැති සඳ මහ දුකක් දැනෙනව ද

මාදං පැහැ වෙවී අහස ම
හඬන විට වැහි කඳුළු හෙල හෙල
උණුහුමට තුරුලුව නැළවෙන්න උකුළක්
නොමැති වග දැනී අඬනව ද නුඹ

අඹ ගහේ ගෙඩි කන්න අවුදින්
මාවවුල් තටු ගහන මැදියම
තනිකමක් හිත යටට අවුදින්
හීනෙනුත් නුඹ මා සොයනව ද

වලාකුළු බැම්මට එපිට වැව මත
තරු විතරක් ම ඔරු පදින මොහොතක
සඳත් බොරුකාරියක් කිය කිය
තව ම නුඹ මග බලා ඉන්නෙ ද

මෙම නිර්මාණය තුළ රාකේෂ ගුප්ත පවසනාකාරයේ “මෘදු පද” අන්තර්ගත නොවේ. එහෙත් ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති “ගොරෝසු ශබ්ධාර්ථ” නම් අන්තර්ගත ය. ඔහු පවසන තරමට ම “සුඛුමාල සහ රම්‍ය” ගුණ ද නොපවතී. නමුදු “තර්කයට සහ බුද්ධියට තුඩු දෙන පද සන්ධි” පවතී. “එක් පුරුකක් අනෙක් පුරුකට හාවෙන අඛණ්ඩතාව” ද පවතී. ඉදින් ඔහු පැවසු සියලු ගුණාංග අන්තර්ගත නොවූව ද මෙම නිර්මාණය “මනහර කාව්‍යය නිර්මාණයක්” නොවන්නේ ද? මෙය කියවිය හැකි, කියවා විඳිය හැකි, විඳ එහි ගැඹුරට කිමිදිය හැකි නිර්මාණයක් නොවන්නේ ද?

මගේ වින්දනීය පරාසයට අනුව නම් මෙම කාව්‍ය නිර්මාණය කියවා, විඳ, එහි ගැඹුරට කිමිද තව තවත් රස භාව සොයාගත හැකි ය. තවකෙකුට එය එසේ නොවන්නට පිළිවන. ඒ, ඔවුනොවන්ගේ රස භාව උල්පත්වල දිග පළල අනුව විය හැකි ය.

prema mudra

මෙම කාව්‍ය සංග්‍රහයේ මා දුටු තවත් සුවිශේෂතාවක් පවතී. එනම් අප කියවා විඳ ඇති බොහෝ කාව්‍ය සංග්‍රහවල අන්තර්ගත නිර්මාණ: ආදරය, ප්‍රේමය, විරහව, දේශපාලනය, සමාජ අසාධාරණය, කාන්තා විමුක්තිය, පුරුෂාධිපත්‍ය යනාදි බොහෝ මාන ස්පර්ශ කර තිබුණ ද නිරෝෂා සිය නිර්මාණය තුළට බහාලන්නේ ආදරය සහ ප්‍රේමයේ සිහිකැඳවීම් ම පමණි. ඒ ඇතැම් නිර්මාණයක හෝ අවම ප්‍රමාණයක සිහින් දේශපාලන හුයක් දෙකක් ඇදී ගිය ද එය කිවිඳිය දැනුවත්ව සිදුකර නොමැති බව මගේ පුද්ගලික හැඟීම ය. සමස්ත නිර්මාණ සංග්‍රහය ම පිරී පවතින්නේ හිමි අහිමි ආදරය සහ ප්‍රේමයේ මුද්‍රාවලිනි.

ලිපිය ආරම්භයේ උපුටා දැක්වූ රාකේෂ ගුප්තගේ අදහස එය වුව ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සිය ‘කල්පනා ලෝකය’ කෘතියේ ලියා ඇති අදහසක් ද බඹරැන්දේ මහානාම හිමිපාණෝ සිය ‘කාව්‍ය විචාර දර්ශන’ කෘතියේ මෙසේ උපුටා දක්වති.

Screenshot 2023 09 04 at 13.12.38“චමත්කාරය සරච්චන්ද්‍ර හඳුන්වන්නේ මෙලෙසිනි. සියලුම රසයන්ගේ හරය චමත්කාරය යි. ඇතැම් භාරතිය සාහිත්‍යඥයන් කීවේ මෙබඳු කරුණු සලකාගෙන විය යුතු ය යි හැඟේ. චමත්කාරය යනු සිත පුරවා දමන විශ්මය මිස අන් කිසිවක් නොවේ. කවර ආශ්වාදයක් වුව ද චමත්කාරය හරය කොට ඇති හෙයින් නානා විධ රස නැත. ඇත්තේ එකම රසය යි. ඒ වනාහි විස්මය නැමැති භාවයෙන් හට ගන්නා අද්භූත ය යි. නාරායන නමැති පඬිවරයකු තර්ක කළ බව සාහිත්‍ය දර්පණය ලියූ විශ්වනාථයෝ කියති.”

කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම: පිටුව 71

දැන් අපි ඉහත උපුටනයේ සඳහන් “කවර ආශ්වාදයක් වුව ද චමත්කාරය හරය කොට ඇති හෙයින් නානා විධ රස නැත. ඇත්තේ එකම රසය යි. ඒ වනාහි විස්මය නැමැති භාවයෙන් හට ගන්නා අද්භූත ය යි.” කොටස නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ තුළින් කෙතරම් දුරට දක්නට ලැබෙන්නේ දැයි ගංගා නිරෝෂණීගේ කවියක් තුළින් ම විමසා බලමු.

මේ, ඒ සඳහා ගංගාගේ කෘතියෙන් උපුටා ගත හැකි කදිම නිර්මාණයකි.

යළි පිපෙන්නෙ ද නුඹ ම වෙනුවෙනි

නුඹේ ප්‍රේමෙන් නැසූවෙමි දුක
නුඹේ ප්‍රේමෙන් දිනූවෙමි ලොව
නුඹේ ප්‍රේමෙන් සැනසුණෙමි මම
නුඹේ ප්‍රේමෙන් යළි උපන්නෙමි

නුඹේ ළඟ මම සොඳුරි වන්නෙමි
නුඹේ ළඟ මම කිඳුරි වන්නෙමි
නුඹේ ළඟ මම දාසි වන්නෙමි
නුඹේ පාමුල උවැසි වන්නෙමි

නුරා පිරි නුඹෙ සිත නිවන්නෙමි
සඳුන් සිසිලැති සෙවණ වන්නෙමි
කටුක ශීතෙහි උණුසුම ද වන්නෙමි
ඉඳහිටක ගිනි දැල් ද වන්නෙමි

ඇත් රජුට හිමි ඇතිනි වන්නෙමි
මත් බිඟුට මල් ගොමුව වන්නෙමි
සිනා කඳුළෙහි එක්ව ඉන්නෙමි
නුඹ නමින් යළි යළි පිපෙන්නෙමි

සරච්චන්ද්‍ර පවසන පරිදි ම මෙම කාව්‍ය විඳීමෙන් ඉක්බිති පාඨකයා විස්මයට පත්නොවන්නේ ද? එවන් කාන්තාවකගේ සිතුවිලි සැබැවින් ම අද්භූත ජනක නොවේ ද? ඇය යසෝදරාවක් තරම් වන බව තුළින් ම ඒ අද්භූතභාවය පිළිබිඹු නොකෙරෙන්නේ ද?

Screenshot 2023 09 04 at 13.19.02
“ලෝක වාර්තා හෝ ශාස්ත්‍ර වාර්තා ආදිය රචනා කරන තැනැත්තා මෙන් නොව කවියා බස ව්‍යවහාර කරන්නේ ප්‍රධාන වශයෙන් ම එහි ව්‍යංගාර්ථය සලකාගෙන ය. යම් රචනාවක ව්‍යංගාර්ථය හේතු කොටගෙන රසයක් ජනිත වේ නම් ඒ රචනාව කාව්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ.”

සාහිත්‍ය විද්‍යාව: එදිරිවීර සරච්චන්ද්‍ර: පස්වන මුද්‍රණය: පිටුව 37

මෙම කාව්‍ය සංග්‍රහයේ ද බොහෝ නිර්මාණ තුළ ව්‍යංගාර්ථය ප්‍රකට කෙරේ. මේ ඊට කදිම නිදසුනකි.

නොපිරෙන හිතක් ළඟ

වලාකුළු නැති විසල් අහසක
ඈත තනි තරුව වී කුමට
දුහුල් එළි රෑ වියමං බඳින්නට
නොහැකි නම් පුරා පුන් සඳ විලස

සුනිල දිය පිරි මහ විලක් මැද
පිපුණු කොඳ කැකුළ වී කුමට
රොන්සුනක මත් මිහිර දෙන්නට
නොහැකි නම් දෑ සමන් විලසට

අතු අග ම නිති පිපී දිලිසෙන
පිනි පොදක් වී කුමට
මහ පොළොව බදා සිප වැලඳ
නිවනු බැරි නම් පොද වැස්ස ලෙස

තුඟු කන්ද පාමුල වැතිර
ගලන දිය පහර වී කුමට
ඇවිත් වෙරළෙහි හිස ඔබාගෙන
හඬනු බැරි නම් මහ සයුර ලෙස

336740494 1202346010450839 8456295677460172235 nමෙම නිර්මාණය පුරා ම පවතින්නේ ව්‍යංගාර්ථය යි. එමෙන් ම මෙම නිර්මාණය සඳහා කිවිඳිය බහුල වශයෙන් සංකේත සහ රුපකාර්ථ භාවිත කරන්නී ය. එකී රූපකාර්ථ සියල්ලෙහි සැඟව පවත්නේ ව්‍යංගාර්ථ ය; වක්ක්‍රෝක්ති ය; වක් බිණුම් ය. ඇය මුහුණු පොතේ කවි ලියන්නියක වුව ද, නව පරම්පරාවේ කිවිඳියක වුව ද කාව්‍ය නිර්මාණකරණයේ දී සමත්කම් දක්වන්නී ය.

ඇගේ කවි හුදෙක් ප්‍රේමාලාප නොවේදැයි කිසිවකු ප්‍රශ්න කරන්නට ඉඩ-කඩ පවතී. සැබැවි, මා යට සඳහන් කළ පරිදි ඇගේ මෙම නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත බහුතරයක් නිර්මාණ එබඳු ය. නමුදු එම නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී ඇය සිය කවිතාව මැනවින් ප්‍රකට කරන්නී ය. එය ඇගේ අනාගත කාව්‍ය මග හෙළි-පෙහෙළි කරන්නට, ආලෝකමත් කරන්නට අත්වැලක් සපයන බව සක් සුදක් සේ පැහැදිලි ය.


පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි  අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/09/04 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...